ගිනි­ගත් පාරා­දී­සය | දිනමිණ

ගිනි­ගත් පාරා­දී­සය

ගුලාම් මොහො­මඩ් විනාශ වී ගිය තම නිවස ඉදිරිපිට

වර්ෂ 1992 ය. සුන්දර කාශ්මීරයේ, ශ්‍රී නගර්හි විසූ ෂුජාට් බුක‍ාරි (Shujaat Bukhari) එවකට සේවය කළේ ඉන්දීය ‘ද හින්දු’ පුවත්පතේ වාර්තාකරු ලෙසය. එක් දිනක් ඔහු, තම මාධ්‍ය සගයෙකු වූ ප්‍රේම් ශංකර් ජා ට රාත්‍රී භෝජනයක් සඳහා , ඇරැයුම් කළේය. ප්‍රේම් ශංකර්ද ‘හින්දු’ පුවත්පතේ තීරු ලිපි රචකයෙකු ලෙස ප්‍රකටව සිටියෙකි.

රාත්‍රී භෝජනය පැවත්වුණේ, ෂුජාට්ගේ මහගෙදරය. දෙදෙන එහි සඳළුතලයකට වී පිළිසඳරේ යෙදී සිටියහ. පහළින් පෙනුණු වීදිය දෙස බලා සිටි ෂුජාට්, කලකට ඉහත තම ඥාති සොහොයුරෙකු වෙඩි වැදී මිය ගිය ස්ථානය පෙන්වීය.

ඔහු වැඩ නිමවී නිවස බලා එමින් සිටින අතර පොලිසිය හා සටන්කාමීන් අතර සිදු වූ වෙඩි හුවමාරුවකට මැදි වූයේ ය. කාශ්මීරයේ නිදහස් සටන ඇරැඹි මුල් කාලයේ සිටම, බුකාරි පවුල වෙත මරණයේ සෙවණැල්ල පතිත වූයේ එලෙසිනි.

ෂුජාට් බුකාරිද තෙවරක්ම මරණයෙන් ගැලවුණෙකි. එහෙත්, පසුගිය ජූනි 14 වෙනිදා සන්ධ්‍යාවේ, රාමලාන් සඳ නැඟ එද්දී, ත්‍රස්තවාදීන් තිදෙනෙකුගේ වෙඩි පහරවලට ලක්ව ඔහු, තම රථය තුළ මිය ගියේය. ජීවිත තර්ජන නිසා ඔහුට ලබා දී තිබූ ආරක්ෂකයින් දෙදෙනාටද ඒ ඉරණමම අත්විය.

ෂුජාට් බුකාරි, “රයිසින් කාශ්මීර්” පුවත්පතේ කතුවරයාය. ඒ හැරැණු විට උර්දු හා කාශ්මීර් බසින් පළ වන බුලාන්ඩ් “කාශ්මීර්, සර්චම්” හා “සංගර්මාල්” යන පුවත්පත් තුනද ඔහුගේ අධීක්ෂණය යටතේ තිබුණි. කාශ්මීරය පිළිබඳ නිවැරැදි තොරතුරු ලබා ගැනීමේදී බොහෝ විදේශ මාධ්‍යවේදීන්ට පිහිට වූයේ ඉංග්‍රීසි බසින් පළ වූ “රයිසින් කාශ්මීර්” ය. මීට වසර 10කට පෙර ඇරැඹුණු එම පුවත්පතේ සමබරතාව මෙන්ම, ෂූජාට්ගේ මධ්‍යස්ථ දේශපාලන දෘෂ්ටිය, දෙස් - විදෙස් පාඨක ජනයාගේ ප්‍රශංසාවට ලක් විය.

ෂූජාට්ගේ මරණය සැල වූ මොහොතේ, කාශ්මීරයේ මහ ඇමැතිනී මෙහෙබූබා මුෆ්ටි හඬා වැලපුණාය.

ජම්බු කාශ්මීර් පුවත්පත් තම කතුවැකි තීරු, හිස්ව තබා, ෂුජාට් ඝාතනය පිළිබඳ තම විරෝධය හා ශෝකය පළ කළහ. ෂුජාට්ගේ මරණයෙන් ඇති වූයේ විශාල හිඩැසකි. ඔහු වැන්නවුනට අනුප්‍රාප්තිකයන් නැත.

කාශ්මීරය යනු සංචාරක ආකර්ෂණය දිනා ගත් සොඳුරු පාරාදීසයකි. එසේම එය මධුසමය ගතකරන්නවුන්ගේ සිහින පුරයකි. සැබැවින්ම කාශ්මීරය මිහිදුම් සේලයෙන් වත සඟවාගත් රූබර කෝමළ මනාලියකි. හිමාලය පාමුළට වී හුදෙකලාව සිටි ඇයට අපල කාලය උදාවන්නේ , 1947 දී ඉන්දියාවට නිදහස ලැබීමත් සමඟමය. ඉන්දියාව හා පකිස්ථානය යනුවෙන් මහා භාරතය දෙකඩ වෙයි. ඉන්පසු දෙරටම, කාශ්මීරයට උරුමකම් කියන්නට ගනී.

කාශ්මීර ජනතාවද දෙකට බෙදෙයි. ඉන් කොටසක් පකිස්ථානයට එක්වීමට කැමතිය. තව කොටසක් ඉන්දියාව යටතේ සිටීමට කැමතිය. තරුණ පරපුරට අවශ්‍ය වූයේ නිදහස්, ස්වාධීන රාජ්‍යයක් ඇති කර ගැනීමටය. ගැටුම් ඇරඹෙන්නේ එම පසුබිම තුළය. පලතුරු වතු හරහා හමා ගිය මිහිරි සුවඳට, වෙඩි බෙහෙත් ගඳ මුසුවන්නට පටන් ගනී. හිමාල කඳු වැටියෙන් ගලා එන පිරිසිදු දිය දහරාවන් රුධිරය මුසුව, රත්පැහැ ගැන්වෙයි.

52 හැවිරිදි ගුලාම් මොහොමඩ් බාට් (Gulam Mohommed Bhat) කවියා, සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකටව සිටියේ මඩෝෂ් බලාමි නමිනි. ඔහුගේ කාව්‍ය සංග්‍රහ 3ක් මුද්‍රණය වී තිබුණි. (pain of loss සහ Voice of ABU Zar)

පසුගිය මාර්තු මාසයේ උදෑසනක, ගුලාම් තම දෙමහල් නිවස තුළ කිසියම් කාර්යයක යෙදී සිටියේය. ඔහුගේ බිරිඳ මුළුතැන්ගෙය තුළය. එක්වරම පිටතින් හඬක් නැඟුණි. අවි අතින් ගත් සටන්කාමීන් තිදෙනෙක් නිවස තුළට කඩා වැදුණි.

“වටිනා කියන දේවල් අරගෙන ඉක්මනට මෙතනින් පැන ගනිල්ලා. පොලිසිය අපිව පන්නගෙන එනවා. පණ බේරගෙන පලයල්ලා.”

ඔව්හු තර්ජනය කළහ. ගුලාම්ගේ බිරිඳ ඊට විරුද්ධත්වය පෑවාය. එහෙත් වෙඩි කා මිය යනවාට වඩා පලා යාම හොඳය. දෙදෙන හිස් අතින්ම නිවසින් පිට වූහ. සුළු මොහොතකින්ම පොලිසිය, නිවස වට කළෝය. වෙඩි හුවමාරුව ඇරැඹුණි.

සටන්කාමියෝ දෙදෙනෙක් නිවස තුළම වෙඩි වැදී මිය ගියහ. පොලිස් ප්‍රහාරයෙන් නිවස ගිනි ගත්තේය. දොළොස් පැයකට පසුව, ගුලාම් ආපසු එන විට නිවසෙහි ඉතිරිව තිබුණේ බිත්ති පමණි. ඇතුළෙහි වූ සියල්ල දාහළුව ගොසිනි. ඒ අතුරින් වටිනාම දේ වූයේ, වසර 36ක් පුරා ගුලාම් ලියා තිබූ කවි ය. ඉන් බොහොමයක් නොපළ කවිය. අත් පිටපත්ය. පත් ඉරු දහසක් පමණ අළු ගොඩක් බවට පත් වුණි. එසේම, ඉරාන ඉතිහාසය, ඉස්ලාම් දහම, සාහිත්‍ය පිළිබඳ දුලබ පතපොත රැසක්ද විනාශ වී ගොසිනි. ගුලාම් දිළිඳුය. ඔහුට තම කවි මුද්‍රණය කර ගැනීමට අපහසුය. එහෙත් ඔහු නිරන්තරව කවි ලිවීමෙහි යෙදුණේ, යම් මුදලක් ලැබුණු දිනෙක ඒවා ප්‍රකාශයට පත් කිරීමේ අදහසිනි.

ගුලාම්ගේ ඇතැම් කවි, සමාජ ජාලයන්හි ඉතිරිව තිබිණි. ඔහුගේ මිතුරෝ ඒවා පිටපත් කරදීම, ගුලාම්ට මහත් සැනසීමක් විය. ජම්බු කාශ්මීරයට වෙනම රාජයක් ඉල්ලා සටන්වදින සංවිධානයක , ප්‍රවෘත්ති ලේකම්වරයෙකු ලෙස සුළු වැටුපකට සේවය කිරීමට, ගුලාම් තීරණය කළේද තම දරු පවුල රැකබලා ගත යුතු වූ හෙයිනි. ඒ අතර, සටන්කාමීන්ගේ අවමංගල්‍යයන්හිදී, කවි ගායනය සඳහා ද ඔහුට යාමට සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ගුලාම් අත්අඩංගුවට ගැනුණි. වසර කීපයක්ම සිරගතව සිටීමට ඔහුට සිදුවිය. ඒ කාලයේදී ආර්ථික දුෂ්කරතා නිසා ඔහුගේ පුතා සහ දියණියට පාසල් ගමන නතර කිරීමට සිදු වූ අතර පදිංචි ඉඩමෙන්ද කොටසක් විකුණා දැමුණි.

අවසානයේදී නොසිතූ අයුරින්, නොසිතූ මොහොතක නිවසද ගිනිබත් වුණි. දැන් ගුලාම් සහ දරු පවුල් පදිංචිව සිටින්නේ, මුළුතැන් ගෙය තුළය. මිනිස් ඝාතනවලින් පිරි කාශ්මීරයට, නිවසක් ගිනි තැබීම එතරම් සැලකිය යුතු පුවතක්ද නොවේ. එහෙත් මේ විනාශ වන්නේ කවියෙකුගේ නිවසකි. එහෙයින් එම පුවත ලොව පුරා පැතිරුණි. ගුලාම් මොහොමඩ් නොහොත් මඩෝෂි බලාමි නමැති කාශ්මීර කවියෙකු ගැන කිසිත් නොදැන සිටි ඈත රටවල ජනයා දැන් ඔහුගේ කවි සොයමින් අන්තර්ජාලයේ සැරිසරති.

ගුලාම් තම නිවසේ බිත්තියක, අඟුරු කැටයකින් මෙසේ සටහන් කළේය.

දහස් ගණන් නිවෙස්

කොල්ල කා ඇත

පාක්ෂිකයෝම වෙති

ඝාතකයෝද

 

කලකට පෙර නිවසකි, මෙය මට

දැන් එය මතක ගැබකි.

කවිය කිසි විටකත් විත්තිකරුවෙකු හෝ විනිසුරුවෙකු නොවේ. හැම විටම එය සත්‍යගරුක සාක්ෂිකරුවෙකි. වර්තමාන කාශ්මීරය තුළ කවියෙකු වීම අවදානම් සහගතය. එක වචනයක එහා මෙහාවකින්, මරණය අත්විය හැකිය. එහෙයින් දැන් එහි 

ලියැවෙන කවි නිර්නාමිකම පවතී. මේ එබඳු කවකි.

මට පැන් බීම නොහැක පවසට

එය තුරුණන්ගේ ලෙය හා මුසුය,

කඳු මුදුන්හි මිය ගිය

 

මට ගුවන දෙස බැලිය නොහැක

දැන් එහි සුනිල පැහැය නැත. රත් පැහැතිය

 

මට සවන්දිය නොහැක

ගලායන දිය දහරක හඬට

බෝම්බ පිපිරෙන හඬය මා සවනෙහි.

 

මගේ ගෙඋයනේ හරිත පැහැය

බොඳව ගොසිනි ශෝකයෙන්

ලෙහෙනුන්ද, කොවුලන්ද නිහඬය

උන්ද ශෝකයෙනි

කාශ්මීර විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය හා පත්‍රකලා අධ්‍යයනයෙහි යෙදෙන මුහමද් නදීම් “රාත්‍රී කාලයන් 816කට පසුව” මැයින් ලියූ කවෙහි සරලානුවාදයයි මේ.

මේ එදා තිබූ දෑස්ම නොවේ

එයම වුව, ඉදිමී ගොසිනි

වැලපුම සිරිතක් වූ කලෙක මෙනි

අඳුරු සෙවණැලි දෑස යට

 

මේ එදා තිබූ සිනාවම නොවේ

එයම වුව, දැවී ගොසිනි වේදනා උදුනෙහි

මේ එදා ඇසූ ගීතයම නොවේ

එයම වුව, හිස් බවින් නැවත උපන්

 

මේ එදා දුටු ඔබම නොවේ

ඔබම වුව, මා පැතූ ලෙස නොවේ

මාද මා නොවේමැයි

ශෝකී මතකයන් තුළ

වැනසුණු ආත්මයක් මිස.

 

හිම කුළු වටා පැතිරෙයි

වේදනාවේ දෝංකාරය

මිනිස් ආත්මයන් වටා

කළු අන්ධකාරය

 

යළි එකමුතු වුවද අප

එය එදා එකමුතුව නොවේ

ශෝකයෙන් පිරි සතුටක් මිස

 

නැ‍ඟෙයි විලාප, හඬාවැටීම්

මහ හඬින් කෙරෙන ආයාචනා

කුමටද?

යළි ජීවත්වීමට

යළි සිනාසීමට

යළි ගී ගැයීමට

තවත් පරම්පරා දෙක තුනකටම කවි ලිවීමට සෑහෙන තරම් අත්දැකීම් කාශ්මීර ජනයා ලබමින්, විඳිමින් සිටිති. තුරුණු වියේදීම විදෙස් ගතවූ කවියෙකු වන මුසාමිල් ජලීල් “අහිමි වූ දේශය” (My Lost Country) මැයින් ලියූ ලිපියක තම අත්දැකීමක් මෙසේ සඳහන් කරයි.

“උද්ඝෝෂණයන්ට සහභාගීවීම මෙන්ම පැහැර ගැනීම් සහ අත්අඩංගුවට ගැනීම්ද සාමාන්‍ය සිදුවීම් බවට පත් වුණි. එක් දිනෙක මගේ පංතියේ සිටි සිසුන්ගෙන් හරි අඩක්ම පැමිණ සිටියේ නැත. යළි කිසි දිනෙක මට ඔවුන් දක්නට ලැබුණේද නැත. මගේ සමීපතම මිතුරා ඉතා කඩවසම් සුන්දර තරුණයෙකි. වයස 24දි ඔහු ඝාතනය කෙරුණි. මම ඔහුගේ මළ සිරුරට ළංව, මුහුණට එබී බැලුවෙමි. එය ජීවමානය. ඔහු මිය ගොස් ඇතැයි අදහාගත නොහැක. මගේ මිතුරාගේ සොයුරිය , සති කීපයකින් විවාහ වීමට නියමිතව තිබුණි. ඇය තම සොයුරාගේ අකල් වියෝවින් තදින් කම්පනයට ලක්ව සිටියාය. විවාහයට දින කීපයකට පෙර, ඇය හෘදයාබාධයකින් මිය ගියාය.”

එක් තරුණ කවියෙකු අන්තර්ජාලයට ‍මෙබඳු සටහනක් එක්කර තිබුණි. “කවි ලිවීම භයානක බව දනිමු. එහෙත් අපට එය නතර කළ නොහැක. වෙනසකට ඇත්තේ, දැන් අප කවි ලියන්නේ රුධිරයෙන් වීමය.”

 

කපිල කුමාර කාලිංග

 


නව අදහස දක්වන්න

Or log in with...