සන්ධ්‍යා අක්කයි නීති­යයි අපියි | දිනමිණ

සන්ධ්‍යා අක්කයි නීති­යයි අපියි

"ගැහැනියෙකුට සාධාරණයක් ඉෂ්ඨ වෙනවා බලාගෙන ඉන්න බෑ මේ රටේ පිරිමින්ට" ආපේ මායියා, යක්ෂාවේෂ වෙලා. මං ගෙට ගොඩවෙද්දිම එහෙම සද්දයක් ඇහුණත් මං ඒ ගැන වදවෙන්නෙ නැතිව කෙළින්ම මගේ කාමරයට ගියා.

"නෑ අක්කෙ පිරිමි විතරක් නෙවෙයි. මේ බලන්න මේ නංගිලා කියන කතාව. මේ අර අර ලොකු පක්ෂෙක නාම යෝජනා වෙනුවෙන් පිරිමි ලිංගික අල්ලස් ඉල්ලුවා කිය කිය ගිහින් ඒකෙන්ම ජනප්‍රිය වෙච්චි නංගි. එයත් කියන්නෙ එයත් ඒ සාදු වෙනුවෙන් පාරට බහිනවා කියලා"

කටේ සද්දෙන් ඒ අපේ ගෙවල් දෙක තුනකට එහායින් ඉන්න, දයා ඇන්ටිගෙ දුව කියලා මං අඳුර ගත්තා. දෙන්නා අතර මං එන්නත් ටික වෙලාවකට කලින් බර කයිවාරුවක් යන්න ඇති බව විතරක් මට ඒකෙන් තේරුණා. මං ටික වෙලාවක් කාමරේටම වෙලා ඉඳලා, ඇඳුම් පැළඳුම් එහෙමත් මාරු කරගෙන හෙමින් හෙමින් කුස්සිය පැත්තට ගියා.

"අයියා මේ ගැන මොකද කියන්නේ? දයා ඇන්ටිගෙ දුව මං දැක්ක ගමන් ඇහුවා.

"මොකක් ගැනද? මං මොකුත් නොදන්නා ගාණට ඇහුවා.

"අර තමන්ගෙ මනුස්සයා අතුරුදහන් කෙරුව එක ගැන වදවෙවී අවුරුදු ගාණක් තිස්සේ නඩු කියන සන්ධ්‍යා කියන අක්කට බැණ වැදිලා, තර්ජනය කරපු එකට හිරේ ගියපු සාදු ගැන" එයා විස්තර කළා.

"ආහ්. එයා සාදු කෙනෙක්ද? මං ඇහුවෙ එච්චරයි. මං කොයි පැත්තෙද කියලා එයාට තේරුම් යන්න ඇති. මොනව වුණත් මේ සිද්ධියෙන් රටේ පාලකයෝ, වාමාංශිකයෝ, උගතුන්, බුද්ධිමතුන්, සිවිල් සමාජ සංවිධාන, වගේ අය කොයි කොයි පැත්තෙද, ඒ ඒ අය ඇත්තටම පෙනී ඉන්නෙ මොනව වෙනුවෙන්ද කියන ‍එක ගැන අර්ථයක් ලැබෙනවා. ඒ නිසා තීන්දුව මොක වුණත් ඒක හරිම වැදගත්. මට මතක් වුණේ 88-89 කාලෙ ජවිපෙ දේශපාලනය කරලා, ආරක්ෂක අංශවලට කට්ටි පැන පැන ඒ අයගෙන් බේරෙන්න අත්තිඩිය පැත්තෙ පන්සලක සිවුරක් දාගෙන හිටපු මහත්තයෙක් ගැන. ඒ මහත්තයා මේ කාලෙ කියන්නේ භික්ෂුන් කරන වැරදිවලට දඬුවම් කරන්නයි, ඒ ගැන පරීක්ෂණ කරන්නයි වෙනම අධිකරණ පිහිටුවිය යුතුයි කියලා. අනික් අතට එහෙව් භික්ෂුවක් අත් අඩංගුවට ගන්නවා නම් උන්නාන්සෙ අයිති වෙන නිකායෙ මහ නායක හිමිවරුන්ගෙන් අවසර ගන්න ඕන කියලා. මේ මහත්තයාට වුණත් ටික කාලෙකට හරි සිවුරෙ ආරක්ෂාව ලැබුණු හින්දා ඒකට දක්වන කෘතගුණ සැලකිල්ලක් හැටියට හීනෙන් වුණත් ඔය වගේ කතාවක් කියවෙන එක අරුමයක් වෙන්න බෑ. ඒත් ඒක යථාර්ථයක් හැටියට බාරගන්න නම් දෙතුන් වරක් නෙවෙයි, හත් අට පාරක්ම හිතන්න වෙනවා.

භික්ෂුන් අතින් විනය වැරදි වෙද්දි ඒ ගැන තීන්දු තීරණ ගන්න මේ රටේ සංඝාධිකරණ තියෙනවා. අධිකරණ සංඝනායකලාත් ඕනෑ තරම් ඉන්නවා. ඒත් දැන් වෙද්දි භික්ෂූන් යයි කියන උදවියට පවා තියෙන්නෙ ශාසනය තුළ කෙරෙන විනය විරෝධී ක්‍රියාවන්ට වඩා ඉඩම් නඩු, ලිංගික අපචාර, ස්ත්‍රී දූෂණ, කොල්ලකෑම්, මිනී මැරුම් වැනි අපරාධ චෝදනා. එහෙව් අයට පවත්නා නීතිය හා අධිකරණ ක්‍රියාවලිය තුළ නිසි දඬුවම් නොලැබෙනවානම් ඒක නීතියේ සමානාත්මතාව උල්ලංඝණය වීමක්. භික්ෂුන් නීතිය ඉදිරියේ සමානව නොසලකනවානම් හෝ ඊට උඩින් තියනවා නම් ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝණය කිරීමක්.

"ඇයි බන් මේ රටේ හැම මඟුලකටමට හාමුදුරුවරුයි, ආගමයි පැටලෙන්නේ? නිවාඩුවට ලංකාවට ආව මගේ පැ‍රැණි මිත්‍රයෙක් දවසක් මධු විතක් තොලගාමින් සිටිද්දී කතාවකට පැටලෙමින් මගෙන් ඇහුවා.

"සරලයි බන්. උඹලගෙ රටවල ආගමයි, ‍දේශපාලනයයි කියන්නෙ දෙකක් කියලා සියවස් ගාණකට ඉස්සරලා මිනිස්සු සටන් කරලා, ලේ හළලා බේරා ගත්තා. ඒත් මේ රටේ එහෙම වුණේ නෑ. ඒ දෙක දෙකක් හැටියට තාමත් වෙන්වෙලා නෑ ඒකයි" මං කීවා.

"උඹලගෙ රටේ' කියලා කීවේ? එයා ඊළඟට ඇහුවා.

"දැන් උඹ පදිංචි වෙලා ඉන්න රට. එහෙමත් නැත්නම් ඒක අයිති යුරෝපා රටවල් ඔක්කොම. උඹ නිවාඩුවට ආවට මේක දැන් උඹේ රට නෙවෙයිනෙ? මං එහෙම කීවම මනුස්සයට ටිකක් තරහ ගියා.

"යකෝ මං කොහේ හිටියත් මේක මගේ රට. උඹ එහෙම කියන එක වැරදියි" එයා කීවා.

"අන්න හරි. පිටරටවල ජීවත් වෙන ලාංකික උඹලට තමා පුදුමාකාර විදිහට රට ගැන කැක්කුමක් ඇති වෙන්නෙ. මොකද, උඹලට කවදාවත් ඒ රටවලදි නිසි තැන ලැබෙන්නෙ නෑ. ඒ මහා සම්ප්‍රදාය තුළ උඹලට තැනක් නෑ. උඹල ඒකෙන් පිටමං වෙන්න වෙන්න, උඹලට දැනෙන පාලුව, හුදකලාව, කාංසිය නැතිකරගන්නේ අ‍පිට කියලා රටක් තියෙනවා' කියන හැඟීමෙන්. ඒත් උඹලා මේ රටටත් අයිති නෑ. නිකම්ම නිකම් සංචාරක කුරුල්ලෝ වගේ නිවාඩුවට ඇවිත් යන ගන්ධබ්බයෝ ටිකක් විතරයි. එහෙව් උන්ට එහේ දේශපාලනයයි, ආගමයි වෙන් වෙච්චි එකෙයි, මෙහේ එහෙම නොවෙච්චි එකෙයි වෙනස වත් අගය වත් තේරුම් ගන්න බෑ" මං කියන්න ඕන ටික සහසුද්දෙන්ම කියලා දැම්මා. යාළුවා නැඟිටලා යන්න ගියා. ඊට පස්සෙ තාමත් මට කතා කෙරුවෙ නෑ.

බණ්ඩි රාල


නව අදහස දක්වන්න

Or log in with...