යාන්ත්‍රික අධ්‍යාපනයේ රොබෝ දරුවෝ | දිනමිණ

යාන්ත්‍රික අධ්‍යාපනයේ රොබෝ දරුවෝ

කාලය අදින් අවුරුදු විසි පහකට පමණ එපිට ය. මම දවසක් මා සමඟ එකම පාසලේ සේවය කළ අපට වඩා වයසින් වැඩිහිටි ගුරුවරයෙකු සමඟ කතාබහක යෙදී සිටියෙමි. පෞද්ගලික තොරතුරු දක්වා දිගු වූ සාමීචිය අතරතුර මම ඔහුගෙන් මෙසේ ඇසුවෙමි.

“සර් ඉගෙන ගත්තෙ කොයි ඉස්කෝලෙ ද?”

“මම ඉගෙන ගත්තෙ ඕල්කට් කොලේජ් එකේ.”වැඩිමහලු ගුරුවරයා නොපැකිලව උත්තර බැන්දේ ය.

මම විපිලිසර වීමි. ඕල්කට්. කොහේ තිබෙන පාසලක් ද? මට කොළඹ දී හෝ මහනුවර දී හෝ වෙනත් නගරයක දී දැක පුරුදු ඕල්කට් කොලීජියක් ගැන මතකයක් නැත. එවැන්නක් පිළිබඳ ඇසූ බවක් ද මතක නැත. මගේ පටලැවිල්ල තේරුම් ගත් ඔහු ඕල්කොට් කොලීජිය ගැන කියා දුන්නේ ය.

“ඕල්කට් කොලේජ් කියන්නෙ ආනන්දෙ රෑ ඉස්කෝලෙ. ආනන්දෙ ගොඩනැගිලිවල රෑ වෙලා ඕල්කට් එකේ ළමයින්ට උගන්වනවා. හැබැයි ඉස්කෝල දෙකක්. ඕල්කට් එකට වෙනම ඇතුළත් වීමේ ලේඛනයක් තියනවා. ඕල්කට් එකට ගිය අය කවදාවත් ආනන්දෙ ආදි ශිෂ්‍යයන් වෙන්නෙ නැහැ.”

මරදානේ ශාන්ත ජෝශප් විද්‍යාලයට ද රෑ ඉස්කෝලයක් තිබුණු බව මා අසා ඇත. ඒ පාසල නම් කොට තිබුණේ ‘ලෝරන්ස් කොලේජ්’නමිනි. ඇතැම් ප්‍රසිද්ධ පුද්ගලයන් රෑ ඉස්කෝලයෙන් ඉගෙනගෙන සමාජ පිරමිඩයේ ඉහළට ගිය පසු තමන් දහවල් පාසලේ (ප්‍රසිද්ධ පාසලේ) ආදී ශිෂ්‍යයන් ලෙස පෙනී සිටි බව කියවෙන කතා කලකට ඉහත අපේ සමාජයේ ජනප්‍රිය ඕපාදූප බවට පත්ව තිබිණි.

රෑ ඉස්කෝල තිබුණේ අදින් කලකට ඉහත ය. පාසල් හා පහසුකම් අඩු කාල වකවානුවක දහවල් පාසලේ ගොඩනැගිලි උපයෝගී කරගෙන තවත් ප්‍රජාවකට අධ්‍යාපනය ලබා දෙන්නට ය. ඒ අර්ථයෙන් එය ඉතා ප්‍රගතිශීලී තත්ත්වයකි.

ඊටත් පසු කලෙක ඇතැම් නගරවල රාත්‍රි ටියුටරි (උපකාරක පන්ති) තිබිණි. රැකියා කරන අයට ඉංගිරිසි ඉගෙනගන්නට එවන් ආයතනවලින් සේවයක් සැලසිනි.

මෑත කාලීන අධ්‍යාපන තරගයත් සමඟ ම අධ්‍යාපනය රාත්‍රි කාලයට යෝජනා වූයේ කේවල පන්ති හා කුඩා කණ්ඩායම් පන්ති තුළිනි. බොහෝ විට නිවෙසක පැවැත්වෙන මෙවන් රාත්‍රි පන්ති සමාජයට එතරම් දැනුනේ නැත. මීට වසර කීපයකට ඉහත ඇතැම් පෞද්ගලික අධ්‍යාපන ආයතන විභාගාසන්න ළමයින් සඳහා (ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ, උසස් පෙළ) රාත්‍රි කාලයේ පන්ති පවත්වන්නට පටන් ගත්තේ ය. රාත්‍රි අටට, අට හමාරට නගරයන්හි බස් නැවතුම්පොළ අසලට ළමුන් එක් රොක් වෙනු දැකිය හැකි විය. අද වන විට රාත්‍රි පන්තිය පාසල් පද්ධතියට කඩා පැන ඇත. බොහෝ පාසල්වල රාත්‍රි පන්ති පැවැත්වේ. ශිෂ්‍යත්වය ආසන්න වෙමින් පවතින මේ දවස්වල කුඩා පාසල්වල පවා පහේ පන්තියේ දරුවන්ට රාත්‍රී පන්ති පැවැත්වෙනු දැකිය හැක. මවුපියෝ පාසල් ගේට්ටුව අසලට රොක් වී පන්තිය ඇරෙන විට සිය දරුවා රැගෙන යන ආකාරය දැකිය හැක්කේ ය. සාමාන්‍ය පෙළ සඳහා ද බොහෝ පාසල්වල රාත්‍රී පන්ති පැවැත්වේ. එක්තරා ගම්බද පාසලක රැයේ පන්තිය පැවැත්වෙන ආකාරයත්, විදුහලේ ගුරුවරුන්ට අමතරව වෙනත් පාසල්වල ගුරුවරුන් පවා පැමිණ උගන්වන ආකාරයත්, මවුපිය ප්‍රජාව පාසලට පැමිණ සාමූහිකව ආහාර පිළියෙල කොට ගුරුවරුන්ගේ හා ළමයින්ගේ ආහාරමය අවශ්‍යතා සකසා දෙන ආකාරයත් රූපවාහිනී නාලිකාවක බොහෝ විචිත්‍රවත්ව විකාශනය වන ආකාරය දිටිමි. ගුරුවරුන් සිය රාජකාරි කාල සීමාවෙන් බැහැරව කරන සේවය එම නාලිකාව බොහෝ අගය කළේ ය. (විවාදයක් නැත. ගෙදර දොරේ කටයුතු යෙදෙන සිය රාත්‍රි කාලය දරුවන්ට ඉගැන්වීම සඳහා යොදවන ගුරු ප්‍රජාව අගය කළ යුතු ය.) බොහෝ පාසල් රාත්‍රී කාලයෙහි මතු නොව උදේ කාලයේ ද වේලාසනින් සිසු සිසුවියන් පාසලට ගෙන්වා උගන්වන අවස්ථා දැකිය හැක. පාසල පෙරවරු 7. 30 ට ආරම්භ වන විට ඊට පැයකට පමණ පෙර පාසලට පැමිණෙන දහය හා එකොළහ ශ්‍රේණිවල දරුවෝ උදෑසන පන්තියට සහභාගී වෙත්. උදය මෙන් ම රැය ද ගුරුවරුන් අතර ඉගැන්වීම සඳහා කාලය වෙන් කොට දී ඇත.

ඉගැන්වීමේ කාලය වැඩි කිරීම ගැන විශේෂයෙන් ම රාත්‍රී පන්තිය ගැන මා හඳුනන ගුරුවරයෙක් මා හා කතා කළේ ය. (ඔහු සිය කාලය ශිෂ්‍යයන් වෙනුවෙන් කැප කරන්නට කැමති ගුරුවරයෙකි.)

“රාත්‍රී පන්තිය නිසා අපේ ඉස්කෝලෙ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වැඩි වුණා. ඇත්තට ම රාත්‍රී පන්තිය සාර්ථකයි.”

ගුරුවරයා කීවේ සතුටිනි. ඇත්ත ප්‍රතිඵල වැඩි ය. ගුරුවරයාටත් සතුටු ය. විදුහල්පතිවරයාටත් සතුටු ය. දිවා රෑ ළමයින්ගේ අධ්‍යාපනය ගැන කැපවෙන මවුපියන්ට ඊටත් වඩා සතුටු ය. (කොහොමින් හෝ සිය දරුවන්ට පාන්දර සිට රාත්‍රිය දක්වා උගන්වන්නේ නම් මවුපියන්ට ඊට වඩා වැඩි සතුටක් නැත.) එහෙත් මෙම සතුට කෙටි කාලීන සතුටක් පමණක් නොවන්නේ ද? අධ්‍යාපනය යනු හුදෙක් පාසලක ප්‍රතිඵල ඉහළ නැංවීම පමණක් ද? අධ්‍යාපනය යනු විභාග දෙපාර්තමේන්තු සහතිකයක ප්‍රතිඵල ඉහළ නැංවීමේ ක්‍රියාවලියකට සීමා වන්නේ ද? සාකල්‍යයෙන් ම සාර්ථක සමාජ පුරවැසියන් බිහි කිරීම අධ්‍යාපනයේ කාර්යභාරය නොවන්නේ ද? තව අතෙකින් උදේ පටන් රෑ වනතුරු හිස ගිනි ගත්තන් එගිනි නිවන ලෙස විෂය කරුණු ඉගැන්වීමේ ක්‍රියාවලිය ළමා මනසට ගෝචර වන්නේ ද?

මෙසේ නොනවතින විෂය කරුණු ඉගැන්වීමේ සටනක නිරත වන රටේ පිරිමි දරුවන් ඉගෙනීමෙන් පසුබැස්මකට ලක්ව ඇති බව නොරහසකි. පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, කළමනාකරණ සේවා, ග්‍රාම නිලධාරි මේ ආදී හැම සේවාවකට ම වැඩි වැඩියෙන් ස්ත්‍රී පක්ෂය ඇතුළු වන ප්‍රවණතාවයක් පවතී. තොරතුරු තාක්ෂණය පිළිබඳ ශාස්ත්‍රපති මට්ටමේ පාඨමාලාවකට පැමිණ සිටියේ එක් පිරිමියෙකු පමණක් බවත්, සෙසු හැත්තෑ ගණනම කාන්තාවන් බවත් මා හා කීවේ පිරිමි පාසලක විදුහල්පතිවරයෙකි. ගුරුවරියන් සඳහා වූ සේවාස්ත සැසියක් අවසන තම බිරින්දෑ කැඳවා ගෙන යාමට පැමිණි සැමියන් අතර බහුතරයක් සිටියේ ත්‍රිරෝද රථ රියැදුරන් බව මා හා කීවේ තවත් අධ්‍යාපනයට සම්බන්ධ නිලධාරියෙකි. (ත්‍රිරෝද රථ රියැදුරු රැකියාව අවතක්සේරු නොකරන බව කරුණාවෙන් සලකන්න.) පවතින පාන්දර සිට රෑ දක්වා නොනවතින යාන්ත්‍රික අධ්‍යාපන රටාව පිරිමි ළමුන් බහුතරයක් අධ්‍යාපනයෙන් හලා දමන්නට දායක වන්නේ ද? පිරිමි දරුවන්ගේ හෝමෝනමය ක්‍රියාකාරීත්වයට මෙම අධ්‍යාපන රටාව ගැළපේ ද? නොගැළපෙන්නේ විය යුතු ය. පිරිමි දරුවෝ අධ්‍යාපනයෙන් මඟ හැරෙත්. ගැහැනු දරුවෝ අධ්‍යාපනයේ ඉඩකඩ අල්ලා ගනිමින් සිටිත්. සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවල මුල් තැන් හිමි කරගන්නෝ ද බහුතරයක් ගැහැනු ළමෝ ය. උදේ පටන් රෑ වනතුරු පන්ති කාමරයක කොටුවී සිටීම යම් තරමකින් ගැහැනු දරුවන්ට දරාගත හැකි වුවත් පිරිමි දරුවන්ට ගැළපෙන්නේ නැත.

රටක අධ්‍යාපනය තීන්දු වන්නේ පාසලක, කලාපයක, පළාතක ප්‍රතිඵල ඉහළ නැංවීමෙන් නොවේ. එසේ කළේ යයි උජාරු ඩිජිටල් පුවරු පාසල ඉදිරිපිට ඔසවා තැබීමෙන් නොවේ. රටක අධ්‍යාපනය යනු පාසල් ප්‍රධානීන්ට ලකුණු රැස් කිරීමට පෙළඹවීම යයි නොගත යුතු ය. මෘදු කුසලතාවලින් හෙබි, චිත්තවේගී බුද්ධිය (EQ) වර්ධනය කරගත්, ගෝලීය පුරවැසිභාවයට සරිලන පුරවැසියෙකු අධ්‍යාපනය තුළින් බිහි විය යුතු ය.

 මහා­නාම දුනු­මාල


නව අදහස දක්වන්න

Or log in with...