ලෙඩෙක් සහ බබෙක් | දිනමිණ

ලෙඩෙක් සහ බබෙක්

නුදුරු දිනක පුන් සඳ මඩලක ප්‍රභාව විහිදුවන බවට ප්‍රතිඥා දෙන අඬ සඳ තරු කැල්මට පවා පරදී. එහෙත් ඒ කෙසඟ සුදුමැලි සඳ පළුව වුව අඳුරු රැයකට අසිරියක් නොවේද...

“යන්නම ඕනද අම්මා?” මගේ දෙවැන්නා හකුලා ගත් දෙනෙතින් අසයි. ඔහු පමණක් නොව සෙසු කොල්ලෝද මා ගෙදරන් එළියට බසිනවාට කැමති නොවන වග මම දනිමි.

“මේක හරි වැඩක්නෙ. මම හැමදාම එළියට යන්නෙත් නෑ ඉඳ හිටලා හරි අත්‍යවශ්‍ය දේකට එළියට බහින කොටත් මේ ගොල්ලන්ගෙ මූණු දික් වෙනවා. මම ප්‍රාණ ඇපකාරියක්ද? මීට වඩා හොඳයිනෙ මම හිරේ විලංගුවේ වැටුණා නම්.

මා කියාගෙන යන්නේ මවාගත් කෝපයෙනි. පිරිමි හය දෙ‍ෙනක් සමඟ අනවරත අරගලයක නිරතව සිටින බව සැබෑ මුත් මම නොකිපෙමි.

“ඕකට ඔච්චර දිග චූර්ණිකාවක් ඕනද? මම ඇහුවෙ කළුවර වැටුණු නිසා.”

මගේ ඉලන්දාරියා වෙනදා මෙන් වාද නොකළේය‍‍.

“මේ ගෙදරින් එළියට යන්න බෑනෙ ලේසියෙන්. ඕගොල්ලන්ගෙ වැඩ කරලම තමා හොඳටම හවස් වුණේ. අද නම් මහ රෑ හරි මම යන එක යනවමයි. ඔයාට මාව එක්ක යන්න බැරිනම් මම තනියම හරි යනවා. ඔය කිලෝමීටර් එකහමාර මහ දුරක්යැ. ඉස්සර කිරි අම්මයි මායි බුල්නෑවෙ යන්නෙ චිත්‍රපට බලන්න කිලෝමීටර් හය හතක් දුර‍.........

සරදම් සිනාවක් මුවඟ නංවා ගන්නා ඉලන්දාරියා “කිරි අත්තට මේච්චල් කරන්න බැරිම හින්දා වෙන්නැති අපේ තාත්තගෙ ඇ‍‍ඟේ ගැහුවෙ. පව් අප්පා අපේ තාත්තා. කොහොම ඉන්නවද මංදා මෙච්චර කල් මේ වගේ මුරණ්ඩු හිතුවක්කාර ගෑනියෙක් එක්ක. පට්ට දුකයි මට... පව් අහිංසකයා.‍

මා යතුරු පැදියට නැංගේ මහ හඬින් හිනැහෙමිනි.

“දැං කාව බලන්ඩද ඔය යන්නේ?”

යතුරු පැදිය පණ ගන්වන්නට පෙර පොඩි පුතා බැරෑරුම් හඬින් අසයි.‍

“මගේ ලොකු නැන්දව. එයා මගේ තාත්තාගේ ලොකු නංගි. ඔය ගොල්ලන්ගෙ කිරි අත්තගෙ නංගි හින්දා ඔය ගොල්ලන්ගෙත් කිරි අම්මා වැටිලා කකුලක් කඩාගෙන මම යන්නම ඕන එයාව බලන්න.

“අනේ මංදා අම්මා මොකටද ඔය හැටි කරදර වෙන්නෙ” අම්මගෙ වැඩේම අනුන් හින්ද කරදර වෙන එක.... කවුරුවත් නැත්තං කූඹියෙක් වෙනුවෙන් හරි අම්මා කරදර වෙයි. මොනවා වෙලාද මංදා”

කොල්ලා මැසිවිලි නඟන්නේ මා අවුස්සාගන්නා අටියෙනි.

“ඔය යකඩ අස්සයා ස්ටාර්ට් කරගන්නවා. එහෙම නැත්තං මං බැහැලා පයිං යනවා. ඔයා දන්නවනෙ මම කළුවරේ තනියම යන්න බය නෑ කියලා.”

“යයි... යයි අඩි දෙකක් යන්න කලිං සිහි නැති වෙලා වැටෙයි. මා හෙළා දකිමින් ඔහු යතුරු පැදිය පණ ගන්වා ගත්තේය.

“මම ඔය හොල්මන්, අවතාර විශ්වාස කරන්නෙ නෑනෙ පොඩී බය වෙනවා නම් බය වෙන්න ඕන ජීවත් වෙන මිනිස්සුන්ට විතරයි. මැරිච්චි අයට මොන එකකටද බයවෙන්න” මැරෙනවා කියන්නෙ ඉවරෙටම ඉවරයි. ආයෙ මුකුත්ම නෑ. පෙරේතයොත් නෑ. හොල්මන් අවතාරත් නෑ.”

“එහෙම කියන්න එපා අම්මා. මරණයෙන් කෙළවර වෙන්නෑ හැමදේම.”

“මිනිස්සු කැමති නෑ පිළිගන්න ‍මේ වගේ විචිත්‍රවත් ජීවිතයක් කෙටි කාලයකින් ඉවර වෙනවා කියලා. ඒ හින්දනෙ ඔය පුනර්භවය විස්වාස කරන්න කැමති.

අපේ වාද විවාද ජය පරාජයකින් තොරව හමාර කරන්නට සිදු වූයේ ගමනාන්තයට ළඟා වූ බැවිනි.

හදිසියේ ඇද වැටීමෙන් පයක් හා උකුළු ඇටයක් බිඳීමෙන් ඔත්පව සොයුරිය කැටිව විත් වෙනදා ප්‍රතිකාර ලබා දී වෙහෙසුණු චූටි නැන්දම්මාට ස්තූතිවන්ත වන්නට ලොකු නැන්දම්මා බොහෝ දුරට සුවය ලබා සිටියාය.

මා දුටු සැණින් රෝගියා හඬා වැටුණෙන් මම සිනාමුසුව තරවටු කළෙමි.

“ඔන්න ඔන්න අඬන්නට බෑ. අඬන්නෙ පුංචි බබාලනෙ.”

පුංචි බබෙක්ද සමීපයෙහි දඟලමින් සිටියාය. ජීවනී නංගිගේ කුඩා දියණිය නටන්නට ගයන්නටද පටන් ගත්තෙන් ලොකු නැන්දම්මා කඳුළින් තෙමුණු දෙඇසින්ම හිනැහුණාය..

“හා මල්ලිලා... අත්දෙක උස්සලා අප්පුඩියක් ගහන්න.”

පුංචි කෙල්ල සිය ගැයුමද රැඟුමද නවතා ඉල්ලා සිටි කල පළමුව මම මවිතයට පත් වීමි. දෙවනුව චූටි නැන්දම්මලා සමඟ එක්ව සිනාසුණෙමි. එහෙත් සියුම් ශෝකයකින් මහද රිදුම් දුන්නේය. අතිවිශිෂ්ට අනාගත පරපුරක් අපේක්ෂාවෙන් හොඳම දේ දරුවන්ට යැයි අපි පුන පුනා පවසමු. එහෙත් සැබැවින්ම එය එසේමද? අපි අපේ දරුවන්ට නරකම දේ තිළිණ කරන්නෙමු. දරුවන්ට අරුත්බර හා මධුර ගීයක් ශ්‍රවණය කිරීමේ ඉඩ ප්‍රස්ථා අහුරන වැඩිහිටියෝ සියලු නොපනත්කම් කරමින් යහපත් දරුවන් තනන්නට වෙහෙසෙති. රට වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා පාර්ලිමේන්තුව තුළ පවා දරුවෙකුට ආදර්ශයක් ගත හැකි රටට සැබෑ ආදරයක් දක්වන පරිණත දේශපාලනඥයන් කීප දෙනෙකු හෝ සොයා ගැනීම නිකිණි සොයන්නාක් තරමට දුෂ්කර නොවේද?

ජනප්‍රිය සංගීතය හෝ විනෝදාස්වාදය හෙළා දැකිය යුතු නැත. එහෙත් දරුවන්ගේ කෙමෙන් වැඩෙන මනස සමඟ කටයුතු කළ යුත්තේ කොතරම් ප්‍රවේසම් සහගතවදැයි වැඩිහිටියෝ නැවත නැවතත් කල්පනා කළ යුතුය.

ශාන්ති දිසා­නා­යක


නව අදහස දක්වන්න

Or log in with...