සිනමා පෙම් ගී ත්‍රිත්ව­යක මිහිරි මතක | දිනමිණ

සිනමා පෙම් ගී ත්‍රිත්ව­යක මිහිරි මතක

සය වන රාජ්‍ය සංගීත සම්මාන උළෙල පසුගිය දා නෙළුම් පොකුණ රඟහලේ දී නිමා වනු බලා සිටියේ දුකකිනි. රාජ්‍ය සම්මාන උළෙලක පෙර දා දුටු ගාම්භීරත්වය, උණුසුම, මනමෝහනීය බව දකින්නට නොලැබීම දුකට හේතු වී දැයි සිතමින් සිටිමි. සංගීතය, ගායනය පිරී'තිරී තිබිය යුතු සංගීත සම්මාන උළෙලක අඩුවෙන්ම ඇසුණේ සංගීතය ද කියා කල්පනා වූයේ කිමදැයි නොදනිමි. ඇන්තනි සුරේන්ද්‍ර ගේ සංගීතමය වියලනය (Fusion) හෝ නොවී නම්, සම්මාන උළෙල තවත් එක් නිද්‍රාශීලී සම්මාන උලෙලක් ලෙසින් නිමාවන්නට ඉඩ තිබිණ. කෙසේ වූවත් සංගීත ක්ෂේත්‍රයේ හපනුන් සම්මානයෙන් ඇගැයීම අගනා, වටිනා,මෙහෙවරක් ලෙස දකිමි.

එලෙසම ප්‍රේක්ෂාගාරය අමතමින්, රාජ්‍ය සංගීත උපදේශක මණ්ඩලයේ සභාපති සමන්ත පෙරේරා විසින්, අද දවසේ ගීතය පත්ව ඇති දුක්ඛදායක තත්ත්වයෙන් මුදා ගනු වස් රජයේ මැදිහත් වීම අවශ්‍ය යැයි කළ යෝජනාවද කාලීන යෝජනාවක් ලෙස දකිමි. මිහිරක් නොවිඳි සංගීත සම්මාන උළෙල පිළිබඳ තව දුරටත් කතා කරනු වෙනුවට මිහිරින් පිරි ගීතයක් දෙකක් හෝ ගී කිහිපයක මතක ස්මරණ අතරට යා යුතු යැයි සිතුණේ එදවස සොඳුරු වූ මිහිරි චිත්‍රපට ප්‍රේම ගීත කිහිපයක්, යුග ගායනා කිහිපයක් මතකයට ආ බැවිනි.

චිත්‍රපට ප්‍රේම ගීත, විශේෂයෙන් යුග ගීත ඉතිහාසයට ගමන් කරන මොහොතක අපගේ සිනමාවේ ආරම්භක දශක කිහිපයේ ඇසුණු, දකින්නට ලැබුණු යුග ගායනා සහිත ජවනිකා චිත්‍රපටයට කිනම් ආලෝකයක් එක් කළා දැයි නොදනිමි. අර්ථ රසයෙන් හීන ගේය පද සංකල්පනා අපට සිහි ගන්වන්නේ කොළඹ යුගයේ ඇතැම් කවීන්ගේ බොළඳ රොමෑන්තික කවි සංකල්පනා කියාත් සිතේ.

ශාන්ත වේ ප්‍රේමේ ප්‍රේම ගං තීරේ

මාල ගිරා ගයනා පෙම් ගී නාදේ - පාවේ ගං ඉවුරේ

ස්වර්ග සැපා දේ ශ්‍රියාලතා මා සුරංගනා දෝණී

ඒ සුර විමනේ අනංගරාජා ඔබයි මගේ ස්වාමී

වැරදුණු කුරුමානමෙන් කැලෑහඳට ආ පසු ඇසුණු ප්‍රේම යුග ගායනාවක් මෙසේය.

අන්න සුදෝ අර පාට වලා

සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ

නැළවේවී ආදර සුළඟ වැදී

යස ඕලු පිපීලා නීල ජලේ

පෙම් ගී ගයනා පෙම්වතුන් පෙම්වතියන් ගේ සංවාද , ඔවුනොවුන් ආදරය වෙනුවෙන් කරන කියන දෑ සැබෑ ලෝකයක නම් කිසිදා සිදු නොවන විස්මිත සිදුවීම්ය. පෙම්වතා මුහුදේ පතුලට ගොස් කිමිදී මුතු කැට සොයාගෙන අහසේ තරු සමඟ මාලයක් තනා දෙන බව කියනු ඇසේ. පෙම්වතා පෙම්වතියගේ හදවත ගලවා දෙන්නැයි කිව හොත් එය දෙන බව ඈ පවසයි. ඔහු ඇගේ ඉන වටා ඔතන්නේ සුදු වලාකුළකි. මේ පෙම්වතා හා පෙම්වතිය හමුවන්නේ පෙරකදෝරු බෑනා චිත්‍රපටයේය.

මුහුදේ පතුලේ කිමිදී මුතු කැට ගෙන එමි සොඳුරී

අහසේ තරු හා බඳිමී හොඳ මාලයකට ගොතමී

මා හද ගලවාලා ඉල්ලන්නෙහි ඔබ -ඔව්- එය පලා දෙමී

සුදු වලාකුළක් ඇද ඔබේ සිඟිති ඉන වටා ජයට ඔතමී

සිහිනෙන්වත් මා හැරදා නොයන්න රංකඳ මගේ සුදා

හැටේ දශකයේ සිංහල සිනමාවේ ප්‍රේම යුග ගායනා වෙනස් මගකට පිවිසෙන්නේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ ගේය පද සංකල්පනා සමඟය. දෛවයෝගය චිත්‍රපටයේ හද ගිලෙයි අම මිහිරේ යුග ගායනය එදවස අපට අසුණු අපූරු ප්‍රේම යුග ගායනාවකි.

හද ගිලෙයි අම මිහිරේ - පෙම් සුවෙ රස ඉතිරේ

මල් පැණි මදිරා - මී පැණි ගංගා

පෙම් සයුරට මුසු වේ

වන බඹරු නොදත් නොසිපී - සමනලුන් දුටුව අසිරී

රොන් රස විහිදේ-පෙම් ලිය ගොමුවේ

පොබයා මල් සිනහා - පොබයා මල් සිනහා

රන්මුතු දූව චිත්‍රපටයට මානවසිංහ රචනා කළ පෙම් යුග ගීතය එදා මෙදාතුර පරම්පරා ගණනාවක් රස විඳින ගීතයක් බවට පත් වී ඇත්තේ, ගේය පද සංකල්පනාව, නන්දා මාලිනී හා නාරද දිසාසේකරගේ මිහිරි ගායනය, අමරදේවගේ සංගීතය හා චිත්‍රපට ජවනිකාවේ සිටි ගාමිණී ෆොන්සේකා හා ජීවරාණී කුරුකුලසූරියගේ රංගනය ද සුසංයෝග වීමෙනි.

ගලන ගඟකි ජීවිතේ

දයාලූ ලෝකයේ

මිහිර පතා ආදරේ

ළපලු නටයි ගංතෙරේ

අදට වැඩිය හෙට හොඳයි චිත්‍රපටයට කරුණාරත්න අබේසේකර රචනා කළ සඳුන් ගසේ සමන් වැලක් යුග ගායනය මතකයේ රැඳුණු අරුත්බර පෙම් යුග ගීයකි.

සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ

නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ

සැලී ලෙලී දෙගොඩ තලා

ගඟක් ගලයි සයුර බලා

මූදට හා වී

ගඟ හාදු පුදාවී

සිහින හතක් චිත්‍රපටයේ යුග ගායනා ද සිනමා ප්‍රේම ගීතයේ අපූරු මතක වේ. නිහාල් ඒ.ජයසිංහ ගේ සංකල්පනා චිත්‍රපටයේ රූපාවලිය හා මනාව සුසංයෝගී වූ ගී පද සංයෝජනයකි.

සුපුන් සඳක් නැගීලා කිරි බැබළෙන පාරුවේ

රිදී ගඟක් ගලාලා පළිඟු පුලින තලාවේ

ආදර දියඹ යටයි මිණි මුතු දිලෙන්නේ

ගී රස තාලයටයි පෙම් රළ නඟන්නේ

එච්. ඩී ප්‍රේමරත්නගේ අපේක්ෂා චිත්‍රපටය , විජය ධර්මශ්‍රීගේ දුහුළු මලක් හා ආරධනා චිත්‍රපට අපූරු පෙම් යුග ගායනා රැගත් මෑත කාලීන මතක වේ. මේ ගී ත්‍රිත්වයම, ගායනය, ගේය පද රචනය, සංගීතය හා පෙම් යුවළ ලෙස රඟ පෑ නළු නිළියන්ගේ රංගනය අපූරුවට සංකලනය වූ සුන්දර මතක පිරි නිර්මාණ ත්‍රයක් ලෙස දකිමි.

සොඳුරු ලොවට මල් වැහැලා

තවුතිසාවෙ හද මැවිලා

හැඟුම් පහන් තාරකා පෙමට පායලා

රෝස මලට හිත වැටිලා

බඹරෙකු සේ මා සොයලා

ඈත ඉඳන් ආවදෝ ඔබ පියඹාලා

මා ආදරෙයි පායන් හදේ

ගුණ සුවඳට මත් වෙනවා

හද මල් උයනක් වෙනවා

සිත උතුරා ගලන පැයේ ඔබ ළං වෙනවා...

ක්ලැරන්ස් විජේවර්ධනගේ මධුර තනුව හා සංගීතයට, එච්. ආර්. ජෝතිපාල සමඟ සුජාතා අත්තනායක යුග ගායනාවට රූ මවන්නී ගීතා කුමාරසිංහයි. පෙම්වතා ගේ භූමිකාවට පිවිසුණු තරුණයා වූයේ වෙනස්ම චරිතයක ජීවත් වූ රොබින් ප්‍රනාන්දු ය. රූප රාමුවෙන් රාමුවට විවිධ ඇඳුමින් සැරසී වරෙක දෙතොලට දෙතොල තබා මුව මී බොමින් ගීතා පෑ රංගන චමත්කාරය සුන්දර මතකයකි. අගේ කෙළිලොල් යෞවනයේ, ළාබාල යුවතියකගේ දඟකාර ප්‍රේමාන්විත අභිනය මතු කළ ආදර ආයාචනය හමුවේ කුමන පෙම්වතෙක් වුව අසරණ වන බව නොකිවමනාය. එහෙත් රොබින්ගේ සුපුරුදු සටන් භූමිකාවෙන් බැහැර වූ ප්‍රේමවන්තයාගේ චරිතයෙහි ප්‍රතික්‍රියා අඩුවකින් තොරව ගායනය සමඟ මුසු වූ බව සිහි වේ. ජෝතිපාලගේ හඬටම ගැළපුණු සුජාතාගේ මිහිරි ගායනය ද අප අතීතයට ගෙන යනු දැනේ. සොඳුරු ලොවට මල් වැහලා ගේයපද සංකල්පනාවෙහි අයිතිකරුවා වූයේ චිත්‍රපට ගී රැසක් රචනා කොට සිටි ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකු වූ ජෝර්ජ් ලෙස්ලි රණසිංහයි. නන්දා මාලිනී ගැයූ හැඟුම් විසිර දස අතේ, වික්ටර් රත්නායක ගායනා කළ ලස්සන තාලෙට තිස්සෙම ගැස්සෙන යන විට ගමන අගේ, හා තවත් එවැනිම චිත්‍රපට ගේය පද රසක් රචනා කල නිර්මාණකරුවා ඔහුම වන්නේය.

අද සිනමාවේ ප්‍රවීණතම හා ජ්‍යෙෂ්ඨතම රංගධරයා සේ සැලකෙන රවීන්ද්‍ර රන්දෙණිය 70 දශකයේ සුකුමාර නව යෞවන ප්‍රේමවන්තයාගේ භූමිකාවෙහි සොඳුරුතම මතකය අප වෙත රඳවන්නේ විජය ධර්ම ශ්‍රී ගේ දුහුළු මලක් චිත්‍රපටයේ අසම්මත ප්‍රේමයකට මැදි වූ පෙම්වතා ලෙසය. පෙම්වතිය වී යුග ගායානාවෙහි රවීන්ද්‍ර හා රඟන්නී නීටා ප්‍රනාන්දු නම් වූ සිංහල සිනමාවෙහි තම අනන්‍ය රංගන ප්‍රතිභාවක් ප්‍රකට කොට සිටින්නියයි. සුන්දර තවලම්තැන්න දර්ශන තලයක, කඳු මුදුනක වූ විහාරයක් වැඳ පුදා ඉන් අනතුරුව, ඔවුන්ගේ නෙතට හසුවන මීදුම දැවැටුණු කඳු වළල්ලෙහි සුන්දරත්වයෙන් ඔද වැඩී ගැයූ යුග ගායනාවයි.

බොඳ මීදුම් කඳු රැල්ලේ සුරංගනා රජ දහනේ

ඔබේ සිනා කඳුළු බිඳක් හෙටත් වාසනා

හෙටත් වාසනාවන්

සිහින නදී රළරැල්ලේ

පතුම් රුවල් රන් ඔරුවේ

ඔබේ නිමල නිද්‍රා ගී මටත් වාසනා

මටත් වාසනා

 

මාල හතක් පලඳන්නට

හීන හතක් එළි වන්නට

දොළොස්මහේ පහන් එළිය මටත් වාසනා

මටත් වාසනාවන්

මවක ද බිරියක ද වූ පෙම්වතිය ඈඑ සිත හොරාගත් යෞවන පෙම්වතා සමඟ ඔවුනටම වෙන් වූ සොඳුරු ලොවක ආස්වාදය විඳ ගනු අපට දැනෙන්නේ ගේය පද රචක අජන්තා රනසිංහගේ ගීතවත් හා අර්ථවත් වචන සාතු වූ සංකල්ප රූප මහිමයෙනි.

අපට ඇරුණු හුදකලාව හෙටත් වාසනා

හෙටත් වාසනා

සුජාතා අත්තනායක , අබේවර්ධන බාලසූරිය හඬ මුසුව නීටාගේත් රවීන්ද්‍රගේත් සමීප රූප සමඟ මුසු කොට විජය ධර්ම ශ්‍රී තිරයෙහි මවන්නේ චමත්කාරජනක, ආදරය උතුරා ගිය මොහොතකි. විහාරයේ ඝණ්ඨා හඬ සමඟ මුසු වූ සරත් දසනායකගේ මධුර සංගීත නිර්මාණය රූපයේ හා ගීතයේ අපූරු කලාත්මක සුසංයෝගයකි. සීත අරණ සැබෑ චිත්‍රපට ගීතයක හැඩතලවලින් පිරිපුන්ය.

සිංහල සිනමාවෙහි අමරණීය පෙම් යුග ගායනා අතර ඉහළම ස්ථානයක වැජඹෙන සොඳුරුතම පෙම් යුග ගායනාව ද විජය ධර්ම ශ්‍රී ගේම සිනමා සිත්තමක වීම අහඹු සිදුවීමක් ලෙස පෙනේ. 80 දශකයේ තිරගත වූ ආරාධනා චිත්‍රපටයේ යුග ගායනෙහි ද පෙම්වතා වන්නේ රවීන්ද්‍ර රන්දෙණිය වීම ද අහඹු සිදුවීමක් ද නොවේ නම් ඒ යුගයේ පෙම්වතාගේ චරිතය සඳහා ආකර්ෂණීයම නළුවා රවීන්ද්‍ර වීමද? කුලරත්න ආරියවංශගේ ගේය පද ඉතිහාසයෙහි විශිෂ්ටතම ගීතය ආරාධනාහි සීත අරණේ සුපුල් නාමල බවට තර්ක විතර්ක අවශ්‍ය නොවේ. එය කුලරත්න ආරියවංශගේ ගී සංකල්පනා අතර මතු නොව, සීත අරණේ සිංහල චිත්‍රපට ප්‍රේම ගිතාවලියෙහි ද විශිෂ්ටතම යුග ගායනය බවයි මගේ හැඟීම. මිල්ටන් මල්ලවාරච්චිගේ හා මාලිනී බුලත්සිංහලගේ ගායනාවට උචිතම ගී තනුව හා සංගීතය නිර්මාණය කරන රෝහණ ඔහු අත පත් වූ ගේය පද රචනාවෙහි අරුත මෙන්ම තිරය මත එහි අරුත රංගනයෙන් ප්‍රතිනිර්මාණය කරනු ලබන්නා වූ පෙම්වතියගේ හා පෙම්වතාගේ රුව මෙන්ම ඔවුන්ගේ ආදර ලෝකයෙහි සුන්දරත්වය ද චමත්කාරය ද ශ්‍රාවක සවන ද ප්‍රේක්ෂක නෙත ද සැණින් පැහැර ගන්නා ලෙසින් උචිත තනුව හා සංගීතය නිර්මාණය කරන්නේ සවන හා හා නෙත වසඟයට ගනු ලබන පරිද්දෙනි. කුලරත්නගේ ගේය සංකල්පනාව පුරා ඇත්තේ පෙම්වතෙකුගේ හා පෙම්වතියකගේ ආදරයක අපේක්ෂා නොවේද? පෙම්වතිය ඔහුගේ රැකවරණය පතන්නීය. ඔහු ඈ හදවතින් වැළඳ ගන්නේ මලක් දෝතින් ගන්නා ලෙසය. ඈ ඔහු සියොළඟ වෙලී රැකවරණය පතන්නී ලතාවක් ගසක එතෙන පරිද්දෙනි.

ලතාවක් සේ වෙළී සියොලඟ

පතමි රැකවරණය ඔබෙන්

සදා දෝතින් මලක් සේ ඔබ

වැළඳ ගන්නෙමි හදවතින්

ඈ අයාලේ ගිය වලාවක් වැන්න. ඔහු මහා කතරෙක එකලාව ගමන් ගත්තෙකි.ඔවුන් දෙදෙනාගේම ජීවිත ඉමක් සොයා පැමිණ ඇත. මාලිනී ෆොන්සේකා ප්‍රකාශිත ආදරය ඇගේ මුහුණෙහි ඇඳේ. රවීන්ද්‍ර ගේ ප්‍රතිචාරය ඊට නොදෙවෙනිය. පරිසරයේ සුන්දරත්වය ඔවුන් දෙදෙනාගේ ආදරයට ආශීර්වාද කරනු වැන්න. මිල්ටන් මල්ලවාරච්චි හා මාලිනී බුලත්සිංහල ගේ පසුබිම් ගායනය රවීන්ද්‍රගේ හා මාලිනී ගේ ආදර ලෝකයෙහි වර්ණය විචිත්‍රවත් කරයි.

සීත හිමගිර සීත නොදැනේ

දැනේ උණුසුම ආදරේ

සීත හිමගිරක සීතල නොදැනෙන්නේ ඇගේ උණුසුම ආදරය නිසා බව විශිෂ්ට ගීත රචකයෙකුට හෝ කවියෙකුට හැර අන් කවුරුන්ට වැටහෙන්නක්ද?

සිංහල චිත්‍රපට ප්‍රේම යුග ගායනා අතර මගේ ඉහත තෝරා ගැනීම් සොඳුරු මතක ලොවට මා රැගෙන යන නිර්මාණයි. පාඨක ඔබගේ තෝරාගැනීම් වෙනස් විය හැකි බව ද පිළි ගනිමි. එහෙත් නිසැකවම මෙ ගී අතර එකක් හෝ ඔබේ තේරීමක් වනු ඇත.

බුද්ධ­දාස ගල­ප්පත්ති


නව අදහස දක්වන්න

Or log in with...