යුද සාහි­ත්‍යයේ තවත් පැති­ක­ඩක් | දිනමිණ

යුද සාහි­ත්‍යයේ තවත් පැති­ක­ඩක්

පහුණු සතියෙ විශ්වමඩු සිටිල් ආරක්ෂක කඳවුරේ හිටපු කර්නල් රත්නප්‍රිය ගැන ලියපු ලිපියට ප්‍රතිචාර රැසක් ලැබුණා. හමුදා සේවයට එක් වුණත් ව්‍යාජ රණවිරු ලේබලය අලවා ගන්න උත්සහ නොකරපු ඒ මානවහිතවාදියා වෙනුවෙන් මල් මිටක් පිරිනමන්නයි ගිය සතියේ සටහන ලියවුණේ. මේ සතියෙත් ඊට සමාන චරිතයක් ගැන සටහනක් ලියන්න අවස්ථාව ලැබී තියෙනවා. මේ චරිතයත් උතුරේ අවසන් මෙහෙයුම සමයේ හමුදාවට සම්බන්ධව සිටි කෙනෙක්. ඒත් ඔහු යුද පෙරමුණේ ආයුධවලින් සටන් කළ කෙනෙක් නෙමේ. ඔහු යුද පෙරමුණේ සේවය කළේ වෛද්‍යවරයකු හැටියටයි. ඇත්තටම කියනවා නම් මේ තරුණයා යුද පෙරමුණට එක්වන්නේ වෛද්‍ය ශිෂ්‍යයකුව සිටියදීයි.

දේශප්‍රේමය හා ජාත්‍යාලය වැනි හැඟීම්වලින් ඇවිලී ගිය හදවතකින් යුතුව යුද පෙරමුණට එක් වුණත් යුද පෙරමුණේ සේවය කළ වසර කිහිපය පුරාම ඔහු ඉටු කරන්නේ සැබෑ වෛද්‍යවරයකුගේ භූමිකාවයි. තමා හමුවට රැගෙන එන රෝගියා කවර ජාතියකට හෝ කවර සටන් පෙරමුණකට අයත්ද කියන කාරණය මේ තරුණයාට වැදගත් වන්නේ නැහැ. අන්න ඒ කාරණය මනා ලෙස පෙන්නුම් කරන පොතක් ඔහු අතින් ලියවී තියෙනවා. ‘යුදබිමක වෙද මහිම’නම් ඒ පොතත් එහි කතුවරයා වන පැතුම් කර්නර් නමැති මේ තරුණ වෛද්‍යවරයාත් ගැන මෙවර බද්දරමල්ලට සටහනක් තබන්නයි සූදානම.

පැතුම් මේ පොතේ සඳහන් කරන විදිහට ඔහුට යුද හමුදාවට බැඳී රටට සේවයක් කිරීමේ හැඟීම පහළ වෙන්නේ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ කවියක බලපෑම හේතුවෙන්. උසස් පෙළ සමත් වීමෙන් පස්සෙ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ ඉල්ලීමකට අනුව දහම් පාසලේ උගන්වන්නට යන පැතුම් සිය හිතේ කාවැදී තිබුණු මේ කවිය දරුවන්ටත් කියා දෙනවා.

”තමන් ලැබූ දිවි පෙවෙතේ

කොටසක් රට සමය වෙතේ

පුද නොකොළොත් නුඹෙන් පුතේ

මෙලොවට කිසි පලක් නැතේ”

යොවුන් වියේ හදේ රැව්දුන් දේශප්‍රේමී සිතුවිලි හමුදා සේවයට එක් වීම සඳහා උත්තේජනයක් ඇති කළ අවස්ථාව පැතුම් සිය පොතේ විස්තර කරන්නේ මේ අයුරෙන්. ”අප වසර 05ක් වෛද්‍ය පීඨයේ ගත කර යන්තම් අවසන් වසරට පා තබා තිබුණේය. පත්තරය පීරා යුද තොරතුරු කියවන අතරතුර පිටු භාගයක් පුරා තිබූ යුද හමුදාවේ දැන්වීමක් නෙත ගැටුණේය. ”අවසන් වසර වෛද්‍ය ශිෂ්‍යයන් බඳවා ගන්නවා.” මගේ සතුට ඉහවහ ගියේය. ඇස් ගෙඩි දෙක එළියට පැන්නේය. වචන පැටළුණේය. ඇඟ පුරා දාඩි දැම්මේය. අවස්ථාව උදා වී ඇත. ඔව් මවුබිම මා ආමන්ත්‍රණය කරයි. ”කොටසක් නෙමේ හාමුදුරුවනේ දෙන්නම් සම්පූර්ණයෙන්ම.”එස්. මහින්ද හිමියන් සිහියට නැඟුණේ නිරායාසයෙනි.”

මෙතැන් පටන් ඇරඹෙන්නේ යුද පෙරමුණේ දී තරුණ වෛද්‍යවරයා මුහුණ පෑ අත්දැකීම් පාඨකයා හමුවේ හැකිතරම් අව්‍යාජ අයුරෙන් හා නිර්මාණශීලී ලෙස ඉදිරිපත් කිරීමයි. අනු පිළිවෙළින් සිද්ධි මාලාවක් පෙළ ගස්වන වාර්තාකාරී රටාවෙන් මි දී ප්‍රබන්ධයක කුතුහලය හා අපූර්වත්වය ඉස්මතු වන ආකාරයට මේ පොත රචනා කිරීමට ලේඛකයා දරා ඇති උත්සහයද අගය කළ යුතුයි.

මාධ්‍යයෙන් වගේම අවට පරිසරයෙනුත් ඇති වන පෙළැඹවීම ඔස්සේ සටන් පෙරමුණට එක් වුණත් වැඩි කල් ගත වීමට පෙර පැතුම් තරුණයාට යුද්ධයේ යථාර්ථය තේරුම් යනවා. ඔහුගේ හැඟීම්බර හදවත බුද්ධියේ කෙවිටෙන් පාලනය වෙන්න පටන් ගන්නවා. සතුරු කඳවුරු දෙකකට බෙ දී එකිනෙකා මරා ගන්නේ එකම රටක එකම පන්තියක මිනිසුන් නොවේද කියන පැනය පැතුම්ගේ හෘදය සාක්ෂියට දැනෙන්න පටන් ගන්නවා. කොටි දෙන්නෙක් අල්ලා ගත්තා කියන පණිවිඩය ලැබී ජීවමාන කොටි දැකගන්නට පුල පුලා බලා සිටින තරුණ වෛද්‍යවරයා හමුවට අවසානයේ රැගෙන එන්නේ අවුරුදු 70ක පමණ මහල්ලෙක් හා අවුරුදු 60ක පමණ පුද්ගලයකුගේ මළ කඳක්. ඒ දුටු පැතුම් තබන සංවේදි සටහන බලන්න.

”එදෙස බලා හුන් අයගේ දෙනෙතේ විමතියකි. ඒ ඇස් යදමින් බැඳි යටත් කරගත් භයානක කොටියකුගේ පැමිණීම අපේක්ෂාවෙනි. එහෙත් මේ දකින්නේ වෙනස් වූ යමකි . ට්‍රැක්ටරය වඩාත්

ළං වූයෙන් එහි සිටින්නේ දිරා යන මහල්ලකු බව කාටත් වැටහුණේය. කොටි බලන උද්යෝගය කෙමෙන් අනුකම්පාවට හැරි ගියේ මගේ පමණක් නොවීය. ට්‍රැක්ටරය කෙමෙන් අවුත් මිදුලේ නතර කෙරිණ.

හිඳගෙන සිටි පුද්ගලයා වයස 70ක පමණ දිරා ගිය මහ්ලෙකි. ඔහු ඉතා කෙසඟ වූයෙන් ඇට මතු වී තිබිණ. ඉරී ගිය හපුටු වූ සරමක් පමණක් ඇඳ සිටි ඔහුගේ දනිස් ඉදිමී ඇත. කකුල් වැහැරී ගොස්ය. ඔහුට ඇවිදීමට නොහැකිය. දනිස්සේ වූ ආතරයිටිස් තත්ත්වයක් නිසා ඇවිදීමට නොහැකිව එක්තැන් වී සිටීම හේතුවෙන් නිවසේ තනිකර මොහුව දමා යන්නට ඇත.

අනෙක් පුද්ගලයා මිය ගොස්ය. වයස 50ක 60ක පෙනුමක් ඇති ඔහු නිරෝගී ශරීරයකින් යුක්ත වූයේය. ට්‍රැක්ටරයේ පැමිණි සෙබළා මාගේ කුතුහලය බිඳිමින් සිදු වූ දේ පැහැදුවේය.

”සර් අපි ඉස්සරහට ක්ලියර් කරන් යනකොට මේ දෙන්නා ගේක හිටියේ. මේ මැරිච්ච කෙනාට ඇවිදින්න පුළුවන්. එයා දුවල ගිහින් ළිඳට පැන්නා. අපි ගොඩ ගන්නකොට මැරිලා. මේ සීයා ගෙදර හිටියේ. ඇවිදගන්න බෑ. හැබැයි එයා ළඟ ග්‍රෙනේඩ් (අත් බෝම්බ) කීපයක් තිබ්බා. ඒත් අපිට ගැහැව්වෙ නෑ.”

පැතුම් කර්නර් නමැති මේ වෛද්‍ය ලේඛකයාගේ ”යුද බිමක වෙද මතක”පොතින් උපුටා ගත් ඉහත වැකි ටික කියවගෙන යද්දි මගේ මතකය එක පාරටම දිව ගියේ ”සුදාරාජ් රාංජසිංහම්”කියන සම්මානනීය ලේඛකයාගෙ ”කාට දොස් පවරමුද” නම් කෙටි කතා එකතුව දෙසට. ඒ සංග්‍රහයේ එනමින්ම එන කෙටි කතාවකට පාදක වී තිබෙන්නෙත් මේ වගේම කතා පුවතක්. ගුවන් හමුදාව එල්ල කරන ෂෙල් ප්‍රහාරයකට බියෙන් ගම්මානයක ජනයා පලා යනවා. එක් ගෙදරක සිටින මහලු පියා දරුවන්ට කියනවා තමා නිසා දරුවන්ගේ තරුණ හා ළමා ජීවිත අනතුරේ දාගන්නෙ නැතුව ඇඳ ළඟ වතුර කළ ගෙඩියක් පමණක් තබා වහා නිවසින් පිටවන්න කියා. එසේ පලා යන ඔවුන්ට ආපසු එන්න ලැබෙන්නේ දවස් ගණනකට පසුවයි. එවිට ඔවුන්ට දකින්න ලැබෙන්නෙ පෙරළී ගිය කළ ගෙඩිය හා පිපාසය නිවාගත නොහැකිව වතුර බිඳක් සොයා ගොස් ළිඳට වැටුණු වියපත් මිනිසාගේ මළ සිරුරයි. යුද්ධයේ නොමිනිස් බව කියන්න මීටත් වඩා සාක්ෂි අවශ්‍යයද?

පැතුම් කර්නර් තරුණ වෛද්‍යවරයාගේ කුළුඳුල් පොත් පිංච ගැන ලියූ මේ සටහන නිමා කරන්න කලින් මෙහි ඇතුළත්ව නොතිබුණා නම් හොඳය කියා මට හිතුණු කරුණු කීපයක් පෙන්වා දීමත් යුතුකමක්ය කියා හිතෙනවා. මොකද ලේඛන කලාවේ දී ලේඛකයාගේ සමාජ දැක්මද ඉතා වැදගත් නිසා. ”දේශප්‍රේමය එන්නත් කරනු පිණිස”යන වාක්‍යය කවරයට එක් කර දේශප්‍රේමයේ ලේබලයක් නොගැසුවා නම් වඩාත් හොඳය කියන එකයි මගේ පළමු වෙනි යෝජනාව. මන්දයත් අපේ රටේ මෑත ඉතිහාසය විතරක් උදාහරණයකට ගත්තත් 83 කළු ජූලිය වගේම 89 සමයේ ලේ වැගිරීම් සිදු වුණෙත් ව්‍යාජ දේශප්‍රේමය දඩමීමා කරගෙන බව අපි දන්න නිසයි. ඊළඟ කාරණය තමා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හා රාජපක්ෂවරු ගැන ලියවුණ පරිච්ඡේද දෙක. ඔවුන් ගැන නොලිවිය යුතුය කියා නෙමේ මම කියන්නෙ.

යුද්ධයට දේශපාලන හා මිලිටරිමය නායකත්වය දීමේ ගෞරවය ඔවුන්ට හිමි විය යුතුයි. ඒත් රටක හා ජාතියක අනාගතයේ දෘෂ්ටි කෝණයෙන් බලන විට භූමියක් දිනා ගැනීම පමණක් ජනතා පරමාධිපත්‍යය තහවුරු කිරීමක් ලෙස සැලකිය නොහැකියි. වැරදි දේශපාලන මඟ පෙන්වීමක් යටතේ සරත් ෆොන්සේකා මඩ ගොහොරුවක එරුණා වගේම කෘතවේ දී ජනතාව විසින් 2010 දී දෙවන වරටත් ප්‍රදානය කරන ලද ජනවරම නිසි ලෙස පරිහරණය නොකරමින් වසර 30ක විනාශකාරී යුද්ධය නිමා කිරීම මඟින් මෙරට ජනතාව අපේක්ෂා කළ සමෘද්ධිමත් සාමකාමී ශ්‍රී ලංකාව ගොඩනැඟීමට ඔවුන් කටයුතු කළේ නැහැ. අන්න ඒ කාරණා දෙස විවේචනාත්මක දෘෂ්ටියකින් බලා ඇගයීමක් කිරීමට පැතුම් උත්සහ කළා නම් මේ පොත් පිංචේ අගය තවත් වැඩි වෙනවා කියලයි මගේ පෞද්ගලික විශ්වාසය.

වෙඩි උණ්ඩ ගමන් කරන්නේ මිනිසුන්ගේ ජාතිය ආගම හෝ දේශපාලනය ඉලක්ක කරගෙන නොවන බව යුද සාහිත්‍යයේ තවත් පැතිකඩක් පෙන්වන මේ කෘතියෙනුත් මොනවට තහවුරු වෙනවා. ඊළාම් සටනින් වැඩි පීඩනයකට ලක් වුණේ සිංහල ජනතාව පමණක්ය කියා අදත් ඝෝෂා කරන ඇතැම් අන්තවාදීන්ට යුද බිමේ සජීවි අත්දැකීම් ලැබූ පැතුම් කර්නර් තරුණ වෛද්‍යවරයා වගේම, විශ්වමඩු පුනරුත්ථාපන කඳවුරේ සේවය කළ කර්නල් රත්නප්‍රිය වැනි සැබෑ මානවප්‍රේමීන් දෙන පණිවිඩය ඉතා වැදගත්. යුද්ධය සාපයක් වූයේ සමස්ත ජනතාවටම මිස එක් ජන කොටසකට පමණක් නෙවේ. යුද්ධය යනු මනුෂ්‍යත්වය මරා දැමීමයි. යුද්ධය යනු මානව ඉතිහාසය ආපස්සට කරකැවීමයි. ඒ නිසා මනුෂ්‍යත්වය කෙරෙහි අබමල් රේණුවක තරමින් හෝ ආදරයක් තියෙන මිනිසකුට යුද්ධයට ආවඩා එක වදනක් හෝ ලිවිය නොහැකියි.

කමල් පෙරේරා


නව අදහස දක්වන්න

Or log in with...