පොසොන් සඳ! | දිනමිණ

පොසොන් සඳ!

හාත්පස සමාජය දෙස හැරී බලන්න! අපරාධ ගොන්නක් අප ඉදිරියෙහි පවතී. මංකොල්ලකෑම්,ස්ත්‍රී දූෂණ දිනපතා සිදුවෙයි. ඒ අතර බොහෝ අය හතර පෝයට සිල් ගනිති. පිරිත් කියති. බෝධි පූජා පවත්වති. එහෙත් පොදු සමාජය තුළ ඇති වෛරය, අයුක්තිය, ක්‍රෝධය හා වංචාව වළක්වා ගැනීමට පුද - පූජා සමත් වී නැත. බණ දේශනා උදේ - හවස අසන්නට ලැබුණ ද මිනිසාගේ ආධ්‍යාත්මික කිළිටු කිසිසේත් ම අඩු වී නැත. ජීවිතයේ පරමාර්ථ ගැන සිතන කෙනකු නැති තරම් ය. මෙබඳු පරිසරයක් තුළ උතුම් වූ පොසොන් පොහොය සමරන්නට අපි පෙළගැසී සිටිමු.

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. අද දිනයේ වැදගත් ම වෘත්තාන්තය වන්නේ මහින්දාගමනය පිළිබඳ කතා ප්‍රවෘත්තිය යි. මහින්දාගමනය යනු ඓතිහාසික හා තීරණාත්මක සංසිද්ධියක් වන්නේ ය. එය ශ්‍රී ලංකාවේ ගමන්මඟ වෙනස් කළ විප්ලවීය අවස්ථාවක් ලෙස ද සැලැකිය හැකි ය. බුදුදහම ශ්‍රී ලංකාවේ ස්ථාපිතවීම,සමාජයට දාර්ශනික චින්තාවක් ලැබීම, සාංස්කෘතික ප්‍රබෝධයක් මතුවීම හා තවත් දේවල් මහින්දාගමනය නිසා අපට ලැබිණි. එය අපගේ ගමන් ම‍ඟෙහි අඩිතාලමක් හෙවත් පදනමක් ලෙස පැවැතිණි. මේ මත මහා ශිෂ්ටාචාරයක් ගොඩනැඟී තිබුණේ යැයි කියන්නට පුළුවන.

දඹදෙණිය රාජ්‍යයෙහි දෙවන පැරකුම්බා මහරජු පූජාවලිය නම්; ග්‍රන්ථ රාජයා දැක දෙවන රාජ්‍යයක් ලද්දා සේ ප්‍රීති - ප්‍රමෝදයට පත් වූ වග ද, පසුව එය කියවා ගම් - නියම්ගම් - නගර පුරා එම කෘතිය ඇතකු පිට වැඩම කළ වග ද ඉතිහාසයේ සඳහන් ය. එදා පාලකයා ධර්මයට හා ධර්ම ඥානයට කෙතරම් ගෞරව කළේ ද යන්න එයින් පැහැදිලි වේ. පෙදෙන් බුදු සිරිත හා බසින් වත් සිරිත් අද කියමන ද මෙහිලා වැදගත් වේ. එහි සරල අදහස වන්නේ පද්‍යයෙන් බෝධිසත්ව ගුණ ද, ගද්‍යයෙන් මිනිසාට අවශ්‍ය සිරිත්-විරිත් හෙවත් සම්ප්‍රදාය ගැන තොරතුරු ද හෙළිදරව් කළ යුතු බවය. එය වැදගත් න්‍යායක් වන්නා සේම සාහිත්‍යය ඔස්සේ යහපත් සමාජයක් ගොඩනැඟීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමක් ද වන්නේ ය.

මහින්දාගමනයෙන් පසු දීර්ඝ කාලයක් යනතුරුම අපේ රට සංසුන්ව පැවැතිණි. යම් අරගල පැවැතියේ වුව ඒවා ඉක්මනින් පහව ගියේ ය. බුද්ධිමත් ලෙස ගැටුම් නිරාකරණය කරගැනීමේ ක්‍රමවේද එදා පාලකයෝ සේම ජනතාවද අනුගමනය කළහ. ඊට ප්‍රධාන හේතුව බුදුදහම ඔස්සේ පුද්ගලයා ලැබූ ශික්ෂණය යැයි කියන්නට පුළුවන. අධ්‍යාපනය, බෞද්ධ දර්ශනය එදා ව්‍යාප්ත වී තිබිණි. මිහිදු හිමියන් වරක් පවසා ඇත්තේ බෞද්ධ දර්ශනයේ සමාරම්භක ස්ථානය මහා භාරතය වන්නේ වුව එය වඩාත් හොඳින් තහවුරු වන්නේ ශ්‍රී ලංකාව තුළ බව ය. එය අපගේ බෞද්ධ ජනතාවට මහත් අභිමානයක් ගෙන දෙන කියමනකි.

සමාජ සාරධර්ම පිරිහෙන්නට පටන් ගත්තේ ද ගැටුම් නිර්මාණය වන්නට පටන් ගත්තේ ද විදේශීය ආක්‍රමණවලින් පසුව යැයි සිතන්නට පුළුවන. විදේශීය ආක්‍රමණ සමඟ බුදු දහමට ලැබුණු රාජ්‍ය අනුග්‍රහය පිරිහෙන්නට පටන් ගත්තේ ය. ආර්ථිකය දුර්වල වූ අතර එකිනෙකා නොරුස්සන සමාජයක් බිහි විය. එහි ප්‍රතිඵලය ලෙස කැරලි ගණනාවක් ඇති විය. ත්‍රස්තවාදය බිහි විය. වංචාව හා දූෂණය පැතිර ගියේ ය. නිදහසින් පසුව වසර හැත්තෑවකට අධික කාලයක් ගෙවී ගොස් ඇති නමුදු අප තවම ප්‍රකෘති තත්ත්වයට පත් වී නැත. ඒ නිසාම සෑම අතකින් ම පිරිහීමට ලක් වූ සමාජයක් අද දක්නට ලැබේ.

මීට දින කිහිපයකට ඉහත දී මාතර නගරයේ සිදු වූ මංකොල්ලය කියාපාන්නේ හොරකම ඉතා තදබල ලෙස සමාජය තුළ මුල් බැසගෙන ඇති බවය. කොල්ලකරුවන් කෙතරම් බලවත් ද යත් ඔව්හු පොලිසිය සමඟ හරි - හරියට ගැටෙති. කිලිනොච්චියේ ග්‍රාමයකට කඩා වැදුණු දිවියකු අමානුෂික ලෙස මරා දැමීමෙන් පෙනී යන්නේ සත්ත්ව හිංසාව සමාජයට විනෝදය සපයන මාර්ගයක් වී ඇති බවය. මෙබඳු සිදුවීම් රට පුරා දිනපතා සිදුවෙයි. බුදුදහම උගන්වන මෛත්‍රිය හා කරුණාව කොහේදැ’යි විමසන්නට සිදු වී ඇත. සමාජය තත්පරයෙන් - තත්පරය අගාධයක් කරා ඇදී යන බව පෙනෙන්නට තිබේ.

සමාජය සිය අධ්‍යාත්මය පසෙකලා භෞතික සාධක හඹා යන බවක් පෙනෙන්නට තිබේ. මේ සමාජය බල්ලන් මරා හෝ සල්ලි හම්බ කිරීමට උත්සාහ දරන බවක් පෙනෙන්නට තිබේ. ලෝකයේ කිසිදු ආගමක් අයුක්තියෙන් උපයන ධනය අනුමත කරන්නේ නැත. විශේෂයෙන් බුදු දහම මුදල් ඉපැයිය යුතු ආකාරයත් ඒවා වියදම් කළ යුතු ආකාරයත් පැහැදිලි කර ඇත. සමාජය විසින් නොකළ යුතු කර්මාන්ත ආදිය ද බුදුදහම පෙන්වා දී ඇත. බුදුදහම ඉගැන්වෙන’මුත් එය පිළිපදින අය සොයාගැනීම දුෂ්කර ය. ආගම නමට පමණක් ඇති බවක් පෙනී යයි. නමට බෞද්ධකම වැඩක් නැත. නියම බෞද්ධයකු නම් ප්‍රතිපත්තිගරුක පුද්ගලයකු විය යුතුය.

සමාජ හර පද්ධතිය කෙතෙක් පිරිහී තිබේ ද යත්; ඇතැම් ස්වාමීන් වහන්සේලා රටට හිට්ලර් කෙනකු අවශ්‍ය යැයි බණ දේශනා කරති. ඒ කුමන බුදු දහමක් ද යනු පැහැදිලි නැත. හිට්ලර් යනු මිනීමරුවෙකි. ඒකාධිපතියෙකි. ජාතිවාදියෙකි. මේ කිසිවක් බුදුදහම අනුමත කරන්නේ නැත. අද රටට සිදු වී ඇති විනාශය හිට්ලර් පිළිබඳ බණ දේශනාවෙන් පැහැදිලි වෙයි. රට හදන්නට හා රටට උපදේශන සපයන්නට සිටින අයම වැරැදි පාරේ යති. ඉතින් යහපත් සමාජයක් අපේක්ෂා කරන්නේ කෙසේ ද? රටට අලුත් චින්තනයක් අවශ්‍ය බව මේ කරුණුවලින් සනාථ වෙයි. ඒ චින්තනය පැමිණිය යුත්තේ වැදි බණ දේශනා කරන අය වෙතින් නොවන බවද සිහිපත් කළ යුතුය.

අද පොසොන් පොහොය දා අපේ දේශනාව මෙතෙකින් හමාර කරමු. සියලු දෙනා ම යහපත් සමාජයක් ගොඩනැඟීම සඳහා පෙළ ගැසෙමු යන පණිවිඩය සටහන් කර තබමු.

 

නව අදහස දක්වන්න