හිට්ලර් ආගමනය | දිනමිණ

හිට්ලර් ආගමනය

‘ගලේ පැහැරූ බළලා වැනිය” කියා කතාවක් ගැමි වහරේ ඇත. බළලුන් පැහැරූ විට එය වසන්නට පුරුදු වී සිටින බව කවුරුත් දන්නා දෙයකි. එසේ වසන්නේ වටේ ඇති පස් හෝ වැල්ල හෝ හාරා ගැනීමෙනි. ගලේ පැහැරූවිට කොපමණ වසන්නට හැදුවත් එය කරන්නට බැරිය. ‘ගලේ පැහැරු බළලා වැනිය’ යන උපහැරනය යෙදෙන්නේ එබඳු ක්‍රියා කරන මිනිසුන්ටය.

දැන් අපට පෙනෙන්නට තිබෙන්නේ සාමාන්‍ය මිනිසුන් පමණක් නොව ඇතැම් ස්වාමින් වහන්සේලාද මෙබඳු අමාරුවක වැටෙන බවයි. බොහෝවිට එසේ වන්නේ අනවශ්‍ය දේ කතා කරන්නට ගොස් කට වරද්ද ගත්විටය. කියූ කතාව වහන්න යනවිට සිදුවන්නේ තව තවත් පැතිරීමය. අමාරුවේ වැටෙන්න පෙර දෙවරක් නොහිතන උදවිය වැටෙන්නේ එබඳු අමාරු තත්ත්වයන්ටය.

බණකට දානයකට වඩින බොහෝ ස්වාමින් වහන්සේලා කරන්නේ තැනට ගැළපෙන කතාවක් කියා එතන සිටින උදවිය සතුටු කිරීමය. දානය දුන් තැනැත්තන් සතුටු කිරිමය. තමන්ට පිරිකර ආදිය පූජා කළාට පින් අනුමෝදන් කිරීමට අමතරව ඔවුන් සතුටු කිරීමද තමන් විසින් කළ යුතු බව මෙම සංඝයා වහන්සේලා සිතා සිටිනවා විය හැකිය.

තැනේ හැටියට බණ

ඇතැම් දේශපාලනඥයන් නායක ස්වාමින් වහන්සේලා හමුවන්නට යන්නේ උපදෙස් ලබාගැනීමට කියාගෙනය. එසේ වුවද ඔවුන්ගේ අවශ්‍යතාවය වන්නේ තම දේශපාලන ව්‍යාපෘතියට කිසියම් සහනයක් ලබාගැනීමය. නායක ස්වාමින් වහන්සේලාද මෙය දනිති. ඒ නිසා එයට ගැළපෙන දෙයක් පැවසීම බොහෝ නායක හිමිවරුන්ගේ සිරිතකි. එවිට එය රූපවාහිනි කැමරාවල සටහන් කරගන්නට මාධ්‍යවේදීහුද එහි වෙති. විවිධ මාධ්‍යවල එම ජනමාධ්‍යවේදීන් එතැනට ගෙන්වා ගන්නේ සැලසුම්සහගතවය. ඒ තමන්ට අවශ්‍ය දේ ප්‍රචාරය කරන්නටය.

සමහර දේශපාලනඥයන් දැන් නිතරම සිටින්නේ පන්සල්වලය. ඒ ඔවුන් වයසට ‍ගොස් සසරගැන අවබෝධ වී පිනට දහමට ළැදිවී සිටින නිසා නොවන බව කවුරුත් දන්නා කාරණයකි. ඔවුන් කරන්නේ මාධ්‍යවලට ප්‍රවෘත්ති අවස්ථාවක් නිර්මාණය කිරීමය. ජනමාධ්‍ය ආයතනවලට ඇති සබඳතා මත තමන් පසුපසින් යන මාධ්‍යවේදීන් පිරිසක්ද ඔවුහු සූදානම් කරගෙන සිටිති. තමන්ට අවශ්‍ය ප්‍රශ්නය අසන්න විශේෂයෙන් සූදානම් කරගත් පිරිසක්ද සිටිති. එය බොහෝවිට කරන්නේ ඇතැම් මාධ්‍ය ආයතන මඟින්මය.

මෙබඳු ඇතැම් තැන්වල සිදුවන කටවැරදීම් මඟින් ඇතැම්විට නියම තත්ත්වය හෙළිදරව් වෙයි. එයට අපගේ ගැමි වහරේ තිබෙන උපහැරනය නම් ‘කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ’ යන්නය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හැත්තෑ නව වන උපන් දිනයේදී සිදුවූයේ එවැන්නකි. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් ගෝඨාභයට අනුශාසනා කළේ ‘හිට්ලර් කෙනෙකු වී හෝ රට හදන්නට’ කියාය. ගෝඨාභයට හිතවත් ජනමාධ්‍යය එය ප්‍රචාරය කළේද ඔහුගේ ප්‍රතිරූපය නංවන්න හිත‍ාගෙනය. වැඩේ වැරදුණු බව තේරුණේ හතරවටින් පහර වදින්න පටන්ගත් විටය.

අනුනාහිමියන් එම ප්‍රකාශය ක‍ෙළ් තත්ත්වය හොඳින් දැනුවත්වය. ගෝඨාභයට හොඳටම සුදුසුකම් ඇත්තේ හිට්ලර් කෙනෙකු වීමට බව කවුරුත් දන්නා කාරණයකි. ඔහු ආරක්ෂක ලේකම් වී සිටියදී සිදුවූ ඝාතන හා අතුරුදන් කිරීම් ගැන බොහෝ පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතියි. එසේ සිදුවන්නේ යම් යම් සාක්ෂි ඉතිරිව තිබූ ඝාතන ගැනය. සමහර අතුරුදන් කිරීම් ගැන කිසිවකු කිසිවක් දන්නේ නැත. හෙළිදරව් වී ඇති සිදුවීම්වලදීද වගකිවයුත්තන් නිරුපද්‍රිතව සිටින්නේ තොරතුරු දන්නා උදවිය නිහඬකොට තැබීම නිසාය. හිට්ලර් කෙනෙකු බිහිවීමේ බිය සමාජගතකොට ඇති නිසාම සමහරු කට අරින්නේ නැත. ඒ තමන්ටත් අතුරුදන් වන්නට සිදුවේ යැයි තිබෙන බය නිසා විය හැකිය. මිනීමරුවන්ගේ ආරක්ෂාව සඳහා එම මතය වැඩි වැඩියෙන් සමාජගත කිරීමද අවශ්‍යය. එය කරන්නට ගොස් වරද්දා ගැනීම වෙනම කතාවකි.

දෙපිටකාට්ටු කැපෙන කතා

ගෝඨාභයගේ උපන්දින සාදයේ කළ අනුශාසනාවේ අරමුණ වූයේ රටට හිට්ලර් කෙනෙකු බිහිවන බව සමාජගත කිරීම විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු වීමේ කිසිදු විභවතාවක් නොපෙන්වන ගෝඨාභය වැනි කෙනෙකුට ගැළපෙන්නේ එබඳු ප්‍රතිරූපයකි. එම ප්‍රතිරූපයට කැමැති විශාල පිරිසක් මෙරටේ සිටින බව පැහැදිලිය. එසේ වුවද රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන බහුතරය එයට බියවීම ස්වභාවිකය. ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව හිට්ලර්ගේ නමට මෙන්ම හෙවණැල්ලටත් බිය වෙති. එම ජනතාව ප්‍රතිචාර දක්වනවිට අර ප්‍රතිරූපය පස්සට ගැනීමට සිදුවෙයි. තමන් ගලේ පැහැරූ බව තේරෙන්නේ එවිටය.

වැඩේ වැරදුණු පසුව හතරවටින් පහර වදිනවිට ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේ තවත් එබඳුම කතාවකි. මෙය අනුනායක හිමියන් තමන්ට කළ පෞද්ගලික අනුශාසනාවක් බවත් එයට කවුරුවත් කළබල විය යුතු නැති බවත් ගෝඨාභය මහතා කියයි. මේ කියන්නේ මේ රටේ හිට්ලර් පාලනයක් බිහිකිරීම තමන්ගේ පෞද්ගලික කාරණයක් බවද ? හිට්ලර් කෙනෙකු වී ජනතාව ඝාතනය කිරීම, පීඩාකිරීම, සිරේ දැමීම ගෝඨාභයගේ පෞද්ගලික කාරණයක් ලෙස සලකා සියලුදෙනා නිහඬව සිටිය යුතු බවද? එසේ නම් එය නියම හිට්ලර් චින්තනයක් බවට සැක නැත.

අනෙක මෙය තමන්ගේ පෞද්ගලික ක්‍රියාවක් නම් එය ජනමාධ්‍යයට විවෘත කළේ ප්‍රචාරය වන්නට සැලැස්සුවේ කුමකටද යන්න ප්‍රශ්නයකි. සාමාන්‍යයෙන් මිනිසුන් තමන්ගේ පෞද්ගලික දේවල් කරගන්නේ රහසේය. පිට අයට දැනගන්න නොලැබෙන ආකාරයෙනි. ප්‍රචාරයට ඉඩ නොතබාය. ගෝඨාභය කළේ තමන්ගේ නිවසේ තමන් වෙනුවෙන් කරන දේ රටටම ප්‍රචාරය කිරිමය. එහි වූයේද රටටම බලපාන කාරණයකි. ඔබ මේ ‍රටේ ඒකාධිපති හිට්ලර් කෙනෙකු වන්න කියා කවුරුකාට අනුශාසනා කළද එය පෞද්ගලික කාරණයක් වන්නේ නැත.

ගෝඨාභය මේ රටේ ජනාධිපති තනතුරට ඉව අල්ලන චරිතයක් බව කවුරුත් දන්නා කාරණයකි. හිට්ලර් කෙනෙකු වන්න කියන අනුශාසනාව පෞද්ගලික කාරණයක් කියන ගමන්ම ඒ මොහොතේම ගෝඨාභය කීවේ “මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළොත් ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් සුදානම් බවයි. අමෙරිකානු පුරවැසිභාවය මාස දෙකකදී අතහැරිය හැකි බවද ගෝඨාභය එහිදී ප්‍රකාශ කළේය. හිට්ලර් කෙනෙකු වීමේ කතාව පෞද්ගලික අනුශාසනාවක් වුවද එය රටට තීරණාත්මක කාරණයක් වන්නේ ඒ නිසාය.

හිට්ලර් බලයට පත්වූයේද මහජන ඡන්දයෙනි. ඔහු පැමිණියේ ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙසටය. ඒකාධිපතියකු වන බවත් මිනී මරන බවත් මුලදී කීවේ නැත. ඒ සියල්ල පටන් ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පැමිණීමෙන් පසුවය. අපේ රටේ හිට්ලර් කෙනකු බිහිවීමේ අවදානම දැනෙන්නේ මේවා දන්නා උදවියටය.

ගෝඨාභය තවත් කතාවක් කීවේය. අනුශාසනා තේරෙන්නෙ බුද්ධිය තියෙන උදවියට බවය. ඒ කියන්නේ මෝඩයන්ට තේරෙන්නේ නෑ කියන එකය. හරියට සීතාම්බර පටසළුව වගේය. රජාට ඒක ඇන්දුවේ මෝඩයන්ට පේන්නේ නෑ කියාය. රජු හිතුවේ තමන්ට පේන්නේ නැතුවාට අනුන්ට පේනවා ඇත කියාය. සීතාම්බරය ඇඳගෙන ඉන්නවා කියා හිතාගෙන හිටියේ අමු හෙළුවෙනි. දැන් රජවරු කරන්නේ පාරේ හෙළුවෙන් යන ගමන් තම ඇඳුම මෝඩයන්ට පේන්නේ නැති බව කීමය.

බෞද්ධ භික්ෂුන් වහන්සේ මේ රටේ දේශපාලනයට විශාල බලපෑමක් කරන පිරිසකි. ජනමතය ගොඩනැගිමටද එම අදහස් වැදගත්ය. දේශපාලනඥයන් තමන්ට අවශ්‍ය දේ උන්වහන්සේලා ලවා කියවා ගන්නේ ජනමතය හදාගන්න පදනමක් දමාගන්නටය. වෙඬරුවේ උපාලි යනු අස්ගිරි පාර්ශ­්වයේ අනුනායක හිමියෝය. උන්වහන්සේ ඉදිරි ජනාධිපතිවරයකු වීමට කැසකවන දේශපාලනඥයකුට අනුශාසනා කිරීම සුළුවෙන් තැකිය නොහැකිය.

දයාන් කී කතාව

හිට්ලර් කෙනෙකු වීමේ කතාව අහම්බයක් හෝ කටවැරදිමක් නොවන බව වෙනත් කරුණුවලින්ද පැහැදිලිය. මහින්ද රාජපක්ෂ මහතාගේ ආගමනය වෙනුවෙන් හා ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියට ගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් මෑතක් වනතුරු පෙනී සිටි ආචාර්ය දයාන් ජයතිලක මහතා පසුගියදා කීවේ ගෝඨාභය යන්නේ වැරදි මාවතක බවයි. ඔහු වටා සිටින්නේ හමුදා නිලධාරින් හා අන්ත ජාතිවාදින් පිරිසක් බවද දයාන් ප්‍රකාශකොට තිබිණි. එලෙස ජාතිවාදීන් හා හමුදා නිලධාරින් සමඟ යන්නට හැකිවන්නේ හිට්ලර් පන්නයේ පාලනයකට බව අමුතුවෙන් කිව යුතු නැත. දයාන් කියන්නේ මෙය භයානක හා විනාශකාරී ගමනක් බවයි. ඔහු ගෝඨාභය චරිතය සමඟ එකට යාම ප්‍රතික්ෂේප කරන්නේ ඒ නිසාය.

පොහොට්ටුවත් විරුද්ධයි

ගෝඨාභයගේ හමුදා කණ්ඩායම සම්බන්ධයෙන් බියට පත්වන්නේ ප්‍රජාතන්ත්‍ර ළැදි ජනතා කණ්ඩායම් පමණක් නො‍වේ. ඔහු ජනාධිපති කරවීමට බලාපොරොත්තු වන මහින්ද රාජපක්ෂ පිලේ සි‍ටින විශාල පිරිසක්ද මේ හිට්ලර් චින්තනයට කැමති නැත.ඔවූහූ එයින් තැති ගැන්වී සිටිති.

මහින්ද රාජපක්ෂ පාලනය බිඳ වැටීමෙන් පසුව ඔහුගේ ජන පදනම නැවත සංවිධානය කොට ඉදිරියට ගැනීමට කැපවී කටයුතු කළ පිරිසක් සිටිති.ඔවුන් ප්‍රධාන වශයෙන්ම සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පෙ‍ාහොට්ටු පක්ෂය වටාය.බැසිල්ට ජාතික මට්ටමින් සහාය වන පිරිස මෙන්ම පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් කටයුතු කරන පිරිසක්ද සිටිති. ඔවුන්ට තිබෙන ප්‍රශ්නය නම් ගෝඨ‍ාභය රාජපක්ෂ මහතා මහින්ද පිල නැවත ගොඩනැගීමේ මෙම කර්ත්‍යවයට කිසිදු දායකත්වයක් ‍නොදීමය. ගෝඨාභයට හෝ ඔහුගේ හමුදා සගයන්ට මෙම පිරිස සමඟ කිසිදු ඓන්ද්‍රීය සම්බන්ධයක් නැත. ගෝඨාභය හා ඔහුගේ හමුදා සඟයන් පිරිස පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරීන්ට පෙනෙන්නේ පිටස්තරයන් පිරිසක් වශයෙනි.

පොහොට්ටු පක්ෂයේ උදවියත්, ඒකාබද්ධ විපක්ෂ‍යත් විශාල සටනක් දී පළාත් පාලන ආයතන රැසක වැඩි බලයක් දිනාගත්හ. ගෝඨාභය එම මැතිවරණය පැත්ත පළාතක සිටියේ නැත. ඔහු කළේ ආණ්ඩුවේ නායකයන්ට දන්වා විදේශගතව සිටීමයි. මැතිවරණයෙන් පසුව පැමිණ පිටස්තර කට්ටියක් සමඟ තමන්ගේ කරපිටින් ජනාධිපතිවීමට උත්සාහ දැරීම එම පිරිසට රුස්සන්නේ නැත. බැරිවෙලාවත් ගෝඨාභය ජනාධිපති වුවහොත් එම ආණ්ඩුවේ තමන්ට තැනක් නොලැබෙන බවත් එහි බලවතුන් වන්නේ ගෝඨාගේ හමුදා කල්ලිය බවත් බැසිල්ගේ ගෝලයෝ දනිති. ඔවුහු ගෝඨාට මාරාන්තික විරෝධයක් දක්වන්නේ ඒකය.

වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, රාජා කොල්ලුරේ වැනි මහින්දට පක්ෂ වමේ උදවියටත් ගෝඨා පෙන්නන්නට බැරිය. ඒ ඔහු පුංචි හිට්ලර් කෙනෙකු නිසාය. ජාතිවාදියකු හා යුදවාදියකු නිසාය. එබැවින් මෙම හිට්ලර් චින්තනයට හා හිට්ලර් චරිතයට මේ රට තුළ හිස ඔසවන්නට ඉඩක් නැති බව පැහැදිලිය. එවැනි තත්ත්වයක් ඇතිවීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී සියලු බලවේග සටන් වදිනු ඇත. හිට්ලර් කෙනකු වීමේ කතාවට දස අතින් පහර වදින්නේ ඒ යථාර්ථය නිසාය.

ගෝඨාභය රාජපක්ෂ එක්කෝ පුනරුත්ථාපනය විය යුතුය. නැතහොත් පසුබැස පලා යා යුතුය. මේ ගමන ඉදිරියට ගියහොත් ඔහුටද අත්වන්නේ හිට්ලර්ට අත්වූ ඉරණමයි. ඒ හිට්ලර්ට වඩා කලින්ය.

සී.ජේ අමරතුංග


නව අදහස දක්වන්න