මහින්දගේ ඡන්ද වැඩ | දිනමිණ

මහින්දගේ ඡන්ද වැඩ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරයට අදාළ සැලැකිය යුතු හෙළිදරව්වක් අමෙරිකාවේ “ද නිව්යෝක් ටයිම්ස්” පුවත්පත විසින් සිදු කරනු ලැබ තිබේ. මේ හෙළිදරව්වට අනුව මහින්ද මහතාගේ ස්වදේශික චින්තනය හා සාධාරණ දේශපාලනය අතිශය ප්‍රෝඩාවක් බව පෙනෙන්නට තිබේ. “නිව්යෝක් ටයිම්ස්” පුවත්පත ලෝකයේ පිළිගත් ප්‍රවෘත්ති පත්‍රයකි. විශේෂයෙන් එම පුවත්පත මගින් හෙළිදරව් කරන දේශපාලන කරුණු ගැන මුළු ලෝකය ම පාහේ අවදියෙන් සිටිති. ශ්‍රී ලංකාව වැනි රටක් මේ පුවත්පතේ නිරන්තර සැලැකිල්ලට ලක්වන්නේ නැත. එහෙත් මහින්ද රාජපක්ෂ මහතාට අදාළ සිද්ධිය පිටුවක් පුරා පළ කර තිබේ.

එම ලිපියෙන් කියැවෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා සිය පාලන කාල සීමාව තුළ බලය පාවිච්චි කරමින් රටේ ආර්ථික ගනුදෙනු ද හසුරවමින් තම දේශපාලන කටයුතු සඳහා චීන සමාගමකින් මුදල් ලබාගෙන ඇති බවය. “නිව්යෝක් ටයිම්ස්” පුවත්පත ඊට අදාළ සාක්ෂි හා දත්ත ඉතා නිවැරැදිව ඉදිරිපත් කර තිබේ. දේශපාලන බලය ස්ථාපිත කරගැනීම සඳහා ස්වකීය රාජ්‍යයේ භූමිය හා වෙනත් සම්පත් අනිසි ලෙස යොදාගැනීම බලවත් වරදකි. පුවත්පත පෙන්වා දෙන අන්දමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම කටයුත්ත සිදු කර තිබේ. ඔහු චීන සමාගමට ශ්‍රී ලංකාවේ ඉඩම් අක්කර 15,000ක් ලබාදෙන්නට ගිය ආකාරය ද වරායේ ටෙන්ඩරය භාරදෙන්නට ගිය ආකාරය ද එහි සඳහන් ය.

ලෝක ආර්ථිකය දෙස හැරී බලනවිට චීනය නොනිල වශයෙන් අංක එකේ ආර්ථිකය බවට පත්ව තිබේ. චීනයේ ඉදිකිරීම්, චීනයේ ව්‍යාපාර ස්ථාපනය කිරීම්, චීනයේ ආයෝජනය නූතන ලෝකයේ පළමුතැනට පත්ව තිබේ. ආර්ථික ගනුදෙනු සමඟ චීනය පරයා යෑමේ ලෝක හැකියාවක් අමෙරිකාවට පවා නැත. නිදසුනක් ගතහොත් චීනය හම්බන්තොට වරාය ඉදිකිරීමට සහයෝගය දක්වන අතර ලෝකය පුරා ආර්ථික කේන්ද්‍රස්ථාන ඉලක්ක කරගත් තවත් වරායවල් තිස්පහක් ඉදිකිරීමට සහයෝගය දක්වා තිබේ. එම වරායවල් ලෝක වෙළෙඳාමේදී අතිශය වැදගත් වන රටවල් හා දූපත් ආශ්‍රයකොට ඉදිවී ඇත.

චීනය ලෝකයේ ආර්ථික දැවැන්තයෙකි. ඒ රටට ආර්ථික අභියෝග ඇත්තේ අමෙරිකාව, ජපානය, ජර්මනිය, යුරෝපා හවුල වැනි ස්ථාන සමඟ මිස ශ්‍රී ලංකාව වැනි දුප්පත් රටවල් සමඟ නොවේ. චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට කරුණු තුනක් බලපා ඇතැ’යි සිතන්නට පුළුවන. එක; ශ්‍රී ලංකාවේ භූ - දේශපාලනික පිහිටීමය. දෙක; ශ්‍රී ලංකාව හා චීනය අතර දීර්ඝ කාලයක පටන් පවතින දේශපාලනික මිතුරු සම්බන්ධතාව ය. තුන; චීනය මෙන්ම ශ්‍රී ලංකාව ද ආසියා මහාද්වීපයට අයත් රටවල් වීම ය. ඒ කෙසේවුව එකිනෙක පාලකයන් චීනයේ සහයෝගීතාව හා මිතුරුකම භාවිත කර ඇත්තේ එකිනෙකට පරස්පර ආකාරයෙන් ය.

මහින්ද රාජපක්ෂ මහතා චීනයට වඩාත් සමීප වූයේ ලෝක ආර්ථිකයේ පැවැති නව ප්‍රවණතාවලට අනුව යැයි සිතන්නට පුළුවන. එහෙත් එතුමා චීන ආධාර හා ප්‍රතිපාදන විය-පැහැදම් කර ඇත්තේ ස්වකීය බලය තහවුරු කරගැනීම සඳහා යැයි කියන්නට පුළුවන. ඉහත චීන සමාගම අමෙරිකන් ඩො. මි. අටකට ආසන්න ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරය සඳහා ලබාදී ඇති බවට තොරතුරු හෙළිදරව් වී තිබේ. මේ හැරෙන්නට මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකට අන්තේ වාසිකයන් සඳහා වෙන-වෙනම තවත් මුදල් ලබාදී ඇති බව ද ඉහත ලිපිය පැහැදිලි කරයි. මේ මුදල් ආධාරය අල්ලසක් ලෙස ද සලකන්නට පුළුවන.

අපේ ඉඩම් අලෙවිකරන බවට ද, ඇතැම් ඉඩම් විදේශිකයන්ට පවරන බවටද චෝදනා වත්මන් ආණ්ඩුව වෙත එල්ලවී තිබේ. ඉඩම් විකිණීම හොඳ දෙයක් යැයි අප කියන්නේ නැත. ජාතිය සතු ඉඩම් විදේශිකයන්ට පැවැරීම; පළමු වරදටත් වඩා සංකීර්ණ තත්ත්වයක් පෙන්වා දෙයි. එහෙත් මේ ඉඩම් මෙන්ම වැඩිබිම් ද සක්‍රීය තත්ත්වයකට ගෙන යා යුතු ය. එය කළ හැක්කේ රජයට නිලධාරීන්ට හා ජනතාවට ය. මේ පාර්ශ්ව තුන එකතු වූ තැනක් ගැන මතකයක් අපට නැත. පක්ෂ නායකයන් ද, වෙනත් අය ද විවිධ මතවාද ඉදිරිපත් කරන්නට පුළුවන. ‍එහෙත් අවසාන ඉලක්කය පිළිබඳ තීරණාත්මක සාධකය භාරගත යුත්තේ බලයේ සිටින දේශපාලකයන්ය.

මහින්ද රාජපක්ෂ මහතා සිය බලයෙන් ද තවත් සාධකවලින් ද උපරිම ප්‍රයෝජන ගනිමින් ස්වකීය බල ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීමට විවිධ උපායමාර්ග භාවිත කර ඇති බව පෙනෙයි. චීනය, චීන සමාගම හා චීන සමාගමේ මුදල් ඊට කදිම නිදසුනකි. අපගේ විමර්ශනවලට අනුව මුදල් පාවිච්චියේදී රාජපක්ෂ කල්ලිය සාධාරණ හා යුක්තිසහගත දේවල් අනුගමනය කර නැත. එහි ප්‍රතිඵලය වන්නේ ආධාර ලබාදෙන ‍බලවත් රටවල හා විවිධ ලෝක සංවිධානවල මතයට හා උපදේශනයට යටත්වීමට අපට සිදුවීමය. අප සතු ලෝක ණය ප්‍රමාණය ප්‍රසාරණය වූ පසු එළැඹෙන තත්ත්වය අතිශය භයානක විය හැකිය. අමෙරිකාව ඉරාකය ආක්‍රමණය කළේ ඩුබායි දේශය හා තවත් දේශ දේශාන්තරවල වෙසෙන ජනයා ඉරාකය විසින් නාමමාත්‍රිකව ආක්‍රමණය කළේ ද මහජනයා ඉතා ගැඹුරු අදහසක් පළකළ යුතු බැවින් ය.

ඇතැම් අය ‍දේශපාලනයේ අතිශය පිරිසිදු චරිත ලෙස පෙනී සිටිති. තව අය “ටිකක් හොඳයි - ටිකක් නරකයි” න්‍යාය අනුගමනය කරති. තවත් අය පවත්නා ‍දේශපාලන සම්ප්‍රදාය තුට්ටුවකට ගණන් නොගෙන තමාගේ කාර්යයෙහි නිරත වෙති. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකටව සිටියේ ජාතිමාමක, දේශමාමක රට බේරාගත් එකම පුද්ගලයා හා එකම නායකයා හැටියට ය. එහෙත් ඔහු සැබෑ ලෙසම ලෝක ධනපතිවාදයේ ගොදුරක් ලෙස ද; ස්වකීය බලය උදෙසා මව්බිමේ ඉඩම් පාවා දෙන නායකයකු හැටියට ද ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත තර්කානුකූල ලෙස ඔප්පුකර තබේ.

නව අදහස දක්වන්න