දහ දෙනාගෙන් හයක් පල්ලේබෝවල විද්‍යාලයෙන් | දිනමිණ

දහ දෙනාගෙන් හයක් පල්ලේබෝවල විද්‍යාලයෙන්

දුමින්ද අලුත්ගෙදර

බාධක අඩුපාඩු මැද ජාත්‍යන්තරයට යන දුප්පත් දරුවන්ට බැල්මක් ඕනෑ

තායිලන්තයේ ජාතික ක්‍රීඩාව වන මුයි තායි සටන් කලාව “තායි බොක්සිං”යන නමින් හඳුන්වනු ලබන අතර ප්‍රථම වරට පැවැත්වෙන ජාත්‍යන්තර තරගයකට සහභාගීවීමට ලාංකීය මුයි තායි සටන්කරුවන් වරම් ලබා තිබේ. ලාංකීය ක්‍රීඩකයන් දස දෙනෙකු සහභාගීවන යොවුන් ලෝක ශූරතා තරගාවලිය අගෝස්තු මස 3වැනිදා සිට 10 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වීමට ජාත්‍යන්තර ආධුනික මුයි තායි සංගමය කටයුතු සූදානම් කර ඇත.

ජාතික යොවුන් සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයින් දස දෙනා පසුගිය මැයි මාසයේ නාවලපිටියේ දී පැවැති ප්‍රථම ජාතික මුයි තායි තරගාවලියේ යොවුන් අංශය ජයගත් ක්‍රීඩකයින් වන අතර ක්‍රීඩකයින් අතරින් සය දෙනෙකුම හඟුරන්කෙත පල්ලේබෝවල මහා විද්‍යාලයේ ක්‍රීඩකයින් වීම විශේෂත්වයකි. ජාතික මට්ටමේ බොක්සිං තරග රැසක් හිමිකරගත් පල්ලේබෝවල මහා විද්‍යාල ක්‍රීඩකයින් ආර්ථික වශයෙන් පීඩාවට පත් වූවන් පිරිසකි. ග්‍රාමීය පරිසරයක ඇති පාසල තුළ ක්‍රීඩාවට අවශ්‍ය උපකරණ හෝ නොමැතිව පුහුණුවීම් කරන මෙකී ක්‍රීඩකයින් ජාත්‍යන්තර තරගයකට සහභාගීවීම ම දෛවෝපගත ය.

තායිලන්තයේ පැවැත්වෙන තරගාවලිය ලාංකීය ක්‍රීඩකයින් ජයග්‍රහණය කළහොත් 2021 වසරේ යොවුන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව ද හිමිවෙයි. එවැනි පසුබිමක් තිබියදී ක්‍රීඩකයින් පුහුණුවීම් කටයුතු කරන්නේ ද ඔවුන් විසින් නිර්මාණය කරගත් උපකරණ මගිනි. අධ්‍යාපන බලධරයින් හෝ ක්‍රීඩා බලධරයින් පාසලේ ක්‍රීඩා අභිවෘද්ධිය සඳහා මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත. මීට ඉහත දී ජාත්‍යන්තර තරග කිහිපයක් සඳහා සහභාගී වූ එම පාසලේ බොක්සිං ක්‍රීඩිකාවට ද නොයෙකුත් බාධා වලට මුහුණ දෙන්නට සිදුවිය. එහෙත් පාසලේ සිසුන්ගේ හා ආචාර්ය මණ්ඩලයේ කැපවීම් මත එය වළක්වාගෙන ඇයට ජාත්‍යන්තර තරග සඳහා සහභාගී වීමේ වරම් හිමිකර දී තිබුණි.

ලංකා සංචිතයේ නිලධාරි මඩුල්ල නියෝජනය කරන පල්ලේබෝවල විදුහලේ ක්‍රීඩා ආචාර්වරයා පවසන ආකාරයට දක්ෂ ක්‍රීඩකයින් නිර්මාණය කිරීමේ හැකියාව උපරිම තිබියදී එය මඟහැරී ඇත්තේ බලධරයින්ගේ අවධානය අවම වීම හේතුවෙනි. ‘ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ ක්‍රීඩකයින් දස දෙනා තරගාවලියට සහභාගී වෙන්නේ පළවෙනි වතාවට. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ටිකට් ටික දෙනවා‘යැයි පවසන ක්‍රීඩා ආචාර්ය ජමිත ගයාන් මහතා පෙන්වා දෙන්නේ ටිකට් ලබාදුන් පමණින් දුෂ්කර පාසලක දරුවන්ගේ අනෙකුත් වියදම් සපයා ගැනීම ඉතා අසීරු බවකි.

‘මගෙ දරුවන්ගේ පුහුණුවීම්වලට දැන් ජාතික මුයි තායි සංගමය නොසෑහෙන්න උදව් කරනවා. ඒත් පාසලේ දී පුහුණුවීම් කරන්න අවශ්‍ය උපකරණ නෑ. ඒ ගැන අපි බලධරයින් දැනුවත් කළා‘ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර ගැනීමට ඇති හැකියාව පිළිබඳ ක්‍රීඩා බලධාරින් හා පළාත් අධ්‍යාපන බලධාරින් අවධානය යොමු කළ යුතුය. පාසල් වර්ගීකරණ යටතේ එක් එක් පාසලට ලැබෙන පහසුකම්වල විෂමතාවයට හොඳම උදාහරණය පල්ලේබෝවල මහා විද්‍යාලය බව නොරහසකි. ජනමාධ්‍ය වරින් වර එම විද්‍යාලයේ අඩුපාඩු පෙන්වා දී ඇතත් ඊට නිසි පිළියම් යෙදීමට අපොහොසත් වූ පාලකයන් මුනිවත රකිමින් තවදුරටත් කරනුයේ කැලේ මල් කැලේටම පරව යන්නට ඉඩහැරීමකි.

‘අපි මුදල් හොය හොයා ගියොත් දරුවන්ට පුහුණුවීම් කරගන්න අමාරුයි. ඒකට ගතවෙන කාලය පුහුණුවීම්වලට වැය කරනවා. මුදල් අඩුපාඩුකම් සෑහෙන්න තියෙනවා. ඒත් ඒ දිහා බලාන හිටියොත් අපිට දිනන්න තියෙන අවස්ථා අඩුවෙන්න පුළුවන්‘ මෙවර තරගාවලිය කෙසේ හෝ ජයග්‍රහණය කරවීමට තම ක්‍රීඩකයින් පුහුණු කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි.

පල්ලේබෝවල මහා විද්‍යාලයේ විදුහල්පති රත්නායක මහතා අදහස් දක්වමින් කියා සිටියේ, විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ මව්පියන් බොහොමයක් දුෂ්කර ජීවිත ගත කරන අය බවයි. ‘මේ තරගාවලියට තේරුණු දරුවන්ගෙන් තුන්දෙනෙක්ම සමෘද්ධිලාභී පවුල්වල අය. එහෙම දරුවෝ අන්තර්ජාතික තරගයකට යවන්න පාසල වාසනාවන්ත වුණාට, පාසලේ තියෙන පහසුකම් බොහොම අඩුයි. ‘එක් දරුවකු නම් පාසල් දරුවන්ගෙන් මුදල් එකතුකර හෝ තරගයට සහභාගීකරවීමේ හැකියාව ඇති බව පවසන විදුහල්පතිවරයා පෙන්වා දෙන්නේ දරුවන් හය දෙනකු තරගාවලියට සහභාගීකරවීමට පාසලට දරාගත නොහැකි බවයි. ඒ සඳහා කවරකු හෝ අනුග්‍රහයක් දක්වන්නේ නම් එය අනාගත පරපුරට කරන අයෝජනයක් බව ද විදුහල්පතිවරයා පෙන්වා දෙයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත අධ්‍යාපන කලාපයට අයත් මෙකී විද්‍යාලය විද්වතුන් රැසක් මෙරටට දායාද කළ හා ක්‍රීඩාවෙන් දක්ෂතා පෙන්නුම් කළ පාසලකි. ජනප්‍රිය පාසල් පදනම් කරගත් සංවර්ධන ව්‍යාපෘති නිසා මෙකී පාසල දේශපාලකයන්ට හා ඉහළ පෙළේ අධ්‍යාපන බලධාරීන්ට මඟහැරී ඇත. ගුණාත්මක බව තවදුරටත් ඉහළ දමන්නේ නම්, ශ්‍රී ලංකා මාතාව රනින් බැබළවීමට දක්ෂතා ඇති සිසු දරුවන් පාසලේ සිටින බව පසුගිය කාලය පුරා පෙන්නුම් කෙරිණි.

මධ්‍යම පළාත් ක‍්‍රීඩා, යෞවන කටයුතු, වනිතා, ග‍්‍රාම සංවර්ධන හා කර්මාන්ත පිළිබද අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා ‘පල්ලේබෝවල මහා විද්‍යාලය කියන්නේ අති දක්ෂ දරුවන් ඉන්න තැනක්. ඒ අය පුද්ගලිකවම මම මුණගැහිලා කතා කළා. පාසලේ අඩුපාඩු ගණනාවක් ගැන මාව දැනුවත් කළා. මේ වෙන කොට අපි ඒ පාසලට අවශ්‍ය උපකරණ ලබා දෙන්න මිල ගණන් කැඳවලයි තියෙන්නේ. ඒ ක්‍රියාවලිය අවසන් වූ වහාම අපි ඒ උපකරණ පාසලට ලබා දෙන්න කටයුතු කරනවා‘

අමාත්‍යවරයා පාසලේ අඩුපාඩු සම්බන්ධයෙන් මැදිහත්වීමට බලාපොරොත්තුවෙන් සිටී. දුෂ්කරතා මධ්‍යයේ ඇරැඹූ ගමනින් අනාගතයේ මෙරට ක්‍රීඩා තරු බිහිකර ගැනීමට පල්ලේබෝවල මහා විද්‍යාලයට හැකිවේ යැයි විශ්වාසයෙන් පසුවන බව ක්‍රීඩා ආචාර්යවරයා ගේ අදහසය.

නව අදහස දක්වන්න