හොර නඩයේ ලොක්කා? | දිනමිණ

හොර නඩයේ ලොක්කා?

රාජපක්ෂ මහතාගේ අනුග්‍රහය ලබමින් විදේශවල සැඟව සිටින එකම පුද්ගලයා උදයංග වීරතුංග මහතා පමණක් නොවෙයි. රාජපක්ෂ පවුලේ තවත් ප්‍රබලයෙක් වන හිටපු අමෙරිකානු තානාපති ජාලිය වික්‍රමසිංහ මහතා ද මේ ආකාරයෙන් නීතියට අභියෝග කරමින් කට්ටි පනිමින් සිටිනවා. ඒ අතර තවත් සිය ගණනක් චූදිතයන් හැකි සෑම උපක්‍රමයක්ම අනුගමනය කරමින් අධිකරණය මඟහැර සිටීම හෝ නඩු කල්දමා ගැනීම වැනි ප්‍රවේශ අනුගමනය කරමින් සිටිනවා.

“මම මේ කරන්නේ ආණ්ඩුවට උදව්වක්” මෙහෙම කියන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. සුපුරුදු ලෙස පන්සල් ගොස් පංචශීලයේ පිහිටා බුදුන් වැඳ පුදා ගනිමින් එළියට පැමිණෙන විටම තමා වටා රොද බඳින මාධ්‍යවේදීන් හමුවේ බොහෝම උජාරුවෙන් හිටපු ජනාධිපතිවරයා මේ උදාන වාක්‍යය ප්‍රකාශ කළා. එහිදී මාධ්‍ය වාර්තා කළේ ජාත්‍යන්තර පොලිසිය මගින් වරෙන්තු නිකුත් කර සිටින උදයංග වීරතුංග ලංකාවට ගෙන ඒමට ආණ්ඩුවට නොහැකි මන්දැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කළ බවයි.

“අලි බබා සහ හොරු හතළිහ” නව සංස්කරණය වශයෙන් සැලකිය හැකි මහින්ද - උදයංග මෙගා ටෙලිනාට්‍යයේ තවත් කොටසක් සඳහා තිර පිටපත, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය හා ප්‍රධාන නළුවාගේ ද භූමිකාව නිරූපණය ඇතුළු සියලු කටයුතු තනිවම කරමින් හිටපු ජනාධිපතිවරයා පසුගිය 26 වැනිදා කතරගමදී කළ ප්‍රකාශයට අනුව උදයංග වීරතුංග තමන් පාසල් යන දරුවන් පාසල්වලින් ඉවත් කරගෙන, ගේ දොර ආදිය බාරදී ලංකාවට පැමිණෙන්න තවත් මාසයක පමණ කාලයක් ගත විය හැකියි. ඒ නිසා අපට තවත් සති කිහිපයක් අඛණ්ඩව දිග හැරෙන ප්‍රහසනය හා කුතුහලය පිරි මේ මෙගා නාට්‍යයේ තවත් කොටස් කිහිපයක් සතුටින් රස විඳීමට හැකියාව ලැබෙන බව පැහැදිලියි.

මහින්දගේ සූදානම කුමකටද ?

මහින්ද රාජපක්ෂ මහතාට 2005 ජනාධිපතිවරණයේදී ප්‍රචාරක කටයුතු සඳහා චීන හාබර් සමාගමේ උප ගිණුමකින් අමෙරිකානු ඩොලර් මිලියන 07ක් ගෙවා ඇති බවට ලෝප්‍රකට නිව්යෝර්ක් ටයිම් පුවත්පත පසුගියදා කළ විශේෂ හෙළිදරව්ව පවා නොතකා මහින්ද රාජපක්ෂ - උදයංග වීරතුංග රංගනය ගැන විශේෂ අවධානයක් මෙවර “අන්වීක්ෂය” කොළම තුළින් යොමු කිරීමට තීරණය කළේ කරුණු කිහිපයක් නිසයි. ඒ අතර ප්‍රධාන වන්නේ මහින්ද රාජපක්ෂ මහතා දූෂිතයන් හා චූදිතයන් ආරක්ෂා කිරීමට දක්වන උනන්දුව හා එසේ කරමින් යළි දේශපාලන වාසි ලබා ගැනීමට ගන්නා ප්‍රයත්නය ජනතාව හමුවේ නිරාවරණය කළ යුතු නිසයි.

මහින්ද රාජපක්ෂ යුගයේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ පවුල් ගසේ තවත් ප්‍රබල අත්තක් වශයෙන් සැලකෙන උදයංග වීරතුංග මහතාට එරෙහිව එල්ල වී ඇති ප්‍රබලම චෝදනාව වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ප්‍රහාරක යානා මිලදී ගැනීමේ දී ඩොලර් මිලියන ගණනක දැවැන්ත වංචාවක් සිදුකර ඇති බවට වන චෝදනාවයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ද සම්බන්ධව ඇති මේ චෝදනාව සම්බන්ධයෙන් වන විමර්ශන මඟහැර පසුගිය කාලය පුරාම කට්ටි පනිමින් සිටින වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර පොලිසිය මගින් වරෙන්තු නිකුත් කර ඇති අතර මේ වන විට වීරතුංග මහතා ඩුබායි ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගියදා වාර්තා කළා.

වීරතුංග මහතාට මිග් 27 ප්‍රහාරක යානා මිලදී ගැනීම සම්බන්ධ දූෂණ චෝදනාව පමණක් නොව තවත් චෝදනා කිහිපයක් තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා. ඒ අතර ප්‍රමුඛ වන්නේ යුක්රේන කැරලිකරුවන්ට අවි ලබා දුන් බවට වන චෝදනාව සහ තානාපති කාර්යාලයේ සේවකයකු හදිසියේ මිය යාම සම්බන්ධ චෝදනා ප්‍රමුඛ වන බව මාධ්‍ය වාර්තා කරනවා.

හොරාට කලින් කැණ වැට පනින හැටි

මෙහි ප්‍රමුඛම චෝදනාව වන මිග් 27 ගුවන් යානා මිලදී ගැනීමේදී සිදු වූ බව කියන දූෂණ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පසුගිය තෙවසරකට ආසන්න කාලයක් පුරා උදයංග වීරතුංග මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා උත්සාහ කළත් වීරතුංග මහතා දිගින් දිගටම ඒ නියෝගය පැහැර හරිමින් කටයුතු කළා පමණක් නොව ඇතැම් අවස්ථාවලදී ආණ්ඩුවට අභියෝග කිරීමට ද පියවර ගත්තා. මේ අභියෝග කිරීම් හා කට්ටි පැනීම් ගැන ආණ්ඩුව දැඩි සැලකිල්ලක් යොමු කළත් මේ දක්වා නෛතික ක්‍රියාවලියක් මගින් ඩුබායිහි අත්අඩංගුවේ සිටින බව කියන උදයංග වීරතුංග මහතා ලංකාවට ගෙන්වා ගැනීමට ගැටලු කිහිපයක් තිබෙන බව ආණ්ඩුව පසුගියදා ප්‍රකාශ කළ අතර එම නෛතික ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ගත් පියවර සාර්ථකව අවසන් කර ඇති බව ද ආණ්ඩුව ප්‍රකාශ කරනවා. ඒ අනුව ආණ්ඩුව පැහැදිලිව අවධාරණය කරන්නේ ඩුබායි ආරක්ෂක අංශ භාරයේ සිටි උදයංග වීරතුංග මහතාව ලංකාවට ගෙන ඒම තවත් දින කිහිපයකින් සිදු කළ හැකි බවයි. මේ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද පසුගියදා (26) කැබිනට් රැස්වීමෙන් පසු ඇමැතිවරුන් සමඟ ප්‍රකාශ කර තිබුණා. එහිදී අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ ජාත්‍යන්තර පොලිසිය මගින් වරෙන්තු නිකුත් කර ඇති ජාත්‍යන්තර වරෙන්තුකරුවෙක් වන උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒමට කාගේවත් මැදිහත්වීමක් අවශ්‍ය නැති බවයි.

එහෙත් ලබා ගත හැකි ඕනෑම අවස්ථාවක් ආණ්ඩුවට එරෙහිව භාවිත කරමින් තම ප්‍රචාරක වාසියට යොදා ගනිමින් ‘මංපොර’ වීමට කැසකවන මහින්ද රාජපක්ෂ මහතා “හොරාට කලින් කණ වැට පනින’ න්‍යාය” අනුව යමින් උදයංග වීරතුංග කතාවත් තම වාසියට යොදා ගැනීමට උත්සාහ කරමින් සිටිනවා. රාජපක්ෂ කල්ලියේ ඊනියා රූකඩ සංවිධානයක් වශයෙන් සැලකිය හැකි “යහපාලන වින්දිතයෝ” නම් සංවිධානය හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් රාජපක්ෂ කල්ලිය පසුගියදා මුට්ටිය දා බැලුවේ උදයංග වීරතුංගව නිල වශයෙන් අත්අඩංගුවට ගැනීම වළක්වා ලමින් රාජපක්ෂ පවුලට (විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂට) සුපුරුදු ‘අත්අඩංගුවට ගැනීමෙන් වැළකීමේ’ ප්‍රවේශය වෙත යාමට බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර අදහසක් තිබෙනවා.

මේ බව “යහපාලන වින්දිතයෝ ” නම් ඊනියා සංවිධානය විසින් පසුගියදා නිකුත් කළ මාධ්‍ය නිවේදනය මගින් ද පැහැදිලි වන බව නීතිවේදීන් පවසනවා.

මේ සම්බන්ධයෙන් මේ ලියුම්කරු සමඟ අදහස් දැක්වූ ප්‍රවීණ නීතිවේදියෙක් පවසා සිටියේ රාජපක්ෂ පවුලේ කිසිවෙකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත වීම රාජපක්ෂ පවුල විසින් තවදුරටත් නොඉවසන තත්ත්වයක් තුළ (මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත හෝ) උදයංග වීරතුංග කටුනායක ගුවන් තොටුපොළට පැමිණි වහා අත්අඩංගුවට ගැනීමේ නෛතික හැකියාවක් පොලිසියට පවතින බැවින් එය වළක්වා ගැනීමේ සැලසුමක් රාජපක්ෂ පවුල විසින් ක්‍රියාත්මක කර ඇති බවක් දැකිය හැකි බවයි. මේ බව යහපාලන වින්දිතයෝ සංවිධානය විසින් පසුගියදා නිකුත් කළ මාධ්‍ය නිවේදනය මගින් ද පැහැදිලි වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. එම සංවිධානය 29 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් උදයංග වීරතුංග මහතාව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ලබා ගැනීමේ සූදානමක් පවතින බව ද සඳහන් කළ මේ නීති ප්‍රවීණයා වැඩිදුරටත් සඳහන් කළේ යම් කිසි ආකාරයකින් ශ්‍රේෂ්ඨාධිකරණය (ගෝඨාභය රාජපක්ෂට, ටිරාන් අලස්ට මෙන්) උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ලබා දුන්නොත් එය ආණ්ඩුවට සේම අදාළ පරීක්ෂණ සඳහා ද දැඩි හානිකර සිදුවීමක් වීම නොවැළැක්විය හැකි බවයි.

සාටකයට මුවා වී හොරු හා දූෂිතයන් සුරක්ෂිත වීම

උදයංග වීරතුංග ඇතුළු තම පාලනයේ වරප්‍රසාදලාභීන් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා දක්වන ලැදියාව හා ඒ ඇසුරින් යහපාලනයට, නීතියේ ආධිපත්‍යයට එල්ල වී ඇති අභියෝග ගැන අප අපගේ දැඩි අවධානය යොමු කළ යුතුයි. මෙහිදී නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ප්‍රමුඛ අදහස වන්නේ යම්කිසි පුද්ගලයෙකුට එරෙහිව සිදුවන නෛතික ක්‍රියාවලියකට සහාය නොදී එය මඟහැර අධිකරණයට කට්ටි පැනීම හා ඒවාට ආධාර අනුබලදීම නීතිය ඉදිරියේ වරදක් වශයෙන් සැලකිය හැකි බවයි.

එහෙත් තමන් ඇතුළු තම පවුල නීතියට ඉහළින් සිටින්නේයැයි සිතා සිටින මහින්ද රාජපක්ෂ මහතාට සහ රාජපක්ෂ පවුල පසුගිය කාලය පුරාම අඛණ්ව හා ශක්තිමත්ව මේ නෛතික ක්‍රියාවලීන්ට බාධා කරමින් චූදිතයන්ට රැකවරණය ලබාදෙමින් සිටින බවක් අපට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි. උදයංග වීරතුංග මහතා සම්බන්ධ මහින්ද රාජපක්ෂ මහතාගේ හැසිරීම මේ සඳහා දැක්විය හැකි එක් උදාහරණයක් පමණයි. තමන්ට එරෙහිව ඇති චෝදනාවලට ලංකාවට පැමිණ සාක්ෂි ලබා දෙන ලෙස ආණ්ඩුවට උදයංග වීරතුංග මහතාගෙන් ඉල්ලා සිටි පසුගිය තෙවසරකට ආසන්න කාලය පුරාම රටින් රට කට්ටි පනිමින් සිටි වීරතුංග මහතා සමඟ මහින්ද රාජපක්ෂ මහතා ගනුදෙනු කළා පමණක් නොව අවස්ථා තුනකදී ජපානය ඇතුළු රටවල් කිහිපයකදී උදයංග වීරතුංග මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළ බවට මාධ්‍ය වාර්තා කළා. මේ තත්ත්වය තුළ උදයංග වීරතුංග මහතාව මෙරටට ගෙන්වා ගැනීම මහින්ද රාජපක්ෂ මහතාට ඉතා පහසු කටයුත්තක් බවට අගමැතිවරයා පසුගියදා කළ ප්‍රකාශය අතිශයින්ම තර්කානුකූල එකක් බව අපට පැහැදිලි වෙනවා.

මෙහිදී දේශපාලන විශ්ලේෂකයන් හා නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් තවත් කරුණු කිහිපයක් කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කරනවා. ඒ දූෂිතයන් හා අපරාධකරුවන් ආරක්ෂා කිරීම හා ඔවුන්ට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට අඛණ්ඩ ඉතිහාසයක් තිබෙන බවත් එය රාජපක්ෂ පාලන සමයේ රටේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම සඳහා ප්‍රබල හේතුවක් වූ බවයි.

මේ සඳහා ඔවුන් විසින් ඉදිරිපත් කරන පැහැදිලි නිදසුනක් වන්නේ ප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන “ජුල්ලම්පිටියේ අමරේ” සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා දීර්ඝ කාලීනව අනුගමනය කළ බව කියන අනුග්‍රහාත්මක ප්‍රවේශයයි. (“අමරේ මම ඇවිත් ඉන්නේ බය නැතිව එළියට එන්න- විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ) ඒ සමඟ පළාත් සභා ඇමැතිවරයෙක් වූ නිමල් ලාන්සා, දුමින්ද සිල්වා ආදීන් සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂ මහතා මේ ආකාරයේ අනුග්‍රහාත්මක ප්‍රවේශයක් දැක් වූ බවට ප්‍රබල චෝදනාවක් තිබෙනවා. මෙහිදී හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ප්‍රබල චෝදනාව වන්නේ රාජපක්ෂ මහතාගේ කුරහන් සාටකයට මුවා වී පසුගිය කාලය පුරාම දූෂිතයන් හා ඝාතකයන් සුරක්ෂිත වූ බවයි. ඔවුන් නීතියට අභියෝග කරමින් නිදැල්ලේ සිටීම සඳහා රාජපක්ෂ මහතාගේ දේශපාලන බලය යොදා ගත් බවයි. එය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක වීම දේශපාලන අනතුරක් වශයෙන් ඔවුන් සලකනවා.

දූෂිතයන් රැකි යුගය අමතක කිරීම

දූෂිතයන් හා ඝාතකයන් සම්බන්ධයෙන් මේ ආකාරයේ අනුග්‍රහයක් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා අනුගමනය කළ ප්‍රවේශය හමුවේ 2005 -2015 යුගයේ රට තුළ නීතියේ ආධිපත්‍ය බිඳ වැටුණු බව අද මහින්ද රාජපක්ෂ මහතාට අමතකව තිබෙනවා. ඒ නිසා හිටපු ජනපතිවරයාට පසුගිය තෙවසරක කාලය පුරා යහපාලන ආණ්ඩුවට හා එහි ක්‍රියාකාරීත්වයට අභියෝග කිරීමට පමණක් නොව සරදම් කිරීමට පවා හැකියාවක් ලැබී තිබෙනවා.

“මම උදයංග ගෙන්වන ආකාරයෙන් අගමැතිවරයාට එයාගේ යාළුවා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට ගෙන ඒමට පුළුවන් විය යුතුයි" යැයි හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ වහසි බස් දොඩවන්නේ මේ නිසා බව අපට වටහා ගත හැකියි.

හිටපු ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශයට අගමැතිවරයා ද ක්ෂණිකව ප්‍රතිචාර දක්වා තිබීම වැදගත් කරුණක් වශයෙන් අපට සැලකිය හැකියි. පසුගියදා තම කැබිනට් සගයන් හමුවේ අගමැතිවරයා පවසා තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා පසුගිය කාලය පුරාම අඛණ්ඩව සැඟවී සිටි උදයංග වීරතුංග මහතා සමඟ සමීප සබඳතා පැවැත්වූවාට අර්ජුන් මහේන්ද්‍රන් මහතා තනතුරෙන් ඉවත් කළාට පසු තමා ඔහු සමඟ කිසිදු සබඳකමක් නොපැවැත්වූ නිසා තමාට නම් මහින්ද රාජපක්ෂ මහතාට සේ වික්‍රමයක් කළ නෙැහැකි බවයි.

අගමැතිවරයාගේ මේ ප්‍රකාශය හරහා අපට දූෂිතයන් හෝ දූෂණ චෝදනා ලැබූවන් සම්බන්ධයෙන් අගමැතිවරයාගේ යහපාලන ප්‍රවේශය හා එවැනි චූදිතයන් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා අනුගමනය කරන අවස්ථාවාදී ප්‍රවේශය පහසුවෙන් හඳුනාගත හැකියි. උදාහරණයක් ලෙස රාජපක්ෂ මහතාගේ අනුග්‍රහය ලබමින් විදේශවල සැඟව සිටින එකම පුද්ගලයා උදයංග වීරතුංග මහතා පමණක් නොවෙයි. රාජපක්ෂ පවුලේ තවත් ප්‍රබලයෙක් වන හිටපු අමෙරිකානු තානාපති ජාලිය වික්‍රමසිංහ මහතා ද මේ ආකාරයෙන් නීතියට අභියෝග කරමින් කට්ටි පනිමින් සිටිනවා. ඒ අතර තවත් සිය ගණනක් චූදිතයන් හැකි සෑම උපක්‍රමයක්ම අනුගමනය කරමින් අධිකරණය මඟහැර සිටීම හෝ නඩු කල්දමා ගැනීම වැනි ප්‍රවේශ අනුගමනය කරමින් සිටිනවා.

රාජපක්ෂ පාලනයේ වින්දිතයෝ

අපට යළි මහින්ද රාජපක්ෂ යුගය වෙත යා හැකි නම් අධිකරණය ඉදිරියේ චූදිතයන් වීමට ආසන්න හෝ අධිකරණය මඟහැර සිටීමේ අවශ්‍යතාව ඇති කොපමණ පිරිසක් කුරහන් සාටකයේ සැඟවී සිටියා ද යන්න පහසුවෙන් හඳුනාගත හැකියි. උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙක් වන කුරාම් ෂයික් ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂ්‍ය කළ තංගල්ල නගර සභාවේ සභාපතිවරයාගේ සිට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට සැකකළ දුමින්ද සිල්වා දක්වා දේශපාලනඥයන් ද ස්ත්‍රී දූෂණ චෝදනා හා බාලාපචාර චෝදනා තිබූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සරුවා සුනිල් ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන් විශාල පිරිසක් ද කුරහන් සාටකයේ අනුග්‍රහය හා ආශිර්වාදය ලැබුවා. ඒ අතර මර්වින් සිල්වා ආදී කැබිනට් ඇමැතිවරු මාධ්‍ය ආයතනවලට පහර දෙමින්දෑවැන්ත භීෂණයක් රට තුළ වැපිරීමට පියවර ගත්තේ කුරහන් සාටකයෙන් ලැබෙන අසීමිත රැකවරණය ගැන තිබූ පැහැදිලි විශ්වාසය නිසා බව අපට පැහැදිලියි.

මේ අතර අද රාජපක්ෂ කල්ලිය මහත් අභිරුචියෙන් තලුමරමින් සිටින පාතාල ඝාතන සහ කුඩු ගැනත් සඳහන් නොකිරීම අඩුවක් වශයෙන් සැලකිය හැකියි. මීට මාස කිහිපයකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ද පාර්ලිමේන්තුවේ යළි හෙළි කළ ආකාරයට මහින්ද රාජපක්ෂ යුගයේ පළාත් සභා ඇමැතිවරුන්ගේ සිට තවත් බොහෝ දෙනෙක් කුඩු සම්බන්ධයෙන් චෝදනා ලබන විට රාජපක්ෂ අනුග්‍රහයෙන් සුරක්ෂිත වුණා. සුප්‍රකට නිමල් ලන්සා සම්බන්ධ සිදුවීම මෙහි එක් ජවනිකාවක් පමණයි. ඒ සමඟ තවත් සිය ගණන් පාතාල ඝාතන හා පැහැර ගැනීම් මේ යුගයේ එදිනෙදා සාමාන්‍ය සුපුරුදු සිදුවීම් බවට පත්ව තිබුණා. අද කිරිවෙහෙර රජ මහා විහාරයේ නා හිමියන්ට වෙඩි තැබීම මීට පෙර මෙරට නොඇසූ විරූ දේ ලෙස දකින මහින්ද රාජපක්ෂ මහතාට තම පාලන සමයේ දී රටපුරා තැන් තැන්වල සිදු වූ භික්ෂූන් වහන්සේලා කිහිප නමකගේ ඝාතන අමතක වීම පුදුමයක් ලෙස සැලකිය හැකියි.

අවසාන වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අඛණ්ඩව හා නිර්මාණාත්මකව සිදුවන සාවද්‍ය හා ප්‍රයෝපකාරී මාධ්‍ය භාවිතය ගැනත් උදයංග වීරතුංග මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් පසුගිය දිනවල මාධ්‍ය නිවේදන නිකුත් කරමින් හිට්ලර්ලාට පාවඩ එළන ඊනියා යහපාලන වින්දිතයෝ ගැනත් සමාජය මීට වඩා සංවේදී විය යුතුයි. ඊට හේතුව වන්නේ රාජපක්ෂ පාලනයේ වින්දිතයන් බවට පත් මෙරට 64 ලක්ෂයක් ජනතාව යළි උපන් ජනතාවක් වශයෙන් සැලකීමට මේ දක්වා හැකියාවක් නොමැති නිසයි. ඒ නිසා අවසාන වශයෙන් අවධාරණය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා තම ඥාතී පුත්‍ර උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ආවත් නැතත් යළි රාජපත්ෂ පාලනයේ වින්දිතයන් බවට පත්වීමට නම් මෙරට අති බහුතරයක් ජනතාව සූදානම් නොමැති බවයි.

සටහන භාතිය බරුකන්ද

නව අදහස දක්වන්න