ජ්‍යෙෂ්ඨ නිලධාරින් 05 ක් මේජර් ජෙනරාල් නිලයට | දිනමිණ

ජ්‍යෙෂ්ඨ නිලධාරින් 05 ක් මේජර් ජෙනරාල් නිලයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයටත්, කපිතන් නිලයේ නිලධාරින් 34 දෙනෙකු මේජර් නිලයටත් නිල උසස්වීම් ලබාදී ඇති බව යුද සේවා ලේකම් ශාඛාව විසින් නිකුත් කල නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බ්‍රිගේඩියර් එච්.ජි.අයි විද්‍යානන්ද, වත්මන් කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසහී ආඥාපති වශයෙන් කටයුතු කරන අතර, 2018 මැයි මස 16 වන දින සිට බල පැවැත්වෙන පරිදි තාවකාලික මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත.

ඔහු වත්මන් තනතුරට පත්වීමට පෙර යුද්ධ හමුදා භඨ කාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක තනතුර සහ යුද්ධ හමුදා මුලස්ථානයේ යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ තනතුර මෙන්ම යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ කර්නල් පාලන හා භඨ කාර්ය සම්පාදන තනතුර හා යුද්ධ හමුදා මුලස්ථානයේ යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් යුධෝපකරණ සේවා තනතුර ආදී වෙනත් තනතුරු රැසක් හොබවා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් ටී.ජේ නානයක්කාර, වත්මන් 11 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් කටයුතු කරන අතර, 2018 මැයි මස 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලික මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත.

ඔහු 56 සහ 54 යන සේනාංකයන්හි සේනාංකාධිපති ධූරයත්, යුද්ධ හමුදා මුලස්ථානයේ බඳවාගැනිම් අධ්‍යක්‍ෂ ලෙසත්, මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික තනතුර හා මන්නාරම ප්‍රාදේශීය මුලස්ථානයේ ආඥාපති ධුරය මෙන්ම ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක තනතුරත් හොබවා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඩී.එම්.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ආර්.බී.එම් දවුලගල 2018 මැයි මස 16 දින සිට බල පැවැත්වෙන පරිදි තාවකාලික මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත.

ඔහු යුද්ධ හමුදා මුලස්ථානයේ වත්මන් අධ්‍යක්‍ෂ බඳවාගැනීම් වශයෙන් කටයුතු කරන අතර, නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික තනතුරත්, 681 වන බලසේනාවේ බලසේනාධිපති තනතුරත්, 58 වන සේනාංකයේ සහ 61 වන සේනාංකයේ වැඩබලන සේනාංකාධිපති තනතුර සහ 56 වන සේනාංකයේ සේනාංකාධිපති තනතුර යන තනතුරු රැසක් හොබවා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් එස්.කේ තිරුනාවුකරසු වත්මන් යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ වශයෙන් කටයුතු කරන අතර 2018 මැයි මස 20 වන දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලික මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත.

ඔහු 653 වන බලසේනාවේ බලසේනාධිපති තනතුරත්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්‍ෂ (සම්බන්ධීකරණ) තනතුරත්, යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික තනතුරත්, 55 සහ 51 යන සේනාංකයන්හි සේනාංකාධිපති තනතුර ආදි විවිධ තනතුරු රැසක් හොබවා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් පී.ආර්. වනිගසූරිය මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ වත්මන් සේනාංකාධිපති වශයෙන් කටයුතු කරන අතර, 2018 ජූනි මස 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලික මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත.

ඔහු ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන උපදේශක තනතුරත්, 653 වන බලසේනාවේ බලසේනාධිපති තනතුරත්, යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ පුහුණු තනතුරත්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ හා හමුදා මාධ්‍ය ප්‍රකාශක තනතුර සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) තනතුර ආදි විවිධ තනතුරු රැසක් හොබවා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

මෙම නිල උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද්ධ හමුදාවේ ආධාරක, පාබල හා සේවා රෙජිමේන්තු නියෝජනය කරමින් දශක 03 ක් පුරා රට බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් මුදවාගැනීමට දියත්කරන ලද මානුෂීය මෙහෙයුමේදී තම මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ඨ හා ගෞරවණීය සේවාවක් ඉටුකර ඇත.

නව අදහස දක්වන්න