සඳ | දිනමිණ

සඳ

දවස් බොහොම හෙමි­හිට ගත වෙන්න පටන් ගත්තා. මෙලා­වියෝ ඇවිද්ද සෑම අඩි­යක් ම ගත්තෙ නැවති නැවති. වෙහෙ­ස­ක­රයි.

කළු පාට හිම වැටෙන්න පටන් ගත්තා කොළ­ඹට. සීත­ලයි. මෙලා­වියෝ රෑට ගැහි ගැහී ජනේලෙ ඇරල කකුල් දෙක මහා පාතා­ලෙට දාගෙන තරු­ව­ක්වත් නැති අහස දිහා ඔහේ බලා­ගෙන හිටියා. කන්න අම­තක වුණා. පූසට කන්න දෙන්නත් අම­තක වුණා. පූසා ඇවිත් කමිසෙ කීතු කීතු ඉරෙ­න­කන් ම කෑම ඉල්ලුවා. ඒත් මෙලා­වි­යෝට දැනුණෙ නෑ. දවස් දෙක­කට පස්සෙ රෑක පූසා කෑම හොයා­ගෙන යන්න තීර­ණය කලා. ගැරේජ් එකේ දොරෙන් රිංගල ගොඩ­නැ­ගිල්ල පිට­තින් තියෙන අඟල් තුන හත­ර­කට වඩා පළල් නැති පීල්ල දිගේ අල්ලපු ගෙදර ජනේලෙ දිහා­වට ගියා. ජනේලෙ වහලා. කළු පාට හිම වැටිලා ටික ටික කළු පූසා හිම ගොඩක් වගේ පේන්න ගත්තා. හිම ගොඩ කිටි කිටි ගාලා ගැහුණා. පාන්දර ජනේලෙ ඇරුණා. ඒකෙන් කුණු බෑග් එකක් අහ­සට වීසි වුණා. ජනේලෙ වැහෙන්න කලින් කළු පූසා ඇතු­ළට පැන්නා. ආයෙත් ජනේලෙ ඇරුණා. පූසා ජනේ­ලෙන් විසි වුණා. ආයෙත් ජනේලෙ වැහුණා. මෙලා­වියෝ බලා­ගෙන හිටියා. මුලින් ම කුණු බෑග් එකත් ඊළ­ඟට කළු පූසත් අඳුර මැදට කඩා වැටිල අතු­රු­දන් වුණ හැටි.

දවස් දෙක­කට පස්සෙ මෙලා­වි­යෝට නිව්මෝ­නි­යාව. දවස් තුනක් රෝහ­ල්ගත වෙලා හිටියා. ඊළඟ දවසෙ වැඩට ගියා ම ඇතීනා ආවා එයාව හම්බෙන්න.

‘තෑන්ක්ස් ඩොක්ටර්’ඇතීනා කිව්වා. අර හිනාව එහෙ­ම­මයි. ‘මම සිලෙක්ට් වුණා. මගේ ෂට්ල් එක තියෙන්නෙ තව සති දෙක­කින් ඉරිදා.’

ආ … මෙලා­වියෝ ඇතීනා දික් කරපු අත ඇල්ලුවා. ඊළ­ඟට එයා ගියා. ඒ මෙලා­වියෝ ඇතීනා දැක්ක අන්තිම වතාව.

මෙලා­වි­යෝගෙ කාර්ය­ක්ෂ­ම­තාව අඩු වී ඇති බවත් නිර්දේශ කල බෙහෙත් ප්‍රමා­ණය අඩු වී ඇති බවත් ඉහළ පාල­නා­ධි­කා­රි­යෙන් දැනුම් දුන්නා. ආයෙ සුපු­රුදු ජීවි­ත­යට යන්න තීර­ණය කරපු මෙලා­වියෝ ආයෙත් චිත්‍ර­පටි බලන්න යන්න පටන් ගත්තා. චිත්‍ර­කතා කිය­වන්න පටන් ගත්තා. අලුත් පූස් පැටි­යෙක් ගන්න තැනක් හොයල බැලුවා. ඒත් මෙලා­වියෝ ආයෙ කව­දා­වත්, ඩ්‍රැකි­යුලා සුදු­මැලි වෙච්ච ගෑනු ළම­යෙ­ක්ගෙන් ලේ උරා බොන­කොට තිගැ­ස්සුණේ නෑ. ආවේශ වෙච්චි පුංචි ළම­යෙක් ඔළුව කර­කව කර­කව වහලෙ දිගේ ඇවි­දි­න­කොට බිරාන්ත වෙලා පුටුවෙ ගුලි වුණේ නෑ. ඔහේ බලා­ගෙන හිටියා. පොප් කෝන් හැම­දාම ඉතුරු වුණා. හිතට හරි­යන පූස් පැටි­යෙක් හම්බු­ණෙත් නෑ.

එක ඉරිදා දව­සක නිදා­ගෙන හිටපු මෙලා­වියෝ ගැස්සිලා ඇහැ­රුණා. ඉර බැහැ­ගෙන යන්න ළඟයි. කම්මැ­ලියි. කෝපි කෝප්ප­යක් හදා­ගෙන ඒක සීතල වෙන­කන් ම බිබී හිටපු මෙලා­වියෝ දිග කළු කබා­යත් ඇඳ­ගෙන වාහ­නේට නැග්ගා. කළු­වර වෙලා. පුංචි වැස්සක් වැටෙ­නවා. ගොඩ­නැ­ගිලි අතර පියා­ඹන වාහන තද­බ­ද­යක හිර­වෙලා. හෝන් ගහ­නවා. හෙඩ්ල­යිට් පත්තු කර­නවා. ජනෙ­ල්ව­ලින් ඔළුව දාල එකි­නෙ­කාට බැන ගන්නවා.

ගාලු මුව දොර ළඟට යන­කොට තද­බ­දය අඩු වුණා. හැන්දෑවෙ අටට ළඟයි. මෙලා­වියෝ පීඨි­කා­වට වාහනේ පාත් කරල නැවැ­ත්තුවා. හීන් වැස්සට ඔළුව නොතෙ­මෙන්න කබායෙ කොලර් දෙක ඔළු­වට උඩින් ඇද­ගෙන පීඨි­කාව අග බංකු­වක ඉඳ­ගත්තා. අඩි සිය ගාණක් පහ­ළින් පේන මුහුදෙ අහස උසට නැගිච්ච කොළඹ විදුලි එළි දිස්න දිදී නට­නව. ක්ෂිති­යට පොඩ්ඩක් මෙහා පැත්තෙ කොළඹ අන්ත­ර්ජා­තික අභ්‍ය­ව­කාශ සෝපා­නය. මුහුද මැද තියෙන යෝධ පීඨි­කාව මැදින් යෝධ කාබන් ෆයි­බර් බටය සේද නූලක් වගේ විදුලි එළි දල්ව­ගෙන අහ­සට නැගිල නොපෙනී ගිහින් අනිත් කොන ශ්‍රී ලංකා අභ්‍ය­ව­කාශ මධ්‍ය­ස්ථා­න­යට සම්බන්ධ වෙලා. මෙලා­වියෝ දිව්‍ය ලෝකෙට නඟින පඩි­පෙළ දිහා බලා­ගෙන හිටියා. තව­මත් හරි­යට සුව වෙලා නැති නිසා ඇඟ කොලර් අත­රින් සිරු­රට රිංගන සීතල වැහි සීරා­වත් එක්ක මෙලා­වියෝ ගැහෙන්න ගත්තා. අටයි කාල වෙද්දි සෝපා­නය වටේ රතු ආලෝක දැල්වෙන්න වුණා. මොඩි­යු­ලය ගුව­න්ගත වෙන්න සූදා­නම්. අට හමා­රට නිල් පාට ආලෝ­ක­ය­කින් සෝපා­නයේ පාදම එළිය වුණා. ඒ එළිය සෝපා­නයේ බඳ දිගේ වේග­යෙන් අහ­සට නැග්ගා. පුංචි වෙවී ගිහින් කළු­වර අහස මැද අතු­රු­දන් වුණා. මෙලා­වියෝ අහස දිහා බලා­ගෙන හිටියා. වලා දුමාර අත­රින් කලා සම්පූර්ණ කරන්න තව දවස් දෙකක් පමණ තිබිච්ච හඳ එළිය වගුර වගුර හිටියා. ඒක හරිම ලස්සන දර්ශ­න­යක්. ගාලු මුව දොර කලා­තු­ර­කින් යන එන මිනි­ස්සු­න්ගෙන් හිස් වෙලා ගියා ම පහළ මුහුදෙ රැළි ගැහැන සද්දෙ යාන්ත­මට ඇහෙන්න තරම් කල­බල සද්ද අඩු වුණා ම මෙලා­වි­යෝගේ හිතට සැන­සි­ල්ලක් ආවා.

ඇතීනා ගියා. දැන් අම­තක කරල දාන්න. මෙලා­වියෝ හිතට කිව්වා. එහෙම දේවල් වෙන්න පුළු­වන්. ආද­රය කියන එක එක­පාර දැනෙන්න පුළු­වන්. දැනෙ­න­කොට ඒක ලෝකෙ වැද­ගත්ම දේ. ඒක විනා­ශ­කාරී හැඟී­මක්. ඒත් කල් යද්දි තමන්ට එහෙම දැනුණ එකත් විහි­ළු­වක් වගේ දැනෙන්න ගන්නවා. ඒවා ජීවි­තයේ එක එක මොහො­ත­වල්. එච්ච­රයි.

හරි. එහෙ­නම් ඒකත් එච්ච­රයි. මෙලා­වියෝ නැගිට්ටා. පොඩි හිනා­ව­කුත් මූණට ආවා. හිතට දැනෙන්නෙ සැන­සී­මක්. එදා කලින් ම ඇවිත් කලින් ම නිදා­ගත්ත මෙලා­වියෝ අනිත් දවස හරිම නැවුම් විදි­යට දැක්ක. ඒ දවස ඇතු­ළත නිර්දේශ කරපු ඩෙස්පි­ඩො­මීන් ප්‍රමා­ණය වෙනදා ගාණ වගේ එක­හ­මා­රක්. දැන් හැම­දේම හරි. ආයෙත් සුපු­රුදු ජීවි­තය. එදා චිත්‍ර­ප­ටයෙ දි වුල්ව­රීන් උස ගොඩ­නැ­ගි­ල්ල­කින් වැටෙද්දි එයා ඕන­වට වඩා තිගැ­ස්සෙන්න ගිහින් අත වැදුණ පුටු ඇන්දෙ, රිදෙ­න්නම. නළලෙ සුදු පොට්ටු­වක් තියෙන කළු පාට පූස් පැටි­යෙක් හම්බුණා හොලෝ­ග්‍රෑම් තිරයේ උඩට පල්ලෙ­හට යද්දි. ගෙද­රට ම ගෙනත් දෙන්න කියල ඇණ­වු­මක් දාල චීන කඩේට ගිහින් වොඩ්කා මිලි ලීටර් පන­හක් ඉල්ලුවා. හම්බුණේ විස්කි. දව­ස­කට ඇල්කො­හොල් මිලි ලීටර් පන­හ­කට වැඩිය බොන්න හොඳ නෑ. කව­දා­වත් බීලත් නෑ. ඒත් එදා මෙලා­වියෝ තවත් විස්කි ෂොට් එකක් ඉල්ලුවා. කළු දුමෙන් පිරිච්ච සුළඟ වුණත් දැනෙන්න පටන් ගත්තා හරිම සනී­පෙට. යන ගමන් අලුත් චිත්‍ර­කතා පොත­කුත් අර­ගෙන රෑම ඒක කිය­වන්න පටන් ගත්තා. කාලෙ­කට පස්සෙ හිත නිද­හස්.

ඊළඟ දවසෙ රෑත් එහෙ­මයි. ගෙදර ඇවිත් කණ්ණා­ඩි­යෙන් මූණ බලද්දි පේන්නෙ යාන්තම් හිනා­වක් එක්ක තියෙන ප්‍රසන්න මුහු­ණක්. මෙලා­වියෝ තවත් ටිකක් හිනා වුණා. මූණ හිනා­වත් එක්ක ඇදිල පිරුණා. ඔහු මහ හයි­යෙන් හිනා වුණා. කණ්ණා­ඩි­යට ඔළු­වෙන් ගගහ හිනා වුණා. කණ්ණා­ඩිය ඉරි තලල නළ­ලෙන් ලේ ගැලුවා. තවත් හයි­යෙන් හිනා මෙලා­වියෝ වුණා. ගෙදර බිත්ති­ව­ලට හිනා වුණා, බැන්නා. කුණු රෙදි බාල්දි­යට පයින් ගැහුවා. බය වෙච්ච පූස් පැටියා කබඩ් එකක් යටින් හෙමි­හිට බඩ­ගා­ගෙන ගිහින් ඇඳුම් රාක්කෙ එල්ලල තිබුණ උස කබාය දිගේ නැගල ඇතුළු සාක්කු­ව­කට බැහැල හැංඟුණා. මෙලා­වියෝ එයාගේ ඡායා­රූප ප්‍රක්ෂේ­පණ යන්ත්‍ර­යට පයින් ගැහුවා. ඡායා­රූ­ප­වල හිටියා හොඳ පාසල් යන ළම­යෙක්. කොණ්ඩෙ වමෙන් බෙදල කෙලින් හිට­ගෙන, උපා­ධි­යත් අතේ තියා­ගෙන වැද­ගත් විදි­යට ඉන්න තරු­ණ­යෙක්. මනෝ­චි­කි­ත්සක කෝට් එක දාගෙන උපැස් යුව­ළක් දාගෙන ඉන්න එකෙක්. තනි­යම ඉන්න ජායා­රූප ගොඩක්, ලෝකෙ වැද­ගත් ම දේ කර­නව වගේ සෘජුව හිට­ගෙන කැම­රාව ඉස්ස­රහ. ඔහු ප්‍රක්ෂේ­පණ යන්ත්‍රය උස්සල පොෙළාවෙ ගැහුවා. ඡායා­රූප ගැහෙන්න වුණා.

‘මේකද ජීවිතේ’ඔහු ඡායා­රූ­ප­ව­ලට තර්ජ­නය කර කර ඇහුවා. උන් ගැහි ගැහී හිටියා මිස උත්තර දුන්නෙ නෑ. මෙලා­වියෝ ඒක ඔළු­වට උඩින් උස්සල වීසි කළා. ජනෙල් වීදු­රු­වත් කඩා­ගෙන ඒක කළු­වරේ අතු­රු­දන් වුණා.

‘මේකද ජීවිතේ’කළු කෝට්, සුදු ෂර්ට්, කළු කලි­සම් මෙලා­වියෝ ඇඳුම් රාක්කෙන් ඇහුවා. රාක්කෙ සද්ද නෑ. එකම ජාතියෙ ඇඳුම්. කළුයි සුදුයි. එච්ච­රයි. ඒවත් උත්තර දුන්නෙ නෑ. මෙලා­වියෝ පිස්සෙක් වගේ ඇඳුම් රාක්කෙ ඇඳුම් ඔක්කොම උදු­නට වීසි කළා. වැහුවා. හාර­සී­ය­ට කැර­කෙව්වා. කබා සාක්කුවෙ හිටපු පූස් පැටි­යට කව­දා­වත් නොදැ­නිච්ච උණු­හු­මක් දැනුණා.

‘මේකද ජීවිතේ’අන්ති­මට මෙලා­වියෝ බිත්තියෙ ඔළුව ගගහ ඇඬුවා.

‘මේකද ජීවිතේ’
‘මේකද ජීවිතේ’
‘ට්‍රාන්ස්එෆ් 4002’
‘ට්‍රාන්ස්එෆ් 4002’

මෙලා­වියෝ ගල් ගැහිල නතර වුණා. ට්‍රාන්ස්එෆ් 4002. ඇයි එක­පාර ඒක ඔළු­වට ආවෙ ? මොනා­ලිසා ගෑනි. ඇතීනා මුලින් ම ආපු දවසෙ හැන්දෑවෙ ආපු ගෑනි. ට්‍රාන්ස්එෆ් 4002 කියන වච­න­යත් එක්ක මෙලා­වි­යෝට දැනුණෙ කවුරු හරි ඔළු­වට පොල්ල­කින් දමල ගැහුව වගේ. එහෙම්ම බිම වැටුණු මෙලා­වියෝ පැය ගාණක් ඔහේ බලා­ගෙන හිටියා. ට්‍රාන්ස්එෆ් 4002.

පැය­කට විතර පස්සෙ හදි­සි­යෙම නැගිට්ට මෙලා­වියෝ විනාස කරන්න අම­තක වුණ එක ම පරි­ග­ණක තිරය දල්ව­ගත්තා. ට්‍රාන්ස්එෆ් 4002. ඔහු විස්තර කිය­වන්න පටන් ගත්තා.

‘ට්‍රාන්ස්එෆ් 4002 යනු ජීව ශරී­රය රූපා­න්ත­ර­ණය කිරීම සඳහා යොදා ගන්නා රසා­ය­නික, ක්වොන්ටම් ව්‍යුහ­කා­රක සහ නැනෝ පරි­ග­ණක අඩංගු සංයුක්ත ඖෂ­ධ­යකි. මෙම ඖෂ­ධය ලබා ගැනීම මඟින් සිය ජීව විද්‍යා­ත්මක ශරී­රය, මොළයේ රසා­ය­නික ව්‍යුහය, පෞර්ෂ ආකා­රය, ජීව විද්‍යා­ත්මක වයස අවශ්‍ය ආකා­ර­යට වෙනස් කර­ගත හැකිය. තමා රූපා­න්ත­ර­ණය විය ආකා­රය කුමක් දැයි වටහා ගැනීම සහ සිතේ මවා ගැනීම ඉතා සංකීර්ණ මනෝ-ස්නායු­වේදී කරු­ණක් වන අතර ක්‍රමා­නු­කූල ස්නායු ප්‍රති­පෝ­ෂණ(Neurofeedback) ක්‍රියා­ව­ලි­යක් මඟින් පුද්ගල මන­සට එම නව ස්වයං-ප්‍රති­රූ­පය එන්නත් කරනු ලැබේ. ඉන් පසුව ට්‍රාන්ස්එෆ් 4002 එන්නත් කිරීම මඟින් එහි නැනෝ පරි­ග­ණක ස්නායු­ගත නව ස්වයං ප්‍රති­රූ­පය අධි­ශක්ති ක්වොන්ටම් ව්‍යුහ­කා­රක යොදවා ජීව රසා­ය­නික වෙන­ස්කම ශරී­රය තුළ සිදු කරයි. එහෙත් මෙහි ඵල­දා­ය­ක­තා­වය පූර්ණ පරි­ග­ණක අධී­ක්ෂ­ණය යටතේ වුව 24% ඉක්මවා නැත. ඒ නිසා ද ඉන් සිදු­වන ආචාර ධර්මීය සහ සමා­ජ­යීය බල­පෑම නිසා ද 2178 දී ට්‍රාන්ස්එෆ් 4002 අන්ත­ර්ජා­තික තහ­නම් ඖෂධ ලැයි­ස්තු­වට එක්ක­රන ලදී. එහෙත් එය රහ­සි­ගත ලෙස තව දුර­ටත් නිෂ්පා­ද­නය වෙමින් පව­තියි. වස­ර­කට මිලි­ය­න­යක් පමණ මේ ඖෂ­ධය අව­භා­වි­තය නිසා මිය යයි.’

‘මෝඩ ගෑනි … මෝඩ ගෑනි …’මෙලා­වියෝ කාමරේ වටේ ඇවිද්දා. මොනා­ලිසා ගෑනි මොනා­ලිසා වගේ වෙන්න හිතේ මවා­ගෙන තියෙන්නෙ ද්වීමාන ශරී­ර­යක් විදි­යට. මොනා­ලිසා කැන්වස් එකක ඇඳපු චිත්‍ර­යක් නෙව. ඒ නිසා ඇඟ පැතලි නොවී තියෙයි ද?

මෙලා­වියෝ තමන්ගෙ පෞද්ග­ලික හොලෝ­ග්‍රෑම් තිරය දල්ව ගත්තා. මොනා­ලිසා ගෑනිගෙ ලිපි­නය හොයා ගත්තා. වාහ­නේට නැග්ගා. කැල­ණිය පැත්තෙ මුඩුක්කු ගොඩ­නැ­ගි­ල්ලක පහළ ම තට්ටුවේ ලිපි­න­යක්. දොරට තට්ටු කර­න­කොට ම මොනා­ලිසා ගෑනි දොර ඇරියා. ප්‍රති ඖෂධ නිසා තත්ත්වය පාල­නය වෙලා තිබු­ණත් ගෑනිගෙ මූණ තවත් පැතලි වෙලා තිබුණා. ඔළු කට්ටෙ පිපි­රීම් සහ ශ්ලේෂ්මල පටල තැලී ඉරී යාම නිසා නහ­යෙන් නිත­රම ලේ ගල­නවා. ලෙයින් පෙඟුණු ලොකු ලේන්සු­ව­කින් එයා හොටු හූර හූර හිටියා.

මෙලා­වියෝ කිව්වා එයාට ට්‍රාන්ස්එෆ් 4002 ඕනෙ කියල. ගත්ත තැන කිව්වොත් රුපි­යල් බිට් දාහක් දෙන්නම් කිව්වා. ගෑනි කිව්වා බිට් දාහත් ඕනෙ එයත් එක්ක නිදා­ග­න්නත් ඕනෙ කියල. මෙලා­වියෝ කාමරේ විදුලි බල්බ නිවල එයාගෙ කණ්ණා­ඩියෙ අසභ්‍ය චිත්‍ර­ප­ට­යක් දර්ශ­නය වෙන්න දීල ට්‍රාන්ස්එෆ් 4002 විකු­ණන තැන අහ­ගත්තා. උදේ වෙන­කොට කොළඹ පාතාලෙ එක එක මූණු ගාණක් ඉස්ස­රහ උත්තර බැඳල අන්ති­මට ඉතුරු කර­ගෙන හිටපු සල්ලි ඔක්කො­මත් දීල වාහ­නෙත් දීල ඖෂධ සිරිං­ජ­රය අර­ගත්තා. ටැක්සි­යක් අර­ගෙන ගෙදර ගියා. හොඳ­ටම මහ­න්සියි. සෝපාව උඩ වැටිල නිදා ගත්තා. එලාම් එක වැදුණා. මූණ හෝද ගත්තා. අඳින්න ඇඳු­මක් නෑ. කෑම දෙන්න පූසා ඉන්න­වද කියල බැලුවා. ඌ නෑ. ටැක්සි­යක් අර­ගෙන ඉන්ට­ලෙක්ට් කෝර්ප් එකට ආවා. කාමරේ දොර වහ­ගත්තා. කිසිම දේකට වැඩි කාල­යක් නෑ.

එයාට අව­ශ්‍යයි අව­ධා­නය. ඒ නිසා ට්‍රාන්ස්එෆ් 4002 සමඟ ප්‍රති­ක්‍රියා නොක­රන ADHD ඖෂ­ධ­යක් එන්නත් කර­ගත්ත මෙලා­වියෝ චිත්ත රූප මවා ගැනීමේ පහ­සුව සඳහා LSDx48 ස්වල්ප මාත්‍රා­වක් එන්නත් කර­ගත්තා. දැන් සූදා­නම්. අතත්‍ය යථාර්ථ බාහි­කය ඔළු­වට දාගත්ත එයා වැද­ගත් ම ප්‍රශ්නය මුලින් ම කල්පනා කළා.

‘ඇතීනා කැමති මොන­වගේ පිරි­මි­යෙ­කුට ද?’

සාමාන්‍ය පිරි­මි­යෙ­කුට! බොරු උත්ත­ර­යක්. මෙලා­වියෝ දන්නවා. ඒ වගේ ගැහැ­නි­ය­කගේ හිත ගන්න පුළු­වන් පිරි­මි­යෙක්. ඔව්, හිතේ මවා­ගත යුතු යි. අවි­ඥා­ණ­යට ම දැනෙන පරිදි හිතේ මවා­ගන්න ඕනේ, ඇත්තට ම කිව්වොත් අවි­ඥා­ණයේ ඉන්න ෆැන්ටසි පිරි­මියා යාව­ත්කා­ලීන කරන එක තමා හොඳම දේ.

අවු­රුදු විසි­ප­හක තරු­ණ­යෙක්. කඩ­ව­සම්. මෙලා­වියෝ ත්‍රිමා­ණය තුළ තමා විය යුතු ආකා­රය නිර්මා­ණය කර­ගත්තා.

බුද්ධි ඵලය 180ක්? එය භයා­නක වෙන්න ඉඩ තියෙ­නවා. ඒ නිසා 170ක් හොඳයි. මෙලා­වියෝ තීර­ණය කළා. ස්නායු ප්‍රති­පෝ­ෂණ යන්ත්‍ර­යෙන් 180 අද­හස කඩල දාලා 170 ස්ථාවර කර­ගත්තා.

පෞර්ෂ ආකා­රය. සරල පෞර්ෂ ආකාර දහ­සයක් ඔස්සේ ම මෙලා­වියෝ කල්පනා කළා. තමා විද්‍යා­ඥ­යෙක් ආකාර විය යුතු ද? නැත. ඇතීනා විද්‍යා­ඥ­ව­රි­යක්. එයා එයාට ඇති අඩුව ආද­රය ලෙස තෝරා­ගනු ඇත. එහෙ­නම් තමා චින්ත­ක­යෙකු වෙන්න ඕනෙ. මෙලා­වියෝ දාර්ශ­නික ආකා­රයේ පෞර්ෂය තෝරා ගත්තා. ත්‍රිමා­ණය තුළ කඩ­ව­සම් දාර්ශ­නික තරු­ණයා වර්ධ­නය වෙන ගමන් මෙලා­වි­යෝගේ සියලු ස්වයං-කථ­න­ය­න්වල නිශේ­ධ­නා­ත්මක ප්‍රති­චාර ස්නායු ප්‍රති­පෝ­ෂක යන්ත්‍ර­යෙන් විනාශ කරල දැම්මා.

එයා හොඳට ම දැන­ගෙන හිටියා, ට්‍රාන්ස්එෆ් 4002න් රූපා­න්ත­ර­ණය වෙන්නෙ කෙනෙ­කුට නික­මට හිතෙන කෙනෙ­කුට නෙවෙයි ඇත්තට ම වෙන්න ඕන කෙනෙ­කුට කියල. ඒ නිසා හදා­ගත්ත නව ප්‍රති­රූ­පය අවි­ඥා­ණ­යට ම දැනෙන්න භූමිකා රංග­න­යක් පට­න්ගත යුතු යි. එයා හදා­ගත්ත අලුත් ප්‍රති­රූ­පය චරි­ත­යක් විදි­යට බාර අර­ගෙන අතත්‍ය යථා­ර්ථ­යෙන් මවන සිදු­වීම් සිය ගාණ­කට මුහුණ දුන්නා.

මතු සම්බ­න්ධයි

තාරක කල්දේරා


නව අදහස දක්වන්න