‘නිව්යෝක් ටයිම්ස්’ ආන්දෝලනාත්මක ලිපිය | දිනමිණ

‘නිව්යෝක් ටයිම්ස්’ ආන්දෝලනාත්මක ලිපිය

ආන්දෝලනාත්මක 'නිව්යෝක් ටයිම්ස්' ලිපියේ සිංහල පරිවර්තනය මෙසේය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ උන්නතිකාමී වරාය ව්‍යාපෘතියක් සඳහා ඔහුගේ චීන මිතුරන්ගෙන් ණය හා ආධාර ඉල්ලා සිටි හැම විටම එම ඉල්ලීම් සපුරා දුන්නේය.

චීන මිතුරන් එම ඉල්ලීම්වලට එකඟ වූයේ එම වරාය සාර්ථක නොවන බව ශක්‍යතා අධ්‍යයනවලින් පෙන්වා දී තිබිය දීය. ඔවුන් එකඟ වූයේ නිතර ණය දෙන ඉන්දියාව වැනි රටවල් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිදීය. ඔවුන් එකඟ වූයේ රාජපක්ෂ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය වේගයෙන් වැඩි වන තත්වයක් ද යටතේය.

බෙයිජිං රජයට අයත් විශාලම ව්‍යාවසායක් වන චියිනා හාබර් ඉන්ජිනියරින් සමාගම කළ ඉදිකිරීම් හා නැවත නැවතත් සිදුකළ සාකච්ඡා මැද, හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය, පුරෝකථනය කර තිබූ ආකාරයටම අසාර්ථක විය.

ලෝකයේ ඉතාම කාර්ය බහුල මුහුදු මාර්ගයක් අසල පිහිටා තිබුණත් 2012 වර්ෂයේ මෙම වරායට පැමිණියේ නැව් 34 ක් පමණි.

ඉන් පසු එය චීන වරායක් විය.

බලය පැතිර වීම සඳහා චීනය ණය හා ආධාර යොදා ගන්නා ආකාරය:

රාජපක්ෂ මහතා 2015 දී ඡන්දයෙන් පරාජය වූ නමුත් ගෙන තිබූ ණය ගෙවා දැමීම නව රජයට විශාල අභියෝගයක් විය. දැඩි පීඩනයක් යටතේ හා මාස ගණනාවක් තිස්සේ චීනය සමග පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව රජය දෙසැම්බර් මාසයේ වරාය හා ඒ අවට අක්කර 15,000 චීන සමාගමට 99 අවුරුද්දට භාර දුන්නේය.

මෙම පැවරීම නිසා චීනයට තම විරුද්ධවාදීයා වන ඉන්දියාවේ වෙරළේ සිට සැතපුම් සිය ගණනකට ඈතින් භූමියක පාලනය ලැබුණු අතර තීරණාත්මක වාණිජ හා හුදු ජල මාර්ගයක උපායමාර්ගික පා ඉඩක්ද ලැබුණේය.

ලොව පුරා තම බලය පැතිර වීම සඳහා චීනය ණය හා ආධාර යොදා ගන්නා ආකාරය පිළිබඳ මෙය එක් ප්‍රබල උදාහරණයක් වන අතර ණය ආපසු ලබා ගැනීමට නිර්දය ක්‍රම යොදා ගන්නා ආකාරය ද එය පෙන්වා දෙයි.

මෙම ණය ගනුදෙනුව, ජනාධිපති සී ජින්පින්ගේ තේමාත්මක කලාප හා මාර්ග ව්‍යාපෘතිය (Belt and Road Initiative) කෙරෙහි දැඩි දෝෂාරෝපණය වැඩි කිරීමට ද හේතු විය.

එනම් ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන ආයෝජනය හා ණය දීමේ චීන වැඩසටහන ලොව පුරා අනාරක්ෂිත රටවලට ණය උගුලක් වී ඇති බවත් ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීමට උත්සාහයක් ගන්නා මෙම රටවල දූෂණය හා ඒකාධිපති ප්‍රවණතා වැඩි වී ඇති බවත්ය.

ශ්‍රී ලාංකික, ඉන්දීය, චීන හා බටහිර රටවල නිලධාරීන් සමග මාස ගණනක් තිස්සේ පැවැත්වූ සාකච්ඡාවලින් හා වරාය ව්‍යාපෘතියේ ගිවිසුම් හා නිල ලේඛන විශ්ලේෂණය කිරීමෙන් පැහැදිළිව පෙනී ගියේ චීනය හා එහි පාලනය යටතේ ඇති සමාගම්, අරමුදල් හිඟයෙන් පෙළෙන කුඩා රටක ඔවුන්ගේ අයිතීන් තහවුරු කර ගත් ආකාරයයි.

රාජපක්ෂ සෑම අවස්ථාවක ම චීන කොන්දේසිවලට එකඟවිය :

ශ්‍රී ලංකාවේ 2015 මැතිවරණ සමයේ දී චීන වරාය ඉදි කිරීමේ අරමුදල්වලින් රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ සහකරුවන්ට හා කටයුතුවලට විශාල ගෙවීම් කර තිබේ.

රාජපක්ෂ මහතා සෑම අවස්ථාවක ම චීන කොන්දේසිවලට එකඟ වූ අතර ඔහු දකුණු ආසියාවේ ඉන්දියානු බලපෑම අඩු කිරීමේ චීන උත්සාහයේ වැදගත් හවුල්කරුවෙක් ද විය.

රජයේ විමර්ෂණයක විස්තරාත්මක ව සඳහන් වන මෙම ගෙවීම් හා මුදල් චෙක්පත් පිළිබඳ විස්තර, ලේඛනවලින් තහවුරු වන අතර එය මෙම පුවත්පතේ කාර්ය මණ්ඩලය දැක තිබේ.

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනයට ඇත්තේ වාණිජමය උනන්දුවක් පමණක් යයි චීන නිලධාරීන් හා විශ්ලේෂකයන් අවධාරණය කළත්, ශ්‍රී ලාංකික නිලධාරීන් කියා සිටියේ ආරම්භයේ සිටම සාකච්ඡාවල කොටසක් වූයේ වරාය පිහිටි ස්ථානයේ ඇති යුදධමය හා උපායමාර්ගික වැදගත්කම බවයි.

කාල වකවානු වෙනස් කිරීමටත්, වැඩිපුර අරමුදල් ලබා ගැනීමට නැවත සාකච්ඡා කරන ලෙස ශ්‍රී ලාංකික නිලධාරීන්ට දැනුම් දීමත් සමග වරාය ව්‍යාපෘතියට ණය දීම සඳහා මුලදී තිබූ කොන්දේසි වඩාත් බරපතල ස්වරූපයක් ගත්තේය.

මෑත අවුරුදුවල මෙම ණයෙන් ගැලවීමට ශ්‍රී ලාංකික නිලධාරීන් දුෂ්කර ප්‍රයත්නයක් දරද්දී චීනය තැත් කළේ කොන්දේසි ලිහිල් කිරීමට නොව වරායේ කොටසක් ඉල්ලා සිටීමටයි.

ශ්‍රී ලංකාව දැන් කවර දිනකටත් වඩා චීනයට ණය ගැතිවී තිබේ:

මේ නිසා වරාය ව්‍යාපෘතිය සඳහා ගත් ඩොලර් බිලියනයක පමණ ණය අඩු කර ගැනීමට හැකි වුවත් ශ්‍රී ලංකාව දැන් කවර දිනකටත් වඩා චීනයට ණය ගැතිවී තිබේ. මෙයට හේතුව ගෙවීමට වෙනත් ණය තිබීම පමණක් නොව ඒවායේ පොළී අනුපාත අනිකුත් ජාත්‍යන්තර අරමුදල් සපයන ආයතනවලට වඩා බොහෝ වැඩි වීමයි.

මෙම ලිපිය සඳහා අදහස් දැක්වන ලෙස මාස ගණනාවක් තිස්සේ කරන ලද බහුවිධ ඉල්ලීම්වලට රාජපක්ෂ මහතා හෝ ඔහුගේ සහායකයින් ප්‍රතිචාර දැක්වූයේ නැත. චීන හාබර් සමාගමේ නිලධාරීන් ද අදහස් දැක්වීමෙන් වැළකී සිටියේය.

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යංශයේ ඇස්තමේන්තුවලින් දැක්වෙන්නේ ඉතා අසතුටුදායක තත්වයකි. මේ වර්ෂයේ රජය ඩොලර් බිලියන 14.8 ක ආදායමක් අපේක්ෂා කරයි. නමුත් ලොව පුරා ණය ලබා දී ඇති ආයතනවලට ගෙවීමට නියමිත ණය වාරික එකතුව ඩොලර් මිලියන 12.3 ක් වේ.

රටක් යටත් කරගැනීමේ මග ?

නව දිල්ලියේ විද්වත් මණ්ඩලයක් වන ප්‍රතිපත්ති පර්යේෂණ සඳහා වූ මධ්‍යස්ථානයට (Center for Policy Research) සම්බන්ධ හා ඉන්දියානු රජයට උපදෙස් දෙන විෂ්ලේෂකයෙක් වන බ්‍රහ්මා චෙලනි කියා සිටියේ ‍ “රටක් යටත් කරගැනීමේ මග වන්නේ කඩුව හෝ ණය යයි ජෝන් ඇඩම්ස් කියා ඇති අතර චීනය දෙවැන්න තෝරා ගෙන ඇති” බවයි.

ශ්‍රී ලංකාවේ ආරාධනාවකින් තොරව එය යුද කටයුතු සඳහා යොදා ගැනීම තහනම් බව අවසාන බදු ගිවිසුමේ සඳහන් වෙන නමුත් ශ්‍රී ලංකාව ඉතා දුෂ්කර තත්වයකට වැටී ඇති බැවින් ණය සහන සැලසීමට හම්බන්තොට වරාය යුදමය කටයුතු සඳහා යොදා ගැනීමට ඉඩ දෙන ලෙස චීන රජය ඉල්ලා සිටීමට ඉඩ ඇතැයි ඉන්දියානු නිලධාරීන්ගේ බියක් පවතී.

හම්බන්තොට වරාය ඉදි වන කාලයේ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ හා හිටපු විදේශ ලේකම්වරයෙක් වන ෂිවශන්කර් මෙනන් කියා සිටියේ “හම්බන්තොට කර ඇති ආයෝජනය සාධාරණීකරණය කළ හැකි එකම ක්‍රමය වන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආස්ථානයකින් පමණක් වන නිසා ඔවුන් මහජන විමුක්ති හමුදාව එහි ගෙන එන” බවයි.

අනුබද්ධ මිතුරා

චීන විප්ලවයෙන් පසුව මාවෝ ගේ කොමියුනිස්ට් රජය පිළිගත් මුල් රටක් ලෙස ශ්‍රී ලංකාව හා චීනය අතර දීර්ඝ නම්‍ය සබඳතාවක් තිබුණි. නමුත් චීනය අත් හළ නොහැකි තත්වයට පත්වූයේ මෑත කාලයේ දක්නට තිබූ ගැටුමේදීය. එනම් දෙමළ බෙදුම්වාදීන් සමග පැවති 26 අවුරුදු බිහිසුණු යුද්ධයේදීය.

මානව හිමිකම් කඩ කිරීම නිසා ශ්‍රී ලංකාව හුදකලාවූ යුද්ධයේ අවසාන අවුරුදුවල රට පාලනය කළේ 2005 බලයට පත්වූ රාජපක්ෂ මහතායි. ඔහු යටතේ ශ්‍රී ලංකාව ආර්ථික සහාය, හමුදා උපකරණ හා එක්සත් ජාතීන් විසින් සම්බාධක පැනවීම වැළැක්වීම ආදී කරුණු සම්බන්ධයෙන් චීනයේ පිහිට ලබා ගත්තේය.

'රාජපක්ෂ සහෝදරයින් රජයේ වියදම්වලින් සියයට 80 ක් පාලනය කළා '

2009 දී යුද්ධය අවසන් වී රට සාමාන්‍ය තත්වයට පත් වෙද්දී රාජපක්ෂ හා ඔහුගේ පවුල ඔවුන්ගේ ග්‍රහණය දැඩි කළේය. රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ දී ජනාධිපති හා ඔහුගේ සහෝදරයන් තිදෙනා බොහෝ අමාත්‍යංශ හා රජයේ වියදම්වලින් සියයට 80 ක් පමණ පාලනය කළෝය. චීනය වැනි ආණ්ඩු ඔවුන් සමග කෙළින්ම ගනුදෙනු ගැන සාකච්ඡා කළෝය.

ඒ අනුව ජනාධිපති ඔහු උපන් දිස්ත්‍රික්කය වන හම්බන්තොට යෝධ වරාය සංවර්ධන ව්‍යාපෘතියක් යෝජනා කළ විට එයට විරුද්ධව ගෙනා මත සාර්ථක වූයේ නැත.

මිලියන 22 ක ජනගහණයක් සහිත බ්‍රිතාන්‍යයෙන් හතරෙන් පංගුවක් තරම් භූමි ප්‍රමාණයක් ඇති රටක දෙවැනි ප්‍රධාන වරායක් තැනීම ඥානවන්ත ක්‍රියාවක් ද යන්න මුල සිට ම නිලධාරීන් ප්‍රශ්න කළෝය. අගනුවර ඇති ප්‍රධාන වරාය හොඳින් ක්‍රියාත්මක වන අතර පුළුල් කිරීම සඳහා ඉඩකඩ ද එහි තිබේ.

රජයේ ඉල්ලීම් මත කරන ලද ශක්‍යතා අධ්‍යයනවල නිගමනය වූයේ හම්බන්තොට වරාය ආර්ථික වශයෙන් සාර්ථකව පවත්වා ගැනීමේ හැකියාවක් නැති බවයි.

“මේ වරාය ඉදි කිරීම සම්බන්ධයෙන් ඔවුන් මුලදී අපට ආරාධනය කළත් ඉන්දියානු සමාගම් කැමති වූයේ නැත” යි හිටපු ඉන්දීය විදේශ ලේකම් මෙනන් මහතා ප්‍රකාශ කළේය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ “එදා මෙන් ම අදත් එය ආර්ථික වශයෙන් නිෂ්ඵල ව්‍යාපෘතියක්” බවයි.

නමුත් රාජපක්ෂ මහතා ව්‍යාපෘතිය ආරම්භ කරමින් ප්‍රවෘත්ති නිවේදනයක් මගින් ආඩම්බරයෙන් කියා සිටියේ සියලු අනතුරු ඇඟවීම් ඉවත දමමින් තමා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් එයට චීනයේ සහයෝගය ලැබෙන බවත්ය.

ණය ලබා ගැනීම සඳහා වරාය ඉදිකිරීමේ කටයුතු චයිනා හාබර් සමාගමට:

මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වූ නිලධාරියෙකුට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආර්ථික වශයෙන් ස්ථාවර පරීක්ෂාකාරී සැලැස්මක් 2007 දී සකස් කළේය. එහි පදනම වූයේ සීමිත ව්‍යාපාරික කටයුතු සඳහා එය විවෘත කිරීමත්, ප්‍රධාන පුළුල් කිරීමට පෙර ආදායම් ඉපදවීමත්ය.

මේ සඳහා ලබාගත් පළමුවැනි ණය මුදල වූ ඩොලර් මිලියන 307 ලබා ගත්තේ චීන රජයේ අපනයන ආනයන (Exim) බැංකුවෙනි. විකිලීක්ස්වලට ලැබුණු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කේබල් පණිවුඩයකට අනුව ණය ලබා ගැනීම සඳහා වරාය ඉදිකිරීමේ කටයුතු චයිනා හාබර් සමාගමට ලබාදීමට ශ්‍රී ලංකාවට එකඟවීමට සිදුවිය.

මෙය ලොව පුරා ඔවුන්ගේ ව්‍යාපෘතිවල දී චීනය නිතරම ඉදිරිපත් කරන ඉල්ලීමකි. එනම් විවෘත ලංසු තැබීමේ ක්‍රියාමාර්ගයෙන් පරිබාහිර ව කටයුතු කිරීමයි. මෙම කලාපයේ නිලධාරීන්ට අනුව දහස් ගණනක චීන කම්කරුවන් හා චීන සමාගම් ලවා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බෙයිජිං ආණ්ඩුව මෙම කලාපය පුරා අධික පොළී යටතේ ඩොලර් බිලියන ගණනින් ණය ලබා දෙයි.

ණයවලට ඈඳුණු තවත් කොන්දේසි තිබේ. උදාහරණයක් වශයෙන් ආරම්භයේ සිටම චීනය දුටු හම්බන්තොට වරායේ උපායමාර්ගික අගය දැක්විය හැකියි.

ශ්‍රී ලංකාවේ හිටපු විදේශ ලේකම්වරයෙක් හා චීනයේ තානාපති ලෙස කටයුතු කළ නිහාල් රොඩ්‍රිගෝ ප්‍රකාශ කළේ බුද්ධි තොරතුරු හවුලේ බෙදා ගැනීම මෙම ගනුදෙනුවේ අවශ්‍යම කොටසක් බව චීන නිලධාරීන් පැහැදිළිවම කියා සිටි බවයි “ද ටයිම්ස්” පුවත්පත සමඟ රොඩ්‍රිගෝ මහතා පැවැත්වුව සාකච්ඡාවක දී ඔහු කියා සිටියේ චීන මතය වූයේ “මෙහි එන්නේ යන්නේ කවුරුන්ද යන්න ඔවුන්ට දැන්වීම අපේක්ෂා කළ” බවයි.

අවුරුදු ගණනාවක් තිස්සේ ඔවුන්ගේ සියලුම කොන්දේසිවලට එකඟ වූ රාජපක්ෂ මහතා සමග ශක්තිමත් සබඳතා පවත්වා ගැනීමට චීන නිලධාරීන් හා චයිනා හාබර් සමාගම දැඩි උත්සාහයක් ගත්තේය.

චීන නිලධාරීන් රාජපක්ෂ වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ:

ශ්‍රී ලංකාවේ 2015 මැතිවරණයේ අවසාන මාස කීපයේ දී චීන තානාපති රාජ්‍ය තාන්ත්‍රික චාරිත්‍ර බිඳ දමමින් කොළඹ ප්‍රධාන ගෝල්ෆ් පිටියේ සේවකයන් සමග පවා රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ යෙදුණේය. චීන රජය සමග ඇති ආර්ථික ගිවිසුම් ඉරා දමන බවට ඔහුගේ විරුද්ධවාදීන් තර්ජනය කළහ.

ජනවාරි මාසයේ මැතිවරණය ලංවෙද්දී ජනාධිපතිගේ කවයට විශාල ගෙවීම් ගලා එන්නට විය.

“ද ටයිම්ස්” පුවත්පත දැක ඇති, රජයේ අභ්‍යන්තර විමර්ශනයක ලේඛනවලට අනුව රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට සම්බන්ධ අයට ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ඇති චයිනා හාබර් ගිණුමෙන් අඩු වශයෙන් ඩොලර් මිලියන 7.6 ක් ලබා දී ඇත. මෙම ලේඛනයේ චයිනා හාබර් බැංකු ගිණුමේ අංකය, (එහි අයිතිය නිවැරදි බව සොයාගෙන තිබේ) චෙක් පත් ලබාගත් පුද්ගලයන් ප්‍රශ්න කිරීමෙන් ලැබුණු බුද්ධි තොරතුරු ආදිය එහි අඩංගුවේ.

මැතිවරණයට දින 10 ක් තිබියදී චෙක්පත්වලින් තවත් ඩොලර් මිලියන 3.7 ක් ලබා දී තිබේ. ඡන්ද ව්‍යාපාරයේ ටී-ෂර්ට් මුද්‍රණය කිරීම හා අනිකුත් ප්‍රවර්ධනාත්මක ද්‍රව්‍ය සඳහා ඩොලර් 678,000 ක් ද කාන්තා සාරි ඇතුළු ආධාරකරුවන්ට ලබා දුන් තෑගි ආදිය සඳහා තවත් ඩොලර් 279,000 ක් ද ගෙවා තිබේ.

බෞද්ධ භික්ෂුවකට ඩොලර් 38,000 ක්:

රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට ආධාර කල බෞද්ධ භික්ෂුවකට ඩොලර් 38,000 ක් ගෙවා තිබේ. මේ අතර ඔහුගේ නිල නිවාසය වූ අරලියගහ මන්දිරයට ඩොලර් මිලියන 1.7 ක් වූ චෙක්පත් දෙකක් භාර දී ඇත.

බොහෝ ගෙවීම් කර ඇත්තේ චයිනා හාබර් සමාගම පාලනය යටතේ තිබූ ‘HPDP Phase 2’ යනුවෙන් නම් කර තිබූ උප ගිණුමකිනි. HPDP යනු හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතියේ කෙටි නමයි.

චීනයේ කලාප හා මාර්ග ව්‍යාපෘතිය අවුරුදු පහක් පමණ කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීමෙන් පසුව කොපමණ ගනුදෙනු සිදු වී තිබේද යන්න හා රටේ මූල්‍ය තත්වයට එහි බලපෑම පිළිබඳ ව දැන් චීන නිලධාරීන් ගණන් බැලීමක් කරමින් සිටී.

නම හෙළි නොකිරීමේ කොන්දේසිය යටතේ පමණක් චීන ප්‍රතිපත්ති ගැන අදහස් පළකරන අනිකුත් බොහෝ නිලධාරීන් මෙන් මේ ගැන අදහස් දැක්වූ එක් චීන ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෙක් කියා සිටියේ මේ පිළිබඳ තවමත් පරිපූර්ණ විස්තරයක් ලබා ගත නොහැකි බවයි.

මෙවැනි ව්‍යාපෘති සඳහා දී ඇති ආයතනික අල්ලස් චීනයට දැරිය නොහැකි බරක් විය හැකි මෙන් ම ඒවායේ ලාභදායී බව අඩුවීමට හේතුවක් විය හැකි නිසා මෙම කටයුතු සමහර චීන නිලධාරීන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ.

පසුගිය වර්ෂයේ පැවැත්වූ කථාවක දී ජනාධිපති සී ද මෙවැනි ප්‍රශ්නයක් ඇති බව පිළිගෙන ඇත. ඔහු කියා ඇත්තේ ‘අවංක ලෙස කලාප හා මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දූෂණයට එරෙහි ජාත්‍යන්තර සහයෝගිතාව ශක්තිමත් කිරීමට අපි කටයුතු කරන ’ බවයි. ‘ ’

උදාහරණයක් වශයෙන් ජනවාරි මාසයේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවල දී බංග්ලාදේශයේ නිලධාරීන් කියා සිටියේ තේ පෙට්ටියක් ඇතුලේ දමා ඩොලර් 100,000 ක අල්ලසක් මහාමාර්ග අමාත්‍යංශයේ නිලධාරියෙකුට දීමට තැත් කිරීමේ චෝදනාව මත චයිනා හාබර් සමාගමට අනාගතයේ කොන්ත්‍රාත්තු ලබා දීම තහනම් කර ඇති බවයි.

තවද පිලිපීනයේ සිදු කළ දූෂිත කටයුතු නිසා චයිනා හාබර් සමාගමේ මව් සමාගම වූ චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගමට ලෝක බැංකු ව්‍යාපෘතිවල ලංසු ඉදිරිපත් කිරීම 2009 දී අවුරුදු 8 කට තහනම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වරාය අල්ලා ගැනීමෙන් පසු චීන නිලධාරීන් ඉඟි කර ඇත්තේ කලාප හා මාර්ග ව්‍යාපෘතිය යනු මහාද්වීප තුනක් හරහා සංවර්ධනයට අරමුදල් සපයන සීමා මායිම් නැති රජයේ කැපවීමක් නොවන බවයි.

පසුගිය මාර්තු මාසයේ පැවති චීන සංවර්ධන සංසදයේ රැස්වීමක දි යෝධ රාජ්‍ය ආයෝජන අරමුදලක් වන සේද මාර්ග අරමුදලේ ( Silk Road Fund ) සභාපතිනිය වන ජින් කුයි ප්‍රකාශ කළේ ‘අපට අවධානම හොඳින් කළමනාකරණය කර ගත නොහැකි නම් කලාප හා මාර්ග ව්‍යාපෘතිවලට වැඩි දුර යා නොහැකි ’ බවයි.

ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් හම්බන්තොට වරාය ලාභදායී බවට පත් කිරීමට හෝ අඩු වශයෙන් කලාපය තුළ චීනයේ වෙළඳ කටයුතු ශක්තිමත් කිරීමට හෝ යොදාගත හැකිය යන අදහස වරාය නිලධාරීන් හා චීන විශ්ලේෂකයන් අත්හැර දමා ඇත.

හම්බන්තොට වරායේ උපාය මාර්ගික වැදගත්කම:

චයිනා මර්චන්ට් පෝට් සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා හා හම්බන්තොට වරාය මෙහෙයුම්වල ප්‍රධානියා වන රේ රෙන් අවධාරණය කළේ ‘ ශ්‍රී ලංකාවේ පිහිටීම ජාත්‍යන්තර වෙළඳාම සඳහා ඉතා උචිත’ බවයි. ඝෘණාත්මක ශක්‍යතා අධ්‍යයන වාර්තා නිෂ්ප්‍රභ කළ ඔහු කියා සිටියේ ඒවා හම්බන්තොට ‘කුඩා ධීවර ගමක්’ වූ අවුරුදු ගණනාවකට පෙර කළ අධ්‍යයන බවයි.

නූතන ජාත්‍යන්තර සබඳතා පිළිබඳ චීන ආයතනයේ දකුණු ආසියානු අධ්‍යයන අධ්‍යක්ෂ වන හියු ෂිෂ්හෙන් ප්‍රකාශ කළේ හම්බන්තොට වරායේ උපාය මාර්ගික වැදගත්කම චීනය පැහැදිළිව පිළිගන්නා බවයි. නමුත් ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ කියා සිටියේ ය. ‘චීනයට එහි භූ උපායමාර්ගික අගය යොදා ගැනීමට අවශ්‍ය වන විට වරායේ උපාය මාර්ගික අගයක් නො තිබෙනු ඇත. විශාල රටවලට ශ්‍රී ලංකාවේ සටන් කළ නොහැක එය සම්පූර්ණයෙන් විනාශ වී යනු ඇත’.

2010 වර්ෂයේ දී සීමිත ලෙස හම්බන්තොට වරාය මුලින් විවෘත කළේ කලාප හා මාර්ග ව්‍යාපෘතිය එළි දැක්වීමට පෙර නමුත් චීන රජය ඉක්මනින් ම එය ගෝලීය වැඩසටහන යටතට පත් කළේය.

හම්බන්තොට වරාය භාර දීමේ උත්සවයෙන් පසු ටුවිටර් මාධ්‍ය ජාලයට පුරාජේරුකාර වීඩියෝවක් නිකුත් කළ චීන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කළේ ‘මෙම ගනුදෙනුව කලාප හා මාර්ග ව්‍යාපෘතියේ තවත් එක් වැදගත් අදියරක් ’ බවයි.

අසාර්ථක වරායක්:

තවමත් වැඩි වශයෙන් කැලෑවෙන් වැසුණු ශ්‍රී ලංකාවේ අග්නිදිග වෙරළේ අඩු ජනගහණයක් සහිත ප්‍රදේශයක් වන හම්බන්තොට, චීන ණයවලින් ඉදි කළ එකම යෝධ ව්‍යාපෘතිය මෙම වරාය පමණක් නොවේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගනුවර ජනගහනයට වඩා ආසන ඇති ක්‍රිකට් ක්‍රීඩාංගනයක් මෙන්ම එහි දිනපතා පැමිණි එකම වාණිජ ගුවන් ගමන වූ ෆල්යි ඩුබායි ගුවන් සමාගම ජූනි මාසයේ තම මෙහෙයුම් නතර කළ විශාල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ද එහි තිබේ. දිස්ත්‍රික්කය හරහා යන මාර්ගයේ අලි ගමන් කරන අතර ගොවියෝ තමන්ගේ වී වේලා ගැනීමට එය භාවිතා කරති.

විවෘත කිරීමෙන් පසුව වරාය දියුණු කළ යුතු ආකාරය ගැන ක්‍රමවේදීය ප්‍රවේශයක් රාජපක්ෂ මහතාගේ උපදේශකයන් විසින් සකස් කර තිබුණි. එහි අරමුණ වූයේ තව ණය ගැනීමට පෙර යම් ආදායම් උපදවා ගැනීම සහතික කිරීමයි.

නමුත් 2009 වන විට ජනාධිපති නො ඉවසිලිමත් වූයේය. ඊළඟ අවුරුද්දේ එළඹෙන ඔහුගේ 65 වන උපන්දිනය සැමරීම සඳහා ඔහුට හම්බන්තොට වරායේ දැවැන්ත විවෘත කිරීමේ උත්සවයක් පැවැත්වීම අවශ්‍ය විය. වරාය අධිකාරියේ මුල් සැලැස්මට අනුව අවුරුදු 10 කට පමණ පසුව ක්‍රියාත්මක කළ යුතු ව තිබූ වරාය පුළුල් කිරීමේ කටයුතු වහාම ආරම්භ කිරීම ද මෙයට ඇතුළත් විය.

මේ නිසා නියමිත දිනට වරායේ කටයුතු අවසන් කිරීමට චීන කම්කරුවෝ දිවා රෑ නොතකා වැඩ කළෝය. නමුත් ගොඩබිම හාරා වතුර පිරවූ කොටසේ තිබූ විශාල ගල ගැන ඔවුන් අවධානය යොමු කළේ නැත. මෙම ගල නිසා පිවිසුමේ කොටසක් අවහිර වීමෙන් වරායේ ව්‍යාපාරික මොඩලයේ පදනම වූ තෙල් නැව් වැනි විශාල නැව්වලට වරායට ඇතුල් විය නොහැකි විය.

ජනාධිපතිවරයාගේ අදහසට විරුද්ධව වීමට අකමැති වූ වරාය අධිකාරියේ නිලධාරීන් ඉක්මනින් වැඩ කටයුතු නිමා කර රාජපක්ෂ මහතාගේ උපන්දිනය වූ 2010 නොවැම්බර් 18 දින විචිත්‍ර උත්සවයක් පවත්වා හම්බන්තොට වරාය විවෘත කළෝය. යෝධ ගලකින් අවහිර වූ පිවිසුමක් සහිත වරාය නැව් පැමිණෙන තුරු බලා සිටියේය.

අවුරුද්දකට පමණ පසුව චයිනා හාබර් සමාගම මෙම යෝධ ගල පුපුරවා දැම්මේය. එහි වියදම ඩොලර් මිලියන 40 ක් වූ අතර මෙම අසාධාරණ මිල පිළිබඳ ව රජ්‍ය තාන්ත්‍රිකයන් හා රජයේ නිලධාරීන් කනස්සල්ල පළ කළහ. සමහරු

විවෘතව ඇසූ ප්‍රශ්නය වූයේ සමාගම වැඩියෙන් අය කළේද එසේ නැත්නම් මෙයට රාජපක්ෂ මහතාට ගෙවූ අල්ලසක් ඇතුළත් වූයේද යන්නයි.

2012 වන විට නැව් ආකර්ශනය කර ගැනීමට හම්බන්තොට වරාය දැඩ් උත්සාහයක් ගත් නමුත් ඒවා වඩා කැමති වූයේ කොළඹ වරායේ නැංගුරම් ලෑමටයි. නියමිත කාලසීමාවට කලින් පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කිරීම නිසා ඉදිකිරීම් පිරිවැය ඉහළ යන්නට විය.

හම්බන්තොට වරායේ ව්‍යාපාරික කටයුතු පණ ගැන්වීම සඳහා රජය කොළඹ වරායෙන් ගොඩ බෑමට නියමිත මෝටර් රථ හම්බන්තොට වරායට යෝමු කළේය. රජයේ එම නියෝගය යටතේ වුවත් 2012 වර්ෂයේ හම්බන්තොට වරායට පැමිණියේ නැව් 34 ක් පමණි. මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවට අනුව එම වර්ෂයේ කොළඹ වරායට නැව් 3,667 ක් පැමිණ තිබේ.

ජාතික ප්‍රත්පත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු ප්‍රකාශ කළේ “නව රජය යටතේ එම තනතුරට පත්විමෙන් පසු හම්බන්තොට වරාය ඉදිකිරීමේ සාධාරණත්වය ගැන ජාතික සැලසුම් අමාත්‍යංශයෙන් විමසූ ” බවයි. ඔවුන්ගේ පිළිතුරු වී ඇත්තේ “අපට එය කරන්නට කීවා. ඒ නිසා අපි කළා ” යන්න යි.

වඩාත් අසාධාරණ වූ කොන්දේසි !

වරාය පුළුල් කිරීමේ කටයුතු දිගටම කර ගෙන යෑමට අධිෂ්ඨාන කර ගත් රාජපක්ෂ මහතා 2012 නැවතත් චීනයෙන් ඩොලර් මිලියන 757 ක ණයක් ඉල්ලා සිටියේය.

චීනය නැවතත් එයට එකඟ විය. නමුත් කොන්දේසි වඩාත් අසාධාරණ වූයේය.

ඩොලර් මිලියන 307 ක් වූ පළමු ණය ලැබුණේ සියයට 1 හෝ 2 වූ විචල්‍ය අනුපාතිකයක් යටතේයි. ඒ 2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසුවයි. ( සංසන්දනය සඳහා මෙයට සමාන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ජපන් ණය, සියයට 0.5 කට අඩුවෙන් ලබා ගත හැකි වේ.)

නමුත් තවත් අරමුදල් ලබාදීමට මුල් ණය, සියයට 6.3 ඉතා ඉහළ පොලී අනුපාතිකයට හරවන ලදී. රාජපක්ෂ මහතා එයටද එකඟ විය.

නැව් නැති වරායක ව්‍යාපෘති පිරිවැය හා ණය වැඩි වීම, දේශපාලන විරුද්ධවාදීන්ට ප්‍රබල විවාදාත්මක ආයුධයක් විය. චීනය පිළිබඳ සැකය ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රබල අංගයක් වූයේය. රාජපක්ෂ මහතා එම ඡන්දයෙන් පරාජයට පත් වූයේය.

රටේ ණය ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි වීම :

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේ නව රජය බලයට පත් වූයේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ගනුදෙනු විමර්ශනයට භාජනය කරන බවට පොරොන්දුවක් දෙමිනි. බිය ගන්වන තරමේ විශාල ණය ප්‍රමාණයකට මුහුණ දීමට නව රජයට සිදුවිය.

රාජපක්ෂ මහතා තනතුරෙන් ඉවත් වන විට රටේ ණය ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි වී ඩොලර් බිලියන 44.8 වී තිබුණි. 2015 වර්ෂය අවසානයේ ඩොලර් බිලියන 4.68 ක් ගෙවිය යුතු විය.

නව රජයට අවශ්‍ය වූයේ ඉන්දියාව, ජපානය හා බටහිරට ශ්‍රී ලංකාව යොමු කිරීමටයි. නමුත් ශ්‍රී ලංකාවේ චීනයට තිබූ මූල්‍ය හා ආර්ථික ඉඩ ප්‍රස්ථා කිසිම රටකට පිරවිය නොහැකි බව බලධාරීන්ට ඉක්මනින්ම අවබෝධ විය.

නව රජයේ පළමු අවුරුද්දේ මුදල් ඇමති ලෙස කටයුතු කළ රවී කරුණානායක කියා සිටියේ “ අපට උරුම වූයේ අරමුණු සහිතව දුර්වල කළ ආර්ථිකයක් මෙන්ම ණය මුදල් ආපසු ගෙවීමට තබා පොළිය ගෙවීමට වත් ආදායම ප්‍රමාණවත් වූයේ නැති තත්වයක් ” බවයි. “ අපිත් ණය ගත්තා. අලුත් ආණ්ඩුවකට එක පාරටම ණය ගැනීම නවත්තන්න බැහැ. ආර්ථික විනයක් ඇති කරන තුරු ණය ගන්න සිද්ධ වෙනවා” යි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පසුගිය වර්ෂයේ මහ බැංකුවේ ඇස්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාවට චීනයට ඩොලර් බිලියන 3 ක් ගෙවීමට තිබේ. නමුත් වෙරිටි රිසර්ච් (Verit Research) ආයතනයේ ආර්ථික විද්‍යාඥයෙක් වන නිෂාන් ද මෙල් ප්‍රකාශ කළේ සමහර ණය රජයේ පොත් පත්වල නොව ඒ ඒ ව්‍යාපෘති යටතේ දක්වා ඇති බවයි. ඔහුගේ ඇස්තමේන්තුව වූයේ චීනයට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5 ක් පමණ වන අතර වර්ෂයක් පාසා එය වැඩි වෙමින් පවතින බවයි. ඉදිරි කාලයේ ණය ගෙවීම සඳහා ශ්‍රී ලංකාව මැයි මාසයේ දී චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 1 ක ණයක් ලබා ගත්තේය.

ණය ගෙවීම පැහැර හැරීම වැළැක්වීම හා ශ්‍රී ලංකාවේ ශේෂ පත්‍රයෙන් වරාය ඉවත් කිරීමේ අපේක්ෂාවෙන් චීන බලධාරීන් සමග ශ්‍රී ලාංකික නිලධාරීන් කියා සිටියේ ණය කපා හැරීම චීනය පිළිගන්නා විකල්පයක් නොවූ බවත් ඔවුන්ගේ ඉල්ලීම වූයේ චීන සමාගමකට වරායේ කොටස්වලින් වැඩි ප්‍රමාණයක් පැවරීම බවත්ය.

ශ්‍රී ලංකාවට ඉඩ ලැබුණේ වරායේ පාලනයට කුමන රාජ්‍ය සමාගමක් තොරාගන්නේ ද යන්න ගැන තීරණය කිරීම පමණි. එනම් චයිනා හාබර් හෝ චයිනා මර්චන්ට්ස් යන සමාගම් දෙකෙන් එකක් තෝරා ගැනීමයි. අවසාන ගිවිසුමේ පිටපත් ද ටයිම්ස් පුවත් පත ලබා ගෙන ඇතත් කිසි දිනක ඒවා සම්පූර්ණයෙන් ප්‍රසිද්ධ කර නැත.

උපායමාර්ගික ගැටළු:

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායේද චීනයට හිමිකමක් තිබේ. එවකට කොළඹ වරාය නගරය ලෙස හැඳින්වූ කොටසේ චයිනා හාබර් සමාගම නව පර්යන්තයක් ඉදිකරමින් තිබුණි.

මෙම ගනුදෙනුවට අනුව ශ්‍රී ලංකාවට කිසිම ආධිපත්‍යයක් නැති හා සම්පූර්ණයෙන්ම චීන සමාගමට අයත් වන අක්කර 50 ක පමණ ඉඩම් ප්‍රමාණයක් ද ඔවුන්ට ලැබුණි.

2014 රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ අවසානයේ මෙය නාටකීය ලෙස පෙන්වා දෙන ලදී. ජපන් අගමැති ෂින්ෂො අබේ සංචාරයක් සඳහා කොළඹට පැමිණි දිනයේ ම චීන සබ්මැරීන යාත්‍රා කොළඹ වරායටඇතුල් විය. කලාපය පුරා මෙය සලකන ලද්දේ භයානක සංඥාවක් ලෙසයි.

අලුත් රජය බලයට පත්වීමෙන් පසු නැවතත් චීන සබ්මැරීන කොළඹ වරායට නොගෙනෙන බවට සහතිකයක් ඉල්ලා සිටියේය. මෙයට විශේෂයෙන්ම හේතු වූයේ ඒවා අනාවරණය කර ගැනීම දුෂ්කර නිසාත් බොහෝ විට බුද්ධිමය තොරතුරු ලබා ගැනීමට ඒවා යොදාගත හැකි නිසාත්ය. නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිලධාරීන්ට තිබුණේ සුළු පාලනයකි.

(ද නිව්යෝක් ටයිම්ස් : මාරියා අබි හබීබ් විසිනි-ජූනි 25,2018)


නව අදහස දක්වන්න