රුව­න්වැල්ලේ කිඹු­ල්වත | දිනමිණ

රුව­න්වැල්ලේ කිඹු­ල්වත

මිනිස්සු විවිධ දේ විවිධ මාතෘකා ඔස්සේ කතා කරති. පොදු කතාබහට අමතරව කාලෙන් කාලෙට කාලයට ගැළපෙන කාලීන මාතෘකා කරළියට එයි. ඇතැම් කාරණා ශ්‍රී ලංකාව ම පොදුවේ කතා කරන අතර ඇතැම් කතාබහ ප්‍රදේශයකට සීමා වෙයි. මා ජීවත්වන රුවන්වැල්ල හා ඒ අවට ජනතාව මේ දවස්වල වැඩියෙන් ම කතාබහ කරන්නේ කැලණි ගඟට මෑත දී පැමිණ ඇතැයි කියන කිඹුලුන් පිළිබඳව ය. ටිකක් හරබර කොට කියතොත් ‘රුවන්වැල්ලේ කිඹුල්වත’ පිළිබඳව ය.

මාස දෙකකට තුනකට පමණ කලින් මම ගුරුගොඩ ඔය කැලණි ගඟට එකතු වන මෝය අසල පිහිටි මොරාවත්ත පාලමෙන් ගමන් කරන විට එතැන ගඟ දෙසට නෙත් යොමාගත් මිනිස් රංචුවක් සිටිනු දුටුවෙමි.

“ ඔතන කිඹුල්ලු දෙන්නෙක් නැත්නම් තුන්දෙනෙක් ඉන්නවා. උන් බලන්න තමයි සෙනඟ පිරිල ඉන්නෙ.”

මා හා ගමන් කළ ත්‍රීවීලර පදවන්නා කීවේ ය. මඳ දුරක් ගොස් අප ආපසු එන විට ද සෙන‍ඟ එතන සිටියහ.

දවස් ගතවන විට කිඹුල් ප්‍රජාව ගුරුගොඩ ඔයේ ටිකක් පහළට සංක්‍රමණය වී සිටියහ. මිනිස් ප්‍රජාව ද රුවන්වැල්ල හා අඟුරුවැල්ල අතර ස්ථානගතව සිටින කිඹුලුන් නරඹන්නට ගුරුගොඩ ඔයේ මෙගොඩ ගොඩට රොක්වූහ. ඇතැම් විට පාරේ ගමන් කරන බස්රථ නතර වෙයි. මිනිස්සු අසුනින් නැගිට, ඇතැම් විට බසයෙන් බැස ඔය දෙස බලති. විශාල කිඹුලෙක් එගොඩගොඩේ අව්ව තපිමින් සිටිනයුරු බලන්නන්ට දකින්නට ලැබෙයි. ක්ෂීරපායීන් අතර බුද්ධිමත් ම සත්ත්වයන් ලෙස ප්‍රකට මිනිස් ප්‍රජාවට අයත් පිරිසක් තමා පිළිබඳ මෙතරම් උනන්දු වීම ගැන කිඹුලාට වගේ වගක් නැති සේ ය. ඌ ඔහේ අව්ව තපියි. කිඹුල් ආගමනය ගැන මිනිස්සු විවිධ කතා කියති.

“ගඟේ වැලි ගොඩදාන එක නවත්වන්න වනජීවි එකෙන් ගෙනත් දාල.”

“ඔව්. ඔව්. ඒක හරි ඉතිහාසෙ කවදාවත් කැලණි ගඟේ කිඹුල්ලු ඉඳල නෑ.”

‘ඉතිහාසයේ කවදාකවත් කැලණි ගඟේ කිඹුල්ලු නොසිටිය හ.’ යන්න සත්‍යයක් නො වේ. 1800 මාර්තු 15 වනදා මැක්ඩොවල් සමඟ මහනුවරට ගිය දූත කණ්ඩායමේ භටයෙකු හංවැල්ලේ කැලණි ගංඉවුරේ දී නිල ඇඳුම් සෝදමින් සිටියදී කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බව රොබට් පර්සිවල් සිය ‘An Account of The Island of Ceylon’ ග්‍රන්ථයේ සඳහන් කරයි. ‘වැලි ගොඩදැමීම නැවැත්වීමට කිඹුලුන් ගෙනැවිත් දමනවා’ යන කතාව ද ප්‍රලාපයක් විය යුතු ය. වැලි ගොඩදැමීම නැවැත්වීමට අනුගමනය කළ යුතු නීතිරීති පද්ධතියක් තිබේ. ඒවා ක්‍රියාත්මක කරනු හැර කොහෙන්වත් කිඹුලන් ගෙනැවිත් දමන්නට සිහි ඇති කිසිවෙකු හෝ ආයතනයක් හෝ කල්පනා කරනු නැති. කිඹුලන් ගෙනවිත් දැමිය යුතු නැත. ගං මෝයට ආසන්නව කරදිය ආශ්‍රිතව වෙසෙන කිඹුලන් ග‍ඟේ පරිසරය වෙනස්වන විට ගඟ දිගේ ඉහළට පැමිණීම සිදුවිය හැකි දෙයකි.

ප්‍රදේශයේ සංවර්ධන කමිටුවේ දී ද මෙම ප්‍රශ්නය සාකච්ඡාවට බඳුන් වූ බව මා හා කීවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. ගංගා, ඇළ, දොළ ආදියේ වාසය කරන සතුන් ඇල්ලීම වනජීවියේ කාර්යභාරය නොවන බවත්, මිනිසුන් විසින් අල්ලන ලද සතෙකු ආරක්ෂිතව සුදුසු තැනකට ගෙන ගොස් දැමීම වනජීවියට කළ හැකි බව වනජීවියේ පැත්තෙන් අවධාරණය වූ බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් මා හා කීවේ ය.

ගෙවුණු දවස්වල රටපුරා ම කතාබහ කළේ මරා දැමුණු ‘කිලිනොච්චියේ දිවියා’ පිළිබඳව ය. දිවියා මරා දැමෙන ආකාරය පටිගත වී තිබුණේ අතිශයින් සංවේදී දර්ශන පෙළක් සේ ය. මුළු රටේ ම අනුකම්පාව මියගිය දිවියාට යොමු වූ අතර මරා දැමූ මිනිස්සු පිළිකුළට ලක්වූහ. දරුණ ලෙස මිනිසුන් සපා කන දිවියා සිටියේ කිලිනොච්චියේ නිසා ඇතැම් අය සිය ජාතිවාදී හැඟීම් ගෙනහැර දක්වන්නට ද දිවි ඝාතනය උපයෝගී කරගත්හ.

“උන් දෙමළුනෙ. ඒකයි ඔයතරම් සාහසික විදිහට අහිංසක සතා මැරුවෙ. දෙමළු කොහොමටත් දරුණුයි.”

රුවන්වැල්ලේ නිවසන කිඹුලකුගෙන් අපේ කෙනකුට හානි වුවහොත් අපේ අයගේ හැසිරීම කිලිනොච්චියට වඩා වෙනස් විය නොහැක. මිනිසාට සිය අනෙකා හමු වූ විට ඔහු හැසිරෙන ආකාරය කිලිනොච්චියේ හෝ වේවා රුවන්වැල්ලේ හෝ වේවා මහ ලොකු වෙනසක් නැත. සිංහල දෙමළ යනුවෙන් ද වෙනසක් නැත. අනතුර, අහිමිවීම ඉදිරිපිට කවුරුත් දරුණු වෙති. අභියෝගය හමුවේ දියුණුවේ සළු පිළි දවටාගත් මිනිසත් බවේ ප්‍රකෘතිය මතුවෙයි. එවිට “රුවන්වැල්ලෙ උන් හරි දරුණුයි” කියමින් සෙස්සන් අපට ගරහනු ඇත.

වැලි ගොඩදැමීම වළක්වන්නට කිඹුලන් ගෙන ඒම කෙසේ වෙතත් කිඹුල් ගහණය ගඟේ විවිධ ප්‍රදේශ කරා ව්‍යාප්ත වන්නට වැලි ගොඩ දැමීම හේතු වෙයි. ගඟේ වැලි ගොඩ දැමීම නිසා ගඟේ භූ විෂමතාව වෙනස් වේ. එවිට ජලයේ රසායනික වෙනස් වෙයි. මෙම තත්ත්වය ඇතිවන විට කිඹුල්ලු තම වාසය සඳහා යෝග්‍ය තැන් සොයා ගඟ දිගේ ඉහළට ගමන් කරති. ගංඉවුරුවල වන වියන විනාශ කරමින් කෙරෙන ඉඳිකිරීම් හේතුවෙන් ද මෙවැනි තත්ත්වයන් ඇතිවේ. කලකට ඉහත නිල්වලා ගඟේ මෝය ආසන්නයේ සිටි කිඹුල් ප්‍රජාව කි. මී. 40 පමණ දුරක් දක්වා ව්‍යාප්ත වන්නට හේතු වී ඇත්තේ මෙවන් කාරණා වෙයි.

කොහොමටත් දැන් රටේ ඇතැම් ජලාශ්‍රිත පෙදෙස්වල කිඹුල්- මිනිස් ගැටුම් ව්‍යාප්ත වී තිබේ. සිතුල්පව්වේ වැවකට බට ‘අර්ජුන්’ යෝධ දළ පූට්ටුවාගේ ලිංගේන්ද්‍රියෙන් කොටසක් කිඹුලෙකු විසින් කඩා ගන්නා ලදැයි වාර්තා වූයේ 2017 සැප්තැම්බර් මාසයේ ය. ගල්නෑව වැවක දිය නාමින් සිටි 13 හැවිරිදි දැරියක් කිඹුලෙකුට ගොදුරු වූයේ ඊටත් මාස කීපයකට පෙර ය. ඇල අසබඩ සිය වැඩපොළේ දෙදණ බිම ඔබා වාඩි වී සිටිය දී සෙමෙන් පැමිණි කිඹුලෙක් පසුපස සපා ගෙන ඇදගෙන යාමට තැත් කිරීමේ දී අසීරුවෙන් ගැළවුණු මිනිසෙකු පිළිබඳ වාර්තා පළවී වැඩි දවසක් ගත වී නැත.

අපේ රටේ වාර්තා වන්නේ ප්‍රධාන වශයෙන් කිඹුල් වර්ග දෙකකි. ඒ ගැට කිඹුලා සහ හැල කිඹුලා ය. වඩා විශාල මෙන් ම දරුණු වන්නේ ගැට කිඹුලා ය. ගඟකට කිඹුලුන්ගේ ආගමනය ගැටලු සහගත වෙයි. ඒ අවට වෙසෙන මිනිස් ප්‍රජාව ගඟ ප්‍රයෝජනයට ගන්නා හෙයිනි. රුවන්වැල්ලේ කැලණි ගඟෙන් හා ගුරුගොඩ ඔයෙන් දිය නෑ විශාල පිරිසක් දැන් දිය නාන්නට ගඟට බසින්නට බියවෙත්. කිඹුලුන් ගැවසෙන ගංගාවල මේ සඳහා විවිධ පිළියම් යොදනු දැකිය හැක. එකක් නම් දිය නාන්නට කිඹුල් කොටු සකස් කිරීමයි. කිඹුල් කොටුව ලෝහ ආශ්‍රිතව සවිමත් ව සැකසීම නිසා කිඹුලාට ඊට ඇතුළු විය නොහැක. කිඹුලුන් වාසය කරන ගංගා, ජලාශාදියේ අනතුරු අඟවා දැන්වීම් සවිකර තිබෙනු දැකිය හැක. රුවන්වැල්ලට නම් තව ම කිසිදු ආරක්ෂිත උපායක් පැමිණ නැත.

අලි මිනිස් , කිඹුල් මිනිස් ඈ නෙක සතුන් හා මිනිසුන් අතර ගැටුම් ස්වාභාවික ය. අවශ්‍ය එවන් දේ අවම කිරීමයි. ඒ සඳහා දැනුම්වත් කිරීම් මෙන් ම ආරක්ෂණ පියවර ද වැදගත් වෙයි. මන්ද වන සත්ත්ව ප්‍රජාව ද ආරක්ෂා කළ යුතුවා මෙන් ම මිනිස් ප්‍රජාව ද සිය කර්මාන්ත, කෘෂිකාර්මික, ජල, ධීවර ආදී කර්මාන්ත අවහිරයකින් තොරව කළ යුතු බැවිනි.

 මහා­නාම දුනු­මාල


නව අදහස දක්වන්න

Or log in with...