වාර­ණය නොතකා නාට්‍ය ලියූ ඔස්ත්‍රොව්ස්කි | දිනමිණ

වාර­ණය නොතකා නාට්‍ය ලියූ ඔස්ත්‍රොව්ස්කි

ඔස්ත්‍රොව්ස්කි රාජ්‍ය කෞතුකාගාරය

‘වානේ පන්නරය’ ලියූ නිකොලායි ඔස්ත්‍රොව්ස්කි සිංහල පාඨකයාට අමුත්තකු නොවේ. එහෙත් රුසියානු ජාතික නාට්‍ය මාලාවේ පුරෝගාමියකු ලෙස සැලකෙන ඇලෙක්සැන්ඩර් ඔස්ත්‍රොව්ස්කි, අපට තවමත් ආගන්තුකයෙකි. ස්වතන්ත්‍ර නාට්‍ය 47ක්, පරිවර්තන නාට්‍ය 22ක් සහ සමකර්තෘ නාට්‍ය 7ක් රචනා කළ ඔස්ත්‍රොව්ස්කි රුසියානු නාට්‍ය ක්ෂේත්‍රයේ පෝෂණයට ඉමහත් සේවාවක් කළ රචකයකු හා අධ්‍යක්ෂවරයකු වශයෙන් සම්භාවනාවට පාත්‍ර වූවෙකි. ඔහු මියගියේ දැනට වසර 132කට පෙර, එනම් 1886 ජුනි මස 14 දාකය. එවිට ඔහුට වයස අවුරුදු 63කි.

ටොල්ස්ටෝයි, දොස්තයෙව්ස්කි, ගොගොල්, තුර්ගිනියෙෆ් ආදීහු ඔ‍ස්ත්‍රොව්ස්කිගේ සමකාලීන ගත්කරුවෝය. ඔවුන් බටහිර රටවලද ජනප්‍රිය වූ නමුදු, ඔස්ත්‍රොව්ස්කි රුසියානු දේශසීමා තුළම කොටුවීමට බලපෑ ප්‍රධාන හේතු දෙකක් තිබුණි. පළමුවැන්න, ඔහු නවකතාකරුවකු හෝ කෙටිකතාකරුවකු නොවීමය. දෙවැන්න, 19 වෙනි සියවසේ විසූ ඔස්ත්‍රොව්ස්කිගේ නාට්‍යවල කතා වස්තු හා චරිත, බටහිරට ගෝචර නොවන තරමටම රුසියානු වීමය. එසේම ඔහුගේ භාෂාවද පැරණි රුසියානු රීතියට අනුකූලව හැඩ ගැසී තිබුණි. එය වෙනත් බසකට නැඟීමේදී අපහසුතා පැන නැඟුණාට සැක නැත. එහෙත්, ඔස්ත්‍රොව්ස්කි නාට්‍ය පිළිබඳ අගැයීමකට යෙදුණු සංගීතඥ චයිකොව්ස්කි සඳහන් කළේ, ඔහුගේ ‘Warm Heart' (උණුසුම් හදවත) වැනි නාට්‍යයක එන හැම වදනක්ම රන් හා සමාන බවය. ටර්ගිනියෙෆ් ද පැවසුවේ, ඔස්ත්‍රොව්ස්කිගේ භාෂා භාවිතය අතිරමණීය බවය. ඔස්ත්‍රොව්ස්කිට පෙර අන් කිසිවකු එතරම් අලංකාර ලෙසත්, පවිත්‍ර ලෙසත්, රසවත් ලෙසත් රුසියානු බස යොදා ගනු දැක නැති බව ද ඔහු කීය.

ඔස්ත්‍රොව්ස්කි රුසියානු පමණක් නොව ග්‍රීක්, ලතින්, ප්‍රංශ, ජර්මන්, ඉතාලි, ස්පාඤ්ඤ හා ඉංග්‍රීසි භාෂා ද උගත්තෙකි. විදෙස් නාට්‍ය පරිවර්තනයේදී ඔහුට මෙම භාෂා දැනුම ප්‍රයෝජනවත් විය. ඔහුගේ නිවසේ විශාල පුස්තකාලයක් වූයෙන්, පාසල් වියේ සිටම, එහි වැදී පොත් කියවීමට ද පුරුදුව සිටියේය. මොස්කව් විශ්වවිද්‍යාලයෙන් නීතිය හැදැරීමට ගියද, පසුව එය අතරමඟ නවතා වාණිජ අධිකරණයේ මහේස්ත්‍රාත්ගේ ලිපිකරුවකු ලෙස ඔස්ත්‍රොව්ස්කි එහිදී විවිධ චරිත හා ජීවන ගැටලු පිළිබඳ අත්දැකීම් සම්භාරයක් ලැබුවේය. ඔහු නාට්‍යකරුවකු වීමේ පදනමද, එම අධිකරණ පරිසරයට විය. ඊට අමතරව, මොස්කව් නුවර වෙළඳ ප්‍රජාව හා ඉහළ මධ්‍යම පංතික ජීවිතය ඔස්ත්‍රොව්ස්කිගේ දැඩි නිරීක්ෂණයට ලක්විය.

1849 එක් රාත්‍රියක, මොස්කව්හි විසූ ප්‍රකට ඉතිහාසඥයකු වූ මීහයිල් පොගොඩින්ගේ නිවසට ලේඛකයන්, නළුවන් හා විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු පිරිසක් රැස්ව සිටියේ, තරුණ නාට්‍ය රචකයකු තම නාට්‍ය පිටපතක් කියවනු ඇසීමටය. ‘Between Near Relatives No Accounts Are Needed’ නමැති එම නාටකයේ කාන්තා චරිත කියැවූයේ ඔස්ත්‍රොව්ස්කිය. පිරිමි චරිත කියැවූයේ, එකල ප්‍රකට රංගන ශිල්පියකු වූ ප්‍රෝව් සැඩොව්ස්කිය. කියැවීම සිදුවන අතරේ, අහම්බෙන් මෙන් නිකොලායි ගොගොල් එහි දොරටුව අසලට පිවිසියේය. ඔහු එකල රුසියානු සාහිත්‍ය හා නාට්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකි. ඔහු, නාට්‍ය කියැවීම අවසන් වනතුරුම එහි රැඳී සිට එයට සවන් දුන්නේය. එහි පැමිණ සිටියකු ගොගොල් වෙත ගොස්, නාට්‍ය පිළිබඳ අදහස විමසා සිටියේය. ගොගොල් එය පැසසුවේය. ඔස්ත්‍රොව්ස්කි වෙත නොගිය නමුදු, තම ප්‍රතිචාරය කඩදාසි කැබැල්ලක සටහන් කළ ගොගොල් එය පොගොඩින් අතට දී නික්ම ගියේය. තරුණ ඔස්ත්‍රොව්ස්කිට එය මහඟු තිළිණයක් බඳු විය. ඊට දෙවසරකට පසු ගොගොල් මිය ගියේය. ඊට කලකට පසු ඔහුගේ හිඩැස පිරවූයේ, එදා පැසසුම් ලද ඒ තරුණයාම විසිනි.

නාට්‍ය පිටපත කියැවීමෙන් වසරකට පසු, 1850 දී ‘මොස්කවයිට්’ නම් සඟරාවෙහි එය පළ කෙරුණි. නාට්‍යයට මහත් ප්‍රතිචාර ලැබුණි. සඟරාව ඉක්මනින්ම අලෙවි විය. එය කියැවුණේ, ඔස්ත්‍රොව්ස්කිගේ නාට්‍යය ගැන තැන තැන කතා කරන්නට වූහ. රුසියාවට තවත් ගොගොල් කෙනකු පහළ වී ඇත. එහෙත් මොස්කව් හි වෙළඳ ප්‍රජාවට නම් මේ නාට්‍ය පෙනී ගියේ තමන්ට කළ සරදමක් ලෙසිනි. ඔව්හු එකල සිටි I වෙනි නිකොලස් සාර් රජුට ඒ පිළිබඳව පැමිණිලි කළහ.

නාට්‍ය තහනම් කෙරුණි. එය රංගගත කිරීමට අවසර ලැබුණේ එකොළොස් වසරකට පසුවය. ඔස්ත්‍රොව්ස්කිගේ තවත් නාට්‍ය තුනක්, පිළිවෙළින් වසර හය අට හා පහක කාලයන්ට වාරණය කෙරිණි.

‘ Near Relatives’ නාට්‍යය රංගගත වූ ප්‍රථම රාත්‍රියේ වූ අපුරු සිද්ධියක් ගැන, එය නැරැඹූ ප්‍රේක්ෂකයකු සටහන් කර තිබුණි.

‘මහත් සේ උද්දාමයට පත් තරුණ ප්‍රේක්ෂක පිරිසක් ඔස්ත්‍රොව්ස්කි තම උර මතින් ඔසවා ගෙන, ඔහුගේ නිවස කරා ගෙන යන්නට වූහ. එය අධික ශීත රාත්‍රියකි. ඔස්ත්‍රොව්ස්කිට හිම කාබය ඇඳ ගන්නටවත් ඉඩක් ‍නොලැබුණි. කල්පනාකාරීවූ පුද්ගලයෙක් තම කබාය ගලවා, ඔහුට පොරවා, ඉන්පසු හිම කරත්තයකට නංවාලීය. තරුණ පිරිස එය පසුපසින් කෑ ගසමින් ගමන් කරන්නට වූහ. ඔස්ත්‍රොව්ස්කි නිවස පිහිටා තිබුණේ මොස්කව් නදිය අසල පෙදෙසෙකය. ඒ අවට, ධනවත් ව්‍යාපාරිකයන්ගේ නිවාසද පිහිටා තිබූ අතර, එම රැයේ සුවපහසු යහන් මත උණුසුමට නිදා සිටි ඔවුන්ගේ නින්දට, නාට්‍යලෝලීන්ගේ ප්‍රීති ඝෝෂාවෙන් බාධා වූ බවට නම් සැක නැත.’

ඔස්ත්‍රොව්ස්කි එක් වසරකට නාට්‍ය තුනක් පමණ ලියූ අවස්ථා ද විය. විවිධ තේමාවන් යටතේ ලියැවුණු ශෝකාන්ත මෙන්ම ප්‍රහසනයන්ද ඒ අතර විය. එකල විසූ ප්‍රකට නවකතාකරුවකු වු ඉවාන් ගොන්කරෝෆ් මෙසේ මෙම නාට්‍යකරුවා කෙරෙහි පැහැදී මෙසේ ලියා යැවීය.

‘ගොගොල්, ෆොන්විසීන්, ග්‍රීබෝයෙදෝෆ් ආදී නාට්‍යකරුවන්ගේ මාර්ගයෙහි ඔබ ගමන් කරමින් සිටී. රුසියානු අපට ජාතික රංග පීඨයක් ඇතැයි ආඩම්බරයෙන් කිව හැක්කේ ඔබ නිසාය. එය ඔස්ත්‍රොව්ස්කි රංග පීඨය ලෙස නම් කිරීමේ කිසිදු වරදක් නැත.’

පසු කලෙක මෙය සැබෑවක් වූ අතර, ඔස්ත්‍රොව්ස්කිගේ බොහෝ නාට්‍ය රංගගත වූ මොස්කව්හි මාලි තියටර් ශාලාව, ඔස්ත්‍රොව්ස්කි රඟහල ලෙසින් හැඳින්වෙන්නට විය. එය ඉදිරිපස ඔහුගේ ප්‍රතිමාවක්ද ඉදිකෙරිණි.

1870 මැද භාගයේ සිට ඔස්ත්‍රොව්ස්කි නාට්‍ය රඟ දැක්වීම ක්‍රමයෙන් අඩුවන්නට විය. රටේ පැවති සමාජ-දේශපාලන වියවුල් මෙන්ම හොඳ අධ්‍යක්ෂවරුන්ගේ හිඟය ද ඊට බලපෑවේය. 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු, ඔස්ත්‍රොව්ස්කි නාට්‍ය යළි හිස ඔසවන්නට විය. මාලි රංගශාලාව, එක දිගටම ඔහුගේ නාට්‍ය රඟ දක්වන්නට විය. එහෙත් මේ වන විට ඔස්ත්‍රොව්ස්කි ජීවතුන් අතර නොසිටියේය.

ස්ටැන්ස්ලව්ස්කි හා මේයර්හෝල්ඩ් වැනි ප්‍රකට අධ්‍යක්ෂවරු, ඔස්ත්‍රොව්ස්කිට නව පණක් දෙන්නට ඉදිරිපත් වූහ. ස්ටැනිස්ලව්ස්කි 'Warm Heart’ නාට්‍යය ද, මේයර්හෝල්ඩ් ‘The woods’ නාට්‍යය ද, නිෂ්පාදනය කළ අතර, ඒවා රුසියානු නාට්‍ය ඉතිහාසයේ නොමැකෙන සලකුණු අතරට එක්විය. ඔස්ත්‍රොව්ස්කිගේ ‘The storm‘ නාට්‍යය ද නැවත නැවත නිෂ්පාදනය වූ සාර්ථක හා ජනප්‍රිය නිර්මාණයකි. එක් විචාරකයකු සඳහන් කළ අන්දමට ඔස්ත්‍රොව්ස්කිගේ ‘කුණාටුව‘ (The storm) මොස්කව් නගරය කළඹමින් හමා යන්නට පටන් ගෙන ඇත. ප්‍රවේශපත්‍ර කල්තියාම අවසන් වූ අතර, මාලි රඟහලේ ඉඩ මදිකම නිසා, නාට්‍ය රඟ දැක්වූයේ, සඳළුතල කීපයකින් යුත් බොල්ෂොයි රඟහලේදීය.‍’

ඔස්ත්‍රොව්ස්කිගේ ජීවිතයේ දුෂ්කර කාලයන්ද විය. සාර් විසින් නාට්‍ය තහනම් කිරීමෙන් පසු, ඔහුගේ උසාවි රැකියාවද අහිමි වුණි. එවිට ඔස්ත්‍රොව්ස්කි ‘මොස්කවිට්’ සඟරාවේ පරිවර්තකයකු වශයෙන් සේවයට බැඳුණේය. ඔහු, තම නිවසේ සිට කාර්යාලයට වූ සැතපුම් පහක දුර, පයින්ම ගමන් කළේය. ජීවිතයේ අවසාන භාගයේ ඔහු නාට්‍ය කලාව කෙරෙහි කලකිරුණේය. ‘මම යළි කිසි දිනෙක ස්වතන්ත්‍ර නාට්‍යයක් නොලියමි. ලියූවත් ඒවා රංගගත නොකරමි යැයි ඔහු පැවසුවේය. ඊට ප්‍රධාන වශයෙන් බලපෑවේ සාර්ගේ වාරණය හා නිලධාරිවාදයයි. නොගැළපෙන පුද්ගලයන්ගෙන් යුත් සංස්කෘතික කමිටු, ඔස්ත්‍රොව්ස්කිගේ විවේචනයට ලක්වුණි. නිෂ්පාදන ආයතනවලින් නාට්‍යකරුවන්ට වූ අසාධාරණයන්ද ඔහුගේ කලකිරීමට හේතු වූ අතර, ඔහු ඊට එරෙහිව සටන් කළේය. එහෙත් මුල් යුගයේ , වාරණය නොතකාම වැඩ කළ හෙයින්, ඔහුගේ නාට්‍යාවලිය බොහෝ දිගු විය.

ඔස්ත්‍රොව්ස්කි සමකාලීන හා පසුකාලීන නාට්‍යකරුවන් කෙරෙහිද බලපෑවේය. ටෝල්ස්ටෝයි, චෙකෝෆ් හා ගෝර්කිගේ නාට්‍ය තුළ එම ලක්ෂණ දැකිය හැක.

ජීවිතයේ අවසාන දින කීපයේද, ඔස්ත්‍රොව්ස්කි කාලය ගත කළේ ශේක්ස්පියර්ගේ ‘ඇන්තනි සහ ක්ලියෝපෙට්රා’ නාට්‍යයේ පරිවර්තනය සංස්කරණය කරමිනි. ‘මම යළිත් ස්වතන්ත්‍ර නාට්‍ය නොලියමි’ යනුවෙන් පැවසූ ඔස්ත්‍රොව්ස්කිගේ කියුම යට, බොහෝ දේ සැඟව තිබුණි. ඔහු ශේක්ෂ්පියර් සොයා යන්නට ඇත්තේ එහෙයින් විය හැකිය.

කපිල කුමාර කාලිංග


නව අදහස දක්වන්න

Or log in with...