ඒ මල හරි ලස්ස­නයි! | දිනමිණ

ඒ මල හරි ලස්ස­නයි!

“ඒයි මල්ලියෙ ඔයා, මහතුන් මල්ලිගෙ මඟුලට යනවැයි“ රාහුල උන්නැහේ දුර ඈත ඉඳන්ම ඇහුවා. 'රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං' කියන්නෙ ඔන්න ඔය වගේ දේවලට තමයි. ඒ වැඩේ සෑහෙන ගාණක් අතින් කයිට් වෙන වැඩක් හින්දයි, මහතුන් මල්ලි කියන්නේ ගොඩාක් ළඟ මිත්‍රයෙක් නොවන හින්දයි මං කොහොමත් වැඩේ කට් කරන තැනකයි හිටියේ. ඒත් රාහුල උන්නැහේ මාව අතාරින පාටක් පේන්න නෑ.

“ඒක නෙවෙයි. මනමාලිගෙ පැත්ත බර අත්තක් නොවැ. වතුපිටි එහෙම අක්කර ගාණක් මුගෙ නමට ලියල දෙනව කියලයි කියන්නේ?“

“ඉතිං දැන් අපි එහේ යන්න ඕන වතුපිටි බලලා එන්ඩද?“

“චී...චී මල්ලි එහෙම කියන්න හොඳ නෑ. ගමේ එකෙකුට හරියනවා කියන්නෙ මේ අපට හරියනවා කියලා හිතාගන්න ඕන. මං කියන්නෙ අපි මේකට යන්නම ඕන. මං එන්නම් ස්ටේෂන් එකට යනකල් මගෙ ආටා එකේ යන්න පුළුවන්. අපි පාන්දරින් ගියොත් පහේ කෝච්චිය අල්ල ගත්තම ලේසියි.“

“එච්චර පාන්දර.? අනික පැයක හමාරක ගමනකට?“

“නෑ ඉතිං හතේ අටේ කෝච්චි කියන්නෙ සෙනඟ පිරිලා. එතකොට ඇඳුම් එහෙම පොඩිකරගෙන, අනුන්ගෙ කලිසම් අස්සෙත් කකුල් එහෙම ගහගෙන, මඩ පෑගිච්චි කකුල් සෙරෙප්පුවල ගාගෙන යන්න ගියාම එපා වෙනවා. අනික එහෙට යද්දි කුලී වැඩක් කරලා එනගමන් කියලා හිතයි“ රාහුල උන්නැහේගෙන් බේරුමක් නෑ.

“මං තාම හිතලා නෑ. ගමන ටිකක් දුරයි නෙ. මං හිතලා කියන්නම්“ මං කීවා.

“චී...චී බංඩි මල්ලියෙ. එහෙම හොඳ නෑ. මොකද කොල්ලට සල්ලි බාගෙ නැතිවුණාට හොඳ රස්සාවක් තියෙනවා. අමාරුවෙන් ඉගෙන ගත්තු එකා. ළඟදි වාහනේකුත් ගන්නයි යන්නෙ“

“දැන් එතකොට ඔය කසාද බඳින්නෙ හොඳ රස්සාවකුයි අක්කර ‍පහළොවකුයි, වාහනේකුයි ගේකුයි නම් අපි මොකටද බන් ඔච්චර කට්ටක් කන්නේ?“ මං එහෙම කීවත්, ඒ කීව හරුපෙ තේරුම් ගන්න තරම් හයියක් රාහුල උන්නැහේට නැති බව මට තේරුණේ වචන ටික කටින් ලිස්සලා ගියාට පස්සෙයි. 'මෙහෙමත් කුහකයෙක්' වගේ මං ගැන හිතනවා ඇරෙන්නට වෙන හිතන්නට පුළුවන් ආකෘතියක් උන්නැහේට හොයාගන්න අමාරුයි.

ඇත්තටම මට මතක්වුණේ ලෙවි-ස්ට්‍රවුස් කියන මානව විද්‍යාඥයා. එතුමා අවුරුදු ගාණකට ඉස්සර 'නික්බිම්වරා ඉන්දියාන්ස්' කියන ‍ගෝත්‍රය ආශ්‍රය කරගනිමින් කළ පර්යේෂණයක තිබුණේ නිරන්තරයෙන්, සැකෙන්, බියෙන් හුදකලාව වාසය කරන්නට කැමතිවූ ඔවුන් ගෝත්‍රයෙන් පිටත අවාහ, විවාහ කටයුතු කරදීමට පෙළඹුණේ තම ආහාරපාන ආදී මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට බවයි. ඒ නිසාම අහවල් ගෝත්‍රයෙන් අහවලා, අහවල් ගෝත්‍රය සමග විවාහ ගිවිස ගන්නවා යනු ඥාතිත්වය පිළිබඳ කාරණයක් මතු පිටින් පෙනුණත් පදනමින් සිදුව ඇත්තේ මස් රාත්තලකට වළං කදක් හුවමාරුවීමක්, තණ පිට්ටනියකට හරක් රංචුවක් හුවමාරුවීමක් වැනි දෙයක් බැව් හෙතෙම පැහැදිලිව පෙන්වාදී තිබුණා. අවුරුදු සිය ගණනකට පසුව වුණත් නූතන විවාහ සංස්ථාව තුළ වුණත් තියෙන්නෙ මේකෙ නෂ්ඨාවශේෂම තමයි.

“මනෝරි අක්කලාගෙ දුව දීගෙ අතෑරලා ගෙදර ඇවිත් ඉන්නෙ. පව් හොඳට ඉගෙන ගත්තු ළමයා.“ අපේ මායියා, මාසෙකට විතර ඉස්සර එහෙම කීවා. ඒ වෙලාවෙත් මට ගත් කටටම කියැවුණෙ කට කැඩිච්චි වචනයක්ම තමයි.

“ලස්සන රූපෙකටයි රස්සාවකටයි රදළ පැළැන්තියකුයි වාහනේකුයි හුවමාරු වුණාම ඔහොම තමයි. මේ පැත්තෙන් රස්සාව කතා කරන කොට අර පැත්තෙන් වාහනයක් උත්තර දෙනවා“ මං කීවා.

“මොනව වුණත් අහිංසක සීදේවි ළමයා?“ මායියා ආයෙම කියනවා. වචන ඒ විදිහටම මතක් නොවුණත් මට මතක් වුණේ රණවීර උන්නැහේගේ කවියක්.

“අර මල හරි ලස්සනයි“ ඇය කියයි.

“එය සොබා දහමේ අනේකවිධ රූප සෞන්දර්යයන් කැටි කොට තැනවූ මනරම් නිමැවුමක්“ මම කියමි.

“ඒ වුණාට ඒ මල හරි ලස්සනයි අනේ“ ඇය, කියයි.

ඒ ගැන ඉතිං තව වෙන මොනවා කියන්නද?

බණ්ඩි රාල


නව අදහස දක්වන්න

Or log in with...