අඳුරේ ගිලෙ­මුද පහ­නක් දල්ව­මුද? | දිනමිණ

අඳුරේ ගිලෙ­මුද පහ­නක් දල්ව­මුද?

චෙරාන් කාන්තාවෝ

රටේ පොදු ජනතාව නීතිය තමන් අතට ගෙන වැරදිකරුවන්ට දඬුවම් දීමේ ප්‍රවණතාවක් මේ දවස්වල රටේ විවිධ පළාත්වලින් මතුවෙන බව දකින්න ලැබෙනවා. උතුරු පළාතේ ජනතාව බිය ගැන්වූ දිවියකු අමු අමුවේ මරා දැමීමට ජනතාව පෙළඹීම මෑතකදී මීට දැක්විය හැකි හොඳම නිදසුනක්. අවුරුදු 30ක් පමණ යුද පසුබිමක ජීවත් වූ ජනයා තුළ පවතින යුද මානසිකත්වයේ පිළිබිඹුවක් හැටියට ඇතැමුන් මෙය විග‍්‍රහ කරන්න උත්සාහ කරනවා. ඒ වුණාට යුද්ධයේ බලපෑමට ඒ තරම් නතු නොවුණ අපේ රටේ වෙනත් ප්‍රදේශවල ජනයාගේ හැසිරීම හා උතුරුකරයේ ජනතාවගේ ප්‍රකෝපකාරීත්වයත් අතර ලොකු වෙනසක් දකින්න නැහැ කියන එක තමා මගෙ නම් අදහස. උදාහරණයක් හැටියට ගත්තොත් පහුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දීපු ගම්පහ දිස්ත්‍රික්කයේ අහිංසක සේයා දැරිය දූෂණය කර ඝාතනය කර දැමූ සිද්ධියේ සැකකරුවකු වූ කොණ්ඩයා නමැති පුද්ගලයා තමන්ට භාර දෙන ලෙස ඉල්ලමින් පොලිසි හා උසාවි ඉදිරිපිට උද්ඝෝෂණය කළ ජනයාගේ හැසිරීම හා උතුරේ දිවියා මරා දැමූ මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය අතරත් ලොකු වෙනසක් දකින්න ලැබෙන්නෙ නැහැ. එහෙනම් යුද මානසිකත්වය කියන සාධකය මේ සමාජ හැසිරීම සාධාරණීකරණය කිරීම සඳහා වලංගු වෙන්නෙ නැහැ.

රටක ජනයා නීතිය තමන් අතට ගැනීමට පෙළඹෙන හේතුව මීට වඩා පුළුල් සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් විමසීමට ලක් කළ යුතුයි. විශේෂයෙන්ම මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතා ආධිපත්‍යයේ ප්‍රධාන කුලුනු හතර සේ හැඳින්වෙන විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය හා ජනමාධ්‍ය වැනි ආයතනවල ක්‍රියාකාරීත්වය බරපතළ ලෙස සැලකිල්ලට ලක් කළ යුතු බවයි සමාජ විද්‍යාඥයන් මෙන්ම විද්වත් ප්‍රජාවත් අවධාරණය කරන්නේ. වත්මන් ශ්‍රී ලංකාවේ මෙම ආයතන හතර ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ජනතාව තෘප්තිමත් ද? මෙන්න මේ ප්‍රශ්නයට නිසි පිළිතුරක් සෙවීමට අපිට හැකි වුණොත් වත්මන් ශ්‍රී ලාංකික ජනතාවගේ සමාජ ක්‍රියාකාරකම් පිටුපස පවතින සැබෑ හේතු සාධක සොයාගත හැකි බවයි ඉහත කී විද්වතුන් කියා සිටින්නේ.

වගකිවයුත්තන් කඩිනමින් මේ කරුණු කෙරෙහි අවධානය යොමු කර නිසි පියවර නොගත්තොත් ඇති විය හැකි ප්‍රතිඵල දෙකක් පිළිබඳවද විද්වත් සමාජ විශ්ලේෂකයන් කරුණු දක්වනවා. එම ප්‍රතිඵල දෙක සුබවාදී හෝ අසුබවාදී විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. සුබවාදී ප්‍රතිඵලය වනුයේ සමාජයේ ප්‍රබුද්ධ පුරවැසියන් අතරින් මතුවන නායකත්වයක් ඔස්සේ ජනතා ක්‍රියාකාරකම් වඩා ඵලදායක දිසාවක් වෙත යොමු කිරීමයි. අනිත් ප්‍රතිඵලය නම් එහි ප්‍රතිවිරුද්ධයයි. එනම් පාතාල ලෝකයේ දාමරික කල්ලි, අන්තවාදී හෝ ජාතිවාදී බලවේග කැලඹෙන දියේ මසුන් දඩයම් කිරීමේ ප්‍රයත්නයක නිරත වෙමින් රට තවදුරටත් අරාජිකත්වය කරා රැගෙන යාමයි.

අද අපේ රටේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබෙන සිදුවීම් මාලාව දෙස සියුම් දෘෂ්ටියක් හෙලන විට අඩුවැඩි වශයෙන් මේ ප්‍රවණතා දෙකම ක්‍රියාත්මක වෙන බව දකින්න පුළුවන්. විශේෂයෙන්ම මේ වන විට රටේ පොදු ජනයාගේ අදහස් උදහස් පිළිබිඹු කරන කැඩපතක් ලෙස සැලකිය හැකි සමාජ මාධ්‍ය ජාලයේ අවනීතිය පරාජය කර විනයගරුක සාධාරණ සමාජයක් ගොඩනැඟීමේ වැදගත්කම පෙන්වන විද්වත් කථිකාවක් ගොඩනැඟෙමින් තිබීම සතුටට කරුණක්. ඒත් ඒ කථිකාව රටේ පොදු ජනතාව අතරට කාන්දු වන්නේ ඉතාම සෙමින්. මන්ද ප්‍රධාන මාධ්‍ය ධාරාව තවමත් පටු ජනප්‍රිය මාධ්‍ය භාවිතයක යෙදෙමින් සමාජ අරාජිකත්වයට තුඩුදෙන පුවත් හුවා දැක්වීමට දක්වන අඳබාල ප්‍රතිපත්තිය නිසයි.

රටක අවනීතිය හිස ඔසවන විට දූෂණය, අල්ලස හා වංචාව වැනි සමාජ විරෝධී ක්‍රියාකාරකම් වැඩි වර්ධනය වන විට ඒවාට එරෙහිව පෙළගැසෙන සමාජ බලවේග වඩාත් නිවැරදි දිසාවන් වෙත යොමු වෙමින් යහපත් ප්‍රතිඵල නෙළාගන්නා අයුරු පෙන්වා දෙන උදාහරණ කීපයක් පහුගිය කාලයේ අපට බාහිර ලෝකයෙන් අසන්න ලැබුණා. අද ඇතැම් නායකයන් මෙන්ම මාධ්‍යයන්ද කරනවා වගේ අඳුරට සාප කරමින් ජනතාව තව තවත් අසහනයට පත් කිරීම වෙනුවට රටට හා තම ප්‍රජාවට සැබවින්ම ආදරය කරන මිනිසුන් කළ යුත්තේ අඳුරු වලාවක වුව දැකිය හැකි රිදී රේඛාවක ලකුණු සමාජය හමුවේ ප්‍රදර්ශනය කිරීමයි.

මේ අනුව මෑතභාගයේ අපට අසන්න ලැබුණු එවැනි සුබවාදී සිදුවීම් දෙකක් ගැන පමණක් මා සඳහන් කරන්නම්. ඉන් එකක් සිදු වුණේ අපේ අසල්වැසි ඉන්දියාවේ. එය තමා 2011දී ගාන්ධිවාදියකු වන අන්නා නසාරේ නමැති සමාජ ක්‍රියාකාරිකයාගේ ප්‍රධානත්වයෙන් බිහිවුණු දූෂණ විරෝධි පෙරමුණ. දිල්ලි නුවර කේන්ද්‍ර කර ගනිමින් මතු වුණ මේ සමාජ ව්‍යාපාරයට පසු කාලයක තවත් කණ්ඩායම් එකතු වුණා. ඒ අතර ඉන්දියාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ සංවිධානයේ නායක අරවින්ද් කේජ්වාල් කැපී පෙනෙනවා. පොඩි මිනිහාගේ පක්‍ෂය (අවාමි අද්මි) නමින් සංවිධානයක් හදපු මේ නායකයෝ දිල්ලි නුවර උප ප්‍රාන්තයකට තරග කරලා ජයග්‍රහණය ලැබුවා. ඇත්තටම අන්නා නසාරේතුමා මේ මහා ව්‍යාපාරයට මුල පිරුවේ ගාන්ධිතුමාගේ අවිහිංසාවාදී ප්‍රතිපත්තිය අනුව දිල්ලි නගරයේ මහජන ක්‍රීඩා පිටියක උපවාසයක් අරඹමින්. දිල්ලියේ දූෂණ හා අපරාධ විරෝධී සියලු ජනකොටස් සිය ව්‍යාපාරය වටා ඒකරාශී කර ගැනීමට නසාරේතුමා සමත් වුණේ එතුමාගේ අවංක ඍජු සමාජ ප්‍රතිරූපය හේතුවෙන්.

සමාජ විරෝධය යහපත් දිසාවකට යොමු කළ අනිත් සිද්ධිය මට අසන්න ලැබුණේ ඈත එපිට මෙක්සිකෝවෙන්. එහි චෙරාන් නම් ග්‍රාමීය ප්‍රාදේශීය සභාවක බලය අත්පත් කර ගැනීමට ගැමි කාන්තාවන් පිරිසක් නායකත්වය දුන් හැටි අසන්න ලැබෙනවා. තම ගමේ සම්පතක් වූ දැව කර්මාන්තය දූෂිත දේශපාලනඥයන්, නිලධාරීන් හා පොලීසිය එක් වී මංකොල්ලකෑමට විරුද්ධවයි මේ කාන්තා බලවේගය පෙළගැසෙන්නේ. මේ සිද්ධියත් 2011 වසරේම සිදුවීමත් විශේෂයි. නීති විරෝධී ලෙස දැව ප්‍රවාහනය කරමින් තිබූ ලොරි පෙළකට පහර දීමෙන් ආරම්භ කෙරුණු මේ කාන්තා අරගලය කෙළවර වුණේ දූෂිත දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් හා පොලීසිය සිය කුඩා ගම්මානයෙන් පලවා හැර ප්‍රාදේශීය සභාවේ පාලනය ගම්වැසියන්ගේ ඡන්දයෙන් පත් වූ කමිටුවකට පැවරීමෙන්. මැක්සිකන් මධ්‍යම ආණ්ඩුව මේ ප්‍රාදේශීය සභාව පිළිගෙන තිබීමත් ජනතා ක්‍රියාකාරිකයන් ලැබූ ජයග්‍රහණයක්.

ඉඳහිට ලොවේ තැන් තැන්වලින් අසන්න ලැබෙන මෙවැනි ජයග්‍රහණ අපි වගේ සමාජයක් තුළ යහපත් බලාපොරොත්තු දල්වන බවයි මගේ නම් හැඟීම. අඳුරට සාප කර කර නොසිට අපි අපිම එකතු වී එක පුංචි පහන් වැටියක් හෝ දැල්වීමට අදිටන් කරගත්තොත් අනාගත පරපුරට ලබා දිය හැකි ඉහළම දායාදය එය බවත් මතක් කර දෙමින් මේ සටහන නිමා කරනවා.

කමල් පෙරේරා


නව අදහස දක්වන්න

Or log in with...