තිරි­සන් වැඩ | දිනමිණ

තිරි­සන් වැඩ

‘‘කොහොමද ටොම්සන් මහත්තයා අර දිවියා මරාපු උන්ගේ වීර ක්‍රියාව.?“ කියා උන්නැහේ ටොම්සන් මහත්තයාගෙන් ඇසුවේ රූපවාහිනිය නරඹමින් සිටි අතරය.

‘‘ වීර ක්‍රියාව? “ කියා ටොම්සන් මහත්තයා ආපිට ඇසුවේය.

‘‘ ඔව්.. වීර ක්‍රියාවක් තමයි... දැන් බලන්ඩ දිවියෙක් කියන්නේ මිනිස්සු මරා ගෙන කන සතෙක්නේ. දැක්කද අර වීරයා මරාපු දිවියා කරේ දමා ගෙන එන හැටි. මං නං කියන්නේ මේ අවුරුද්දේ වීර සම්මානය දෙන්න ඕනෑ මේ කරපු වීර ක්‍රියාවට සම්බන්ධ වෙච්චි ඔක්කෝටම.

‘‘ ඔව්. ඔව්.. දෙන්නම ඕනෑ. එක්කෙනකුට විතරක් නෙවෙයි. ඔක්කෝටම. හැබැයි එළියේදි නෙවෙයි. ඔය වැලිකඩ හා බෝගම්බර හරි වගේ තැනක “ කියා ටොම්සන් මහත්තයා කිවේය.

‘‘ ඇයි ටොම්සන් මහත්තයා එහෙම කියන්නේ... මට නම් තේරෙන්නේ නෑ.. ඒ කියන්නේ මේ දිවියා මරාපු අය වැලිකඩ හා බෝගම්බර හරි හිරේට දාන්න ඕනෑ කියලද? ඒ මොකද ඒ?“ කියා උන්නැහේ ඇසුවේය.

‘‘ ඒක තේරෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. දිවියෙක් කියන්නේ වන සතෙක් නේ. ඌ මොනවාද දන්නේ? අනික ඌ මාංස භක්ෂක සතෙක්. ඌ ඉපදිලා තියෙන කරුමේම තමයි. ඒ වුණත් මනුස්සයා කියන්නේ එහෙම සතෙක් නෙවෙයිනේ. වන සතාට ආගමක් ධර්මයක් නෑ. සංස්කෘතියක් නෑ. ඒ වුණාට මනුස්සයාට ආගමක් ධර්මයක් තියෙනවා. සංස්කෘතියක් තියෙනවා. අනික ඉස්කෝලේ ගිහින් ඉගෙන ගෙන තියෙනවා. දැන් බැලුවම මොනවද ඉගෙන ගෙන තියෙන්නේ කියලා හිතෙනවා. “

‘‘ ටොම්සන් මහත්තයා කියන දේ හරි. කොහොම කෙරුවත් ඔය වීරයෝ වාගේ දිවියා වට කර ගෙන ගහපු මිනිස්සු මොන ආගමක හරි අය නේ. දිවියා ආම්බාන් කරන ගන්න එක පාරක් දෙකක් ගහන්න පුළුවන්. ඒ වුණාට මේ වගේ තිරිසනුන්ටත් අන්ත විදිහට වට කර ගෙන ගහ ගෙන ගහ ගෙන යන කොට මේ එක්කෙනකුටවත් හිතුණේ නැද්ද මේකා බැඳලා අල්ලා ගන්න. එහෙම කරලා ඌව සුදුසු තැනකට ගෙනියන්න ක්‍රමයක් හදන්න නේ තිබුණේ. අනික වනජීවී කියලා දෙපාර්තමේන්තුවකුත් තියෙනවා නේ. ඒ ගොල්ලොත් මේකට අත දානවා නේ. ඒ විතරක් නෙවෙයි මේ රටේ වන සතුන්ටත් නීතියක් තියෙනවා නේ. අන්තිමේ බැලුවාම මේ ඔක්කොම යටයි.“ කියා කියමින් ඇම්බන් මහත්තයාද එතැනට ආවේය.

‘‘ මට නම් ඒකටත් වඩා දැනෙන්නේ මේ රූපවාහිනී ඔස්තාලාගේ සදාචාරය. දැන් බලන්ඩ ටොම්සන් මහත්තයා. අද තියෙන තාක්ෂණය නිසා ඕනැ කෙහෙම්මලක් වීඩියෝ කරන්න පුළුවන්. කවුරුවත් එහෙම නොකළත් දැන් ඔය සීසීටීවී වලිනුත් වීඩියෝ වෙනවානේ. එතකොට මේවා තිබුණා කියලා ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට මේවා මේ විදිහට බලන්න ඕනැද?“ කියා ඇම්බන් මහත්තයා නැවත කිවේය.

‘‘ නැතුව ඇම්බන් මහත්තයා.. ඇයි අපි තමයි මුලින්ම පෙන්නුවේ කියලා ආඩම්බරේට. ඒක මේ මාධ්‍යවලට තියෙන රෝගයක් නේ. හැබැයි බේත් නෑ.“ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘‘ එතකොට ඔය මාධ්‍ය නියාමනය කරන්න එක එක නිලධාරින් ඉන්නවා නේද?“

‘‘ ඉන්නවා තමයි. ඒ ගොල්ලන්ට නියාමනය කරන්න තියෙන්නේ ඔය දේශපාලන කටයුතු නේ. මේවා දේශපාලනය නෙවෙයි නේ. හැබැයි දැන් නම් මේකටත් දේශපාලනය ගෑවෙනවා. කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘‘ ඒ කොහොමද ටොම්සන් මහත්තයා මේකට දේශපාලනේ ගෑවෙන්නේ.?

‘‘ ඇයි ඇම්බන් මහත්තයා... අර තෙවරප්පෙරුම මහත්තයා මේකට සම්බන්ධ වෙනවා නේ. ඇත්තටම මේවා මේ රටේ මිනිස්සුන්ට අලුතින් උගන්නන්න වෙලා. අහිංසක සත්තුන් රැක බලා ගැනීමත් මිනිස්සුන්ගේ වගකීමක් නේ. ඉතින් මේ වගේ අසමජ්ජාති වීරයෝ ඉන්න රටේ අහිංසක සත්තු තියා අහිංසක මිනිස්සුවත් බේරෙයිද කියන එකයි ප්‍රශ්නේ. “ කියා උන්නැහේද කතාවට සම්බන්ධ වූයේය.

‘‘ මේවාට තමයි මාධ්‍ය සදාචාරය ඕනැ වෙන්නේ. ඒ වුණාට බාප්පලාට මාධ්‍ය ගිය රටක මොන සදාචාරයක්ද? හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ‘‘ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘‘ ඒ මොකක්ද ටොම්සන් මහත්තයා?“ කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

‘‘ මේකනේ ඇම්බන් මහත්තයා. මාධ්‍යයට සදාචාරයක් නැති රටක මිනිස්සුන්ට සදාචාරයක් තියෙයිද? ඕවා තමයි අපට තව ඉස්සරහට රූපවාහිනියෙන් නරඹන්න තියෙන්නේ. මාධ්‍යවේදීන්ගේ රාජකාරිය තමයි ඔය වගේ ඒවා තව තව හොයා ගෙන ඇවිත් පෙන්නන එක. මාධ්‍ය සදාචාරයට ජය වේවා! කියා ටොම්සන් මහත්තයා කීවේය.

බන්දුල පී දයාරත්න

නව අදහස දක්වන්න