ඕස්ට්‍රේලියාවේ රැකියා ඕනෑතරම් තිබෙනවා | දිනමිණ

ඕස්ට්‍රේලියාවේ රැකියා ඕනෑතරම් තිබෙනවා

ඔස්ට්‍රේලියවේ රැකියා අවස්ථා සඳහා සේවකයන් සපයන RND රිකෘටින්ස් අධිපති රංජීව පෙරේරා

‘මම ඕස්ට්‍රේලියාවට ගියේ මට අවුරුදු 12දි. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය සහ සන්නිවේදනය පිළිබඳ හැදෑරුවා. ඒත් දැන් මම සම්බන්ධ වෙලා ඉන්නේ ඊට වඩා තරමක් වෙනස් ක්ෂේත්‍රයකට.’

 

රංජීව පෙරේරා සිය කතාව ආරම්භ කළේ එලෙසිනි. වසර දහයක් පුරා ඕස්ට්‍රේලියාවේ ආයතන සඳහා සේවකයන් සැපයීම ඔහුගේ කාර්යයයි. RND රිකෘටින්ස් ඔහුගේම ආයතනයයි. ඕස්ට්‍රේලියාවේ සිට ඔහු සිය උපන් බිමට මෙවර පැමිණ ඇත්තේ එක්තරා ආකාරයක සමීක්ෂණයක් සඳහාය. ඒ අපේ රටින් ඕට්‍රේලියාවට රැකියා අවශ්‍යතා සඳහා යන පිරිස සම්බන්ධයෙනි. දැනට කෙරෙමින් පවතින ඒ සමීක්ෂණයත් මෙතෙක් ඔහු ලැබූ අත්දැකීම් සම්භාරයත් පාදක කරගෙන අන්තර්ජාතික රැකියා වෙළෙඳ පොළේ විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ රැකියාවක නිරත වන්නට අපේක්ෂා කරන්නකු සතු විය යුතු සුදුසුකම් පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.

 

 

ඕස්ට්‍රේලියාවට අපේ රටින් වෘත්තිකයන් හෝ සේවකයන් අත්‍යවශ්‍යද?

ඇත්තෙන්ම ඕස්ට්‍රේලියාවේ යම් යම් ක්ෂේත්‍ර තිබෙනවා සේවක පුරප්පාඩුවලින් පිරුණු. ඒ සඳහා සේවකයන් ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවලින් ගෙන්වා ගන්න ඔවුන් කැමතියි. ඒත් සමහර වෙලාවට අපට වඩා වෙනත් රටවලට අවස්ථාව වැඩිපුර ලැබෙන්න අපේ ශ්‍රම බළකායේ ඇතැම් අඩුපාඩුකම් බලපානවා.

ඔබේ අත්දැකීමේ හැටියට ඒ අඩුපාඩුකම් මොනවාද?

අපේ රටෙන් එන රැකියා අපේක්ෂකයන් බහුතරයකට තිබෙන විශාලම ගැටලුව වන්නේ භාෂා ප්‍රශ්නය. ඉන්දියාවෙන් එන පිරිස හොඳට ඉංග්‍රීසි හසුරුවන්නට පුරුදු වී සිටියත් අපේ අයගේ පසුබෑමට සහ උසස් නිලවලට අඩුවෙන් පත්වීමට මේ භාෂා බාධාව බලපානවා. එනිසා මධ්‍යම සහ උසස් කළමනාකාරීත්වයට එහෙමත් නැත්නම් විධායක ශ්‍රේණියේ තනතුරුවලට ශ්‍රී ලාංකිකයන් පත් වන්නේ අඩුවෙන්. ඒ වගේම සමහර තරුණ පිරිස්වල අද දකින්න තරමක් විරල දෙයක් තමයි පක්ෂපාතී බව. ඒ කියන්නේ තමන්ගේ ආයතනය වෙනුවෙන් කැපවීම සෑහෙන දුරට අඩු වීමක් නව පරපුරේ රැකියා අපේක්ෂකයන්ගේ දක්නට ලැබෙනවා. ඔවුන්ට ඕනෑ ඉක්මනින් ඉහළට යන්නත් වැඩි පඩි ගන්නත් මිස සේවය වෙනුවෙන් කැපවෙන්න නොවේ. මෙයින් සමස්තය ගැන කියවෙන්නේ නෑ. ඒත් එවැනි අය නිසා රට ගැන ඇති වන ආකල්පය සමස්තයට බලපානවා. තවත් සමහරුන්ගේ ආකල්පමය ප්‍රශ්න තිබුණත් අපේ රටේ බහුතරයකට එය ඒ තරම් ලොකුවට බලපාන්නේ නෑ.

ඔබ එසේ කියන්නේ ඇයි?

ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාව ඉතාම ශීලාචාරයි, විනීතයි, සෑහෙන සුහදශීලීයි. ඒ වගේම හිංසාකාරී පීඩාකාරී ආකල්පවලින් ඔවුන් පිරී නැහැ. එනිසා එවැනි ආකල්ප දරන්නන් ලෙස අපේ පිරිස හඳුන්වන්න බෑ.

ඔබ දකින අඩුපාඩුකම් එපමණද?

තවත් කියන්න පුළුවන්. ඒ තමයි කාර්යක්ෂම බවින් අඩුකම. උදාහරණයක් හැටියට කාමර පනහක හෝටලයක සේවය සඳහා අපේ රටේ නම් සේවකයන් 100ක් 120ක් වත් යොදවනවා. ඒත් ඕස්ට්‍රේලියාවේ ඒ වෙනුවට ඉන්නේ සේවකයන් 50 දෙනකු විතර සංඛ්‍යාවක්. ඔවුන් මීමැස්සන් වගේ වැඩ කරනවා. අඩුම ගානේ ඇවිදින වේගය පවා වෙනස්. ඔවුන්ගේ සැලසුම්සහගත ගතිය වැඩියි. එනිසා ඵලදායීතාවත් වැඩියි.

ඔබ ආයතනයෙන් ලබා දුන් සේවකයන් පිළිබඳත් ඔය වැනි චෝදනා තිබෙනවාද?

නෑ. මොකද අප රැකියාවට යොදවන්න කලින් ඔවුන්ගේ දක්ෂතා ඔප මට්ටම් කර ගත යුතු ආකාරය පිළිබඳ දැනුම්වත් කිරීමක් කරනවා. ඔවුන්ට අවශ්‍ය වීසා ආදිය ලබා දෙනවා. ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ඉගෙන ගන්න යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවසානයේ මොකද වෙන්නේ? ඔවුන් රැකියාවක් ලබා ගත යුත්තේ කොහොමද? ඒ සඳහා සැපිරිය යුතු සුදුසුකම් මොනවාද යන්න පිළිබඳත් අප කියා දෙනවා පමණක් නොවේ ඔවුන්ට පුරවැසි භාවය ලබා දී රැකියා ආයතනවලට යොමු කිරීමට අනුග්‍රාහකත්වයත් ලබා දෙනවා.

Q- මෙවැනි දෙයක් කරන්න ඔබ යොමු වුණේ කොහොමද?

මම පොඩි කාලේ ඉදන්ම ඒ රටේ හැදුනත් මගේ මවු බිමට ආදරෙයි. මගේ ජාතියට භාෂාවට ආදරේ නිසා අපේ ගෙදර වැඩිපුර කතා කළේ සිංහලෙන්. අපේ රටේ ජනතාවට හොඳ අනාගතයක් හදන්න පුළුවන් කොහොමද කියන දේ ගැන මම නිරන්තර හිතුවා. එහෙම ඉද්දි තමයි ඕස්ට්‍රේලියාවට ඇවිත් සූපවේදය, ගණකාධිකරණය, තොරතුරු තාක්ෂණය වගේ විෂයන් හදාරන අය ඒ අධ්‍යාපනය හමාර කර ආපසු ශ්‍රී ලංකාවට ආ යුතු වන බව වගේම ඕස්ට්‍රේලියාවේදී සුදුසු රැකියාවක් ලබා ගන්න නොහැකිවීම නිසා පත්වන අපහසුතාව මම දැක්කේ. ඒ නිසා තමයි මීට අවුරුදු 15කට පමණ කලින් අපි මේ ආයතනය පටන් ගත්තේ.

ඔබට දකින්නට තිබෙන්නේ අපේ ශ්‍රම බළකායේ අඩුපාඩු පමණද?

අපෝ නෑ. අපේ අය හරිම බුද්ධිමත්. ඕනෑම කාර්යයකට හෝ තාක්ෂණික මෙවලමකට ඉතා ඉක්මනින් හුරු වෙන්න හැකියාව තිබෙනවා. ඒ වගේම පරිගණක සාක්ෂරතාව වුණත් සාමාන්‍යයෙන් නාගරික අයගේ හොඳ මට්ටමක තිබෙනවා. පුංචි අඩුපාඩු කීපය හදා ගත්තොත් ලොකු ගමනක් යන්න අපේ ශ්‍රම බළකායට දක්ෂතාව ඕනෑතරම්. එහෙම ගිහින් ඒ රටේ පදිංචි වුණු පිරිස වගේම අධ්‍යාපනය වැනි තාවකාලික කටයුතු සඳහා සංක්‍රමණය වූ සමස්තය මේ වනවිට ලක්ෂ පහක් පමණ වනවා.

ඇත්තෙන්ම මම මුලින් කියූ අඩුපාඩුවලට මුල නිදහසෙන් පසු මේ රට පාලනය කළ පාලකයන් බහුතරයක් නිසි දැක්මකින් තොරව තමන්ගේ මඩිය තර කර ගැනීමේ චේතනාවෙන් කටයුතු කිරීමයි. ඉංග්‍රීසි අධ්‍යාපනය පමණක් නොවේ, දුෂ්කර පළාත්වල සාමාන්‍ය අධ්‍යාපනය පවා ලබා ගන්න සමහර ළමයින් දුක් විඳින හැටි මම දැක තිබෙනවා. නාගරික ඉහළ පන්තිය පමණයි සියලු වරප්‍රසාද ලබන්නේ. අනෙක අපේ රටට වැඩියෙන් ආදායම් ගෙන එන්නේ තේ දලු නෙළන කාන්තාවන්, ගෘහ සේවයට ගිය කාන්තාවන්, ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ කාන්තාවන් වැනි අය. ඇතැම් උසස් ආයතනවල ඉහළ තනතුරු දරන්නේත් කාන්තාවන්. ඒත් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය කීයද? මේ වගේ තත්ත්වයන් රැසකට රට ඇදී ගොස් තිබෙන්නේ පාලකයන්ගේ අදූරදර්ශී කටයුතු නිසා. ඉතින් නිසි සැළැස්මකින් තොරව, වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ නිවැරැදි දැක්මකින් තොරව අපේ රටින් බිහිවන ශ්‍රම බළකායට මේ ගැටලු අන්තර්ජාතික රැකියා වෙළෙඳ පොළේ මුහුණ දෙන තරගයේ දී දැඩි ලෙස බලපානවා.

ඔබ දකින ආකාරයට ඕස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් ඇති රැකියා ක්ෂේත්‍ර මොනවාද?

සූපවේදය ප්‍රමුඛ හෝටල් කර්මාන්තය හා සම්බන්ධ කටයුතු, වෙල්ඩින් ක්ෂේත්‍රය, මේසන් වැඩ වගේම ඉංජිනේරු සහ කළමනාකරණ ක්ෂේත්‍රවලත් රැකියා ඕනෑ තරම් තිබෙනවා. ඕස්ට්‍රේලියන් ජොබ්ස් ප්‍රයිවට් ලිමිටඩ් නමින් අපි ශ්‍රී ලංකාවේ ආරම්භ කර ඇති ආයතනය ඕස්ට්‍රේලියාවට සංක්‍රමණිකය වන්නන්ගේ අධ්‍යාපනික, වෘත්තීය මෙන්ම පුරවැසි අවශ්‍යතා සඳහා සහාය ලබා දෙන්න කැප වුණු ආයතනයක්. එමඟින් රටේ අධ්‍යාපනය ලබන්නන්ට සීමාවාසික පුහුණුවක් ලබා දෙන්නත් බලාපොරොත්තු වනවා. උදාහරණයක් ලෙස අපේ රටේ ආයතනයකින් හෝටල් කර්මාන්තය පිළිබඳ හදාරන්නකුට ඔස්ට්‍රේලියානු හෝටලයක සේවය කිරීමේ සීමාවාසික පුහුණුව ලබා දෙන්න අපට පුළුවන්. එය එම පුද්ගලයාගේ වෘත්තීය මට්ටමට බලපානවා. ඒ වගේම ඔහුට හෝ ඇයට ඕස්ට්‍රේලියාවේම රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාවත් එයින් ලැබෙනවා.

 

අරුණි මුතුමලී

 

 


නව අදහස දක්වන්න

Or log in with...