ආර්ථි­කය නැංවීමට තිර­සාර කෘෂි­ක­ර්මා­න්තය | දිනමිණ

ආර්ථි­කය නැංවීමට තිර­සාර කෘෂි­ක­ර්මා­න්තය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිබල කිරීම සඳහා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය දැවැන්ත කාර්යයභාර්යයක් ඉටු කරයි. ස්වයංපෝෂිත ආර්ථික රටාවකට අතීත ශ්‍රී ලාංකිකයින් උනන්දු වුව ද වර්තමානයේ ආනයනික නිෂ්පාදන සහ ජීවන රටාවන්හි වෙනස්වීම් හේතුවෙන් එය අඩපණ වී තිබේ. අපනයන කෘෂිකර්මාන්තය ක්‍රමානූකූල තත්ත්වයකට පත් කරමින් ලක්දිව ආර්ථිකය සංවර්ධනය කර ගැනීම සඳහා එය ඉවහල් කර ගැනීම වඩාත් සුදුසු ක්‍රමවේදය වී තිබේ. ඒ අයුරින් ශ්‍රී ලාංකේය ආර්ථිකය නඟා සිටුවීම සඳහා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය ස්ථාවර කර ගන්නේ කෙසේ ද යන්න වග පිළිබඳව රුහුණ විශ්වවිද්‍යාලයේ, කෘෂිකර්ම පීඨයේ,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පාංශු විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය චමිල විජේකෝන් මහතා දැක්වූ අදහස් මෙසේ ය‍.

අප රටෙහි ස්වාභාවික වනාන්තරයකට පිවිසෙන,කෘෂිකර්මයට හිතැති අයෙකුට, එහි ඇති දැවැන්ත ගස් වැල් දකිනා විට නිතැතින්ම හැඟී යන්නේ එම ගස් වැල් දරා සිටිනා පොළවෙහි සාරවත් භාවය නොවේද?දෙවනුව හැඟෙනුයේ“මෙම පසෙහි කෘෂිකාර්මික නිෂ්පාද්‍යතාවය ද ඉතා ඉහළ විය යුතුය” යන්න නොවේද? මෙතුළින් මා බලාපොරොත්තු වන්නේ අපට උරුම වී ඇති පස එවන් සරුසාර පසක්ද? එය කෙසේ කළමනාකරණය කල යුතුද? යන්න පිළිබඳ දැක්මක් ලබාදීමටය.මේය නිසි අයුරින් නොදැන තිරසාර කෘෂිකර්මයකට අපට යා නොහැකි බව මගේ හැඟීමය.

විවිධ පාරිසරික සම්පත් හා සසඳන කල පස යනු ඉතාමත් විශාල විවිධත්වයක් සහිත සම්පතකි. මීටර කිහිපයක වපසරියක් තුළ වුවද මෙම විවිධත්වය දැකගත හැකිවන අවස්ථා විරල නොවේ. මෙම විවිධත්වයට හේතු ලෙස දැක්විය හැකි ප්‍රධාන කාරණා වන්නේ, පාංශු ජනනය සහ වර්ධනය යන ක්‍රියාවලි, සාධක රාශියක් මත රඳා පැවැත්ම සහ මෙම සාධකයන්ගේ සංයෝජනයන් අනන්ත සංඛ්‍යාවක් පැවතීමයි.පාංශු ජනන සාධක වශයෙන් මාතෘ පාෂාණ ආකාරයන්, දේශගුණය, ආවරණ ශාක ප්‍රජාව, භූ විෂමතාවය හා කාලය දැක්විය හැක.උදාහරණ වශයෙන්, එකම මාතෘ පාෂාණ වර්ගය මත වුවද එකිනෙකට වෙනස් දේශගුණ තත්ත්ව දෙකක් යටතේ ඇති වන පස එකිනෙකට වෙනස් විය හැක.

ඉහත සඳහන් කල පාංශු විවිධත්වය ඔස්සේ ගෝලීය පාංශු ව්‍යාප්තිය දෙස බලන කල අපට දක්නට ලැබෙන ප්‍රධාන කරුණක් වන්නේ අප වෙසෙන නිවර්තන කලාපයෙහි පස, පාංශු වර්ධන ක්‍රියාවලියෙහි ඉතාමත් ඉහළ මට්ටමකට ළඟාවූ පස් කාණ්ඩවලට අයත් වන්නක් බවය. එයට හේතුව නම් මෙම කලාපයේ, පාංශු වර්ධන සාධකයන් අතුරින් මූලිකම සාධක වන ජලය හෙවත් තෙතමනය සහ ඉහළ උෂ්ණත්වය (දේශගුණික සාධක) වසර පුරා නොඅඩුව පැවතීමය. තෙතමනය සහ ඉහල උෂ්ණත්වයක් පැවතීම නිසා පාංශු පරිසරයෙහි ජෛව රසායනික ක්‍රියාවලි සහ භෞතික ක්‍රියාවලියන් වේගයෙන් සිදුවේ.මේ නිසා පස ආශ්‍රිත පාශානයන්ගෙන් ඛනිජ සංඝටකනිදහස් වී ඉවත්වීම වේගවත්වේ.පාංශු වර්ධන යනු කාලයත් සමග මෙසේපස වෙනස් වීමේ ක්‍රියාවලියයි.මෙවන් තත්ව යටතේ වර්ධිත පසක තව තවත් නිදහස් වියහැකි ඛනිජ සංඝටක අඩුය.අධිකතෙතමන තත්ව හෙවත් වර්ෂාපතනයත් සමග,නිදහස් ඛනිජ පසෙන් ඉවත්වීයාමේ ඉඩකඩ ද ඉතා වැඩිය. එනමුත්ස්වභාවික පරිසර පද්ධතියක මෙසේ පාංශු සංඝටක ඉවත්වී යාමට ඉඩක් නොලැබේ. ඒ, එසේ ඉවත් වුවහොත් එම පද්ධතිය අසමතුලිත වන නිසාය. ස්වභාවික පරිසර පද්ධතියකදීශාක මගින් මෙම ඛනිජ අවශෝෂණයකර තම දේහ සංඝටක ලෙස තිර කරගනී. ශාක පත්‍ර, අතු ඉති සහ ඵල සැලීම හා අවසානයේ ශාක මියයාම ඔස්සේ මෙම ඛනිජ කාබනික ද්‍රව්‍ය සමග නැවත පසට ලැබේ. ඉතා කාර්යක්‍ෂම හාවිශාල විවිධත්වයකින් හෙබි පාංශු ජීවීන් විසින්මෙසේ පසට ලැබෙන කාබනික ද්‍රව්‍ය ජීරණයකරඛනිජ පෝෂක නැවත ශාකයනට ලබාදේ. මෙම ක්‍රියාවලිය චක්‍රාකාරව සිදුවේ.

සෞම්‍ය කලාපය දෙසට අප මදකට අවධානය යොමුකළහොත් තත්වය මෙයට හාත්පසින්ම වෙනස්ය. එම ප්‍රදේශයන්ගේ වර්ෂාපතනය නිවර්තන කලාපයන්ට වඩා සැලකියයුතු ලෙස අඩු වන අතර වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වයද අඩුය. මේ නිසා පාංශු වර්ධන ක්‍රියාවලිය ඉතා සෙමෙන් සිදුවන අතර පසෙන් ඛනිජ නිදහස්වීම සහ ඉවත්වීම අඩුය. තවද, කාබනික ද්‍රව්‍ය දිරාපත්වීමද සෙමෙන් සිදුවන නිසා කාබනික් ද්‍රව්‍ය පස මතුපිට ඒකරාශී වීමද දැකිය හැක.ඍතු පැවතීම නිසා ශාක වර්ධනයද ඒකාකාරී නොවන අතර ශාක හා සත්ව විවිධත්වයද මෙම කලාපයන්හි අඩුය.ඉහත කාරණා සියල්ල හේතුකොටගෙනසෞම්‍ය කලාපයේදීශාක පෝෂක බහුල ලෙස පවතිනුයේ පස තුලය. මේ නිසා එම ප්‍රදේශයන්ගේ ශාක ප්‍රජාව ඉවත් කලද එම පද්ධතියෙන් ශාක පෝෂක ඉවත්වීම අඩුය.

සෞම්‍ය කලාපයේදී පසෙහි ශාක පෝෂක බහුලව පැවතීමත් ශාක පෝෂක පසෙන්ඉවත්වීම අවම නිසාත් එම පසෙන් ශාක ආවරණය ඉවත්කලද, කලමණාකරණය හා සංරක්ෂණය අවම වුවද,ශාක පෝෂක වැඩි ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තිස්සේ සැපයීමට පසට හැකිය. ගෝලීය වාණිජ කෘෂිකාර්මික නිෂ්පාදනය සලකන කල වැඩිම නිෂ්පාදනයක් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරනුයේ සෞම්‍ය කලාපයේ පිහිටි රාජ්‍යයන්ගෙන් නොවේද? ඔවුන්මේ වන විට ලබා ඇති තාක්‍ෂණික දියුණුවට අමතරව ඔවුනට එසේ නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබී ඇත්තේ ඔවුනට පසෙන් ලැබෙන සහයෝගය නිසාය.

නැවත නිවර්තන කලාපය වෙත යොමුවුවහොත්, එහිඇති පස ඇති සැටියෙන් ගත්කල,කෘෂිකාර්මික නිෂ්පාද්‍යතාව වාණිජ මට්ටමකට ගෙනයාම සඳහා ප්‍රමාණවත් සහයෝගයක්පෝෂක සැපයීම අතින් ලබා නොදෙන බව දැන් ඔබ දන්නා කරුණකි.ශ්‍රී ලංකාවේ තෙත් කලාපය තුළ මෙම තත්වය වඩාත් පැහැදිලිව දැකගත හැක.මේ නිසා අප ශාක පෝෂක පොහොර ලෙසින් පසට එකතුකර කෘෂිකර්මාන්තය පවත්වාගෙන යයි. නමුත් මෙය තිරසාර ක්‍රමයක් නොවන්නේය. කෘතීම පොහොර සඳහා වැයවන වියදමට අමතරව මෙම ක්‍රමයේ අවාසි බොහෝමයක් ඇත. මේ අතර පාංශු සෞඛ්‍ය තව තවත් පිරිහීම, සුපෝෂණය වැනි අනෙකුත් පරිසර පද්ධතියනට සිදුවන හානි සහ මිනිසාගේ සෞඛ්‍යයට සිදුවන බලපෑම් ප්‍රධාන වේ.අද අප නන් අයුරින් අත්විඳින්නේ මෙම වගා ක්‍රමයේ ආදීනවය.

අපගේ පසෙහි ස්වභාවය එසේනම් අප කෘෂිකමය නවතා දැමිය යුතුද? අපට එය නැවතිය හැකිද? රටේ ජනගහනයෙන් 27% ක් පමණ කෘෂිකර්මය ආශ්‍රිත ජීවනෝපායයන්ගේ නිරතවන විට මෙය කිසිසේත්ම කල නොහැක්කකි. අප යම් ගමනක් යමින් සිටිමු.එබැවින් මෙම ගමන නව මාවතකට යොමුකළ යුතුය.එවන් නවමාවතක් අපට නැතුවා නොවේ.එය හඳුනාගැනීම ඉතාම වැදගත්වන අතර එම මගෙහි ඇති බාධක මඩිමින් ගමන් කිරීමට අප සුදානම් විය යුතුය.අප නොයායුතු මාවතක දීර්ඝ කාලයක් ගමන් කිරීමෙන් අප ලබාගත් සමහරවාසි අපට අත්හැරීමට සිදුවනු ඇත.අපගේසහ දරුමුණුපුරන්ගේ අනාගතය පිළිබඳ අවධානය යොමුකල යුතුය.

කුමක්ද මේ නව මාවත? මෙය අලුතින් තැනූ මාවතක් නොව. අප යා යුතුව තිබු මාවතයි. අප වෙනත් මාවතක ගමන් කර ඇති බැවින් යායුතුව තිබු මාවත අබලන්ව ඇත.මෙමමාවත නම්,පස හැකිතාක් එය ස්වාභාවිකව පැවතියයුතු තත්වයට ආසන්න තත්වයකින් පවත්වා ගනිමින්, එනම් පෝෂක චක්‍රීකරණය යහමින් සිදුවීම සහ පාංශු ජීවීන්ගේ පැවැත්ම සුරක්ෂිත කරමින් තිරසාර කෘෂිකර්මයකට ගමන්කරනා මාවතයි. කාබනික කෘෂිකර්මය ලෙස අද අප කතා කරනුයේ මෙම ගමනේ ඉදිරි දැක්මකි. කාබනික ද්‍රව්‍ය පසට එකතු කිරීම තුලින් අප බලාපොරොත්තු වන්නේ පසෙන් ගිලිහී ගිය පෝෂක නැවත පසට ලබාදීම සහ පාංශු ජීවීන් හට අවශ්‍ය ආහාර සහ පරිසර තත්ත්ව ලබාදීමයි. එතුලින්ඛනිජ චක්‍ර සක්‍රීය කර පසෙහි සාරවත් භාවය නැවත ස්ථාපිත කර ඒ ඔස්සේ කෘෂිකර්මාතය තිරසාර ලෙස පවත්වාගෙන යාමට අපට හැකියාවක් ලැබේ. මෙහිදී පරිසරයට එක් කරනා කෘෂි රසායනික ද්‍රව්‍ය වැනි බාහිර ද්‍රව්‍ය අවම කිරීමද ඉතා වැදගත්වේ. සරුසාර පසක් ක්ෂේත්‍ර‍යේ ඇතිවිට අනෙකුත් ගැටළු ඇතිවීමද අවම වේ.

ඉහත සඳහන්කළ ආකාරයටමාර්ගය භාවිත නොකිරීම නිසා එය අබලන්ව ඇත. උදාහරණ ලෙස පස ඉතාම දරුණු ලෙස හායනයකට ලක්ව ඇත. ස්වභාවික අයුරින් එය නැවත සකස්වීමට වසර සියගණනක් ගතවිය හැක. එනිසා මාවතෙහි ගමන් ඇරඹුමම තරමක් අපහසු කටයුත්තකි.මෙය ඉතා සංවේදීව මනා අවබෝදය තුලින් එකමුතුවයා යුතු ගමනකි.මෙම ගමන වාණිජ මට්ටම දක්වා ගෙන යාම ඉතා සුක්ෂම ලෙස දීර්ඝකාලීන සැලසුමකින් යුක්තව කලයුතු කටයුත්තක් බවඔබට අලුතින් කිවයුතු නැත.සියලු දෙනාටම එක්වරම මෙම මාවතට අවතීර්ණ වීමට නොහැකි වීමට පුළුවන. නමුත් අවසානයේ සියලුදෙනාමමෙම මාවතට අවතීර්ණ විය යුතුය යන්න මගේ හැඟීමය.

මෙසේ පරිසර හිතකාමී කෘෂිකර්මයට අවතීර්ණ වන ගොවියා එක්වරම ආර්ථික බැස්මකට ලක්වීම බොහෝවිට සිදුවන්නකි. රසායනික පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය නිසා පද්ධතියට ලැබුණු “සේලයින් සත්කාරය” නැවතීම නිසා මෙම කෘෂිකාර්මික පද්ධති වල නිෂ්පාදනය අඩුවීම මෙයට ප්‍රධාන හේතුව වේ.මේ අතර සාම්ප්‍රදායික කටයුතු වලට එක්වන අමතර ක්‍රියාකාරකම්ද ඒ වෙනුවෙන් කාලය හා සම්පත් යෙදවීමට සිදුවීමද, ඒ අමතර ක්‍රියාකාරකම් වෙනුවෙන් නිසි මිලක් නොලැබීමද මෙම බැස්මට හේතු ලෙස දැක්විය හැක. මේ නිසා ගොවි ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැටී ඔවුන් නැවත ඔවුන් මුලින් සිටි තැනටම යාමේ සම්භාවිතාවය ද ඉහළ වේ.එනිසා ඔවුන් ආරක්ෂා කිරීම අනිවාර්යයෙන්ම සිදුකල යුතුය.ඒ වෙනුවෙන් දීර්ඝ කාලීන රාජ්‍ය ප්‍රතිපත්ති සකස්විය යුතුය. නව පර්යේෂණ ඇරඹිය යුතුය. ගොවි ජනතාවගේ දැනුම සියලු අංශ වලින් යාවත් කල යුතුය.රාජ්‍ය සහ පෞද්ගලික අංශයන් මනා සමායෝජනයකින් කටයුතු කල යුතු වේ.සියලු පාර්ශවයන් අවංකව මෙම කටයුත්තට උරදී කටයුතු කල යුතුය.

නූතන සමාජයේ ඇතිවී ඇති සෞඛ්‍යය පිරිහීම පිළිබඳ කථිකා සහ ස්වභාවික නිෂ්පාදන පිළිබඳ ඇති වී ඇති විශ්වාසයන් තිරසාර පරිසර හිතකාමී කෘෂිකර්මයෙහි අනාගතය පිළිබඳ ධනාත්මක පෙරදිසි සපයයි.එසේ නම්,සාමුහිකව සහ සැලසුම්සහගත ලෙස ක්‍රියාත්මක විය යුතු කාලය එළඹ ඇත. එලෙස අදහස් විශ්වවිද්‍යාලයේ, කෘෂිකර්ම පීඨයේ,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පාංශු විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය චමිල විජේකෝන් මහතා ය.

කෘෂිවිද්‍යා විෂය ක්ෂේත්‍රය පිළිබඳව අධ්‍යනයෙහි නිරත වන ප්‍රවීණ ලේඛකයෙකු වන සුගත් කංකානම්ගේ මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.

*නිවර්තන කලාපයේ සමකයට ආසන්නයෙන් පිහිටි සාපේක්ෂකව කුඩා දූපතක් වන ශ්‍රී ලංකාවේ භූ රූපනය මෙන් ම දේශගුණික සාධකයන් ද කෘෂිකාර්මික සංවර්ධනයකට මනා ලෙස උචිත වූවෝ වෙති.නිවර්තන කලාපීය වැසි වනාන්තරයන්ගෙන් ගහන මධ්‍යම කඳුකරයේ සිට ගලා බසින්නා වූ සියයයකට අධික ගංගා පද්ධතිය රටේ සතර දිග් භාගයම පෝෂණය කිරීමෙහිලා සමත් වෙති.ශ්‍රී ලංකාව නිජ බිම කර ගත් ආදී කල්පික මානවයෝ ද ඉතා ඉක්මනින් ම දඩයම් ජීවිතයෙන් මිදී කෘෂි කාර්මික ජීවන රටාවකට අනුගත වූ බවක් පුරවිද්‍යාව විසින් සාධක සහිතව පෙන්වා දී තිබේ. වසර දහස් ගණනක් පුරා මෙරට තුළ ක්‍රියාත්මකව පැවති අසියාවටම අනන්‍ය වූ අසියාතික නිෂ්පාදන ක්‍රමය නම් වූ සමාජ අර්ථික ක්‍රමය තුළ ජනතාවගේ ප්‍රධාන ජීවිකා වෘත්තිය බවට පත්ව තිබුණේ කෘෂි කර්මාන්තයයි. අතීත කෘෂි කර්මන්තය කෙරෙහි රජ්‍ය අනුග්‍රහය නෙමඳවම ලැබුණු බවට පවතින කදිම සාක්ෂිය වන්නේ අදටත් එල ලබමින් ක්‍රියාත්මක වන සුවිසල් වාරි පද්ධතියයි.

දිවයිනේ භූගෝලීය සහ දේශගුණික සාධකයන් පිළිබඳව නිවැරදිව තක්සේරු කළ අතීත පාලකයන් විසින් මෙරට ආර්ථිකයේ ප්‍රධාන අංගය ලෙසට කෘෂි කර්මන්තය තෝරා ගන්නා ලදී.වර්තමාන ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස හැඳින්වීමට පුරුදු වී සිටී.එහෙත් මේ රට සංවර්ධනයේ හිණිපෙත්ත දක්වා රැගෙන යාම පාලක පලිත දෙපක්ෂයේ ම වගකීම වේ.ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ පදනම කෘෂි කර්මන්තය බව අවවාදිත ය.ශ්‍රී ලංකාව තුළ කාර්මික සංවර්ධනයක් සිදු කිරීම සඳහා වුව ද කෘෂි කාර්මික සංවර්ධනය පදනම විය යුතු ය.ටයර්, ලී බඩු, පොල් තෙල් , සබන්,ගෙඩනැඟිලි ඉදි කිරීම,ලණු, පාපිසි, බුමුතුරුණු , කඩදාසි,සීනී ආදී කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයෙන්නේ කෘෂි කාර්මික අමු ද්‍රව්‍ය වශයෙනි.

කෘෂි කර්මන්තය ප්‍රධාන භෝග වශයෙන් බෝග වගාව සහ සත්ත්ව පාලනය නමින් අංශ දෙකකට බෙදනු ලැබේ.ශ්‍රී ලංකාවේ වගා කරනු ලබන බෝග අතුරින් ප්‍රධාන බෝගය වන්නේ වී ය. ඊට අමතරව තේ, රබර්, සහ පොල් වැනි වනිජ වැවිලි, සුළු අපනයන බෝග සහ එළවළු පලතුරු ද වගා කරනු ලැබේ.සත්ත්ව පලනය යටතේ ප්‍රධාන වශයෙන් ගව, කුකුළු, එළු , ඌරු සහ මිරිදිය මත්ස්‍ය පාලන කටයුතු සිදු වේ. දියුණු කෘෂි කාර්මික සංවර්ධනයක් සඳහා අවශ්‍ය ප්‍රධාන සහ මූලික සාධක 04 ක් හඳුනාගෙන තිබේ.

1- භූමිය

2-ජලය

3-දේශගුණය

4-පස

භූ රූපනයට අනුව ශ්‍රී ලංකාව වෙරළබඩ තැන්න, අඩ තැන්න, සහ මධ්‍යම කඳුකරය යනුවෙන් ප්‍රධාන වශයෙන් කොටස් 03 කට වෙන්කර තිබේ. දේශතුණික සාධකවලට අනුව තෙත් කලාපය,වියළි කලාපය, සහ අතරමැදි කලපය වශයෙන් දේශගුණික කලප 03 කි.ශ්‍රී ලංකාවේ කෘෂි කර්මන්තයේ පදනම වන්නේ වියළි කලාපයයි. එය රටේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 2/3 කි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන භෝගය වන වී වගාව මෙන් ම වෙනත් කෘෂි බෝගවලට යෝග්‍ය භූගෝලීය සාධක රැසක් වියළි කලාපය තුළ පවතී. ශ්‍රී ලංකාවේ වියළි කලාපීය ප්‍රදේශවල තරම් ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක රතු පස සාර්ථක ලෙස වර්ධනය වී නොමැතිබව පාංශු විශේෂඥයින් පෙන්වා දේ. වියළි කලාපයේ පවතින ප්‍රධාන පාංශු කාණ්ඩය රතු දුඹුරු පස වන අතර සාමාන්‍ය වශයෙන් ගත් කළ රට පුරා බහුල වශයෙන් ව්‍යාප්තව ඇත්තේ ද රතු පසයි. මනා ජල වහනයකින් යුක්ත මෙම සාරවත් පස බෝග වගාව සඳහා ඉතා උචිත පසකි.ප්‍රධාන වශයෙන්ම වී වගාව සඳහා ද ඊට අමතරව මුං,මෑ,වැනි මාංශ බෝග,එළවළු, පලතුරු, ධාන්‍ය බෝග ආදී වශයෙන් ඉතා විශාල බෝග වර්ග ප්‍රමාණයක් රතු පසෙහි වගා කළ හැකි ය.

ශ්‍රී ලංකාව නිවර්තන කලාපයේ ඉන්දියන් සාගරයේ පිහිටි කුඩා දූපතක් වන හෙයින් මෝසම් වැසි වලට අමතරව සංවහන සහ වාසුලි මගින් ද දිවයිනට වැසි ලැබෙන නිසා වර්ෂය පුරාම පැතිරුණු වර්ෂාපතනයක් හිමි වී ති‍බේ. රටේ මධ්‍යම කඳුකරය පෝෂක ප්‍රදේශය බවට පත් කර ගනිමින් ගලා බස්නා ගංඟා පද්ධතිය වර්ෂය මුළුල්ලේ ම අති විශාල ජල කඳක් දිවයින පුරා බෙදා හරිමින් පවතී. රජරට ප්‍රදේශය මුල් කර ගනිමින් ඉඳි කර ඇති දැවැන්ත වාරි මාර්ග පද්ධතිය මඟින් මේ මහා ජල කඳ රැස් කර ගනිමින් කෘෂි කාර්මික කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනේ‍.

සමකයට ආසන්නයෙන් පිහිටි රටක් වන හෙයින් ශ්‍රී ලංකාවට වර්ෂය පුරාම පැතිරුණු මනා සූර්යලෝකයක් ලැබේ. මෙරට තුළ සෘතු භේදයක් නොමැති හෙයින් බෝග වගාවට එහි ඇති බලපෑම ඉතා අල්ප වේ. සත්ත්ව පාලන අංශයෙන් ගත් කළ ද මධ්‍යම කඳුකරයේ මෙන් ම වියළි කලාපය තුළ ද කිරි ගව කර්මාන්තය සාර්ථක ලෙස සිදු කිරීම සඳහා අවශ්‍ය විභවතාවන් නොඅඩුව ම පවතී. ගවයින්ගේ වර්ධනයට අවශ්‍ය අහිතකර නොවන දේශගුණය මෙන් ම තෘණ වගාව සඳහා යෝග්‍ය පස සහ දේශගුණයත් කිරි ගව කර්මාන්තයේ සාර්ථකත්වයට හේතු වී තිබේ. ඊට අමතරව දිවයින පුරා සාර්ථක ලෙස කුකුළු පාලනය සිදු කිරීමේ විභවතාවයන් පවතී. කුකුළු කෑම නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍යක් වන බඩ ඉරිඟු ඉතා සාර්ථක ලෙස ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුළ වගා කළ හැකි බෝගයකි. වියළි කලාපය තුළ පිහිටි වැව්වල ද , රට මධ්‍යයේ ඉඳි කර ඇති ජලාශවල ද මිරිදිය මත්ස්‍ය කර්මාන්තය කිසිඳු බාධාවකින් තොරව පවත්වා ගෙන යා හැකි ය. මෙරට දේශගුණයට උචිත මසුන් වර්ග ගණනාවක් ම එකී ජලාශයන්හි සාර්ථකව වගා කළ හැකි ය. එමතුදු නොව ඌරු පාලනය සඳහා ද අවශ්‍ය වභවතාවයන් ශ්‍රී ලංකාව තුළ නොවඩුවම පවතී. මෙනයින් බලන කළ ශ්‍රී ලංකාව තුළ කෘෂි කාර්මික සංවර්ධනයක් සඳහා ඇවැසි විභවයන් නොවඩුවම පවතී.එහෙත් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට කෘෂි කාර්මික අංශයේ දායකත්වය පවතින්නේ සතුටු විය හැකි මට්ටමක නොවේ.

රටේ ජනතාවගේ පෝෂණය, රැකියා නියුක්තිය,විදේශ විනිමය,සංස්කෘතිය,කාර්මික සංවර්ධනයට , ස්වාභාවික සම්පත්,වාරි කර්මාන්තය,නාගරීකරණය , ආර්ථිකය ආදී බොහෝ අංශ සමඟ කෘෂි කර්මාන්තය සෘජු සහ වක්‍ර සම්බන්ධතා පවත්වයි. ඒ අනුව කෘෂි කර්මාන්තය යනු ආහාර බෝග නිෂ්පාදනය සහ සත්ත්ව පාලනය පමණක් කරනු ලබන එයට පමණක් ම සීමාවුණු කාර්යයක් නොවන බව අවධාරණය කළ යුතු ය.

එහෙත් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් කෘෂි කාර්මික අංශයේ දායකත්වය 23.2% කි. කෘෂි කාර්මික විභවතාවයන්ගෙන් පොහොසත් රටක මෙම සංඛ්‍යා ලේඛන පිළීබඳව කිසිසේත්ම සෑහීමකට පත් විය හැකි නොවේ.

මෙම ගැටලුවට විසඳුමක් ලෙස රාජ්‍ය මැඳිහත්වීම සහිත නිෂ්පාදන ආර්ථිකයක් රටට හඳුන්වා දිය යුතු වේ. කුඩා කුඩා ඉඩම් කට්ටි පෞද්ගලිකව මිහි කර ගැනීම තුළ කෘෂි කාර්මික සංවර්ධනයක් සිදු කළ හැකි නොවේ. එවන් තත්ත්වයන් තුළ සිදු වන්නේ කෘෂි කාර්මික සංවර්ධනය තව තවත් පහළ බැසීම ය. රටේ ප්‍රධාන ආර්ථිකය බවට කෘෂි කර්මාන්තය පත් කිරීමේ සියලු අවශ්‍යතාවයන් අප සතු වුව ද තවමත් අප වෘත්තීය ගොවියෙකු නිර්මාණය කර නොමැත. කෘෂි කර්මාන්තය ජීවිකා වෘත්තිය බවට පත් කර ගත් ගොවියෙකු අප විසින් ඉක්මනින් ම නිර්මාණය කර ගත යුතු වේ. රාජ්‍ය අනුග්‍රහය සහිත සාමූහික ගොවිපළ ක්‍රමයක් තුළින් ඉඩම් උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව භාවිතා කරන ආකාරය ඔහු වටහා ගනු ඇත. ඉඩම්වල අයිතිය පෞද්ගලික වශයෙන් ගබා ගනිමින් ම සාමූහික වගා ක්‍රමයක් සඳහා යම් කිසි ආකාරයක සමූහ ගොවිපළ ක්‍රමයක් ගොවීන්ට හඳුනවා දීම රජයේ වගකීමයි. මහා පරිමාණ නිෂ්පාදනයක් සඳහා අවශ්‍ය දැනුම මෙන් ම තාක්ෂණය ද ඒ සඳහා වන මානසික පෙළඹවීම සහ මානසික සූදානම් කිරීම ද රාජ්‍ය අංශයේ මැදිහත් වීම තුළින් සිදු විය යුතු වේ.

තිරසාර කෘෂි කාර්මික සංවර්ධනයක් සඳහා අවශ්‍ය වන පස,භූමිය,ජලය සහ දේශගුණය යන අවශ්‍යතා සතරෙන් අප පූර්ණත්වයට පත්ව සිටිය ද එම සාධක උපරිම එලදායීතාවයෙන් යුතුව ප්‍රයෝජනයට ගැනීමට තරම් දියුණු වෘත්තීමය ගොවියකු ( කෘෂි කාර්මිකයකු ) අප විසින් තවමත් නිර්මාණය කර නොමැතිවීම අවාසනාවකි. උක්ත සාධක සතර මනා ලෙස කළමණාකරණය කරමින් වෘත්තීය ගොවියකු නිර්මාණය කරමින් රටේ කෘෂි කාර්මික සංවර්ධනය සඳහා මූලික අඩිතාළම සකස් කළ හැක්කේ රජයට පමණි. රජය ඒ සඳහා සිය උපරිම ශක්තිය යොදමින් මැදිහත් වීමට කාලය මෙයයි.

 
මදාරා මුද­ලිගේ

නව අදහස දක්වන්න

Or log in with...