නැව් එන වරායක් කෙළේ යහපාලන ආණ්ඩුවයි | දිනමිණ

නැව් එන වරායක් කෙළේ යහපාලන ආණ්ඩුවයි

අගමැති පාර්ලිමේන්තු‍වේදී කියයි

රාජපක්ෂ පාලනය යටතේ ඩොලර් මිලියන ගණනින් ණය වී ඉදිකළ නැව් නැති හම්බන්තොට වරාය එම ණය මුදල්වලින් ද නිදහස් වී නැව් එන වරායක් බවට පත් කිරීමට වත්මන් යහපාලන ආණ්ඩුවට හැකි වූ බවත් හම්බන්තොට වරාය කිසිසේත් විකුණා නොමැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු‍වේදී ඊයේ (05) අවධාරණය කෙළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කෙළේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ වාර්තාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (05) විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

හම්බන්තොට‍ වරායේ මෙහෙයුම් කටයුතු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව සමාගමක් යටතේ සිදුවන අතර මෙම වරාය කිසිඳු යුදමය අරමුණක් සදහා යොදා නොගන්නා බවත් අගමැතිවරයා සඳහන් කෙළේය. හම්බන්තොට වරාය කිසිදු යුදමය කටයුත්තක් සඳහා යොදා නොගන්නා බවට චයිනා මර්චන්ට් ගිවිසුමේද සඳහන් වන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

එමෙන්ම රාජපක්ෂ ආණ්ඩුව තවත් දැවැන්ත ණය ව්‍යාපෘතියක් වන මත්තල ගුවන් තොටුපොළ ද ගුවන් යානා පැමිණෙන ගුවන් තොටුපොළක් බවට පත්වන බවට විශ්වාස කරන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කෙළේය.

මත්තල ගුවන් තොටුපොළ සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දියාව සමඟ සාකච්ඡා කරන අතර වත්මන් ආණ්ඩුව චීනය සහ ඉන්දියාව සමඟ ස්වාධින රාජ්‍ය ලෙස කටයුතු කරන බවත් පැවසිය. හම්බන්තොට වරාය පිළිබඳව පසුගිය දින නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පලවූ වාර්තාවක් සම්බන්ධයෙන් ජනතාව අතරත් මාධ්‍ය අතරත් විශාල කතාබහක් ඇති වුණා.

මේ සම්බන්ධව මෙම සභාව ඉදිරියේ කරුණු කිහිපයක් පැහැදිළි කිරීම සුදුසු යැයි මා කල්පනා කළා.හම්බන්තොට වරායේ ඉදිකිරීම් සඳහා රාජපක්ෂ ආණ්ඩුව ඩොලර් මිලියන 1320 ක ණය මුදලක් චීනයෙන් ගත්තා. නමුත් වරායට නැව් ගෙන්න ගන්න ශක්තියක් තිබුනේ නෑ.

2015 ජනාධිපතිවරණ අවස්ථාව වන විට මෙය විශාල ප්‍රශ්නයක්ව තිබුණා . නැව් එන්නේ නැති වරායක් හදන්න අරගත්තු මේ ණය කන්දරාව ගෙවන්න රජයට ආදායමක් තිබුනේ නෑ. මෙම ණය ගෙවීම විශාල ප්‍රශ්නයක්ව තිබුණා. වරායෙන් කිසිම ආදායමක් ආවේ නැහැ. සිදු වුනේ තව තවත් පාඩු වන එකයි. 2011 සිට මේ දක්වා හම්බන්තොට වරායේ පාඩුව රුපියල් බිලියන 47 යි. රටට ඉතා අහිතකර මෙම වරාය ප්‍රශ්නයට විසදුමක් සෙවීම යහපාලන ආණ්ඩුව මැතිවරණ පොරොන්දුවක් ද වුණා.

අපට තිබුණේ තෝරා ගැනීම් දෙකයි එකක් මේ ණය ගිවිසුම නීති විරෝධී බවට තීරණය කරලා ඉදිරි කටයුතු කරන එක. අනෙක් විකල්පය වුණේ චීන රජය සමඟ සාකච්ඡා කිරීම. අපි පළමුව චීන රජය සමඟ සාකච්ඡා කිරීමයි.

අප ආණ්ඩුව බලයට පත් වූ වහාම මෙම ප්‍රශ්නය විසදීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කළා .සුදු අලියෙක් ව තිබූ වරායෙන් ප්‍රයෝජනයක් ගත හැකි ආකාරයත් මහා ණය කන්දෙන් නිදහස් විය හැකි ආකාරයත් අප සාකච්ඡා කළා. ජනාධිපතිතුමත් පළමුව චීන රජය සමඟ කතා කලා.

අප ආණ්ඩුවේ මතය වූයේ වරායේ මෙහෙයුම් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව සමාගමකට පැවරීම තුළින් ණය බරින් නිදහස් වීමත් හම්බන්තොට වරාය ලාභ ලබන නැව් ගෙන්නා ගත හැකි වරායක් බවට පත් කිරීමත්. අප ආණ්ඩුව මෙම ස්ථාවරයේ දිගටම රැදී සිටියා. මෙම ස්ථාවරය සඳහා චීන රජයෙන් කිසිඳු පීඩනයක් එල්ල නොවූ බව මම වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා.

චීන රජයෙන් කළ ඉල්ලීම වූයේ වරාය මෙහෙයුම් කටයුතු සඳහා පළමුවෙන් චීන සමාගම් වලින් යෝජනා කැඳවන ලෙසයි. ඒ අනුව චින සමාගම්වලින් විවෘත යෝජනා කැඳවනු ලැබුවා. අපවෙත ලැබුණු යෝජනා අතරින් වඩාත්ම වාසි දායක යෝජනාව වූයේ චයිනා මර්චන්ට් පොර්ට් සමාගම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවයි. ඩොලර් මිලියන එක්දහස් අසූවක ආයෝජනයකට ඔවුන් එකඟ වුණා. චීන ජනාධිපති තුමත් චීන රජයත් මේ සම්බන්ධව පූර්ණ එකඟතාවය පල කළා. ඒ අනුව චයිනා මර්චන්ට් පොර්ට් සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව පිහිටුවන ලබන සමාගමක් යටතේ හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා අැමැති මණ්ඩල අනුමැතිය මත 2016 දෙසැම්බර් 08 වැනි දින ගිවිසුමකට ඇතුලත් වුණා. ඒ අනුව චයිනා මර්චන්ට් පෝර්ට් සමාගමෙන් 2017 දෙසැම්බර් 22 වැනි දින ඩොලර් මිලියන 293 කුත් 2018 ජනවාරි 28 වැනි දින ඩොලර් මිලියන 97 කුත් ශ්‍රී ලංකා රජයට ගෙවනු ලැබුවා. ඉතිරි ඩොලර් මිලියන 584 මේ වනවිට වරාය අධිකාරියට ගෙවා තිබෙනවා. මේ අප රජය මෙන්ම මේ රටේ ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව මා කියන්න කැමතියි.

රාජපක්ෂලා ඩොලර් මිලියන ගණනින් ණය වෙලා නැව් නැති වරායක් හැදුවා .ණයෙනුත් නිදහස් වෙලා හම්බන්තොට වරාය නැව් එන වරායක් බවට පත් කරන්නත් අපට හැකි වුණා. වරාය විකිණීමක් මෙතන කිසිසේත්ම සිදු වෙලා නැහැ. වරායේ මෙහෙයුම් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව සමාගමකින් සිදු කිරීම පමණයි සිදු වන්නේ. හම්බන්තොට වරාය ඉදිරියේ දී දියුණු වරායක් බවට පත් වේවි.

එසේම මෙම වරාය කිසිදු යුදමය අරමුණක් සඳහා යොදා ගන්නේ නැහැ. ඒ බව පැහැදිළිව චයිනා මර්චන්ට් ගිවිසුමේ සඳහන් වෙනවා. චීන ජනාධිපතිතුමා සමඟ පැවති සාකච්ඡාවේදීත් අපගේ ස්ථාවරය ඉතා පැහැදිළිව ප්‍රකාශ කර තිබෙනවා.

නැව් නැති වරාය වගේම අහස් යානා එන්නේ නැති ගුවන් තොටුපොළකුත් මත්තල තිබෙනවා. ඒකත් රාජපක්ෂ ණයක්. මත්තල ගුවන්තොටුපොළ පිළිබඳවත් අප පළමුව චීන රජය සමඟ සාකච්ඡා කළා. නමුත් යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. ඒ නිසා අප ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඉදිරියේදී මත්තල ගුවන් තොටුපොළේ ණයෙනුත් නිදහස් වී ගුවන් යානා පැමිණෙන ගුවන්තොටුපොළක් බවට මත්තල ගුවන්තොටුපල පත්වෙන බව මට විශ්වාසයි.

චීනය අපට බල කළා නම් මේ ගුවන් තොටුපොළත් අපට දෙන්න තිබුණා. අපි චිනය සමඟත් ඉන්දියාව සමඟත් කටයුතු කරන්නේ ස්වාධින රාජ්‍ය හැටියට කියා මම කියන්න කැමතියි.

( අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්නයක් විමසීමට විමල් වීරවංශ මහතා කතානායකවරයාගෙන් අවසර ඉල්ලිය)

කතානායකවරයා

මෙය විවාදයක් කර ගන්න අවස්ථාව දෙන්න බැහැ.අගමැතිතුමා කැමතිනම් පැහැදිලි කිරීමක් සඳහා අවස්ථාව ලබාදිය හැකියි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා-

අහන්න කියන්න. කෙටියෙන් අහන්න.

විමල් වීරවංශ මහතා-

මම දන්නා ආකාරයට හම්බන්තො‍ටවරාය ව්‍යාපෘතියට ලබාගත් ණය වරාය අධිකාරියෙන් ගෙවනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා-

මේ මුදල් අපේ සංචිතයේ යොදවා තිබෙන්නේ. වරාය ගෙව්වත් කවුරු ගෙව්වත් මේ මුදල් අපි එක්ක තිබෙන්නෙ. ඒ නිසා අපේ ණය බර අඩු වෙලා. සංචිතය වැඩි වෙලා. මම මේ ප්‍රකාශය කළ නිව්යෝර්ක් ටයිම්ස්වල කොටස් දෙකක් තිබුණා. මට බලපෑවේ එක කොටසයි. ඒ කාරණය ගැන ප්‍රකාශයක් සිදු කළා. මම හිතුවේ මගේ මිත්‍ර මන්ත්‍රිතුමා අනික් කො‍ටස ගැන ප්‍රකාශයක් කරන්න යනවා කියලා‍.නමුත් ඒ ගැන සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වෙලා ඉන්නේ. ඇත්තටම දැන් වාද කළා ඇති. අනික් කොටස ගැන ඕනෑ නම් වාදයක් කරමු.

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, මහින්ද අලුත්ගෙදර

 

නව අදහස දක්වන්න