ඇත්ත හෙළිකිරීමට එරෙහි වියරු ප්‍රතිචාර | දිනමිණ

ඇත්ත හෙළිකිරීමට එරෙහි වියරු ප්‍රතිචාර

ලංකාවේ මාධ්‍යවේදීන් විවේචනය නොකර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තම වාර්තාකරණය පිළිබඳව ගැටලුවක් පවතින්නේ නම් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කතුවරයන් අමතන්නැයි ,ද නිව්යෝර්ක් ටයිම්ස්, පුවත්පත අවධාරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම පුවත්පත මේ බව අවධාරණය කර ඇති අතර ඒ චීන ණය සහ හම්බන්තොට වරාය ඉදිකළ චයිනා හාබර් සමාගම පසුගිය ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ඩොලර් මිලියන 7.6ක් ලබාදීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පළවූ ගවේෂණාත්මක ලිපිය සම්බන්ධව රාජපක්ෂ පාර්ශ්වයේ ප්‍රතිචාරයට දක්වන ප්‍රතිචාරයක් වශයෙන්යැයිද නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ ජාත්‍යන්තර කර්තෘ මයිකල් ස්ලැක්මෑන් එම නිවේදනය නිකුත් කර ඇති අතර එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මාධ්‍යවේදීන්ට තර්ජනය කර ඇති බවටද චෝදනා කර ඇත.

එම නිවේදනයේ මෙසේද සඳහන්ව ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ජූනි 26 වැනිදා නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ නිරවද්‍ය ගවේෂණාත්මක ලිපියට දායකත්වය දැක්වූ මාධ්‍යවේදීන් දෙදෙනකු ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කර තිබේ. මේ ආකාරයෙන් ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම කිසිසේත් අනුමත කළ නොහැක.

මෙවැනි ක්‍රියා විවේචනය සහ මාධ්‍ය නිදහස සීමා කිරීමටත් අවසාන වශයෙන් මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ ලැදියාව අහිමි කිරීමටත් හේතු වනු ඇත. ශ්‍රී ලංකා බලධාරීන් අපේ පුවත්පතට මෙන්ම වෙනත් ඕනෑම පුවත්පතකට සේවය කරන මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මහින්ද රාජපක්ෂ මහතා ටයිම්ස් ලිපිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබේ නම් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර ඒ සම්බන්ධයෙන්ද නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන්ට අමතන්න.

“වීදුරු ගෙවල්වල සිට ගල් නොගසන්න” කියලා ප්‍රකට කතාවක් අප අතර තිබෙනවා. මේ කතාව අපේ එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදී වගේම, විශේෂයෙන් දේශපාලනයේදී නම් ඉතා වැදගත් කොට සැලකිය යුතු කතාවක් වෙනවා. මොකද වීදුරු ගෙවල්වල සිට ගල් ගැසීම මගින් තමන්ට වන හානියේ තරම සිතා ගැනීමටවත් නොහැකි තරම් දරුණු වන බව අපේ බොහෝ දෙනෙක් අත්දැකීමෙන්ම මනාව පසක් කර ගෙන තිබෙනවා.

ඒත් රාජපක්ෂ රෙජිමය නම් පසුගිය කාලය පුරාම කිසිදු බියකින් හා චකිතයකින් තොරව අඛණ්ඩව වීදුරු ගෙවල්වල සිට හතර අතේ ගල් ගැසීම නොව මල්ටි බැරල් ගැසීමේ සෙල්ලම කරගෙන ගියා. ඒ රාජපක්ෂ රෙජිමයට එරෙහිව ගලක් නොව වැලි කැටයක් හෝ එල්ල කිරීමට තරම් නිර්භීතභාවයක් අපේ (ලංකාවේ) සමාජයෙන් (දේශපාලන, ජනමාධ්‍ය හා නම සඳහන් කළ නොහැකි බොහෝ දෙනා දන්නා තවත් තැන්) බලාපොරොත්තු විය නොහැකි බව රාජපක්ෂ රෙජිමය මනාව පසක් කොට ගෙන සිටි නිසයි.

රාජපක්ෂ රෙජිමයට එරෙහිව මෙවැනි දීන හෝ ගැති තත්ත්වයක් නිර්මාණය වීම හුදු අහම්බයක් හෝ සිදුවිය යුතු ස්වභාවික දෙයක් වශයෙන් සැලකිය නොහැකියි. මෙය සිදු වුණේ රාජපක්ෂ රෙජිමය පාලන බලයේ සිටි යුගයේදී සිදු කළ දැවැන්ත ආයෝජනයක් මගින්. මෙරට දේශපාලන හා ජනමාධ්‍ය සමාජය මේ අාකාරයෙන් රාජපක්ෂ ගැති හෝ බියට පත් සමාජයක් බවට පත් කර ගැනීමට රාජපක්ෂ රෙජිමය සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය සේම රාජ්‍ය බලය ද පසුගිය කාලය පුරා අඛණ්ඩව භාවිතයට ගත්තා.

ඒ වරදාන සහ අනුග්‍රහය ලබාදීම, බිය ගැන්වීම, ඝාතනය කිරීම (චරිත ඝාතනය ද ඇතුළුව) ආදි ප්‍රකට හා අප්‍රකට අත්හදා බැලීම් මගින්. මේ හරහා රාජපක්ෂ රෙජිමය, විශේෂයෙන් රාජපක්ෂ පවුල හා කල්ලිය ලබාගත් සමාජ අවනතභාවය කොතරම් ද යන්න රාජපක්ෂ පවුල් පාලනය බලයෙන් පහ වූ යුගය තුළ සිදු වූ සිදුවීම් දෙස සරල නිරීක්ෂණයක් කිරීම මගින් වුවත් මනාව පැහැදිලි කරගත හැකියි. මේ සඳහා එක් පැහැදිලිව උදාහරණයක් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දරන විස්මිත , අසාමාන්‍ය මුක්තිය සැලකිය හැකියි. අදත් කොතරම් චෝදනා තිබුණ ද ඒ සඳහා සාක්ෂියක් ලබාදීමටවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණය වෙත කැඳවීමට නොහැකි සුවිශේෂ තත්ත්වයක් නිර්මාණය වී තිබෙන්නේ ඉහත සඳහන් කළ ක්‍රියාවලියේ අග්‍රඵලයක් වශයෙන් බව පමණක් අපට පැවසිය හැකියි.

නිව්යෝර්ක් ටයිම් වීදුරු මාළිගාවට මල්ටි බැරල් ගසයි

රාජ්‍ය බලය හා රාජ්‍ය සම්පත් අසීමිතව යොදා ගැනීම මගින් රාජපක්ෂ රෙජිමය විසින් නිර්මාණය කරගත් වීදුරු මාළිගාවට දැවැන්ත මල්ටි බැරල් ප්‍රහාරයක් වශයෙන් සැලකිය හැකි ප්‍රහාරයක් එල්ල වුණේ රාජපක්ෂ පවුල හා කල්ලිය ශ්‍රී ලංකාවේ සමාජය තුළ ඉහත සඳහන් කළ ආකාරයෙන් අනභියෝගාත්මක (කිසිදු ආකාරයකින් අභියෝග කළ නොහැකි) තත්ත්වයක පසු වෙමින් තම දේශපාලන විරුද්ධවාදීන්ට හතර අතේ ප්‍රහාර එල්ල කරමින් සිටින විටයි. ඒ මේ වන විට ලෝ ප්‍රකට සිදුවීමක් වශයෙන් සැලකෙන “නිව්යෝර්ක් ටයිම්ස්” පුවත්පත පසුගිය ජූනි 26 වැනිදා සිදුකළ සුවිශේෂ ගවේෂණාත්මක වාර්තාකරණය සමඟයි.

ඇතැම් දේශපාලන හා මාධ්‍ය විමර්ශකයන්ට අනුව මේ තත්ත්වය රාජපක්ෂ කල්ලිය කිසිසේත් බලාපොරොත්තු නොවූ තත්ත්වයක් වූවා පමණක් නොව ඒ සඳහා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ නොහැකියාවෙන් ද රාජපක්ෂ කල්ලිය ක්ෂණික කම්පනයට පත් වුණා.

ඊට ප්‍රධානම හේතුව වශයෙන් ඇතැම් දේශපාලන විචාරකයන් දක්වන්නේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට එරෙහිව රාජපක්ෂ කල්ලියේ සුපුරුදු ලේබලය වන “කොටි හිතවාදී” ‘අමෙරිකන් ගැති” “ඩයස්පෝරා ගැති” වැනි සාම්ප්‍රදායික ලේබල් ඇලවීමට නොහැකිවීමයි. අනෙක් අතින් ලෝකයේ බලවත්ම පුවත්පත් වශයෙන් සැලකෙන නිව්යෝර්ක් ටයිම්ස් වැනි පුවත්පතක් හා ගැටීමට යාම ස්වයං ඝාතන ප්‍රයත්නයක් වශයෙන් සැලකිය හැකි එකක් වීමයි. ඊට හේතුව වන්නේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත තම දීර්ඝ කාලීන මාධ්‍ය භාවිතය තුළ ලබා ගෙන ඇති කීර්තියට හා අදීනභාවයට එරෙහිව ඇඟිල්ලක් හෝ එසවීමට ලංකාව වැනි පරිධියේ රාජ්‍යයක හිටපු පාලකයෙක්ට හෝ කල්ලියකට ශක්තියක් හෝ ධෛර්යයක් නොමැතිවීමයි.

මුව හමට තඩිබෑම

අදීන හා නිවැරදි ගවේෂණාත්මක වාර්තාකරණයක් මත පදනම්ව සිදු වූ නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවට එරෙහිව කිසිදු ආකාරකින් අභියෝග කළ නොහැකි බව මනාව දන්නා රාජපක්ෂ රෙජිමය ඒ සමඟ සුපුරුදු ක්‍රමවේදය වෙත යොමු වූ ආකාරයක් අපට පසුගිය කාලය තුළ නිරීක්ෂණය කිරීමට හැකි වුණා. ඒ නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව සම්පාදනය කිරීම සඳහා දායකත්වය ලබාදුන් බවට රාජපක්ෂ රෙජිමය විසින් සැකකරන මෙරට ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට එරෙහිව සුපුරුදු පරිදි අවි එසවීමයි. ඒ සමඟ “ලෝකයා මොනවා දැනගත්තත් කමක් නැහැ ලංකාවේ සිංහල බෞද්ධයන් නම් මේ නොදැන සිටිය යුතුයි” කියා සිතමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාව පරිවර්තනය කරමින් ප්‍රකාශයට පත් කළ හා ඒ ආශ්‍රිත විශ්ලේෂණවලට යන දේශීය මාධ්‍ය වෙත කඩුව එසවීමට පියවර ගැනීම මගිනුයි.

රාජපක්ෂවරු බලයේ සිටියදී සහ පරාජිත යුගයේදී ද නිරන්තරයෙන් අභ්‍යාස කරන මේ අවභාවිතය ගැන මේ වනවිට දේශීය වශයෙන් පමණක් නොවෙයි ජාත්‍යන්තර වශයෙන් පවා දැඩි අවධානයක් යොමුව තිබෙන බවක් අපට දැකිය හැකියි. විශේෂයෙන් තම වාර්තාකරණය සමඟ ලංකාවේ දේශපාලන හා මාධ්‍ය කරළියේ සිදුවන පසු කම්පන ගැන දැඩි උනන්දුවෙන් යුතුව සිටින නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත තම වාර්තාව දේශීය වශයෙන් ප්‍රකාශයට පත් කිරීම හා ඒ සඳහා සහාය ලබාදීම සම්බන්ධයෙන් දේශීය මාධ්‍ය වෙත තර්ජනය කරමින් මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා නිකුත් කළ මාධ්‍ය නිවේදනය ගැන සහ රාජපක්ෂ කල්ලිය විසින් අඛණ්ඩව සිදුකරන ද්වේෂ සහගත ප්‍රකාශ ගැන තම බලවත් කණස්සල්ල පළ කිරීමට පියවර ගත්තා.

මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතය හෙළිදැකීමෙන් පමණක් නොනැවතී තම වාර්තාවේ නිරවද්‍යතාව පිළිබඳ අවශ්‍ය නම් තමා සමඟ සංවාදයකට පැමිණෙන ලෙස නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ජාත්‍යන්තර සංස්කාරකවරයා වන “මයිකල් ස්ලැක්මන් මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මේ වන විට ජාත්‍යන්තර ජනමාධ්‍ය හා මානව හිමිකම් සංවිධානවල දැඩි අවධානයට යොමුව තිබෙනවා. (“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ජූනි 26 වැනිදා “නිව්යෝර්ක් ටයිම්ස්” පුවත්පතේ පළවූ නිරවද්‍ය ගවේෂණාත්මක ලිපියට දායකත්වය දැක්වූ මාධ්‍යවේදීන් දෙදෙනකු ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කර තිබේ.

මේ ආකාරයෙන් ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම කිසිසේත් අනුමත කළ නොහැක. මෙවැනි ක්‍රියා විවේචනය සහ මාධ්‍ය නිදහස සීමා කිරීමටත් අවසාන වශයෙන් මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ ලැදියාව අහිමි කිරීමටත් හේතු වනු ඇත. ශ්‍රී ලංකා බලධාරීන් අපේ පුවත්පතට මෙන්ම වෙනත් ඕනෑම පුවත්පතකට සේවය කරන මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මහින්ද රාජපක්ෂ මහතාට “ටයිම්ස්” ලිපිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබේ නම් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර ඒ සම්බන්ධයෙන් “ද නිව්යෝර්ක් ටයිම්ස්” පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන්ට අමතන්න.

මේ තත්ත්වය තුළ අපට ඉතාම පැහැදිලිව පෙනී යන්නේ බලවත් හා ශක්තිමත් ජාත්‍යන්තර මාධ්‍ය සමඟ ගැටීමකට හෝ අභියෝග කිරීමකට නොගොස් එමගින් තමාට දේශීය වශයෙන් සිදුවන හානිය හා අපකීර්තියෙන් ගැලවීම සඳහා අද මහින්ද රාජපක්ෂ මහතා සහ කල්ලිය අනුගමනය කරමින් සිටින සුපුරුදු ප්‍රචණ්ඩ ප්‍රවේශය හරහා රාජපක්ෂ යුගයේ මාධ්‍ය මර්දනයේ හා මාධ්‍ය භීෂණයේ අඳුරු සෙවණැලි වෙත යළි දේශීය හා ජාත්‍යන්තර සමාජයේ දැඩි අවධානය යොමුව තිබෙන බවයි. ඊට හේතුව වන්කේ නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවට එරෙහිව දියත් වන අඛණ්ඩ ප්‍රහාරවලට සමගාමීව තවත් පැති කිහිපයකින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හා මානව හිමිකම්වලට (ජනමාධ්‍ය නිදහස ද ඇතුළුව) එරෙහිව සංවිධානාත්මක ප්‍රචණ්ඩත්කයක බීජ ක්‍රමයෙන් රෝපණය වීමක් දැකිය හැකිවීමයි.

උදාහරණයක් ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිදුවීමට සමගාමීව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට එරෙහිව රාජපක්ෂ ගැති ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය විසින් දියත් කර ඇති ප්‍රචණ්ඩත්වය සේම “එළිය” “වියත්මඟ” වැනි ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නායකත්වය දෙන මිලිටරි හා භික්ෂු බලවේග විසින් සිදුවන වාචික බිය ගැන්වීම් සඳහන් කළ හැකියි. මේ සියලු තත්ත්වයන් මේ වන විට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් හඳුනාගෙන ඇත්තේ පොදුවේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට හා මානව හිමිකම්වලට එල්ල වන තර්ජන සහ අනාගතයේ සිදුවිය හැකි බරපතළ ප්‍රචණ්ඩත්වයක් වශයෙනුයි.

යළි අඳුරු යුගයකට පාර කියන හැටි

නූතන ලෝකයේ (ඇතැම් විට ලෝකය ආරම්භයේ සිට) මිලේච්ඡතම පාලකයා වශයෙන් සැලකෙන උමතු වර්ගවාදියෙකු වන ජර්මන් ආඥාදායක ඇඩලොප් හිට්ලර් කෙනෙකු වීමට හිටපු ආරක්ෂක ලේකම්වරයාට නියත විවරණ ලබා දෙමින් ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ මාධ්‍ය විසින් ගොඩනගමින් සිටින අන්ත වර්ගවාදී හා ආගම්වාදී වියරුව හරහා නිර්මාණය විය හැකි සමාජ හා දේශපාලන පරිසරය මත ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හා මානව හිමිකම් සම්බන්ධයෙන් පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ද ෆැසිස්ට්වාදී තර්ජනයක් එල්ල විය හැකි බවට බොහෝ දෙනකු තුළ භීතියක් මේ වන විට නිර්මාණය වෙමින් තිබෙනවා. මෙය හුදු උපකල්පනයක් හෝ හිතලුවක් නොවන්නේ පරාජිත රෙජිමය පසුගිය තෙවසරකට අධික කාලය පුරා ක්‍රියාත්මක කරමින් සිටින ෆැසිස්ට්වාදී අත්හදා බැලීම්වල උච්චස්ථානයට මේ වන විට ළං වෙමින් තිබෙන බවක් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි නිසයි.

සුපුරුදු පරිදි ජනමාධ්‍යවේදීන් හා හිමිකරුවන් භීතියට පත් කරමින් තමන්ට අවශ්‍ය ආකාරයට මාධ්‍ය හා සන්නිවේදනය හැසිරවීමට දක්වන නැඹුරුව සේම හිට්ලර් පන්නයේ ආඥාදායක පාලනයක් සර්ව සාධාරණ කරන මතවාද පෝෂණය කිරීමට ගන්නා නිර්මාණශීලී, අඛණ්ඩ ප්‍රයත්නය ද ඉහත සඳහන් භීතිය සර්වසාධාරණ කිරීමට ප්‍රබල හේතුවක්ව තිබෙනවා.

ඒ අතර රට තුළ නොමැති ආර්ථික හා සමාජ අර්බුදයක් (අපරාධ හා පාතාල) නිර්මාණය කරමින් ආර්ථිකයේ හා සමාජයේ ගැලවුම්කාරයා වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත් පාලනයක් නොව මර්දනකාරී ආඥාදායක පාලනයක් මගින් සාර්ථක විසඳුම් ලබාදිය හැකි බවට මතයක් නිර්මාණය කිරීමත් (හිට්ලර් විසින් මුල් කාලයේ අනුගමනය කළ ප්‍රවේශය ද මෙයම විය) මේ අනතුරේ පෙරමඟ සලකුණු වශයෙන් සැලකිය හැකියි. මේ තත්ත්වය සරලව පැහැදිලි කළ හැකි වන්නේ මේ සියලු සංවිධානාත්මක හා හුදකලා සිදුවීම් මගින් නියතව පාර කපන්නේ හිට්ලර් ප්‍රමුඛ නාසි නඩයට බලයට පත්වීම පහසු කිරීමට බවයි.

මෙය අනතුරක් ද තර්ජනයක් ද ?

පරාජිත රෙජිමයේ නායකකාරකාදීන් විසින් ආරම්භ කර තිබෙන මේ නාසිවාදි ප්‍රවේශය අනතුරක් ද ? තර්ජනයක් ද ? යන්න බොහෝ දෙනකු විසින් විමසනු අපට දැකිය හැකියි. එහිදී ප්‍රථමයෙන්ම සඳහන් කළ යුතු වන්නේ ඉතාම පැහැදිලිව මෙය අනතුරක් පමණක් නොව තර්ජනයක් ද වශයෙන් සැලකිය හැකි බවයි.

මෙය අනතුරක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වළලා දැමීමේදී ප්‍රථමයෙන්ම සිදුවන කාර්යය වන්නේ සත්‍ය මරා දැමීම බවයි. නැතහොත් ජනතාවට නිවැරදි තොරතුරු ලබාගැනීමට ඇති අවකාශය අහුරා දැමීම බවයි. මේ සඳහා අතීත නාසිවාදීන් විසින් අනුගමනය කළ ප්‍රවේශය වුණේ නිදහස් ජනමාධ්‍ය කර්මාන්තය වනසා දමා තමන්ට ගැති හා පාලනය කළ හැකි ජනමාධ්‍ය ප්‍රවාහයක් නිර්මාණය කර ගැනීමයි. අදත් ලෝකය පුරා ප්‍රකට “එකම බොරුවක් සිය වරක් කී විට එය සත්‍ය බවට ජනතාව විශ්වාස කරනවා” යැයි කියන ගොබෙලස් න්‍යාය (හිට්ලර්ගේ මාධ්‍ය ඇමැතිවරයා වූ ජෝෂප් ගොබෙල්ස්ගේ නාමයෙන් මේ සංකල්පය හැඳින්වේ) මෙහි පදනමයි.

රාජපක්ෂ රෙජිමය විසින් බලයේ සිටියදී සියලු පියවර ගත්තේ හා ප්‍රාර්ථනා කළේ මෙවැනි ගැති හා දීන මාධ්‍ය කර්මාන්තයක් හා මාධ්‍යවේදීන් කල්ලියක් බිහිකර ගැනීමටයි. තමන්ට ගැති මාධ්‍ය හා මාධ්‍යවේදීන් බිලියනපතිනියන් වන විට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විට ලසන්ත වික්‍රමතුංග, සිවරාම්, ප්‍රමුඛ මාධ්‍යවේදීන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන්නේත්, ප්‍රදීප් එක්නැලිගොඩ වැනි මාධ්‍යවේදීන්ට අතුරුදන්වීමට සිදුවන්නේත්, කීත් නොයාර්, පෝද්දල ජයන්ත වැනි මාධ්‍යවේදීන් පැහැර ගෙන ගොස් ප්‍රහාරයට ලක්වන්නේත්, සන්ඩේ ලීඩර්, ලංකා, ලංකා ඊ නිවුස් වැනි මාධ්‍ය වාරණයට ලක් වන්නේත් මේ නිසයි.

රාජපක්ෂ රෙජිමයේ සුරතලුන් වූ ඇමැති මර්වින් සිල්වා වැන්නන්ට ජාතික රූපවාහිනියට, සිරස මාධ්‍ය ජාලයට පහරදීමට තරම් ධෛර්යයක් ලැබෙන්නෙත් මේ තර්ජනාත්මක පරිසරය නිසයි. මේ තත්ත්වය අප අනාගත අනතුරක් වශයෙන් සලකන්නේ රාජපක්ෂ පාලනයේ දෙවැනි යුගය බිහිවනු ඇත්තේ ද ඉදිරියට යනු ඇත්තේ ද මුල් දශකයට වඩා සපුරා වෙනස් අතිශයින් මර්දනකාරී මිලිටරිවාදී, අන්ත ආගම්වාදී හා ජාතිවාදී පදනමක් මත නිසයි. අද රාජපක්ෂ රෙජිමයේ පෙර ගමන්කරුවන් වශයෙන් සිටින බලවේග දෙස බැලීමේදී අපට මේ අනතුර වඩාත් පහසුවෙන් හඳුනා ගත හැකියි.

යළි මේ ලිපියේ ආරම්භයට අවධානය යොමු කළ යුතුයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ බව කියන බැඳුම්කර වංචාව පදනම් කර ගනිමින් වසර තුනක් පුරා අඛණ්ඩව ආණ්ඩුවට, විශේෂයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ මහින්ද රාජපක්ෂ මහතාට දෛවෝපගත ආකාරයෙන් ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රබල අවධානයක් දිනාගත් දැවැන්ත චෝදනාවකට මුහුණදීමට සිදුව තිබෙනවා. මෙය වීදුරු ගෙවල්වල සිට අනුන්ට ගල් ගසන ඕනෑම පුද්ගලයෙක් බලාපොරොත්තු විය යුතු දෙයක් වශයෙන් සැලකිය හැකියි.

එහෙත් මීට කිසිසේත්ම සමාන නැතත් මහ බැංකු බැඳුම්කර සිද්ධියේදී අගමැතිවරයාට එරෙහිව මෙරට ජනමාධ්‍ය විසින් ඉතාමත් සංවිධානාත්මකව හා අඛණ්ඩව ගෙන ගිය සාවද්‍ය ප්‍රහාරයන්ට අගමැතිවරයා මහත්මයෙකු සේ, ප්‍රජාතන්ත්‍රවාදියෙකු සේ මුහුණ දුන්නා. ඔහු තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට පියවර ගත්තා. එහෙත් නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාකරණය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා අනුගමනය කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මහත්මා ශෛලියට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රවේශයක්. එය ප්‍රජාතන්ත්‍ර විරෝධී වනසා සේම අනාගත භීතියක් ඇති කිරීමට සමත් වන තත්ත්වයක් ද වෙනවා. මෙය නායකයන් දෙදෙනාගේ පෞද්ගලික පෞරුෂත්වය පමණක් නොව අවංකභාවය ද ප්‍රදර්ශනය කිරීමක් වශයෙන් අපට සැලකිය හැකියි. මෙරට ජනතාව මේ සත්‍ය තත්ත්වය වටහා ගත්තොත් ඇතැමුන් විසින් මේ වන විට අඳිමින් සිටින ශ්‍රී ලංකාවේ දේශපාලන සිතුවම සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකියි. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බව අපගේ වැටහීමයි.

සටහන - භාතිය බරුකන්ද

 


නව අදහස දක්වන්න