සඳ | දිනමිණ

සඳ

අවසන් කොටස

මං ඇත්තට ම වෙන්න ඕනෙ කවුද? ඇතීනට ඇත්තට ම ඕනෙ කවුද? එක ම ප්‍රශ්නෙ ආයෙ ආයෙ තමන්ගෙන් ම ඇහුවා. මෙලාවියෝට දැනුණ ආත්ම ගර්වය. සතුට. ශක්තිය.

පූර්ව සූදානම අවසන් බව තීරණයට එන්න පුළුවන් වෙනකොට පැය හයක් ගිහින්. බඩගින්නක් දැනුණෙ නැතත් මෙලාවියෝට ශක්තිය ඕනෙ. එයා ගෙනාපු සැන්ඩ්විචස් දෙකයි ඇපල් ගෙඩියයි බටර් බාගෙයි කාගෙන කාගෙන ගියා. ඊළඟට සිරිංජරය අතට ගත්තා. ඒක දිහා බලාගෙන හිටියා. මෙතනින් පස්සෙ ආපහු හැරෙන්න බෑ, ගියොත් ගියාමයි. එයාගෙ හිත කියනව අමුතු වේදනාවකින්. ඔව්, ආපහු හැරෙන්න බෑ. වැඩිය හිතන්නත් බෑ. වෙන දෙයක් වෙච්චාවෙ. මෙලාවියෝ සිරිංජරය බෙල්ලට තියල තද කරගත්තා.

‘මම හඳට යනවා’රතු පාට දියරයෙන් හිස් වෙච්ච සිරිංජරයට මෙලාවියෝ කිව්වා. ‘ඉක්මනින් ම’

වහල තියෙන දොරට තට්ටු කරනව තුන් හතර දෙනෙක්. මෙලාවියෝ දොර අගුලට පුටුවක යකඩ කකුලත් තියල කැඩුවා. දොර පැද්දිල ඇවිත් බිත්තියෙ වැදුණා. මහත සායන අධ්‍යක්ෂක ඉන්නව ඔරවගෙන.

‘දොර හිරවෙලා’මෙලාවියෝ කිව්වා, පුටු කකුලත් අතේ තියාගෙන.

අධ්‍යක්ෂක පසාරු කරන එරවිල්ල එහෙම ම තියාගෙන යන්න ගියා. ‘හතයි තිහට. මගේ කාමරේට’

රෝගීන් පෝලිමක්. ඔක්කොම බෙල්ල දික් කරන් බලාගෙන ඉන්නවා. මෙලාවියෝ ලොකු හිනාවක් පෑවා.

මීටර් සීය ධාවන තරඟයක දි දෙවැනියා වෙලා පිස්සු හැදුණ කොල්ලෙක්. හීනෙන් හීලියම් පුරෝපු රතු බැලුම් දෙකක් පුපුරනව දකින නාකි ගෑනියෙක්. හැන්දෑවෙ හය වෙද්දි මෙලාවියෝගේ බඩ දඟලන්න පටන් ගත්තා. රූපාන්තරණය ආරම්භ වෙලා. මෙලාවියෝ දිග හුස්මක් ඇදගෙන සන්සුන් වුණා. හැන්දෑවේ හය හමාර විතර වෙනකොට එයාගෙ සර්වාංගෙම දාඩියෙන් පෙඟෙන්න වුණා. මාංශ පේෂියි ඇට කටුයි ඇවිලුම්කන්න වුණා.

අන්තිමට ආවෙ මොනාලිසා ගෑනි. එයා එක්ක ආයෙ නිදාගන්නව නම් රුපියල් බිට් දාහ ආයෙ දෙන්නම් කියල කියනවා. ඔළුව පුපුරන්න වගේ. මෙලාවියෝ නළල මේසෙ ගහ ගත්තා. තව බිට් පන්සීයක් වැඩිපුර දෙන්නම් කියල ගෑනි කියනවා. මෙලාවියෝ නැගිට්ටා. වැසිකිලියට දුවගෙන ගිහින් දොරට අගුල දාල කොමඩ් එක උඩ ගුලි වුණා. මුළු ඇඟ ම වෙව්ලනවා. කණ්ණාඩියෙ ඉන්න මනුස්සය දහඩිය හල හල මොනවදෝ අහනවා.

‘උඹට දැන් හඳට යන්න සුදුසුකම් තියෙනව ද? උඹ දර්ශනය දන්නව ද?’

මෙලාවියෝ දණිස් දෙක අස්සෙ ඔළුව ගහගෙන ප්‍රශ්නෙ මඟ ඇරියා. පිළිඹිඹුව දිගට ප්‍රශ්න අහනවා.

‘අදින් පස්සෙ උඹ කවුද? උඹේ නම මොකද්ද? මිනිස්සු උඹව පිළිගනියි ද? අපරාධකාරයෙක් කියයි ද?’

‘කට වහපන් … කට වහපන් … කට වහපන්’මෙලාවියෝ අත මිටි කරගෙන පිළිඹිඹුවට ගහගෙන ගහගෙන ගියා. ඇඟිලි අතර වීදුරු කටු. ලේ වැක්කෙරෙනවා.

විනය පරීක්ෂණයට සඳහා මතක් කිරීමක් … පෞද්ගලික හොලෝග්‍රෑමයේ සායන අධ්‍යක්ෂකගේ අනතුරු ඇඟවීම. හොලෝග්‍රෑම් ප්‍රක්ෂේපණ අත්පටිය ගලවල බිම දාපු මෙලාවියෝ ඒක පාගල කුඩු කළා.

මෙලාවියෝගේ සිහිය එහෙන් මෙහෙන් අවුල් යනවා. කමිසය ඉරල ලේ ගලන අත වටේ ඔතාගෙන කොමඩ් එක ළඟ බිම ඉඳගත්තා. කවුරු හරි ආවා. කොමඩ් එකකින් වතුර ගලා යන සද්දෙ. වතුර කරාමයක් ඇරුණා. වැහුණා. විදුලි බල්බ නිවුණා. දොර වැහෙන සද්දෙ. කළුවර.

මෙලාවියෝ කොච්චර වෙලාවක් එහෙම වැටිල හිටිය ද කියල මතක නෑ. හදිසියෙම එයාට යන්න හිතුණා. කොහෙට ද? දන්නෙ නෑ. ඒත් යන්න හිතුණා. දොර ඇරපු මෙලාවියෝ බිත්තියේ හේත්තු වෙලා ඇඟට වාරු ගත්තා. ප්‍රධාන දොරේ එල්ලිල ඒක ඇරෙනකොට කොරිඩෝරෙට වැටුණා. වාසනාවකට කොරිඩෝරෙම හිස්. ඔප දාපු සුදු පාට බිම කැඩී බිඳිච්ච නාකි මෙලාවියෝ. ලේ, දාඩිය වැටි වැටී පිළිඹිඹුව බොඳ වෙනවා. යන්න ඕනේ. වැඩි කාලයක් නෑ. වෙර ගත්ත මෙලාවියෝ කොරිඩෝරය දිගේ දුවන්න ගත්තා. රෑ වැඩ මිනිස්සු දෙන්නෙක් තුන් දෙනෙක් පෙරළගෙන මෙලාවියෝ දිව්වා. ටික වෙලාවකින් අනතුරු ඇඟවීමේ එලාමය. ආරක්ෂක අංශ මෙලාවියෝ පස්සෙ පන්නන්න පටන් අරගෙන.

එක පාරම මෙලාවියෝ පාතාලයක් අද්දර. සීතල හුළඟයි කළු හිමයි එයාගෙ ඇඟ හූරගෙන ගියා. බිත්තියෙ තිබ්බ යකඩ බටයක් අතට අහු නොවුණා නම් මෙලාවියෝ තාම වැටෙනවා. අසූ එක්වෙනි තට්ටුවෙ වාහන නවත්වන පීඨිකාව.

අඩි සද්ද ඇහෙනවා. ආරක්ෂක අංශ දුවගෙන එනව ඇති. මෙලාවියෝ තටාක දොර වැහෙන ලීවරය ඇද්දා. දොර පහළට වැහෙනවා. ලීවරයට යට තියෙන යකඩ තහඩුව පැත්තට කරල වයර් ටික ඇද්ද ම ගිනි පුපුරු හලාගෙන දොර වැටුණා. විදුලි සැර කාගෙන වැටිල හිටපු මෙලාවියෝ නඟිනකොට ගොඩනැගිල්ලෙන් තිරස්ව එළියට ඇදුණු අඩි හතරක් විතර පීඨිකාව උඩ එයා තනියම. දොරට තඩිබාන සද්ද.

මෙලාවියෝ ටැක්සියකට අත දැම්මා. ටැක්සිය හෙමීට උඩට ආවා. පැති වීදුරුව ඇරුණා.

‘කහා ජානා සර්ර්ර්ර්’ඉන්දියන් කොල්ලෙක්. මොකුත් නොකියම ළඟට ආපු වාහනයේ ඉස්සරහ දොර ඇරල ඇතුළට රිංගගත්ත මෙලාවියෝ පුටුවෙ ගුලි වුණා. කොල්ලා ලේ හලාගෙන වෙව්ලන මිනිහා දිහා බිරාන්ත වෙලා බලාගෙන හිටියා.

‘හොස්පිටාල්’ඌ ඇහුවා. මෙලාවියෝ ඔළුව වැනුවා. කොල්ලා ඉක්මනින් වාහනේ කරකවල අනිත් වාහන අස්සට දා ගත්තා. කරදරයක්.

මෙලාවියෝ යන්න ඕනේ. කොහෙට ද? උඩට … උඩට …

‘කොන්ග්‍රස් බිල්ඩින්’මෙලාවියෝ ගෙරෙව්වා. කොළඹ තියෙන උස ම ගොඩනැගිල්ල.

කොල්ලා ඇස් ලොකු කරගෙන බැලුවා. ‘කොන්ග්‍රස් බිල්ඩින්න්’

මෙලාවියෝ ඔළුව වැනුවා.

‘නෝ නෝ … ගෙට් අවුට් … පාගල් බූඩා’බනින්න පටන් ගත්ත කොල්ලා හෝන් එකක් ගහගෙන වාහනේ ආපහු හැරෙව්වා.

‘අයි පේ … අයි පේ … ‘මෙලාවියෝ කොල්ලාගෙ අතින් අල්ලල නවත්තන්න හැදුවා. කොල්ලගෙ වම් අත දිගේ ලේ.

‘සූවර් කා බේටා’කොල්ලා මෙලාවියෝ පැත්තකට තල්ලු කරල බෙරිහන් දෙන්න ගත්තා.

මෙලාවියෝට හිත හිත ඉන්න වැඩි වෙලාවක් නෑ. පැනපු ගමන් වාහනේ දොරවල් අරින ලීවරය ඇදපු මෙලාවියෝ කොල්ලව තල්ලු කළා වාහනෙන් එළියට. අඩි දහයක් විතර පහළින් ගිය වාහනේක බොනට් එක උඩ තඩ් ගාල වැදුණ ගමන් උගේ බෙරිහන් දීම ඉවරයි. තවත් අඩි විස්සකින් විතර ගුවන් සයිකලයක හිටපු මනුස්සයෙක්ගෙ ඇඟේ එල්ලුන කොල්ලා මනුස්සයත් එක්ක ම කළුවරට වැටුණා. සයිකලය පැද්දි පැද්දි ඉස්සරහට ගියා, තනියම.

මෙලාවියෝ රියදුරු ආසනේට රිංගුවා. වැඩි වෙලාවක් නෑ. වලාකුළුවලින් අහස වැහිලා. ඇයි? ඇයි? එයා එයාගෙන් ම ඇහුවා. දන්නෙ නෑ. යන්න ඕනෙ. එච්චරයි.

මෙලාවියෝ වාහනයක වහලෙ හූරගෙන ඉහළ නැග්ගා. උඩින් ගිය වාහනයක හැපිල වහලෙ එබුණා. දැන් මෙලාවියෝ ගොඩනැගිලි දෙක තුනකට ඉහළින්. ත්‍රොටලයට දරාගත හැකි උපරිම උසට ළං වී ඇතැයි අනතුරු එලාමය බෙරිහන් දෙනවා. අඳුරු ගොඩනැගිලි දෙකක් මැදින් නිරාවරණය වුණා, කොන්ග්‍රස් ගොඩනැගිල්ල.

තද කළු හිම හුළං රැල්ලක් එක්ක වාහනය අවලාද නගාගෙන අඩි කිහිපයක් පහළට වැටුණා. මෙලාවියෝ ආයෙත් ඇක්සලරේටරය තද කළා.

‘අධි ආරක්ෂිත කලාපයකි. වහා හඳුන්වා දෙන්න’ඉන්ටර්කෝමයෙන් යකඩ කටහඩක්.

මෙලාවියෝ මීටර් පන්සීයේ සීමාව පැන්නා.

‘අවසන් දැනුම් දීමයි. වහා ම හඳුන්වා දෙන්න.’මෙලාවියෝ ඉදිරියට නැඹුරු වෙලා තවත් අඩි සිය ගණනක් උස කළු ම කළු ගොඩනැගිල්ල දිහා බැලුවා. ඒකෙ සද්දන්තකමින් මෙලාවියෝගෙ පපුව වෙව්ලුවා.

බිම ඉඳල අහසට විදගෙන ආපු මිසයිලය මෙලාවියෝගේ වාහනේ පැත්තක් එහෙම පිටින් ම පුපුරවල දැම්මා. පාලනයෙන් ගිලිහුණු යානය කැරකි කැරකි ගින්දර හල හල කොන්ග්‍රස් ගොඩනැගිල්ලෙ වීදුරු බිත්තියක් කඩාගෙන ඇතුළට ගියා. මෙලාවියෝ දුම් ගුලි කැහැ කැහැ ගැලවිච්ච දොරෙන් වීදුරු කුඩු ගොඩ උඩට පෙරළුණා. බඩගාගෙන පඩිපෙළක් නැග්ගා. පහල තට්ටුව ගින්නෙන් පුරවගෙන වාහනේ පිපිරුණා. ඊළඟ තට්ටුව හිස්. බඩගාගෙන ගිහින් විදුලි සෝපාන දොර ගාව වැටිල මෙලාවියෝ වමනෙ කළා. ලේ. ඇඟ ඇතුළ පුපුරනව. ගිනි අරන්. තව ටිකයි. එයා දත් මිටි කාගෙන ගෙරෙව්වා. යකඩ මල් පෝච්චියක් බදාගෙන නැගිට්ටා. විදුලි සෝපානයේ බොත්තම තද කළා. දොර ඇරුණා. පෝච්චියත් පෙරළගෙන ඇතුළට වැටුණා. ඒත් ඊට කලින් උඩ ම බොත්තම ඔබාගන්න පුළුවන් වුණා, උඩ ම තට්ටුව.

ගොඩනැගිල්ලට පිටතින් දුවන සිලින්ඩරාකාර වීදුරු සෝපානය අවසන් තට්ටු විස්ස පටන් ගද්දි මෙලාවියෝ ආපහු නැගිට්ටා. මල් පෝච්චියෙන් වීදුරුවට ගැහුවා. ගහගෙන ගහගෙන ගියා. වීදුරුව එක පාර ම පුපුරල වීදුරු කෑලියි මල් පෝච්චියයි ආගාධයට උඩින් ඉහිරුණා. සෝපානය නැවතුමට ආවා. දොර ඇරුණා. දොර ළඟ සූදානමින් හිටපු හමුදා කණ්ඩායම තුවක්කු දික් කරන් ඇතුළට පැන්නා. සෝපානය හිස්. වීදුරුව බිඳිලා. හැම තැන ම ලේ.

මෙලාවියෝ තමන්ට කිසිදාක නොතිබුණු ශක්තියකින් තියුණු වීදුරු කටු සිදුරෙන් රිංගල ගොඩනැගිල්ලෙ දාරයක එල්ලුණා. අත් වෙහෙසින් අවසඟ වෙලා කඩා වැටෙන්න කලින් වෙර අරගෙන ඊළඟ ගැට්ටෙ එල්ලුණා. දණිහයි කකුලයි බිත්තියෙ තදකරල ඊළඟ බිත්තියෙ ඊළඟ පැල්මේ එල්ලුණා. යකඩ වැටේ එල්ලිල ඇතුළට පෙරළුණා. ගොඩනැගිල්ලේ මුදුන. බිම වැතිරිල මෙලාවියෝ අහස දිහා බලාගෙන හති ඇරියා. වලාකුළු හෙමීට තුනී වේගන යනවා. එක පාරම ඇටකටුවලින් නැගිච්ච භයංකාර වේදනාවක් එක්ක මෙලාවියෝ ගැහෙන්න වුණා. ‘තව මදි … තව මදි …’එයා නැගිට්ටා.

එළිමහන් උඩ තට්ටුව මැද තියෙනව ඇන්ටනා කණුවක්. මෙලාවියෝ වීසි වෙලා ගිහින් වයර් ගොඩේ එල්ලුණා. තව උඩට යන්න පුළුවන්. එයා කම්බි දිගේ බඩගෑවා. සුළඟ තදයි. බොත්තම් කැඩිච්ච කමිසය සරුංගලයක් වගේ පිම්බිලා. ඇඟ වේදනාවෙන් දඟලනවා. කටින් ලේ වැක්කෙරෙනවා.

හමුදා ප්‍රහාරක යානා දෙක ගොඩනැගිල්ල මැද හරියෙන් අහසට ලිස්සුව. උඩු මහලේ සේවා දොරටුවේ අගුල පැන්නා.

කණුව අවසන්. අරය අඩි දෙකක් විතර වෙච්ච වෘත්තාකාර තහඩුවක්. එතනින් උඩට තියෙන්නෙ අකුණු සන්නායක කූර. ඒක නඟින්න බෑ. මෙලාවියෝ තරහින් ඒක කඩල වීසි කළා. ටාං ටාං … ඒක උඩු මහලෙ යකඩ පයිප්ප උඩ වැටුණා.

තව උඩට යන්න බෑ. මෙලාවියෝ බෙරිහන් දුන්නා. සුළඟ එයාව අහසට වීසි කරනවා. තැටියෙ අග අත් දෙකෙන් බදාගෙන මෙලාවියෝ ලේ හල හල බෙරිහන් දුන්නා. ඇඟ ඇතුළෙ ඇටකටු කුඩු වෙන්න පටන් අරන්. මාංශ පේෂී ඉරෙන්න අරන්. වේදනාව සිහි විසඥ කරන තරම්.

අහසේ කළු වලාකුළුවල පැල්මක් දිව ගියා. හෙමීට හෙමීට මලානික පාටට සීතල පූර්ණ චන්ද්‍රයා පෑව්වා. ගොඩනැගිල්ලත් මිහිදුම් ගොහොරුවත් පහළ උල් ගොඩනැගිලි හිසුත් මලානික පාටින් ආලෝකමත් වුණා. මෙලාවියෝගේ වේදනාව එකපාර අතුරුදන් වෙලා ගියා. එයා ඇස් ලොකු කරගෙන හීතල දීප්තිය දිහා බලාගෙන හිටියා. හඳේ පිළිඹිඹු දෙකක් එයාගෙ ඇස්වල කළු ඉංගිරියා පුරෝගෙන.

හඳ, උඹට තව කොච්චර දුර ද? පිළිඹිඹු බොඳ කරගෙන ඇස්වලට කඳුළු උනාගෙන ආවා. කොච්චර ලස්සනයි ද හඳ ...

ට්‍රාන්ස්එෆ් 4002 සූදානම්. ක්වොන්ටම් ව්‍යුහකාරක ශක්තිය නිදහස් කළා. අධි වේගයෙන් මෙලාවියෝගේ ජීව ශරීරය වෙනස් කරන්න පටන් ගත්තා. එයා දැනගත්තා, මේ තමා මිනිස්කමේ ගතකරන අවසාන මොහොත බව.

හිස් කබල පුපුරල ඉස්සරහ ඇදෙන්න වුණා. හම රළුවෙලා මවිල් වැවෙන්න වුණා. සිරුර වකුටු වුණා. අස්ථි දික් වුණා. ඇඳුම් පුපුරල ඉරිල විසි වුණා.

හමුදා ප්‍රහාරක යානා දෙක අහසට නැගෙද්දි දැක්කෙ ඇඟ කිලිපොලා යන දර්ශනයක්. දැවැන්ත වෘකයෙක් හඳ දිහා බලාගෙන සූදානම් වෙනව, වෘකාලාපයකට.

වෘකයාගේ පපු අභ්‍යන්තරයෙන් නැගුණු මහා උඩුබිරලීම, එක දිගට. කොළඹ මොහොතකට නිහඬයි. වේදනාවේ ශබ්ද තරංග හමුදා ප්‍රහාරක යානා දෙක අහස මැද නතර කරලා. තටු කරකැවෙනවා. සෙබළු ගල් ගැහිලා.

වෘකයා හඳ අවුරගෙන තමා වටේ කැරකෙන යානයට අභියෝග කළා, දත් විලිස්සගෙන. හඳ මගේ, ඒ අතරට කාටවත් එන්න බෑ.

කමාන්ඩර්ගේ පපුවේ හිරවෙලා තිබුණු හුස්ම මහ සද්දෙන් මයික්‍රෆෝනයට පැන්නා.

‘ෆයර්ර්ර්ර්ර්ර් ….’

තාරක කල්දේරා


නව අදහස දක්වන්න