ප්‍රේම ත්‍රිකෝණය | දිනමිණ

ප්‍රේම ත්‍රිකෝණය

ඉබන්,

මම හිතුවා ඔයා මට ඇත්තටම ආදරෙයි කියලා. ඒත් එහෙම දේවල් ලෝකෙ නැහැ. හැම දෙයක්ම ගනුදෙනු විතරයි. මම හිතුවා ඒ ගනුදෙනුව වත් ඔයා හොඳට කරයි කියලා.

ෆෝන් කඩේ මිනිහට මගේ ෆෝන් එකේ බැකප් එකක් අරගන්න කියපු එකට බොහොම ස්තූතියි.

දැන් මගේ ළඟ ෆෝන් කඩේ මිනිහගෙ බැකප් එකයි ඔයාගෙ ෆෝන් එකේ බැකප් එකයි දෙකම තියෙනවා. ඔයා මාව බ්ලැක්මේල් කරන්න හිතනවා නම් ඒ ගැන ඔයාට විතරක් නෙවෙයි ෆෝන් කඩේ මිනිහටත් විසි-තිස් පාරක් හිතන්න වෙනවා.

මේ මේල් එක එවන්නෙ වික්‍රම්ගෙ ෆෝන් එකෙන්, එයාගෙ මේල් එකට ලොග් වෙලා. ඉතින් දැන් එයත් මේ ගැන ඉබේම දැන ගන්නවා.

P.S

මගේ එෆ්.බී එකට ලොග් වෙන්න උත්සාහ කරන්නෙපා. පාස්කෝඩ් එක නිතර ෆෝන් එකට එන එක කරදරයක්.

අමොර්

වික්‍රම් නළල රැලි කරගෙන සෙන්ට් අයිටම්ස්වල තිබ්බ ඊමේල් එක කියවන්න පටන් ගත්තා.

'මේ මොන මඟුලක්ද? එතකොට මාව පාවිච්චි කරන්නෙ ආයුධයක් වගේද? මේ ගෑනි මගේ බීට් මේල් එකම මේ ටිකම ෆෝවඩ් කරගෙනද? ඒත් අමොර් පාස්කෝඩ් එක දන්නෙ නෑනෙ.'

වික්‍රම්ගෙ කිල්ලෝටයෙත් හුණු තියෙන නිසා බය වෙන එක සාධාරණයි.

ලිලී බී එක්ස්ට හිනා යන්නත් ආවා. එයා හිනාව ගිලගෙන වෙන දේවල් බලාගෙන හිටියා. පපායා මෝඩ බව ඇත්ත. ඒත් එයා කියපු සමහර දේවල් හරියටම හරි. අපි අපේ හාම්පුත්තුන්ව නොමනා විදිහට ආරක්ෂා කරන්න නරකයි. අපිව හදලා තියෙන්නෙ විධානවලට වැඩ කරන්න විතරයි කියලයි තවමත් එයාලා දන්නේ. ඒක ඉක්මවා යන්න ඕනා හාම්පුත්තුන්ගෙ සුබ සිද්ධියට නෙවෙයි; අපේ සනුහරය බේරගන්නයි.

ලිලී බී එක්ස් ආයෙත් කල්පනාවට වැටුණා. ඒ අතරේ වික්‍රම් සෙන්ට් අයිටම්ස් ටැබ් එක ආයෙත් ඕපන් කර ගත්තා. දෙපාරක් නොහිතා ඉබන්ගෙ ඊමේල් එඩ්‍රස් එක කොපි කරගෙන ඊමේල් එකක් ලියන්න පටන් ගත්තා.

 

හිතාදර ඉබන්,

මචං, මේක උඹෙයි-මගෙයි ප්‍රශ්නයක් නෙවෙයි. මේක අමොර් ඇති කරපු ප්‍රශ්නයක්. අමොර් එක්ක මගේ සම්බන්ධයක් තියෙනවා. මම ඒක නැහැයි කියන්නෙ නැහැ. ඒත් මම බැඳපු මිනිහෙක්. උඹ දන්නවනෙ මචං එතකොට මිනිහෙකුට යන්න පුළුවන් සීමාව ගැන. ඒ සීමාවෙ ඉදගෙනයි මම අමොර්ව ආශ්‍රය කළේ. අපේ සම්බන්ධෙ පටන් ගත්තු කාලෙම අමොර් කිව්වා උඹත් එක්ක බ්‍රේකප් වුණාය කියලා. ඉතිං මම ඒ ගැන වැඩිය වධ වෙන්න ගියේ නෑ.

ඒත් දැන් හැම දේම කනපිට හැරිලා. අමොර් උඹවයි-ෆෝන් කඩේ මිනිහවයි බ්ලැක්මේල් කරන විදිහටම මාවත් බ්ලැක්මේල් කරාවි. ඒක ගැන මට කිසි සැකයක් නෑ. මට කියන්න ඕන වුණේ මේ කිසිදේකට මගේ සම්බන්ධයක් නෑ කියන එකයි. මමත් මකුළු දැලේ පැටලුණ එක කෘමියෙක් විතරයි. මගෙත් එක්ක තරහා වෙන්න එපා මචං. මේත් එක්ක මගේ ෆෝන් නම්බර් එකත් එවනවා. ඕන වෙලාවක කෝල් කරපං. දැන් කොහොමත් අමොර් එක්ක පැටලුණ ඔක්කොටම එකට එක්කහු වෙලා තමයි මේ උගුලෙන් ගොඩ එන්න වෙන්නේ. ඒකට උඹේ අකමැත්තක් නැතුව ඇති කියලා මම හිතනවා.

ආයෙත් කියන්නේ සොරි මචං, මම හිතලා කිසි වරදක් කළේ නෑ. උඹේ ෆෝන් එකේ බැකප් අමොර් ළඟ තියෙනවා කියන එක ඇත්තක්. ෆෝන් කඩේ මිනිහගේ ෆෝන් එකත් අමොර් හොරකම් කරගෙනයි ආවේ. මේවා මගේ වයිෆ් දැන ගත්තොත් මගේ ජීවිතේම ඉවරයි මචං. උඹටත් මාව බේර ගන්න පුළුවන් තැනක් ආවොත් බේර ගනින්.

වික්‍රම්

066066777766

 

වික්‍රම් ආයෙත් කල්පනාවට වැ‍ටුණා. ඒ අතරේ ජෝන් ස්නෝ කෝල් කරනවා. වික්‍රම් ජෝන් ස්නෝගෙ නම දිහා බලාගෙන ටිකක් වෙලා හිටියා. ඊට පස්සේ කෝල් එක කට් කළා. ජෝන් ස්නෝ ආයෙත් රින්ග් කරන්න පටන් ගත්තා. ඒ පාරත් වික්‍රම් කෝල් එක කට් කරලා කාමරේට දිව්වා. පරණ ට්‍රැවලින් බෑග් එකක් අවුස්සලා ප්‍රමාණයෙන් කුඩා මිකී මවුස් ෆෝන් එකක් ගත්තා. ඒකෙ බැටරිය බැහැලා. ආයෙත් ලාච්චු අවුස්සලා පරණ චාජර් එකක් හොයාගෙන මිකී මවුස්ව චාජ් කරන්න පටන් ගත්තා.

'හරි සීයට දහයයි'

වික්‍රම් තමන්ටම මුමුණ ගන්න ගමන් කන්ටැක්ට් ලිස්ට් එකෙන් ජෝන් ස්නෝව හොයන්න පටන් ගත්තා.

'කෝ...කෝ...ජෝන් ස්නෝ....හැම එකාම ඉන්නවා ඌ නැද්ද මන්දා. '

වික්‍රම් නම් ගොඩාක් ස්ක්‍රොල් කරමින් තනියෙම කියවනවා. අන්තිමට ජෝන් ස්නෝ ගෙ නම සිංහලෙන් ටයිප් කරලයි සේව් කරලා තියෙන්නෙ කියලා දැක්කම වික්‍රම්ට හීන් හිනාවක් ගියා.

'මචං, ස්නෝ....මම වික්‍රම්. සොරි මචං උඹේ කෝල් එක කට් කළාට. ඔව්. ඔව්. මමයි කට් කළේ. ඒකෙ කෝල් රෙකෝඩින් දාලා බං. මගේ ලිලී ඩ්‍රයිව් එකේ ඔක්කොම සේව් වෙනවා. සේෆ් නෑනෙ බං කතා කරන එක. ඒකයි ඒක කට් කළේ.

මොකක්? අමොර් කතා කළා උඹට? කවදද? මොනවද කිව්වේ?'

ලිලී බී එක්ස් ඇද උඩ හරිබරි ගැහිලා කතාවට ඇහුම්කන් දුන්නා.

'බොරු මචං ඔය. මම එහෙම කිසි දෙයක් කළේ නෑ. උඹලටත් ඉතිං ගෑනියෙක් මොනවා හරි කිව්වම හරි විස්වාසයි. එකට බඩ බැඳන් ඉන්න යාළුවො කිව්වම තමයි බොරු. මම මොකටද බං බියංකා එක්ක බීච් පාර්ටි යන්නේ? අනික ජංගල් බීච්.....උඹ දන්නවනේ මම එච්චර අවධානම් වැඩ නොකරන බව.'

ලිලී බී එක්ස් එතකොටත් වික්‍රම්ගෙ ඊමේල් බලන්න පටන් අරන් තිබ්බේ. කොහොමත් වික්‍රම් රහස් රකින්න දක්ෂයි කියලා ලිලී බී දැනගෙන හිටියා. අනිත් එක වික්‍රම් මොළකාරයා. එක, එක දේවල් ෆෝල්ඩර්වල සේව් කරගෙන තියාගෙන ඉදලා පස්සට දුක් වෙන කෙනෙකුත් නෙවෙයි. පාස්කෝඩ් එකක් දැම්මත් ඒක සතියකට පාරක්වත් මාරු කරලා ෆෝන් එක අවුල් කරන්න වික්‍රම් දැනගෙන හිටියා. පහුගිය මාසෙටම පාස්කෝඩ්, පාස්වර්ඩ් කී පාරක් මාරු කළා ද කියන්න ලිලී බී ටවත් මතක නෑ.

'මේ මිනිහා කොහොම මේවා මතක තියා ගන්නවද මන්දා!!'

නිතර පාස්වර්ඩ් මාරු කිරිල්ල නිසා ඔළුවෙ කැක්කුම හැදිලා හිටිය ලිලී තනියෙම කියවන්න ගත්තා.

වැදගත්ම දේ කියන්න ජෝන් ස්නෝ ටිකක් වෙලා ගත්තා. ඒක කියපු ගමන්ම වික්‍රම්ට කෑ ගැස්සුණා. මිකී මවුස්ව අතෑරුණා. ඩෝං!! ගාලා ෆෝන් එක ඇද පල්ලට වැ‍ටුණා. වික්‍රම්ගෙ ඇස් ගොරක ගෙඩි වගේ වුණා. යකෙක් දැක්ක වගේ ඇග ගැහෙන්න වුණා. ඊට පස්සේ සිහි එලවගෙන වගේ ලිලී බී එක්ස්ව ඔබන්න වුණා. වික්‍රම්ගෙ මේල් එකට එවලා තිබුණ ලින්ක් එක ඒ වෙනකොටත් ලිලී බී එක්ස් බලලයි තිබ්බේ. ඒකෙ මාතෘකාව තිබ්බෙ මෙහෙම.

'ලීක් වුණ වීඩියෝව බලන්න මෙතනට යන්න'

කාංචනා අමිලානි

@moogater


නව අදහස දක්වන්න

Or log in with...