පාගලා යා හැකි හැටේ | දිනමිණ

පාගලා යා හැකි හැටේ

“මම මේ වාහනේ පදවන්නේ සෞදි අරාබියේ කියලා මට විශ්වාස කරන්නත් බැහැ. මම කවදාවත් හිතුවේ නැහැ මට මේ වගේ දෙයක් මේ රටේදී කරන්න පුළුවන් වෙයි කියලා. “

පසුගිය ජුනි 24දා සෞදි කාන්තාවන්ට රිය මේ තහනම ඉවත් කිරීමෙන් පසු සෞදි කාන්තාවක කියා තිබුණේ එසේය. එය, ඇය වැනි දහස් සංඛ්‍යාත සෞදි කාන්තාවන්ගේ සිත් තුළ තෙරපෙමින් තිබූ අප්‍රකාශිත හැඟීමක නියෝජනයකි. කාන්තාවන්ට රිය පැදවීමට වාරණයක් මේ වන තෙක් ක්‍රියාත්මක වෙමින් තිබූණේ සෞදි අරාබියේ පමණි. ඊට එරෙහිව කාන්තා විරෝධතා ආරම්භ වූයේ 1990 වකවානුවේ සිටය. කාන්තා ක්‍රියාකාරිනියන් එලෙස අරගල කළේ රිය පැදවීමේ අයිතිය ලබාගැනීමට මෙන්ම සෞදි අරාබියේ ක්‍රියාත්මක වන පුරුෂ භාරකාරත්ව නීතියටද විරෝධය ප්‍රකාශ කිරීමේ අරමුණිනි. තම අයීතීන් ගැන කතා කිරීම පවා සිහිනයක් වූ සෞදි කාන්තාවනට රිය පැදවීමේ අයිතිය ලැබීමම සෞදි කාන්තාවන් ලැබූ දැවැන්ත ජයග්‍රහණයකි. එහෙත් සෞදි ඉතිහාසයේ දැවැන්තම කඩඉමක් සටහන් කරන මෙම විජයග්‍රහණය වෙනුවෙන් කැපවූ ඇතැම් ක්‍රියාකාරිනියන් තවමත් සිටින්නේ සිරමැදිරිවල ය.ඉකුත් මැයි මාසයේදී සෞදි රජය සෞදි කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නැඟූ ක්‍රියාකාරිනියන් එකොළොස්දෙනකු අත්අඩංගුවට ගන්නේ විදේශීය බලවේග සමඟ එක්වී රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වල නිරතවූ බවට චෝදනා එල්ල කරමිනි. මින් නවදෙනකු සෞදි අපරාධ අධිකරණයට පමුණු වීමට නියමිතව සිටින අතර, යම් හෙයකින් ඔවුන් වරදකරුවන් බවට තීන්දු වුවහොත් විසි වසරක් දක්වා සිරගෙට නියම වීම අනිවාර්ය ය.

අත්අඩංගුවට නොගැනුණු ක්‍රියාකාරීන් සම්බන්ධයෙන්ද දැඩි ක්‍රියාමාර්ග සෞදි රජය මොවුන්ට රට තුළ සංචාරය පවා තහනම් කොට ඇතිවා පමණක් නොව, රිය පැදවීමට තිබූ වාරණය ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් පලකිරීමට එරෙහිවද දැඩි අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.

කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නැඟූ ක්‍රියාකාරිනියන්ට එවන් කුඩම්මා සැලකුම් දෙද්දී සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන් කුමරු කියන්නේ වහෙන් ඔරෝ කතාවකි. සෞදියේ එතෙක් කලක් පැවති ගතානුගතික දැඩි මතධාරී සංස්කෘතිය නූතනකරණය කිරීමේ දැඩි අවශ්‍යතාව ගැන නිතර උද්යෝගයෙන් කතා කරන සෞදි ඔටුන්න හිමි සල්මන් කුමරු තමාගේ ප්‍රතිරූපය ලෝකය හමුවේ ප්‍රකට කරන්නේ ප්‍රතිසංස්කරණවාදියකු ලෙසයි. නමුත් ක්‍රියාකාරින් මර්දනය කිරීම ගැන කට හොල්ලන්නේ නැත.

“සෞදි කුමාරයා එක් පැත්තකින් නූතනවාදී ප්‍රතිසංස්කරණවාදියකු විදිහට පෙනී ඉන්නවා. නමුත් අනෙක් පැත්තෙන් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත්, විරුද්ධවාදිනුත් මර්දනය කරනවා. ප්‍රතිසංස්කරණ වෙනුවෙන් හඬ නඟන සාමකාමී ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගනිද්දී තමා ප්‍රතිසංස්කරණවාදියෙක් කියලා හඳුන්වන්න එයාට පුළුවන්කමක් නැහැ“

එලෙස කියන්නේ ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ මැදපෙරදිග කලාප ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වන ‘ සාමා හසිඩ්ය.‘

සෞදි කාන්තාවෝ දශක ගණනාවකට පසුව රිය පැදවීමේ ප්‍රීතිය භුක්ති විඳිති‍. එක් සෞදි ගායිකාවක විසින් රිය පැදවීමේ අවසර ලැබීමේ ප්‍රීතිය සැමරීම සඳහා නවතම ගීතයක් නිකුත් කිරීම ගැනද වාර්තාවී තිබිණි. අපි වෙනුවෙන් අපි කියා හිරබතේ රස විඳින සෞදි ක්‍රියාකාරිනියන් අතර ප්‍රමුඛයන් කිහිපදෙනෙකුයි මේ.

සෞදි කාන්තාවන්ගේ රිය පැදවීමේ අයිතිය වෙනුවෙන් කැපීපෙනෙන මෙහෙයක් ඉටු කරන ලුජේන් අල් හත්ලූල් ජාත්‍යන්තරයේද ප්‍රකට ක්‍රියාකාරිනියකි . මුලින්ම 2014 වසරේ අත්අඩංගුවට පත්වූ ඇය සමස්ත ජාත්‍යන්තරයේම අවධානය දිනා ගැනීමට සමත් වූයේ තම අත්අඩංගුවට ගැනීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම නිසාය. තමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දේශසීමාව පසුකොට සෞදි අරාබියට රිය පදවාගෙන එන අයුරු දැක්වෙන විඩියෝපටයක් ඇය යූ ටියුබ් වෙබ් අඩවියට මුදා හැරියාය. මේ වන විට එය නරඹා ඇති පිරිස මිලියනයක් ඉක්මවා තිබේ. ඉන් නොනැවතුණු ඇය එම උත්සාහය අතරවාරයේ රිය පැදවීමේ වාරණය කඩකිරීමේ වරදට අත්අඩංගුවට පත්වු ආකාරය පවා ට්විටර් හරහා සජිවිව බෙදා හදා ගත්තාය. 2015 වසරේදී ඉතිහාසයේ ප්‍රථම වරට සෞදි කාන්තාවන්ට ඡන්දය ඉල්ලීමටත්, ඡන්දය භාවිතා කිරීමටත් අවසර ලැබෙද්දී මැතිවරණයටද ඉදිරිපත් වූ ඇය නමුත් ඇගේ අපේක්ෂකත්වය අවලංගු කෙරුණේ ඇය ස්ත්‍රීවාදී ක්‍රියාකාරිනියක වූ නිසා ය.

“කාන්තාවන්ට සලකන්න ඕනේ සම්පූර්ණ සිවිල් වැසියන් විදිහට. නැතිනම් ඒක කාන්තාවන්ට විතරක් නෙවෙයි පිරිමින්ටත් ප්‍රශ්නයක්“ ඒ හැට හැවිරිදි විශ්‍රාමික පරිගණක විද්‍යා මහාචාර්යවරියක වන අසීෆා අල් යුසුෆ් එසේ පවසන්නීය.. සෞදි අරාබි කාන්තාවන්ට අදටත් ක්‍රියාත්මක වන පුරුෂ භාරකාරත්ව නීතියට එරෙහිව එළිපිටම විරෝධය පාන ඇය කාන්තාවකට සිය ජීවිතය සම්බන්ධ තීරණ ගැනීමේදීත්, කටයුතු කිරීමේදීත්, සංචාරය, උසස් අධ්‍යාපනය හා වෛද්‍ය සේවා ලබාගැනීම සම්බන්ධයේදීත් සිය භාරකාර පුරුෂයාගේ අවසරය පැතීමට සිදුවීමට එරෙහිව එරෙහිව 2016 වසරේදී අන්තර්ජාලය ඔස්සේ සකස්කළ පෙත්සමකට අත්සන් දාහතරදහසක් ලැබී තිබිණි. එය තමාම සෞදි රජුට ඉදිරිපත් කිරීමට අසීෆාට අවශ්‍ය වුවත් ඊට ඉඩක් ලැබුණේ නැත. 2013 වසරේදී ඇය අත්අඩංගුවට පත්වූයේ රියාද් නුවරදී රිය පැදවීමේ වරදටය"

“අපේ අයිතින් ලබාදෙනකම් බලා ඉඳලා අපට ඇතිවෙලයි තියෙන්නේ. දැන් අපේ අයිතීන් අපේ අතට ගන්න ඕනේ කාලය තමයි “ ඇය සී.එන්.එන්. ප්‍රවෘත්ති නාලිකාවට එලෙස කියා තිබූණේ අත්අඩංගුවට පත්වත්දීය.

මැයි 15දා සෞදි කාන්තා ක්‍රියාකාරිනියන් මර්දනය හා වැටලීම ඇරඹුණු දින සිට බ්ලොග් රචිකාවියක වන එමාන් අල් නෆ්ජාන්ගේ වෙබ් අඩවිය නිහඬය. සෞදි අරාබි සමාජ හා දේශපාලනික අර්බුදවල සිට 2016 ඇමරිකානු ජනපතිවරණය දක්වා පරාසයක විහිදුණු මාතෘකා පිළිබඳ ගවේෂණයේ යෙදුණු නෆ්ජාන්ගෙ ද්විභාෂා ප්‍රකාශනවලින් සෘජුවම පහර කෑවේ සෞදි රජයයි. ක්ෂමා සංවිධානයට අනුව පසුගිය මැයි මාසයේදී ඇය අත්අඩංගුවට ගෙන ප්‍රශ්නකිරීම්වලට ලක් කළේත්, හිංසනයට ලක් කළේත් මානව අයිතීන් වෙනුවෙන් ඇය හඬ නැඟීම නිසාය. 2017 දී පැවති ‘ඔක්තෝබර් 26 කාන්තා රිය පැදවීමේ ව්‍යාපාරයේ‘ සංවිධායකවරිය වීම හේතුවෙන්ද ඇය සෞදි රජයේ අප්‍රසාදයට ලක්ව සිටියාගේ. ඒ හැරුණු කල ඇය අරාබියෙන් මෙන්ම ඉංග්‍රීසියෙන්ද පළකළ බ්ලොග් ලියවිලි නිසාවෙන් ජාත්‍යන්තරයට සෘජුවම සබඳතා පැවැත්විය හැකි තැනැත්තියක ලෙසද නෆ්ජාන් ප්‍රකටව සිටියා ය. ක්ෂමා සංවිධානයට අනුව ඇය අත්අඩංගුවට පත්වීමට එයද එක් හේතුවක්ව තිබේ.

“එක වචනයකින් සෞදි කාන්තාවක වීම මොනවගේ අත්දැකීමක්ද කියලා විස්තර කරනවා නම් ඒකට වචනය තමයි ‘අවමානය‘.“

2013 වසරේදී ක්ෂමා සංවිධානය වෙනුවෙන් ලියූ ලිපියක නෆ්ජාන් එසේ සටහන් කර තිබූණාය. සැබවින්ම සෞදි කාන්තාවකගේ ඉරණම කියාපාන්නට ඊට වඩා හොඳ පැහැදිලි කිරීමක් තවත් කුමටද ?

රුක්ලන්ති පෙරේරා


නව අදහස දක්වන්න