ගෝරි මැද හීන | දිනමිණ

ගෝරි මැද හීන

දකුණු සුඩානයෙහි සිවිල් යුද තත්ත්වයන් හේතුවෙන් මිනිසුන් බොහෝමයකට වන්දි ගෙවීමට සිදු විය. දරිද්‍රතාවයෙන් මිරිකුණු ගම්මානවල ජීවත්වන මිනිසුන්ගේ දෛනික ජීවිතවලට මින් සිදු වූ බලපෑම සුළුපටු නොවේ. අධ්‍යපනය අතරමඟ නතර කර දමා ළමා කාලයේදී ම විවාහ දිවියට එළබි මවුවරුන් පිළිබඳව බ්‍රිතාන්‍යයේ ඡායාරූප මාධ්‍යවේදියකු වන කේට් හොල්ට් විසින් සකස් කළ ඡායාරූප පෙළක් සහිත සටහනක් පසුගිය දිනක වාර්තා වී තිබිණි.

වර්තමානයේ දී අධික කුසගින්න, අධ්‍යාපනය අහිමි වීම, ළමා විවාහය, හා අඩු වයසින් ගැබ් ගැනීම, වැනි ගැටලුකාරී තත්ත්වයන්ට සුඩානයේ නව යොවුන් වියේ තරුණියන් මුහුණ දෙති . මෙම තරුණියන් කොපමණ දරිද්‍රතාවයන්ගෙන් සහ මානසික ව්‍යාකූල තත්ත්වයන්ගෙන් පීඩා වින්ද ද ඔවුන් තම දරුවන්ගේ අනාගතය පිළිබඳව සොඳුරු සිහින දකිමින් සිටින බව ඔවුන් සමඟ කථා කිරීමෙන් ‍කේට් ට දැන ගැනීමට හැකි වී ඇත.

දොළොස් හැවිරිදි මොනිකාට සහෝදරියන් දෙදෙනෙක් සහ සහෝදරයන් දෙදෙනෙක් සීටී. ඇය සුඩානයේ රුම්බික් ප්‍රදේශයේ ජීවත් වන්නේ මවගේ රැකවරණය මත ය. මොනිකාට සහ ඇගේ සහෝදර සහෝදරියන්ට පාසල් යාමට ආර්ථික පහසුකමක් නොමැත. මොනිකාගේ මව කුලී වැඩ කරමින් උපයන මුදල වැඩි වශයෙන් වියදම් කරන්නේ රෝහල්ගත වී සිටින මොනිකාගේ පියා වෙනුවෙනි. මොනිකාට ආහාර හිමි වන්නේ දිනකට දෙවරකි. “ මම බඩගින්නේ සිටින විට මාගේ උදරයේ වේදනාවක් ඇති වනවා. ඒ හින්දා මට කුසගින්නේ ඉන්නට බැහැ . ඒ වුණත් අපේ පවුලේ අනෙක් පුද්ගලයින්ට වඩා මම ශක්තිමත් කියලා මම හිතනවා . මම පාසල් යන්න කැමතියි. මම පාසලේ දී ඉගෙන ගැනීමට කැමතිම විෂය තමයි ඉංග්‍රීසි. මම පසැල් අධ්‍යපනය දීර්ඝකාලීනව ලබා ගැනීමට නොහැකි වුණත් මම කැමතියි මගේ අනාගතය ලස්සන කර ගන්න. ඒ වුණත් මගේ අම්මා මාව පාසල් කාලයේ දීම විවාහ කර දීමට සුදානමිනුයි සිටින්නේ . ඒ ගැන මම බොහෝ කනගාටු වනවා “ යනුවෙන් මොනිකා ප්‍රකාශ කළා ය.

පහළොස් හැවිරිදි අකුජාන් පසුගිය අවුරුද්දේ ජනවාරි මාසයේ දී විවාහ වී තිබේ.“ මම විවාහ වූණේ අවුරුදු දහහතරේදීයි . මගේ සැමියට අවුරුදු දහ අටයි. මම තමයි මගේ සැමියගේ ප්‍රථම භාර්යාව. මම පවුලේ වැඩිමහල් ගැහැනු දරුවා.ඒ හින්දා මම කුඩා කාලයේ සිටම උයන්න , වැඩ කරන්න ,පුරුදු වුණා.මට පාසැල් ගමනත් මඟ හැරුණා. මම විවාහ වු‍ණේ මගේ කැමැත්තෙන් නෙවෙයි. නමුත් මම මගේ සැමියත් සමඟ සතුටින් කාලය ගත කරනවා. මට ඔහු හොඳින් සළකනවා.දැන් මගේ දරුවාට මාස හතරයි. අපිට තිබෙන ලොකුම ගැටලුව තමයි වැස්ස නොලැබීම . ඒ නිසා අපිට වගා කරලා ආහාර පරිභෝජනය කරන්න වෙන්නේ නැහැ. මට ආහාර දෙන්න මගේ පවුලේ සමජිකයින්ට හැකියාවක් නැහැ . මම දැන් ගත කරන ජීවිතය ගැනවත්, මට අහාර නොමැතිකම ගැනවත් මම දුක් වෙන්නේ නැහැ. මම ඉදිරි කාලයේ දී කොහේ හෝ කුලී වැඩ කරලා අහාර සපයා ගන්නවා. මගේ අනාගත බලාපොරොත්තුව තමයි මගේ දරුවාට පාසැල් අධ්‍යාපනය ලබා දීම.“ යනුවෙන් ප්‍රකාශ කළා ය. අකුජාන්ට ගැබිණි සමයේදී ද නිසි පරිදි ආහාර හිමි වී නැත. ඇය බෙහෝ දිනයන්හීදී නිරාහාරව සිට ඇත. තම දරුවාට කිරි පෙවීම සඳහා ඇයට කිරි එරී නොතිබී ඇත්තේ නිසි පෝෂණයක් නොතිබීම හේතුකොට ගෙන ය. ඇගේ දරුවා කුසගින්න දැණුණු විට හැඩූව ද ඔහුට කිරි පෙවීමට අකුජාන්ට පුළුවන්කමක් නැත. ඒ හේතුවෙන් ඇය සුළු ආහාරයක් ගෙන තම දරුවට ද ඉන් ස්වල්පයක් කවන්නී ය.

දහ හතර වියෙහි සිටින හේලේනා පාසැල් අධ්‍යපනය මඟ හැරීම පිළිබඳව දුක් වන්නී ය. ඇගේ අනාගත බලාපොරොත්තුව ඉදිරි කාලයේ දී කෙසේ හෝ ඉගෙනීමට ය. ඇය සිතන්නේ පාසැල් අධ්‍යාපනය හිමි කර ගන්නට සිදු වූවා නම් ඇගේ ජීවිතය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබෙන බව ය. ඒ හේතුවෙන් ඇය නව යොවුන් වියේ දරුවකුට පසැල් අධ්‍යපනය වඩාත් වටිනා දෙයක් බව මාධ්‍යට ප්‍රකාශ කළා ය.

අවුරුදු දහ හතක් වන රොසීනා රුම්බික් ප්‍රදේශයට පැමිණියේ පාසැල් යාමට ය. එහෙත් ඇගේ නැන්දනිය විසින් ඇගේ පාසැල් ගමන අතරමඟ නතර කර දමා රොසීනාගේ උපන් ගමට ගෙන ගියේ විවාහ කර දීම සඳහා ය. රොසීනා ඇගේ ඥාති සහෝදරයකුට විවාහ කර දීමට යන අවස්ථාවේ දී එයට අකමැති විය.ඉන් පසු ඇයගේ ඥාති සහෝදරියක විසින් ඇයට වෙඩි තබා තිබේ. ඉන් ඇගේ දකුණු පාදය තරමක් අකර්මණ්‍ය වීමෙන් දින කිහිපයක් රෝහලේ සිටීමට සිදු විය. “'මම පාසලෙන් පිටව යන විට හිතුවා අනාගතයේ දිනක වෛද්‍යවරයකු වනවා කියලා. ඒත් මම අද මගේ පවුලේ සමාජිකයින් මට කළ දේ ගැන පසුතැවිලි වනවා. “ යනුවෙන් රොසීනා ප්‍රකාශ කළා ය. ඇය අද වන විටත් පාසල් පොත් කිහිපයක් ගෙන නිවසේ සිට පාඩම් කිරීමට පෙළබී සිටින්නේ කවදා හෝ දිනක දුප්පත්කම තුරන් කිරීමේ අධිෂ්ඨානයෙන් යුක්තව ය.

තේ කඩයක සේවය කරමින් දහසය හැවිරිදි හේලේනා තම පවුලේ ආර්ථික මට්ටම ශක්තිමත් කිරීම සඳහා දායක වන්නී ය. ඇයට බාල සහෝදරයන් සතරදෙනකු සිටී. හේලේනාගේ මව අන්ධභාවයට පත් වී ඇත්තේ ඇයට අවුරුදු හතරක් ගත වෙද්දී ය. ඇගේ පියා ද මිය ගොස් ඇත්තේ දරිද්‍රතාවය හේතුකොට ගෙන ය.“ මම කෙසේ හෝ සහෝදරයන් පාසැල් යැවීම සිදු කරනවා. මට බැරි වුණ දේ ඔවුන් කරනවට මම කැමතියි. මම කැමතියි මගේ සහෝදරයින් රැකියා කරලා ඔවුන්ගේ ජීවිත සවිමත් කර දෙන්න . ඒ සඳහා මගේ උපරිම සහයෝගය ඔවුන්ට ලබා දෙනවා.“ යනුවෙන් හේලේනා ප්‍රකාශ කළා ය.

පහළොස් හැවිරිදි මේරි තම පියා සමඟ ගොවිපොළක් පවත්වා ගෙන යන්නීය. ඇය තම පියා විසින් සපයන බීජ වගා කරමින් එදිනෙදා දිවිය සරිකර ගැනීමට වෙහෙසෙන්නී ය. ජීවනෝපාය හේතුවෙන් පාසැල් ගමන අතරමඟ නතර කරලීමට සිදු වුණු ඇය නුදුරු දිනයක දීම විවාහ වීමට සූදානම් වන්නේ තම පියාගේ ඉල්ලීමකට අනුව ය.

“අපේ පවුල පිහිටා තිබෙන්නේ වනාන්තරයක් සමීපයේ නිසා අපි දිනකට දෙවරක් අහාර ලබා ගන්න පුළුවන්. ඒ නිසා දැන් අපේ තත්ත්වය හොඳයි. අපේ පවුලේ දැන් ආර්ථික මට්ටම තරමක් හොඳ නිසා මගේ පියා මාව විවාහ කර දීමටයි සිටින්නේ . ඒත් මට අවශ්‍ය වන්නේ විවාහ වීමට ප්‍රථමයෙන් මගේ අධ්‍යාපන කටයුතු අවසන් කර ගන්නයි. මම කැමතියි මගේ දරුවන්ට හොඳ ජීවිතයක් ලබා දෙන්න. “ යනුවෙන් මේරි ප්‍රකාශ කළා ය.

තම පියා සමඟ රටකජු වගාව ආරම්භ කරමින් ජීවිකා වෘත්තීය කර ගෙන යන පහළොස් හැවිරිදි හේලේනා ද නුදුරු දිනකදී විවාහ වීමට යන්නේ තම පියාගේ තනි කැමැත්තට අනුව ය. ඊට එරෙහි වීමට ඇයට හැකියාවක් නොමැත. “මම දන්නවා මගේ අධ්‍යාපනය අවසන් වීමට ප්‍රථමයෙන් මගේ පියා මාව විවාහ කර දෙන බව. පාසලේ දී මගේ ප්‍රියතම විෂයන් තමයි ආගමික අධ්‍යාපනය සහ විද්‍යාව“ යනුවෙන් ඇය ප්‍රකාශ කළා ය.

පසුගිය වසරේ DEC නමැති ජාත්‍යන්තර ආධාර ව්‍යපෘතිය මඟින් දකුණු සුඩානයේ දරිද්‍රතාවයෙන් පෙළෙන නියඟයෙන් පීඩා විඳින පවුල් වෙනුවෙන් වගා කිරීමට බීජ සහ මෙවලම් ලබා දී තිබේ. ඒ හේතුවෙන් මෙම පවුල්වලට අද වන විට යම් තරමකින් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට හැකි වී තිබේ. එලෙස ආර්ථිකය ස්ථාවර කර ගත් බෙහෝ දරුවන්ට නැවත පාසැල් යාමට අවස්ථාව හිමි විය. එහෙත් ඔවුන්ට තම මවුපියන්ගේ ඉල්ලීම්වලට අනුව ළාබාල කාලයේ දී විවාහ වීම නැවැත්වීමට නොහැකි වී ඇත. ඒ කෙසේ වුවත් දරිද්‍රතාවය, ළමා කාලය නිසි පරිදි ගත කිරීමට නෙහැකි වීම යන කාරණා හේතුවෙන් දීර්ඝ කාලීන දුක්ඛිත ජීවිත ගත කරන නව යොවුන් වියේ දරුවන් දකුණු සුඩානයේ කැපී පෙනෙන පිරිසක් වී ඇති බව කේට් සිය සංචාරක සටහන්වලින් පෙන්වා දී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

අන්තර්ජාලය ඇසුරිණි.

මදාරා මුදලිගේ


නව අදහස දක්වන්න