ළමයි ගිය‍ා ලෙන වැහුණා | දිනමිණ

ළමයි ගිය‍ා ලෙන වැහුණා

මංජුලා විජයරත්න

පිරිස සිර වී සිටින ස්ථානයට යාමට සිදුවන්නේ අතිශ‍ය පටු මඟක් ඔස්සේය. මේ නිසා කිමිදුම්කරුවන්ට, පිරිස සිටින ස්ථානයට ළඟා වී ඔවුන් පිටතට රැගෙන එන්නට හැකියාවක් නැත. ඔවුන් බැහැරට පැමිණිය යුතු මාර්ගය ඇතැම් තැනෙකදී, ඔක්සිජන් ටැංකියක් සහිතව එක් අයකුට කිමිදීම වුව දුෂ්කරය. සිරවී සිටින පිරිසෙන් බොහෝ දෙනෙක් පිහිනීම ගැන කිසිවක්ම නොදන්නා නිසා බේරාගැනීමේ මෙහෙයුමේ විශේෂඥයන්ට, ලෙන ද්වාරයේ සිට ඔවුනට පිහිනුම් සහ කිමිදුම් පුහුණුවක් ලබාදෙන්නට සිදුව තිබේ.

වයස අවුරුදු 11ත් 16ත් අතර ගැටවරයන් දොළොස් දෙනෙක් සහ තරුණ පුහුණුකරුවෙක් සහිත තායිලන්ත පාපන්දු කණ්ඩායමක් ගල් ගුහාවක සිරව සිටිති. මේ කණගාටුදායක සිද්ධිය වාර්තා වන්නේ තායිලන්තයේ උතුරු දිග චියැන්ග් රායි ප්‍රදේශයෙනි. දරුවන් දොළොස්දෙනා සහ විසිපස් හැවිරිදි පුහුණුකරු තම්ග් ලුවැන්ග් ගල් ගුහාව තුළට පිවිස තිබෙන්නේ පසුගිය 23වැනිදා ය. 'වයිල්ඩ් බෝර්' හෙවත් 'වල් ඌරන්' යනුවෙන් හැඳින්වෙන මේ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් තමන්ගේ පාපැදි ආසන්නයේ නවතා තබා ලෙනට ගල් ගුහාව තුළට පිවිසීමෙන් අනතුරුව පිටතට පැමිණෙන මඟක් සොයාගත නොහැකි වී ඇත. ඒ වනවිට ප්‍රදේශයේ පැවැති ධාරානිපාත වැසි සහිත කාලගුණ තත්ත්වයකි. හේතුවෙන් ගල් ගුහාව අවට ප්‍රදේශය ජලයෙන් යට වන්නට පටන් ගෙන ඇත. ගල් ලෙන තුළ ඇති පටු මාර්ගයකින් ගමන් කිරීම නිසා සිර වීමෙන්ද, එතුළ පවත්නා දැඩි අඳුර හේතුවෙන්ද තරුණයින් පිරිසට ගුහාවෙන් බැහැරට ඒමේ මඟක් සොයා ගැනීම තවදුරටත් අසීරු වී ඇත. ඔවුන් ගල් ලෙනෙහි සිර වී සිටින බව සොයා ගැනුණේ සිද්ධියෙන් නව වැනි දිනයෙහි ය. පිරිස බේරා ගැනීමේ මෙහෙයුම් අන්තර්ජාතික මට්ටමේ විශේෂඥයන්ගේ ද සහය ඇතිව දැන් ක්‍රියාත්මක කෙරේ.

තායිලන්ත - මියැන්මාර දේශ සීමාවේ පිහිටි තම්ග් ලුවැන්ග් ලෙන හතර අතට විහිදුණූ ලෙන් ජාලයකි. ලෙන් සංකීර්ණය අඩු තරමින් කිලෝමීටර 10ක් තරම්වත් දිගැතිය. එහි ඇතැම් තැනක් ඩොයි නැන්ග් නොන් කඳුකරයේ භූගත ප්‍රදේශ දක්වා දිවෙයි. ලෙනෙහි සමහර තැනක් බෙහෙවින් පටුය. ඒ පටු මාර්ග හරහා ලෙන තුළට ගමන් කිරීම පවා අසීරු බව දැක්වේ. ලෙන කෙතරම් භයානක දැයි කිවහොත් ජූලි සිට නොවැම්බර් දක්වා කාලයේදී එතුළට ඇතුළු නොවන්නැයි අනතුරු ඇඟවෙන පුවරුද රඳවා ඇත. එම කාලයේදී ප්‍රදේශයට බලපාන මෝසම් වර්ෂාව නිසා ය.

තරුණ කණ්ඩායම සිරවී සිටින්නේ පොලොව මතුපිට සිට ඍජුවම සැතපුම් භාගයක් පමණ ගැඹුරකිනි. එසේ වුවත් ඔවුන් ලෙන් ද්වාරය දක්වා පැමිණිය යුත්තේ කිලෝමීටර හතරකට ආසන්න දුරක් මඩ සහිත බොර ජලයේ පිහිනමිනි. ඊට පැය හතරකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි සඳහන් වේ. එසේ නැත‍හොත් හැරුණු විට මේ පිරිස බේරාගත හැකි වන්නේ කඳුකර ප්‍රදේශයෙන් ඍජුවම ඔවුන් සිටින ස්ථානයට කුහරයක් තැනීමෙන් පමණි. එවැන්නක් ප්‍රායෝගික නොවන බව මෙහෙයුම් භාර විශේෂඥයෝ පෙන්වා දෙති. වාර්තාවන්හි දැක්වෙන අන්දමට ලෙන දැන් තිබෙන්නේ අඩි දහසයක් පමණ ඉහළට එසවුණු මඩ සහිත ජල කඳක් මධ්‍යයේය.

තරුණයන් පිරිස මේ භයානක ලෙනෙහි සිරවී සිටින ස්ථානය නිශ්චිතවම සොයාගෙන තිබේ. පිරිස අතරමං වී සිටින ස්ථානයේ උෂ්ණත්වය හොඳ මට්ටමක පැවැතියත් ලෙන අවට ජලය බෙහෙවින්ම ශීතල බව වාර්තා වේ. පවත්නා තත්ත්වය තේරුම් ගෙන තරුණයන් පිරිසට අවශ්‍ය සියලුම පහසුකම් ලෙන තුළට මේ වනවිට ලබාදෙමින් තිබේ. ආහාර පාන, බෙහෙත්, විශේෂ පොරෝනා මෙන්ම පවුල්වල සාමාජිකයන් සමඟ සන්නිවේදන සබඳතා පවත්වන්නට අවශ්‍ය පහසුකම් ද ඒ අතර ප්‍රධානය. තරුණයින්ගේ පවුල්වල සාමාජිකයෝත් මුදාගැනීමේ මෙහෙයුම පවතින ප්‍රදේශවල රැඳී සිටිති. අතිදක්ෂ කිමිදුම්කරුවන්, ලෝක ප්‍රකට ලෙන් ගවේෂකයන්, වෛද්‍යවරුන් දිවා රෑ නොබලා පිරිස මුදාගැනීමේ මෙහෙයුමට සම්බන්ධව සිටියද සිරවූවන් බැහැරට රැගෙන ඒම බෙහෙවින්ම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වේ. පිරිස සිරවී සිටින ස්ථානය ජලයෙන් යට නොවී පැවතියත් ලෙනෙහි සෑහෙන කොටසක් මේ වනවිට ජලයෙන් යට වී පැවතීම ඊට ප්‍රධානම හේතුවයි. ලෙන තුළ සහ අවට ඇති එම ජල කඳ පොම්ප ආධාරයෙන් ඉවත් කරනු ලැබේ. විදෙස් වාර්තා පෙන්වා දෙන අන්දමට පැයකට වරක් ජලය ලීටර දස දහස් ගණනක් ඉවත් කිරීමේ කාර්යය තායි හමුදා සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් කෙරුණ ද ප්‍රදේශයට මෝසම් වර්ෂාව නොනවත්වා ඇද හැලෙමින් තිබෙන නිසා ජලය ඉවත් කිරීම, ලෙහෙනියක නඟුටෙන් මුහුද ඉසින්නා වැනි කාර්යයක් වී ඇත. මෝසම් තත්ත්වය පහව යන්නේ ඔක්තෝබර් අග භාගයේ ය. ලෙනට කොටුවූවන් බැහැරට ගැනීම එවැනි තත්ත්වයක් යටතේ මාස ගණනක් වුවත් ප්‍රමාද වන්නට ඉඩ තිබෙන බව මෙහෙයුම් භාර විශේෂඥයෝ පෙන්වා දෙති.

පිරිස සිර වී සිටින ස්ථානයට යාමට සිදුවන්නේ අතිශ‍ය පටු මඟක් ඔස්සේය. මේ නිසා කිමිදුම්කරුවන්ට, පිරිස සිටින ස්ථානයට ළඟා වී ඔවුන් පිටතට රැගෙන එන්නට හැකියාවක් නැත. ඔවුන් බැහැරට පැමිණිය යුතු මාර්ගය ඇතැම් තැනෙකදී, ඔක්සිජන් ටැංකියක් සහිතව එක් අයකුට කිමිදීම වුව දුෂ්කරය. සිරවී සිටින පිරිසෙන් සෑහෙන දෙනෙක් පිහිනීම ගැන කිසිවක්ම නොදන්නා නිසා බේරාගැනීමේ මෙහෙයුමේ විශේෂඥයන්ට, ලෙන ද්වාරයේ සිට ඔවුනට පිහිනුම් සහ කිමිදුම් පුහුණුවක් ලබාදෙන්නට සිදුව තිබේ. එය අතිශයින්ම දුෂ්කර කාර්යයකි. මානසිකව මෙන්ම ශාරීරිකව යම් පමණකට දුර්වලව සිටින මේ තරුණයන්ට, ගොඩ සිට කෙරෙන පිහිනුම් සහ කිමිදුම් පාඩම් කෙතරම් දුරට ග්‍රහණය කරගත හැකිද යන්න ගැටලුවක් වුවත් පිහිනුම් සහ කිමිදුම් පුහුණුව පසුගිය බදාදා සිට ඇරඹුණි. තායි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අනුපොන්ග් පාඕජින්දා පවසන්නේ පිහිනමින් ලෙන් ද්වාරයට පැමිණීම හැර අන්මඟක් මේ තරුණයින්ට නැති බවකි.

තරුණයින් ලෙන් ද්වාරය ආසන්නයට පැමිණි ගස රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදීමට ආසන්නයේ ඇති මියා සියාහි රෝහල සූදානම් කර ඇත. තරුණයන් එහි රැගෙන යෑමේ වගකීම භාර කර තිබෙන්නේ තායි යුද හමුදා සාමාජිකයන්ටය. මේ වනවිටත් තායිලන්තයේ හමුදා 'සීල්' බලකායේ සමන් ගුනන් (38) නමැති කිමිදුම්කරුවා ලෙන් සංකීර්ණයේ සිට ආපසු එමින් සිටියදී මරණයට පත් වී තිබේ. ළමුන්ට ඔක්සිජන් සපයා නැවත එමින් සිටියදී ඔහුට ඔක්සිජන් ප්‍රමාණවත් නොවීමෙන් සිහිසුන්ව මරණයට පත් වී ඇති බව වාර්තා වී ඇත. ගිලන් රථ ආදියත් මේ වනවිට ලෙන ආශ්‍රිත ප්‍රදේශයට රැගෙන ගොස් ඇත. මඩ සහිත කඳුකර මඟක් දිගේ ගිලන් රථ රෝහල දක්වා ධාවනය කළ යුතුව තිබීම ද එය ද අභියෝගයකි.

තම්ග් ලුවැන්ග් ලෙන් ප්‍රදේශයට මේ වනවිට විශාල පිරිසක් ඇදෙමින් සිටිති. මේ පිරිසට ලෙන වෙත ගමන් කිරීමට වනය එළිපෙහෙළි කර මඟක්ද තනා ඇත. පිරිස අතර පාපන්දු කණ්ඩායමේ තරුණයින්ගේ ඥාතීන් ප්‍රධානය. තරුණයින් පිරිස පසුගිය විසි තුන්වැනිදා සිට ආ ගිය අතක් නැති බව දැනගත් මොහොතේ පටන් ඔවුහූ හඬා වැලපෙමින් පසු වූහ. දින නවයකට පසුව ඔවුන්ට සැනසුම් සුසුමක් හෙළිය හැකි වූයේ පිරිස ලෙන තුළට කොටු වී ඇති බව මෙහෙයුම් භාර විශේෂඥයන් තහවුරු කරගැනීමත් සමඟය. මේ ඥාතීන් දැන් ළතැවෙන්නේ කොටු වූ පිරිස කවදා කෙසේ බැහැරට රැගෙන එන්නට හැකිවේදැයි යන සිතුවිල්ලෙනි. සමහර මවුපියන් එහි සිට තම දරුවා කන්නට කැමති කෑම බීම වර්ග සකසමින් වද වීම බෙහෙවින්ම සංවේග ජනකය. ඥාතීන්ට දරුව සමඟ කතා කිරීමට නම් ඉඩ සලසා ඇත. ඥාතීන්ට අමතරව මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත විදෙස් විශේෂඥයෝ, ජාත්‍යන්තර තලයේ මාධ්‍යවේදීහු, පහසුකම් සපයන විවිධ ආයතනවල නිලධාරීහු, තායි හමුදා, සහ දේශපාලනඥයෝ ද එහි වෙති. කවුරුත් විශ්වාස කරන්නේ අඩු තරමින් මාස හතරකට පසුවවත් මේ පිරිස නිරුපද්‍රිතව ලෙනෙන් බැහැරට ගත හැකි වෙතැයි කියාය.

mail online ඇසුරෙනි


නව අදහස දක්වන්න