සමූපකාර ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා වැදගත් තීරණ රැසක් ගන්නවා | දිනමිණ

සමූපකාර ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා වැදගත් තීරණ රැසක් ගන්නවා

ජගත් සමූපකාර දින ජාතික උළෙලේදී ජනපති කියයි

සමුපකාර ක්ෂේත්‍රයේ ප්‍රගතිය වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසකට ඉදිරි මාස කිහිපය තුළ එළැඹෙන බව ජනාධිපතිවරයා පවසයි.

ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ අදහස් සහ යෝජනා සැලකිල්ලට ගනිමින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පෙරේදා (07) පස්වරුවේ මඩකළපුව වෙබර් ක්‍රිඩාංගණයේ පැවැති 96 වන ජාත්‍යන්තර සමූපකාර දින ජාතික උත්සවය අමතමිනි. මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සමුපකාර ව්‍යාපාරයේ තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා අදාළ අමාත්‍යාංශය සහ ජාතික සමුපකාර මණ්ඩලය එක්ව මීට වඩා ක්‍රියාකාරි වැඩපිළිවෙළකට එළැඹිය යුතු බවයි.

ලබන මස සිට ජාතික ආර්ථික සභාව සඳහා ද ජාතික සමූකාර මණ්ඩලය සහ එම ක්ෂේත්‍රයේ විද්වතුන් සහභාගී කරවා ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා එහි දී සමූපකාර ව්‍යාපාරය නගා සිටුවීම වෙනුවෙන් ගතයුතු තීන්දු තීරණ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බව ද කියා සිටියේය.

96 වන ජාත්‍යන්තර සමූපකාර දිනය වෙනුවෙන් සකස් කරන ලද සමරු කලාපය සහ සමූපකාර ව්‍යාපාරය පිළිබඳ රචනා කරන ලද පොත් පිංච මෙහි දී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. ජාත්‍යන්තර සමූපකාර දිනය වෙනුවෙන් අන්තර් සමූපකාර සංගම් අතර පැවැති තරඟවල ජයග්‍රාහකයින්ට සම්මාන සහ තිළිණ ප්‍රදානය කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි. ජනාධිපතිවරයා වෙනුවෙන් ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි. අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්, රාජ්‍ය අමාත්‍ය ඒ.එල්.එම්. හිස්බුල්ලා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අමීර් අලී, බුද්ධික පතිරණ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඞී.එන්. රංජිත් අශෝක, ජාතික සමූපකාර මණ්ඩලයේ සභාපති ලලිත් ඒ පීරිස් යන මහත්වරු සහ සමූපකාර ක්ෂේත්‍රයේ දෙස් විදෙස් ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අදහස් 1ක් ඇත

ekakwath karapu dewal nehe. karannayana dewal thamai hemoma katha karanne.

නව අදහස දක්වන්න