'මට වුණු අසාධාරණයට අල්ලස් කොමිසමටත් පැමිණිල්ලක් කළා' | දිනමිණ

'මට වුණු අසාධාරණයට අල්ලස් කොමිසමටත් පැමිණිල්ලක් කළා'

1979.10.28 උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිසියට එක්වන පාලිත 1988 දි පොලිස් පරීක්ෂකවරයකු ලෙසත් 1993 දී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ලෙසත් උසස්වීම් ලැබ බොරැල්ල, අච්චුවේලි, වැලිකඩ, තංගල්ල, අවිස්සාවෙල්ල හා කොල්ලුපිටිය වැනි පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරයකු මෙන්ම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයකු ලෙසද රාජකාරි කළේය.

ඉන් අනතුරුව 2000 වසරේ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙසත් 2008 දී පොලිස් අධිකාරිවරයකු ලෙසත් 2013 දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරටත් උසස් වීම් ලැබූ ඔහු පොලිස් කොට්ඨාශ රැසක් භාරව ක්‍රියා කළේය. කොට්ඨාශ බාර නිලධාරියකු ලෙස වසර හතක් රාජකාරියේ යෙදුණු ඔහුගේ සේවා කාලය වසර 38 කි. වත්මන් කිලිනොච්චි කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඔහුය.

වසර එක හමාරක කාලයක් එම කොට්ඨාසයේ රාජකාරියේ නිරතව සිටින ඔහු සමඟ අප කළ කෙටි පිළිසඳරකි මේ. කලක් කිලිනොච්චිය එල්.ටී.ටි.ඊ. පාලනයට නතුව තිබුණා. එය ඔවුන්ගේ හදවත ලෙස පවත්වාගෙන ගියා. අද තත්ත්වය කෙබඳුද? “ අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. අපි පොලිසිය විදියට රාජකාරි කරනවා වගේම ඒ මිනිස්සුන්ගේ දුකටත් පිහිට වෙනවා.

ඔවුන් වසර ගණනාවක් ත්‍රස්තවාදීන් නිසා දුක් ගැහැට විඳපු කොට්ඨාශයක්. ඒ නිසා ඒ අය මුලින් අපි දිහා බැලුවේ වැරදි විදියට. දැන් ඔවුන් තුළ ඒ තත්ත්වය නැහැ. ඊට හේතුව තමයි අපි ඔවුන් වෙනුවෙන් නොයෙකුත් ක්‍රියාකාරකම් කරනවා.

මේ පළාත්වල ජීවත් වුණු ද්‍රවිඩ පිරිස් බොහොමයකගේ දුවා දරුවන් පාසල් ගියේ නැහැ. ඊට හේතුව යුද්ධයෙන් ඔවුන්ගේ මාපියන් අහිමි වීම, දරිද්‍රතාවය වැනි හේතුන්. පෑනක්,පොතක් තියා ඇඳුමක් ගන්නවත් ඔවුනට ක්‍රමයක් තිබුණේ නැහැ. දත් මදින්න දත් බෙහෙත් නැහැ. අපි ඒ අය තෝරාගෙන ඒ දරුවන්ට උදව් කළා. ඒ අය අද පාසල් යනවා. ඉගෙන ගන්නවා.

ඔබ දකින්න ඇති පසුගියදා මේජර් වරයකුගේ සමු ගැනීමකදී ද්‍රවිඩ වැසියන් ඒ දුක දරාගත නොහැකිව හඬා වැළපුන හැටි. අන්න ඒ ක්‍රියාවම තමයි අපි කිළිනොච්චිය කොට්ඨාශය තුළත් කරන්නේ.“ “ මගේ හොඳ යාළුවෝ ටිකක් කොළඹ ඉන්නවා. මම ඒ අයට මේ දරුවන් විඳින දුක කිව්වා. ඔවුන් සැවොම කැමති වුණා ඒ දරුවන්ට උදව් කරන්න.

අපි දෙමළ දරුවන් වෙනුවෙන් ධර්මපුරම් කියන ගමේ මොන්ටිසෝරියක් ආරම්භ කළා. ඒකේ දැනට ළමයි 70 ක් ඉන්නවා. ඒ ළමයින්ට අවශ්‍ය ඇඳුම්, පොත්පත් සපත්තු, මේස් පවා අපි ලබලා දුන්නා. අද ඒ දරුවන් සතුටින් අධ්‍යාපනය කරනවා.

සමහර දරුවන්ගේ මාපියන් එල්.ටී.ටී යේ හිටපු සාමාජිකයන්. සමහර දරුවන්ගේ මාපියන් යුද්ධ කාලේම මැරිලා. ඒ නිසා අද ඔවුන්ට යුද්ධය ගැන මතකයක් නැහැ. ඔවුන්ගේ ඔළුවලට විශබීජ දාන්න කවුරුත් නැහැ. ඒ නිසා ඔවුන්ගේ මාපියන් ඥාතීන්, ගුරුවරුන් පොලිසියත් සමඟ සුහදව කටයුතු කරනවා.” ඒ නිසා අපරාධ වාර්තාවීමත් අඩු ඇති? “ ඇත්තෙන්ම ඔව්. මහා පරිමාණයේ අපරාධ වාර්තා වීමක් ඇත්තෙන්ම නැහැ.

අපරාධ වාර්තා වීමත් අවමයි. මේ මාස හය ඇතුළත අපේ අපරාධ විසඳීම ඉහළ මට්ටමක පවතිනවා. ශරීර පිළිබඳ අපරාධ විසඳීම 70% ක්. දේපල 90% ක් මගේ කොට්ඨාශයට පොලිස් ස්ථාන 7 කුත් මුරපළවල් 4 කුත් අයත් වෙනවා.

ඒ හැම වසමකම මෙවන් තත්ත්වයක් තියෙන්නේ.” පසුගිය කාලවල ඔබ ගැන ආන්දෝලානාත්මක පුවත් වාර්තා වුණා. මොකක්ද ඔය අර්බුදය ? “ ඔබ මගෙන් අහන්නේ මගේ උසස් වීම සම්බන්ධව වෙන්න ඇති. පොලිස් කොමිසම මාව නියෝජ්‍ය පොලිස් පති තනතුරට උසස් වීම් කරලා තියෙද්දීත් ඒ තනතුර මට තවම ලබා දිලා නැහැ. ඒ ගැන වාර්තා පළ වුණා.

ඒක ගැන නේද ඔබ අහන්නේ.” ඔව්. අපට කියන්න බැරිද මුල සිටම ඔය ප්‍රශ්නය ගැන? “ නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා පුරප්පාඩු හයක් තිබුණා. ඒ සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරේ වසර පහක් පුරා ඉන්න නිලධාරින් සුදුසුකම් ලැබුවා.

ඒත් එහෙම නිලධාරින් නැති නිසා අවුරුදු හතරක් සම්පූර්ණ අය ඒ තනතුරේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස්වීම් ලබනවා. වසර පහක් සම්පූර්ණ වුණාම ඒ තනතුරේ ස්ථීර කිරීම තමයි මෙතෙක් පැවති ක්‍රියාදාමය වුණේ.” “පුද්ගලික අමනාපකමක් මත මගේ නම නොයොදා අනිත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පස් දෙනකුගේ නම් පොලිස් කොමිසමට යවලා තිබුණා. ඒ පස් දෙනා අතර මට වඩා ජූනියර් නිලධාරියකුත් ඉන්නවා.

ඒක ගැන මම ඇහැව්වාම මට ඊට සාධාරණ හේතු ලැබුණේ නැහැ.“ “පොලිස් කොමිසම කිව්වා එහෙම බැහැ. මෙයත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. පුද්ගලික හේතුවකට මෙහෙම කරන එක වැරදියි කියලා. ඒ නිසා මගේ නමත් දාලා උසස් කරලා එවන්න කියලා කොමිසම නීතිය හා සාමය පිළිබඳ ලේකම්වරයාට කිව්වා. පිටපතක් පොලිස්පතිටත් යැව්වා. ඒත් මාව උසස් නොකොට තියාගෙන හිටියා. ඇද ඇද හිටියා.

මොකද මගේ නම තියෙන නිසා. ඒ නිසා අනිත් අයට දෙන එකත් ප්‍රමාද වුණා.“ “කොමිසම දිගටම මාව උසස් කරන්න කියන කොට පස්සේ කිවිවා මට චෝදනා දෙකක් තියෙනවා කියලා. පස්සේ කොමිසම කිව්වා හරි එහෙනම් ඒ චෝදනා දෙක එවන්න කියලා. සති දෙකකට පස්සේ අනිත් හතර දෙනාවම ඩී.අයි.ජී. තනතුරට උසස් කළා. කොමිසම අර කියපු චෝදනා හොයලා බැලුවාම තේරුණා මේක බොරු චෝදනා කියලා.

2018 මැයි මාසේ 17 වැනිදා කොමිසම රැස් වුණා. ඊට එරෙහිව තිබුණු චෝදනා පත්‍ර දෙකම අධ්‍යයනය කරලා එම චෝදනා පත්‍ර දෙකේම සඳහන් විනය කඩකිරීම් බරපතල ඝනයේ සිදුවීම් නොවන බවට කොමිසම තීරණය කළා.“ මොකක්ද ඒ චෝදනා දෙක? “ එකක් මුදල් වංචාවක් අනෙක දූෂණයක්.”

ඉන්පස්සේ ? “ ඔය චෝදනා චේතනාත්මකව සිදු කර නොමැති නිසා මට ඒ චෝදනා පත්‍ර දෙක නිකුත් කිරීම සුදුසු නැහැ කියලා පොලිස් කොමිසම තීරණය කළා. වහාම මේ උසස් වීම් ක්‍රියාත්මක කරන්න මොහුට සුදුසු සේවා ස්ථානයක් නම් කරලා එවන්න කියලා කොමිසම පොලිස්පති වරයාට දැන්වූවා.

ඒත් අද වනතුරුත් ඩී.අයි.ජී. තනතුරට උසස් කළේ නැහැ. ඔබ මේ සම්බන්ධයෙන් චෝදනා කරන්නේ පොලිස් පතිවරයාට. ඔහුට එවැනි දෙයක් කරන්න බැරිද? “ පොලිස්පතිවරයාට පුළුවන් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ ඉහළට උසස් වීම් දෙන එකයි ට්‍රාන්සර් කරන එක විතරයි. ඒ.ඇස්.පී ගෙන් උඩ බලය තියෙන්නේ කොමිසමට. ඒත් කොමිසම කියන එක කෙරෙන්නේ නැහැ.” ඔබ මොකක්ද දැන් කරන්නේ? “ පොලිස් කොමිසම එයාලට කිව්වා මාව උසස් කරලා සුදුසු සේවා ස්ථානයක් නම් කරන්න කියලා. ඒත් වෙන්නේ නැහැ.

ඒ නිසා මම මට මේ තනතුර දෙන්නේ නැහැ. මගෙන් පළිගන්නවා කියලා මගේ මූලික අයිතිවාසිකම් කඩකරල කියලා පැමිිණිල්ලක් දැම්මා.ඒකත් විභාග වෙනවා. ඉන් පස්සෙ මම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමටත් පැමිණිල්ලක් කළා.” ඔබ මීට කලිනුත් ඔය වගේ නඩු දැම්මා නේද? “ මම තුන්පාරක් මෙහෙම නඩු දැම්මා.

මගෙන් තුන් පාරක් මෙහෙම පළිගන්න හැදුවා. එකපාරක් මාව ට්‍රාන්සර් කරන්න හැදුවා... මම එෆ් ආර් එකක් දැම්මා. ශ්‍රේෂාධිකරණය තීන්දු කළා මාව ට්‍රාන්සර් කරන්න බලයක් නැහැ කියලා. දෙවැනි පාර මාව රිමාන්ඩ් කරන්න හැදුවා. මම නිදන් හාරන්න හැදුවා කියලා.” මොකක්ද ඒ කතාව? “ මම කිලිනොච්චියේ ඉන්න කොට.

පුනරුත්ථාපනය වුණු එල්.ටී.ටී. තරුණයෙක් ඇවිත් කිව්වා. සර්. මම එල්.ටිටී යේ ඉන්න කොට හංගපු වෙපන් වගයක් තියෙනවා. දැන් මම පුනරුත්ථාපනය වෙලා ඉන්නේ. දැන් මට බයයි ඒක අහු වුණොත් මාව ආයෙත් පොලිසිය කොටු කර ගනියි කියලා. ඒ නිසා මේ ගැන සර්ට කියන්නයි ආවේ කියලා.

ඒ පාර මම ටීම් එකක් යවලා ඒ වළ දාපු වෙපන් ගොඩ ගත්තා. ඒවා තිබුණේ පුදුකුඩිඉරිප්පු වල මගේ ඒරියාඑකෙන් පිට. අන්න ඒකට මම නිදන් හෑරුවා කියලා කොළඹින් සී.අයි.ඩී. ටීම් එකක් මෙහෙ එවලා විමර්ශනයක් කළා. ඒත් වැඩක් වුණේ නැහැ. නිදන් හෑරුවා කියලා මාව රිමාන්ඩ් කරන්නයි හැදුවේ.” අවසානයේ මොකද වෙන්නේ? “ මානව හිමිකම් එකට දාපු නඩුව විමර්ශනය කරාවි. ඊට අමතරව මම අල්ලස් එකටත් දාපු පැමිණිල්ලත් විභාගයට ගනීවි. මට වුණු අසාධාරණය කවදාහරි ඉෂ්ට වේවි.

” ඔබ මොකක්ද ඔය නඩු දැමීමෙන් බලාපොරොත්තු වෙන්නේ? “ මට වුණු අසාධාරණයට සාධාරණය ඉෂ්ට කරගන්න. මට අයිති දේ සුදුසු දේ. ඇයි දෙන්නේ නැත්තේ. අනික අනිත් පොලිස් නිලධාරින්ටත් මෙවන් දෙයක් නොවෙන්න කටයුතු කරන්නයි මට අවශ්‍යය.”

(කීර්ති මෙන්ඩිස්)


නව අදහස දක්වන්න

Or log in with...