මායාදුන්නේගේ කැලණි ගමන | දිනමිණ

මායාදුන්නේගේ කැලණි ගමන

 “පෙර ගිරගින් රිවි එඋදා වෙමි නේ
බුදිමින් බත බුලතුත් නොවලසි නේ
සැදෙමින් මහසෙන් පෙරටුව එදිනේ
නික්මුණු ඒ රජ නොව සිටි තෙදි නේ”

සංහිඳ පාමුල තීරය ආරම්භ කරමින් දක්වා ඇති කවිය එතරම් ප්‍රචලිත කවියක් නො වේ. ප්‍රචලිත නොවන්නා සේ ම මේ කවිය එතරම් වියත් ලකුණු පිළිබිඹු නොකරන බව ද කවි පිළිබඳ හැදෑරීමක් ඇති අපේ සහෘදයන් දුටු පමණින් වටහා ගනු ඇත. මෙම කවියෙන් කිසියම් රජෙක් සිය සෙනඟ සමඟ හිරු උදාවේ දී ආහාර ගෙන නික්මුණු බවක් කියැවේ. රජ යනුවෙන් හැඳින්වෙන්නේ පසුව රජු බවට පැමිණි ‘මායාදුන්නේ’ කුමාරයා ය. පිය රජ වූ සයවෙනි විජයබාහු රජු සමඟ ඊළඟ රාජ්‍යත්වය වෙනුවෙන් ආරවුල් ඇතිකරගත් මායාදුන්නේ හා ඔහුගේ සොහොයුරන් අතුරින් මායාදුන්නේ යුධ ආධාර පතා සෙංකඩගල ජයවීර රජු වෙත ගියේ ය. (මෙම සිද්ධිය පසුගිය ජූනි 12 වන දින සංහිඳ පාමුල තීරයේ ‘කීරවැල්ල පරපුර’ ලිපියෙන් සවිස්තරව සඳහන් කෙරිණි.) මෙම කවිය ඇතුළු කව් පෙළකින් මායාදුන්නේ කුමාරයා මහනුවර සිට ආධාර සේ ලබාගත් සේනාව සහිතව කැලණියට පැමිණි ගමන්මග විස්තර කෙරේ. මායාදුන්නේ මහනුවර සිට කෝට්ටේ සහ පසුව කොළඹ දක්වා වූ මාර්ගයේ අර්ධයක පමණ දුරක් පැමිණෙන අතර එතැන් සිට වෙනත් අතුරු මගකින් කැලණියට ගමන් කරයි. මාර්ගයේ වූ වැදගත් ස්ථාන කවියෙන් වර්ණනා වෙයි. ඉතිහාසයට රුචිකම් ඇති අපේ සහෘද පාඨකයන්ට මෙම ගමන් මග අතිශයින් වැදගත් යයි හැඟුණු බැවින් මෙසේ ලියා දැක්වීමි.

මෙම කව් උපුටාගත්තේ ‘සීතාවක හටන’ නම් හටන් කාව්‍යයෙනි. මෙම කෘතිය ශක වර්ෂ 1507 (ක්‍රි.ව. 1585) කරන ලද බව කෘතිය අවසානයේ දැක්වේ. (ඒ සීතාවක රාජසිංහ රජු මියයාමට පෙර කාලයේ ය.) සිංහල හටන් කාව්‍යයක් සේ මුලින් ම ලියැවුණු කෘතිය සේ පිළිගැනෙන්නේ ද සීතාවක හටනයි. පුස්කොළ පොතක් සේ පැවති සීතාවක හටන මුලින් ම මුද්‍රණය වන්නේ 1999 දී ‘මහාචාර්ය රෝහිණී පරණවිතාන’ විසින් සංස්කරණය කරන ලදුව මධ්‍යම සංස්කෘතික අරමුදල මගිනි. මෙම කෘතිය කරන ලද්දේ ‘අත්තන්හරි අබය අලහප්පෙරුම විජයවර්ධන’ නමැති කවියෙකි. ඔහු මායාදුන්නේ සහ සීතාවක රාජසිංහ රජ දෙපළට හිතවත්ව සිටි ඔවුන් වෙනුවෙන් රණබිම්වල සටන් කළ තැනැත්තෙකු විනා කාව්‍ය ශාස්ත්‍රය හදාළ තැනැත්තෙක් නො වේ. ඔහු ම ඒ බව සඳහන් කරයි. එදවස සමාජ තොරතුරු හා ඇතැම් ඉතිහාස තොරතුරු සොයන්නන්ට සීතාවක හටනින් ලැබෙන්නේ නොමඳ ආලෝකයකි.

මායාදුන්නේ කුමාරයා මුලින් සඳහන් කළ කවියේ පරිදි උදයෙන් ම පිටත් වන්නේ ගන්ඕරුවෙනි. (ගන්නොරුව) මහනුවර සිට පැමිණෙන විට මුලින් ම හමුවන්නේ ගන්නොරුවයි. ගන්නොරුවෙන් පසු හමුවන වැදගත් ස්ථානය ‘බලන’ යි.

“දුලබර සිරි බර පුරයන විලසි නා
නලබර නෙක සිරි විඳිමින් සිතමි නා
පැලඹෙන යුදයට අපි නොවලසි නා
බලනෙන් පහළට බහිමින් සොඳි නා”

පැරණි නුවර කොළඹ පාර සැදී තිබී ඇත්තේ බලනින් පහළට බසින ආකාරයට ය. සේනාව ගමන් කරන්නේ බොහෝ විට පයිනි. ඉතින් එතරම් දුරක් ගමන් කිරීම අසීරු ය. අඳුර වැටෙන විට ‘වල්ගොවුවාගොඩ’ නතර වන්නට සිදුවේ. ඊළඟ දිනයේ ගමන් කොට රෑ බෝවන විට ‘අට්ටාපිටියේ’ ලැගුම් ගන්නට සිදුවේ. (මායාදුන්නේ ගමන් කිරීමෙන් අවුරුදු 300 කට පමණ පසු කිං නමැති බ්‍රිතාන්‍ය සෙනෙවියා කොළඹ - නුවර පැරණි මාර්ගයේ ‘කිං කොටුව’ නමින් බලකොටුවක් ඉඳිකරන්නේ අට්ටාපිටියේ ය.)

අට්ටාපිටියෙන් පසු පිරිස පැමිණෙන්නේ ‘සල්ඔළුවේ කඩවතට’ ය. ඊළඟට එන ‘අටුගොට’ ඇත්තේ බැසයන්නට අමාරු හෙළකි. (මේ ස්ථානයට ව්‍යවහාර වන්නේ අටුගොඩ යන්නයි.) වෙහෙසට පත් පිරිස ඉනික්බිතව ‘ගඟුලැල්ලේ’ දිය කෙළිති.

“බැසලා හෙළ ගඟුලැල්ලට ඇවිදි න්
කෙළලා දියවර නාන්ඩ සතොසි න්
වැඩලා නරනිඳු පිරිවර සමඟි න්
වැසලා දිය කෙළිමින් ගඟුලැල්ලෙ න්”

ගඟුලැල්ලේ දිය කෙළියෙන් ඉක්බිතිව මායාදුන්නේ කුමාරයා ඇතුළු පිරිස රාත්‍රී නවාතැන් ගන්නේ ‘ඉද්දමල්පාන’ නම් ස්ථානයේ ය. (ඉද්දමල්පාන ද පසුව බලකොටුවක් ඉඳිවූ ස්ථානයකි.) ඉද්දමල්පානෙන් පසුව පිරිස කොටියාකුඹුරේ කඩවත දකිමින් මත්තමගොඩ පිටියේ රැයේ නවාතැන් පිණිස වාඩි ලති.

“රුප්පා සෙවනැලි පසු කර ඇවිදි න්
කොටිකාකුඹුරේ කඩවත දකිමි න්
මත්තමගොඩ පිටියේ වාඩි ලවමි න්
සෙනඟට පඩිනඩි බෙදමින් එබවි න්”

මත්තමගොඩ දක්වා වූ මාර්ග විස්තරයේ දී 1800 දී මෙම මාර්ගයේ ගමන් කළ රොබට් පර්සිවල් සහ 1817 දී ගමන් කළ ජෝන් ඩේවි යන දෙදෙන ම සඳහන් කරන ‘ගනේතැන්න’ ද ඩේවි සඳහන් කරන ‘අමුණුපුර’ හා ‘අරන්දර’ ද සීතාවක හටනේ කතුවරයා අතින් මඟහැරෙයි. එහෙත් පර්සිවල් හා ඩේවි යන දෙදෙනාට ම වඩා පැරණි මාර්ගයේ ස්ථාන සංඛ්‍යාවක් සීතාවක හටන කතුවරයා අතින් වර්ණනා වෙයි.

මත්තමගොඩින් පසු පිරිස ‘සත්මත්තට’ පැමිණෙති. (හත්මත්ත) ඉන් අනතුරුව පැමිණෙන්නේ නිවුන්හැල්ල ගමට ය. (නිවුන්හැල්ල)

“නුවන් සදිසි නිලුපුල් මල් පෙති සෙ ද
ලෙවන් සතුටු කරමින් නද දෙන කුසුම ද
මෙවන් අමා මී පොවමින් යන සෙ ද
නිවුන්හැල්ල ගම පසුකර යන ස ඳ”

නිවුන්හැල්ලෙන් පසු පිරිස් ‘පුරන්පොත්ත’ ට ගමන් කරත්. එතැනින් ‘රදාවාන’ ගමට ය. එතැන නවාතැන් ගැන්මෙන් පසු ඊළඟ නවාතැන් ස්ථානය ‘මල්වානේ’ වෙලයි. ඉනික්බිතිව මායාදුන්නේ කැලණියේ සේනාව සමඟ වාඩි ලා ගෙන යාපාපටුනේ සිටින සිය සොහොයුරන් වෙත පණිවිඩ යවයි.

මායාදුන්නේ මහනුවර සිට කැලණිය බලා යන ගමන පිළිබඳව සීතාවක හටනේ එන වර්ණනාව ඉතිහාසයට ඇලුම් කරන්නන්ට ද ඊටත් වැඩියෙන් පැරණි මාර්ග පිළිබඳ අවධානය යොමු කරන්නන්ට ද එකසේ වැදගත් වෙයි.

මහානාම දුනුමාල
[email protected]


නව අදහස දක්වන්න

Or log in with...