රැකියා 70% ක්ම සපයන්නේ කුඩා-මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් | දිනමිණ

රැකියා 70% ක්ම සපයන්නේ කුඩා-මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින්

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ විධායක උප සභාපති බණ්ඩාර ජයතිලක

 දේශයේ ආර්ථිකයේ ජීවනාලිය වන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නංවාලීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පසුගිය කාලය පුරාවට දැක් වූ දායකත්වය සම්බන්ධයෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බැංකු සේවාවන්හි ජ්‍යෙෂ්ඨ විධායක උප සභාපති බණ්ඩාර ජයතිලක මහතා මෙසේ අදහස් පළ කළේය.

‘රු. මිලියන 750ට අඩු පිරිවැටුමක් සහිත සියලුම ව්‍යාපාර අයත් වන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කාණ්ඩයටයි. මේ ක්ෂේත්‍රය රටේ ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබාදිය හැකි ක්ෂේත්‍රයක් ලෙස අප දකිනවා. මේ වන විට රටේ සමස්ත ව්‍යාපාරවලින් 85% ත් 90% ත් අතර සංඛ්‍යාවක් මේ කාණ්ඩයේ ව්‍යාපාරවලින් සමන්විත වන අතර, රටේ රැකියා ප්‍රමාණයෙන් 70% ක්ම සපයනු ලබන්නේ මේ ව්‍යාපාර මගිනුයි.’

‘බොහෝ දෙනෙක් සිතන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ඇති ප්‍රධානතම ප්‍රශ්නය මූල්‍ය සැපයුම ප්‍රමාණවත් නොවීම බවයි, මෙය වැරැදි අදහසක්. මේ ව්‍යාපාරිකයන් තම ඉතුරුම්වලින් හෝ පවුලේ අයගේ හා හිතවතුන්ගේ දායකත්වයෙන් තමන්ට අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගන්නවා. කෙසේ වුවත් මේවා අසාර්ථක වීමේ ඉඩකඩ වැඩියි. මේ අතරින් 75% කට අධික ව්‍යාපාර ප්‍රමාණයක් මුල් වසර 7 තුළ වැසී යන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. හරියාකාරව වෙළඳ පොළ සමීක්ෂණ සිදු නොකිරීම, නිසි සැලසුමක් නොමැති වීම සහ මඟ පෙන්වීමක් නොලැබීම වැනි හේතු මීට බලපාන බව පැහැදිලියි. මේ තත්ත්වය වටහාගෙන, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට මූල්‍යමය වශයෙන් අතහිත දීමටත්, අවශ්‍ය මඟ පෙන්වීම් ලබාදීමටත් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ඉදිරිපත් වී සිටිනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සාර්ථකවීමේ සම්භවය ඉහළ නංවාගත හැක්කේ කෙසේ ද යන්න බණ්ඩාර ජයතිලක මහතා පැහැදිලි කළේ මෙසේ ය.

‘වෙළඳ පොළ, තරගකරුවන් සහ මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් නිසි හැදෑරීමකින් තොරව ව්‍යාපාර ආරම්භ කිරීම නොකළ යුතුයි. ඒ සම්බන්ධයෙන් ඔවුන් ඉගෙනගත යුතු වෙනවා. නැතිනම් ඒ සම්බන්ධයෙන් දැනුම ඇති අය බඳවා ගත යුතු වනවා. අපගේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අංශය ස්ථාපිත කිරීමේ දී අවධානය යොමු කළ එක් ප්‍රධාන කරුණක් වූයේ, ගනුදෙනුකරුවන් මුහුණදෙන අභියෝගවල දී ඔවුන්ට නිසි මඟ පෙන්වීමක් ලබාදීම සඳහා කාර්ය මණ්ඩලයට පුළුල් මට්ටමේ පුහුණුවක් ලබාදීමයි. එම නිසා අප ජර්මනියේ ලාභ සඳහා නොවන සංවිධානයක් වන ‘Frankfurt School of Business’ සමඟ එක්වී අපගේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් පුහුණු වැඩසටහන් සංවිධානය කළා. එම සංවිධානයේ විෂය මාලාවන් පදනම් කරගෙන අප කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පුහුණු පාසල ආරම්භ කළ අතර, එම ව්‍යාපාරවලට අවශ්‍ය මඟ පෙන්වීම ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් අපගේ කාර්ය මණ්ඩලයට පුහුණුව ලබාදුන්නා. මේ වනවිට අප විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සහ විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන් සමඟ එක්වී සන්නාමකරණය, අපනයන වෙළෙඳ පොළ වෙත පිවිසීම, බදු සැලසුම්කරණය සහ පශ්චාත් අය හා වැය විශ්ලේෂණය වැනි කරුණු සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන සම්මන්ත්‍රණය 100 කට වඩා පවත්වා තිබෙනවා.’

ජාත්‍යන්තර තලයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ජයතිලක මහතා මෙසේ අදහස් දැක්වීය. තාක්ෂණය සහ කාර්මික අංශයන්ගෙන් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තවමත් සිටින්නේ පසුපසින්. අප තවමත් විශාල ලෙස මිනිස් ශ්‍රමය මතම පදනම් වී සිටිනවා. යන්ත්‍ර සූත්‍ර සහ නවීන තාක්ෂණය භාවිත කිරීමේ දී මුලින් සැලකිය යුතු ආයෝජනයන් කිරීමට සිදුවුවත් එමගින් ඵලදායීතාව සහ පිරිමැස්ම ඉහළ යන බව අවධාරණය කළ යුතුයි. විදේශ රටවල මෙසේ යන්ත්‍ර සූත්‍ර භාවිතය නිසා නිෂ්පාදන වියදම පහළ ගොස් තිබෙනවා. ඇතැම් දේවල් අපේ රටේම නිෂ්පාදනය කිරීමට වඩා ආනයනය කිරීම ලාභදායක වන්නේ ඒ නිසයි. ඒ වගේම ව්‍යාපාරයක දියුණුවට පර්යේෂණ හා සංවර්ධන කටයුතු ඉතාමත් වැදගත්. එහෙත් අවාසනාවකට විදේශ රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදුවන්නේ ඉතාමත් සුළුවෙනුයි. මේ තත්ත්වය වෙනස් විය යුතුව තිබෙනවා. මන්ද යත් අප නිෂ්පාදන නිපදවා ඉන් අනතුරුව වෙළෙඳ පොළ සෙවීම අර්ථයක් නැති දෙයක්. අප වෙළෙඳ පොළේ ඉල්ලුම වටහාගෙන එම ඉල්ලුමට අවශ්‍ය නිෂ්පාදන නිපදවිය යුතුයි.’

නව අදහස දක්වන්න