සිරවී සිටි පාපන්දු ක්‍රීඩකයෝ බේරා ගැනෙති | දිනමිණ

සිරවී සිටි පාපන්දු ක්‍රීඩකයෝ බේරා ගැනෙති

මහින්ද අලුත්ගෙදර

කිමිදුම්කරුවන් 19ක්: ළමයින් සිවුදෙනා සහ පුහුණුකරු එක් මෙහෙයුමකින් පිටතට ගෙන එයි

විශ්මිත ගලවා ගැනීමේ මෙහෙයුමකින් අනතුරුව උතුරු තායිලන්තයේ චියැන් රායි ප්‍රදේශයේ ගුහාවක් තුළ සිරවී සිටි යොවුන් පාපන්දු ක්‍රීඩකයින් දොළොස් දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු නිරුපද්‍රිතව බේරා ගැනීමට ගලවා ගැනීමේ කටයුතුවල නිරතවූ සහන කණ්ඩයම් ඊයේ (10) සමත්වූහ.

ඒ අනුව දින ගණනාවක් පුරා ක්‍රියාත්මක කෙරුණු අසීරු ගලවා ගැනීමේ මෙහෙයුමේ අවසන් අදියර වූ ඊයේ දිනයේ දී අවසන් පිරිමි ළමයින් සිව්දෙනා සහ පුහුණුකරු ගලවා ගැනීමත් සමඟ ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් විය.

මේ වනවිට ක්‍රීඩකයින් දොලොස් දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ආරක්ෂිතව පසුවන අතර මීට පෙර 8 දා සහ 9 දා බේරාගත් ක්‍රීඩකයින් දරුවන් අටදෙනා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කොට තිබෙන බව ද ඔවුන් සියලු දෙනාම අනෙක් රෝගීන්ගෙන් වෙනකොට තැබීමට බලධාරීන් පියවර ගෙන තිබෙන බව ද වාර්තා වෙයි.

තායිලන්ත ගුහාවේ සිරවී සිටි එරට යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා සහ පුහුණුකරු මුදා ගැනීමේ මෙහෙයුමට තායිලන්ත සහ විදේශීය පුහුණුකරුවන් 90කට ආසන්න පිරිසක් සහභාගි වී සිටි අතර ගුහාව තුළ සිරවී සිටි ළමයින් කණ්ඩායමේ ප්‍රථම ළමයින් දෙදෙනා බේරාගැනීම පසුගිය 8 දා එරට වේලාවෙන් පස්වරු 5.40ට පමණ සිදුව තිබේ. ඉන් අනතුරුව තවත් ළමයින් දෙදෙනකු එදිනම මුදා ගැනීමට සහන කණ්ඩායම්වලට හැකිවූ අතර ඉන් පසු පෙරේදා (09) දිනයේ ක්‍රියාත්මක කළ සහන වැඩසටහනින් තවත් ළමයින් හතර දෙනකු ගුහාවෙන් මුදා ගැනීමට කිමිඳුම්කරුවෝ ක්‍රියා කළහ.

මේ අනුව අවසන් වශයෙන් ගුහාව තුළ සිටි ළමයින් සිව්දෙනා සහ පුහුණුකරු ඊයේ (10) දින ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් බේරා ගැනිමට සහන කණ්ඩායම්වලට හැකිවූ අතර මෙම ළමයින් 12 සහ පුහුණුකරු පසුගිය මස 23 වැනි දින මෙම ගුහාව නැරඹීමට ගොස් සිටිය දී ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ඉන් පිටතට ඒමට නොහැකි අන්දමට ගුහාව තුළ ජලය පිරී ඒ තුළම ඔවුන් කොටුවී සිටියහ. පසුව ක්‍රියාත්මක කළ මුදා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ සතියක කාලයකින් මුදා ගැනීමට සහන කණ්ඩායම්වලට මෙන්ම කිමිඳුම්කරුවන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

මෙම මුදා ගැනීමේ මෙහෙයුම සඳහා ඔස්ට්‍රේලියාව, එංගලන්තය, අමෙරිකාව යන රටවල කිමිඳුම්කරුවන්ගේ දායකත්වය හිමිවිය.

යොවුන් පාපන්දු ක්‍රීඩකයින් හා පුහුණුකරු මෙලෙස ගුහාවක අතරමං වුණේ පසුගිය ජූනි 23 වනදා වන අතර අධික වර්ෂාව සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයක් සමඟ ඔවුන් එහි සිරවිය. ඔවුන් ගුහාව තුළ සිටින බවට නිශ්චිත වශයෙන් කිමිදුම්කරුවන් සොයා ගත්තේ මීට සතියකට පමණ පෙර දී වන අතර ඔවුන් ගුහාවේ දොරටුවේ සිට කිලෝමීටර 4 ක් පමණ ඇතුළට වන්නට ගමන් කරමින් සිටිය දී ගංවතුර තත්ත්වය ඇතිව තිබේ.

මෙම සිද්ධිය පිළිබද ලෝකයේම අවධානය යොමු වූ අතර ඒ අනුව දරුවන් බේරා ගැනීම සඳහා ඇවිදයාමෙන්, පිහිනීමෙන්, කිමිදීමෙන් හා ගුහාව තුළ බිත්ති කඩා ඉවත් කිරීමෙන් පිරිස ඉවතට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. මේ අනුව අති දුෂ්කර කාර්යකින් අනතුරුව ගුහාවේ සිටි පිරිස බේරා ගැනීමට හැකිවුවද සිය දිවි පරදුවට තබා මෙහෙයුමේ නිරත වූ එක් කිමිදුම්කරුවකුගේ පමණක් ජීවිතය අහිමිවිය.

නව අදහස දක්වන්න