මැද මාවතේ සයිටම් විසඳුම | දිනමිණ

මැද මාවතේ සයිටම් විසඳුම

අධ්‍යාපනය ආණ්ඩුවේ පාසලකින් හෝ විශ්වවිද්‍යාලයකින් ලබා ගන්නවාද පෞද්ගලික අංශයේ ආයතනයකින් ලබා ගන්නවාද යන ප්‍රශ්නය වර්තමාන ලෝකයේ එතරම් වැදගත් වන්නේ නැත. වැදගත් වන්නේ එහි අන්තර්ගත ප්‍රමිතිය යි. නැතිනම් අදාළ ආයතනවල අඩංගු නිර්ණායක කවරේ ද යන්න යි.

එසේම දරුවකුගේ ප්‍රාථමික අවධියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම නොමිලේ අධ්‍යාපනය සපයනු ලබන රටවල් අද ඇත්තේම නැති ගානය. ඇතිනම් අතළොස්සක් පමණි. සමහර රටවල ප්‍රාථමික අධ්‍යාපනය නොමිලේ ලබා දුන්නත් උසස් අධ්‍යාපනයට මුදල් අය කෙරේ.

ශ්‍රී ලංකාව ඒ අතින් වාසනාවන්ත ය. ලෝකයේ සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන අසාමාන්‍ය වූ දුර්ලභ කාර්යය ශ්‍රී ලංකාවේ සිදු වේ. එනම් පළමුවැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වා ම අධ්‍යාපනය නොමිලයේ සැපයීම ය. එපමණක් නොව පාසල් පොත්, නිලඇඳුම් පවා සියලූම සිසු දරු දැරියනට නොමිලේ ලබාදීම සිදු වේ. මෙපමණක් නොව සමහර දුෂ්කර පාසල්වල ප්‍රාථමික පන්ති සඳහා උදෑසන ආහාරය පවා නොමිලේ ලබාදෙනු ලැබේ.

මෙසේ නොමිලේ ලැබෙන අධ්‍යාපනය අපේ රටේ දරු දැරියනට ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයකි. එහෙත් මේ වන විට ලොව පුරා සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ අධ්‍යාපනය මුදල් අය කර ලබා දෙන ප්‍රවණතාවකි. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයේ දී විවිධ පාඨමාලා මගින් ඩිප්ලෝමා, උපාධි හා පශ්චාත් උපාධි මුදලට පිරිනැමේ.

පෞද්ගලික අධ්‍යාපනය

වර්තමානයේ අපේ රටේ ද පෞද්ගලික අධ්‍යාපනයේ වර්ධනයක් දක්නට ලැබේ. ජාත්‍යන්තර පාසල් නමින් හැඳින්වෙන පෞද්ගලික අංශයේ පාඨශාලා මේ වන විට කොළඹ නගරයෙන් බැහැරව ද විවෘත වේ. 2017 ට සාපේක්‍ෂව රාජ්‍ය නොවන පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 136, 407 කි. ගුරුවරුන් සංඛ්‍යාව 6872 කි. මෙම ප්‍රමාණය ජාත්‍යන්තර පාසල්වලට අමතරව ය.

මේ නිසා පූර්ණ නිදහස් අධ්‍යාපන සංකල්පය ක්‍රියාත්මක වෙමින් පවතිද් දී ද රාජ්‍ය නොවන හා ජාත්‍යන්තර පාසල් බිහිවීම හා ඒවාට යොමු වන ශිෂ්‍ය සංඛ්‍යාවේ වර්ධනයක් ඇති වීම ද මෙරට අධ්‍යාපනය තුළ දක්නට ලැබෙන ප්‍රවණතාවකි.

විශේෂයෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාල 15 ට අමතරව ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලට අනුබද්ධව 2017 වසර අවසන් වන විට පිළිගත් විදේශ උපාධි පාඨමාලා 99 ක් පිරිනමන ආයතන 16 ක් පැවතුණි. මේ සියල්ල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සොයා බැලීමට හා අනුමැතියට යටත්වය. එසේම 2017 වසරේ උපාධිධාරීන් වීමට සුදුසුකම් ලැබූ පිරිසෙන් (අ.පො.ස උසස් පෙළ සමත්) රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වූ සංඛ්‍යාව 18.61‍ කි. මෙහි අනෙක් විශේෂත්වය වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට සුදුසුකම් ලබන අයගෙන් 1000 ක් පමණ ඒවාට අයදුම්පත් ඉදිරිපත් නොවීමය. එහෙත් මේ පිරිසෙන් අති බහුතරය කිසිදු උපාධියක් ලබා නොගන්නා පිරිසක් නොවේ. මේ අය ද පෞද්ගලික විශ්වවිද්‍යාලවල ලියාපදිංචි වී උපාධියක් ලබා ගැනීමට පෙළැඹෙති. පාඨමාලා ප්‍රශ්න හා විශ්වවිද්‍යාලවල දක්නට ලැබෙන කල් මැරීම (උද්ඝෝෂණ, වැඩවර්ජන, විශ්වවිද්‍යාල වසා තැබීම ආදී කාරණා) මීට හේතු වී තිබෙන බව පෙනේ.

සාමාන්‍යයෙන් මේ රටේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් උසස් පෙළ සමතුන්ගෙන් විශ්වවිද්‍යාලයකට යා හැකි වන්නේ 20% ‍කටත් අඩු ප්‍රමාණයකට නම් ඉතිරි පිරිසට සිදු වන්නේ කුමක් ද? ඉතිරි පිරිසට තම සුදුසුකම් මත පෞද්ගලික අංශයෙන් උපාධියක් හෝ තෘතියික අධ්‍යාපන අවස්ථාවක් මගින් ඩිප්ලෝමාවක් හෝ ලබා ගැනීමට නොහැකි නම් මේ රටේ තරුණ පරපුර තුළ උදාවිය හැකි අසහනය කෙබඳුදැ යි තක්සේරු කළ නොහැක. විශේෂයෙන්ම මුදල් ගෙවා හෝ ඔවුනට එම අවස්ථාව සලසා ගැනීමේ මාර්ගයක් තිබිය යුතුය.

දැනටමත් පෞද්ගලික අංශය, රජයේ විශ්වවිද්‍යාල හා ඊට සමගාමීව තෘතියික අධ්‍යාපන ආයතන මගින් ඉටුකරනු ලබන කාර්යභාරය පුළුල් වී තිබේ. 2017 අවසන් වන විට රාජ්‍ය ආයතන 333 ක්, පෞද්ගලික හා රාජ්‍ය නොවන ආයතන 486 ක් ඇතුළුව කාර්මික හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ ලියාපදිංචි ආයතන 819 ක් දක්නට ලැබේ. මෙමගින් පාඨමාලා 2972 ක් පිරිනමා ඇත. ඉන් සුදුසුකම් සහතික පත් ලැබූ සංඛ්‍යාව 65, 212 කි. මේ නිසා උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ අසමත් වීම කෙනෙකුට වෘත්තිය සුදුසුකමක් ලැබීමට බාධාවක් නොවේ.

පෞද්ගලික අධ්‍යාපනයේ හෝ උපාධි පිරිනැමීමේ දී මේ කිසිදු ක්ෂේත්‍රයක දක්නට නොලැබෙන විශේෂත්වයක් පසුගිය සමයේ වෛද්‍ය ක්ෂේත්‍රයෙන් මතු විය. එය සිදු වුණේ පෞද්ගලික වෛද්‍ය උපාධි පිරිනැමීම සඳහා ගොඩනැගුණු, සයිටම්, ආයතනය බිහිවීමත් සමඟ ය., සයිටම්, ආයතනයට වුව ද ඉංජිනේරු වැනි වෙනත් උපාධි පිරිනැමීමේ දී ගැටලූවක් ඇති නොවුණි. ගැටලූව මතු වූයේ වෛද්‍ය උපාධි පිරිනැමීමේ දී ය.

උපාධියේ ප්‍රමිතිය

සයිටම්, ආයතනයට අනුමැතිය ලබා දෙන්නේ වත්මන් රජය මගින් නොවේ. එය පසුගිය රාජ්‍ය සමයේ විශ්වවිද්‍යාල කොමිසම මගින් ලබාදෙන ලද අනුමැතියට අනුව බිහිවූ ආයතනයකි. ඊට එරෙහිව නැගුණු උද්ඝෝෂණයට හා ගැටලූවලට කර ගැසීමට සිදු වූයේ වත්මන් රජයට යි. විදෙස් රටවල පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබා ගෙන මෙරටට පැමිණෙන අයට මෙහි දී ගැටලූවක් පැන නොනගී. ඒ අය මෙරට දී පවත්වනු ලබන විභාගයකින් සමත් වීමෙන් තොරව වෛද්‍යවරයකු ලෙසින් ලියාපදිංචි විය නොහැකි ය. එම විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය වුවද මෙහි දී ගණන් නොගැනේ. නයිජීරියාවේ අප නොදන්නා පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් වුව ද උපාධියක් ලබා තිබීම මෙම ක්‍රමවේදය තුළ ප්‍රශ්නයක් නොවේ.

ප්‍රශ්නය පැන නැගුණේ සයිටම් ආයතනයට ලක්ෂ ගණනක් මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලැබූ දේශීය සිසු දරු දැරියන්ට ය. ඊට එක් හේතුවක් වූයේ ඔවුන් විදේශ රටවල ඉගෙනුම ලබා මෙරටට පැමිණෙන අනෙක් වෛද්‍ය සිසුන් මුහුණ දෙන සුවිශේෂී විභාගයට වාඩි නොවී කෙළින්ම වෛද්‍ය උපාධියක් පිරිනැමීමට ගෙන තිබූ තීරණය යි. දෙවැන්න ඔවුනට විධිමත් සායනික පුහුණුවක් ලබා ගැනීමට නොහැකි වූ ගැටලූවයි. ඊට හේතුව ඒ සඳහා මුදල් ගෙවා හෝ රජයේ රෝහල්වල සක්‍රීය දායකත්වය නොලැබීම යි. ඒ සඳහා වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිතිවල ක්‍රියාකාරිත්වය ද හේතු විය.

මෙවන් පසුබිමක දිගින් දිගටම ඇදුණු, සයිටම්, ගැටලූව වත්මන් රජයට එරෙහිව ගොඩනැගෙමින් පවතින විරෝධතාවයක් දක්වා දුරදිග ගිය බව අමුතුවෙන් කිව යුතු නැත., සයිටම්, විරෝධතා පාර්ශ්වයන් හා අන්තර් විශ්වවිද්‍යාලයී ය බල බණ්ඩලයේ ප්‍රධාන ඉල්ලීම වූයේ, සයිටම්, අහෝසි කරන ලෙසයි.

මේ සඳහා රජයේ විවිධ පාර්ශ්වයන් අදාළ පිරිස් සමඟ සාකච්ඡා පැවැත්වුවද ඵලක් නොවීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදහත් පිළිවෙතක පිහිට, සන්සුන්ව මෙම අර්බුදය විසඳීමට මැදිහත් වන්නේ ඉන් අනතුරුව ය. ජනාධිපතිවරයා සාකච්ඡා වාර ගණනාවක්ම සියලූ පාර්ශ්වයන් සමඟ පැවැත්වූවා පමණක් නොව ඒ සියල්ලටම සාවධානව සවන් දීමට ද එතුමා තම කාලවේලාව වෙන් කරගත් බව ද කිව යුතුය.

‘’මේ ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් වැඩිම සාකච්ඡා වාර ගණනාවක් සඳහා අදාළ සියලූ පාර්ශ්ව කැඳවු පුද්ගලයා වූයේ මම යි, අන්තරේ සිසුන් කැඳ වූ නිසා ආණ්ඩුවේ ඇතැමුන් මට දොස් කිව්වා. නමුත් මගේ ප්‍රතිපත්තිය සාකච්ඡා කිරීම යි. කිසිම ඇමතිවරයෙක් නොව රාජ්‍ය නායකයෙක් නොව මෙතරම් අර්බුදයක් විසඳන්න මේතරම් සාකච්ඡා කර නැහැ කියලා මම දන්නවා’’ ජනාධිපතිතුමා (7/7 2018)

මෙහි දී වඩාත්ම ගැටලූකාරී සංකීර්ණ කාර්ය වූයේ, සයිටම්, ආයතනය අහෝසි කිරීම නොවේ. එය ආණ්ඩුවකට ලෙහෙසියෙන්ම කළ හැකි කාර්යයකි. එහෙත් ලක්ෂ ගණන් මුදල් ගෙවා වසර ගණනාවක් සයිටම් හි ඉගෙනුම ලැබූ දරු දැරියන්ගේ ඉරණම විසඳන්නේ කෙසේද යන්න ය.

අවසානයේ ඔවුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට සියලූ පාර්ශ්වයන් එකඟ කරවාගෙන එම කාර්ය නිම කිරීමට ජනාධිපතිවරයාට හැකි වීම රජය මෙන්ම රට ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. මේ සඳහා නව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් ලැබුණු සහාය ද සිහිපත් කළ යුතුය.

නිවැරදි සහතිකයක්

මෙසේ කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයෙන් බිහිවන, සයිටම්, වෛද්‍ය සිසුන්ගේ සහතිකයේ වරහන් ඇතුළේ, සයිටම්, යන වචනය අඩංගු කිරීමට සමහරු උත්සාහ කළ බව ද මෙහි දී සඳහන් කළ යුතුය. එය ද ජනාධිපතිවරයාගේ නියමයෙන් ඉවත්කරනු ලැබීය. දැවැන්ත ප්‍රශ්නයක් රාජ්‍ය නායකයාගේ මැදිහත් වීමෙන් අවසන් වූයේ ඒ අයුරිනි.

මේ රටේ උසස් පෙළ සමත් සිසු දරු දැරියන් සියල්ලටම විශ්වවිද්‍යාල වරම් සලසාදිය නොහැකි බව මොළේ අමාරුවක් නැති ඕනෑම කෙනෙක් පිළිගන්නා ප්‍රායෝගික සත්‍යයකි. වෛද්‍ය පීඨ සම්බන්ධයෙන් ද යථාර්ථය එයම ය. මේ නිසා රටට ඇවැසි වෛද්‍යවරු පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් ද බිහිකර ගැනීමට සිදු වේ. ආණ්ඩුව උසස් අධ්‍යාපනයට වැය කරනු ලබන මුදලට වඩා වැඩි මුදලක් තම දරු දැරියන්ගේ උසස් අධ්‍යාපනය සඳහා මේ රටේ මව්පියෝ විදේශ විනිමය ලෙසින් වැය කරති. මේවා ගැන මේ රටේ අතිවාමාංශික දේශපාලන නඩ කල්පනා කරන්නේ නැත.

වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයේ දී වැදගත් වන්නේ ද වෛද්‍ය උපාධිය ලබා ගන්නේ ආණ්ඩුවෙන් ද පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ද යන කාරණය නොවේ. අදාළ ආයතන හා සම්බන්ධ නිර්ණායකයන් සම්පූර්ණ කර තිබේ ද යන්න යි.

අපේ රටේ වෛද්‍ය අධ්‍යාපනයට අදාළව නිසි නිර්ණායක තවමත් ඉදිරිපත් වී නොමැත. එය ඉදිරිපත් කළ යුතු බලධාරී ආයතනය රජයේ වෛද්‍ය සභාව යි. වෛද්‍ය සභාවෙන් තවමත් එම කාර්ය ඉටුවී ඇති බවක් නොපෙනේ. එක්කෝ එය කොතැනක හෝ හිරවෙලාය. මේවා නිසි කලට නිරවුල් වී තිබුණා නම්, සයිටම්, වැනි අර්බුදයක් පැන නගින්නේ නැත. නිසි ප්‍රමිතියට නොමැති නම්, සයිටම්, පමණක් නොව රජයේ වෛද්‍ය පීඨයක් වුවද වසා දැමිය යුතුය. ඊට හේතුව රටකට දොස්තරලා කොන්දොස්තරලා මෙන් බිහිකරගත නොහැකි නිසාය.

වසන්තප්‍රිය රාමනායක

නව අදහස දක්වන්න