ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ගැටුම අද ගාල්ලේදී | දිනමිණ

ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ගැටුම අද ගාල්ලේදී

වර්නන් ගුණසේකර

දඟ පන්දු යවන්නන්ට හිතකර ශ්‍රී ලාංකික තණතීරුවල දකුණු අප්‍රිකානු වේග පන්දුවේ ශක්තිය උරගා බැලෙන ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවක පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි.

තණතීරුව කුමන ආකාරයේ එකක් වූවද දකුණු අප්‍රිකාව ඔවුන්ගේ ප්‍රධානතම වේග පන්දු යවන්නන් තිදෙනෙකු තරගයට යොදවන බව පුහුණුකරු ඔටිස් ගිබ්සන් පවසා තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් සාර්ථකත්වයට අඩිතාලම වී තිබෙන්නේ ඔවුන්ගේ වේග පන්දු ප්‍රහාරයයි.

ශ්‍රී ලංකා කණ්ඩායමද වේග පන්දුව සමග සාර්ථකව ඔට්ටු වූයේ වැඩි ඈතක නොවේ. පසුගිය මාසයේ පැවැති බටහිර ඉන්දීය කොදෙව් දූපත් සංචාරයේදී ඔවුන් ටෙස්ට් තරග තුනක්ම පුරාම බිහිසුණු වේග පන්දුවලට මුහුණ දුන්හ. ට්‍රිනිඩෑඩ්හි පැවැති පළමු තරගයෙන් පරාජය වූවද දෙවැනි තරගය වැඩි ගෞරව සහිත ජය පැරදුමින් තොර තීරණයකින්ද, තෙවැනි තරගය ජයග්‍රහණයකින්ද කෙළවර කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූයේ තරගමාලාව සම කරමිනි.

විශේෂයෙන් තෙවැනි තරගයේ ජයග්‍රහණය ඉතාමත් අගනා එකක් වූයේ එය නොයෙකුත් සිදුවීම් නිසා ක්‍රීඩකයන්ගේ අවධානය බිඳී තිබියදී ලබා ගත් ජයග්‍රහණයක් වීම නිසාවෙනි. තරග තහනමකට ලක්ව සිටි නායක දිනේෂ් චන්දිමාල්, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න හා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් එම තරගයට ක්‍රීඩා කළේ නැත.

මැතිව්ස් දැන් නැවත හොඳ ක්‍රීඩා යෝග්‍යතාවටත් ලකුණු අතරටත් පැමිණ සිටීම ශ්‍රී ලංකා කඳවුරට මහත් සැනසුමක් ගෙන දෙන කරුණකි. ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු ලෙසින් තමාගේ වටිනාකම සනාථ කිරීමේ උනන්දුවෙන් පසුවන මැතිව්ස්, කොදෙව් පිල සමග පැවැති දෙදින පුහුණු තරගයේදී අතිදක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 124කින් ලකුණු 92ක් රැස් කළේය.

වර්නන් ෆිලැන්ඩර්, ඩේල් ස්ටෙයින්, කගිසො රබාඩා හා ලුන්ගි න්ගිඩිගේ වේග පන්දුවලට පමණක් නොව ටබ්රයිස් ෂම්සි හා ෂෝන් වොන් බර්ග්ගේ දඟ පන්දුවලටද පැය තුනකට වැඩි කාලයක් මුහුණ දුන් මැතිව්ස් හතරේ පහර 13ක් හා හයේ පහර 3ක් එල්ල කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට එරෙහිව පැවැති ජය පැරදුමින් තොර පුහුණු තරගයේදී ස්ටෙයින්, ෆිලැන්ඩර් හා රබාඩා කඩුලු ලබා ගත්තේ නැත. න්ගිඩි ලබා ගත්තේ එක කඩුල්ලක් පමණි. එහෙත් වොන් බර්ග් හා ෂම්සි යන දඟ පන්දු යවන යුගලය කඩුලු 7ක් ලබා ගැනීමට සමත් වූහ.

කෙසේ වෙතත් ගිබ්සන් පවසන්නේ අද ඇරැඹෙන තරගය සඳහා නියත වශයෙන්ම වේග පන්දු යවන්නන් තිදෙනෙකු යොදවන බවයි. මීට අමතරව දඟ පන්දු ප්‍රහාරය සඳහා ඔහු වොන් බර්ග් හා ෂම්සි යොදා ගැනීමට ඉඩ තිබේ.

තමන්ගේ වේග පන්දු යවන්නන් කෙරෙහි පුහුණුකරු ඔටිස් ගිබ්සන්ගේ විශ්වාසයට සමහර විට බලපා තිබෙන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායම මීට පෙර අවසන් වතාවට ශ්‍රී ලංකාවේ කළ සංචාරය විය හැක. ඒ, 2014 සංචාරයේදී අතිසාර්ථක වේග පන්දු යැවීමක නියැළුනු ස්ටෙයින් තරග දෙකකදී කඩුලු 13ක් ලබා ගත්තේය. එම සංචාරයේ ගාල්ලේ පැවැති පළමු තරගය දකුණු අප්‍රිකාව ලකුණු 153කින් ජය ගත් අතර කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැති දෙවැනි තරගය ජය පැරදුමක් නැතිව අවසන් විය. එදා ගාලු තරගය පැවතියේද ජූලි මාසයේය.

දකුණු අප්‍රිකානු පිතිකරණය පැත්තෙන් බලන විට හෂිම් අම්ලා, ටෙම්බා බවුමා හා ෆෆ් ඩු ප්ලෙසි පුහුණු තරගයේදී අර්ධ ශතක ලබා ගත්හ. ඩීන් එල්ගා වේගවත් ලකුණු 43ක් වාර්තා කළේය. එහෙත් මැද පෙල පිතිකරුවෝ අසාර්ථක වූහ.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද ආරම්භ වන්නේ 26 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයයි. මෙතෙක් ක්‍රීඩා කර තිබෙන තරගවලින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණ 14ක්ද, ශ්‍රී ලංකාව ජයග්‍රහණ 5ක්ද වාර්තා කර තිබෙන අතර තරග 6ක් ජය පැරදුමින් තොරව අවසන් වී තිබේ.

ශ්‍රී ලංකාව අවසන් වතාවට දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගමාලා ජයක් (2 – 0) වාර්තා කර තිබෙන්නේ 2006 වසරේ ශ්‍රී ලංකාවේදීය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ ලොව අංක 2 ටෙස්ට් කණ්ඩායම ලෙසිනි. 2016 වසරේදී අංක 1 ට ශ්‍රේණිගතව සිට දිවයිනට පැමිණි ඔස්ට්‍රේලියානු කණ්ඩායම 3 – 0කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. නැවත වතාවක් එවැනි සුපිරි දක්ෂතාවක් ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකාවට දැන් ලැබී තිබෙන්නේ මහඟු අවස්ථාවකි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය: දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උපනායක), ධනංජය ද සිල්වා, දනුෂ්ක ගුණතිලක, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, අකිල ධනංජය, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු කුමාර, කුසල් මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, කසුන් රාජිත, රොෂේන් සිල්වා, ලක්ෂාන් සඳකැන්.

දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය: ෆෆ් ඩු ප්ලෙසි (නායක), හෂිම් අම්ලා, ටෙම්බා බවුමා, තෙවුනිස් ඩි බ්රුයින්, කුයින්ටන් ඩි කොක්, ඩීන් එල්ගා, හයින්රිච් ක්ලාසන්, කේෂව් මහරාජ්, ඒඩ්න් මාක්‍රම්, ලුන්ගි න්ගිඩි, වර්නන් ෆිලැන්ඩර්, කගිසො රබාඩා, ටබ්රයිස් ෂම්සි, ඩේල් ස්ටෙයින්, ෂෝන් වොන් බර්ග්.

නව අදහස දක්වන්න