යුද හමුදා කණ්ඩායම ‘ඊවා‘ නෙට්බෝල් කුසලානය දිනයි | දිනමිණ

යුද හමුදා කණ්ඩායම ‘ඊවා‘ නෙට්බෝල් කුසලානය දිනයි

    එක්ස්පෝ ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 72-58ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යුද හමුදා පිල ඊවා කුසලාන සමස්ත ලංකා විවෘත නෙට්බෝල් තරගාවලියේ කුසලානය දිනාගැනීමට සමත්විය. බස්නාහිර පළාත් නෙට්බෝල් සංගමයේ සංවිධායකත්වයෙන් සහ ඉන්ටර්නැෂනල් කොස්මෙටික්ස් පුද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වයෙන් පසුගියදා කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ ‘ඒ‘ කාණ්ඩයේ ශූරියන් ලෙස යුද හමුදාව කුසලානය දිනාගනිද්දී ගම්පහ සිරි කුරුස විදුහල් පිල ලකුණු 26-12කින් පරාජය කළ කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයට අවුරුදු 19න් පහළ තරග අංශයේ ශූරතාව හිමිවිය.

තරගාවලියේ අවුරුදු 17න් පහළ ශූරතාව ලකුණු 16-13කින් ගෝතමී බාලිකා විදුහල් පිල පරාජය කළ මලියදේව බාලිකාවට හිමිවූ අතර ලකුණු 14-13කින් කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාම පිල පරාජය කරමින් මියුසියස් විදුහල් පිල අවුරුදු 15න් පහළ ශූරතාව දිනාගත්තේය.

‘බී‘ කාණ්ඩයේ ශුරතාව දිනාගැනීමට සමත්වුයේ ලකුණු 16-11කින් කැම්බල් පාක් කණ්ඩායම පරාජය කළ නෙට් ෆයර් කණ්ඩායමය. ප්‍රවීණයන්ගේ තරග අංශයේ ජය හිමිවූයේ ලකුණු 14-3කින් පැන්තර්ස් පිල පරාජය කළ ස්පීඩ් බර්ඩ් කණ්ඩායමටය.

තරග අංශ 4ක් යටතේ පැවැති මේ තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව ලෙස එක්ස්පෝ ලංකා කණ්ඩායමේ ශෙරින් නුගේරා සම්මාන දිනාගත්තාය. නෙට්බෝල් රැජනගේ සම්මානය දිනාගනු ලැබුවේ යුද හමුදා පිලේ තාරුකා අශ්විනී විසිනි.

තරගාවලියේ පිරිමි තරග අංශයේ ශූරතාව දිනාගනු ලැබුවේ ලකුණු 14-9කින් නෙට් ෆයර් ක්‍රීඩා සමාජය පරාජය කළ පොලිස් කණ්ඩායම විසිනි. තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස නෙට් ෆයර් පිලේ ප්‍රසන්න ඇලෝෂියස් සම්මාන දිනූ අතර පොලිස් පිලේ බණ්ඩාර සමරකෝන් නෙට්බෝල් රජු ලෙස සම්මාන දිනාගත්තේය.

- ෆවුස් මොහොමඩ්


නව අදහස දක්වන්න

Or log in with...