කෝටි 18ක හෙරොයින් සීඅයිඩී අත්අඩංගුවට | දිනමිණ

කෝටි 18ක හෙරොයින් සීඅයිඩී අත්අඩංගුවට

විජයාණි එදිරිසිංහ, අනුර ප්‍රේමලාල් සහ රක්ෂණ ශ්‍රියන්ත

වාකරේ ප්‍රදේශයේ ලී මෝලක සඟවා තිබිය දී රුපියල් කෝටි 18ක් වටිනා හෙරොයින් කිලෝ 9.9ක ප්‍රමාණයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිසිය කියයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකුට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව දීර්ඝ කාලයක් මුළුල්ලේ කළ පරීක්ෂණවලින් අනතුරුව නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර තිබේ.

මෙම මත්කුඩු තොගය සමඟ සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේ අත්අඩංගුවට ගන්නා ලද වැඩිම හෙරොයින් තොගය මෙය වන අතර ඉතා සූක්‍ෂම අයුරින් කුඩාපාර්සල් 20ක් හා විශාල පාර්සල් 02ක් තුළ වී මෝලක වී ගෝනි තුළ සඟවා තිබිය දී මෙම හෙරොයින් තොගය සොයා ගෙන ඇති බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි.

විදේශ රටක සිට මෙරටට ගෙන්වූ හෙරොයින් තොගයක් කෙළඹට ගෙන යන තෙක් වාකරේ ප්‍රදේශයේ ලී මෝලක සඟවා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු තිස් හතරක් හා හතළිස් එකක්වන සේරුවාවිල මාවඩිච්චේන කෙසෙල්වත්ත ප්‍රදේශ‍යේ පදිංචිකරුවන්වේ. සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් වැඩිදුර විමර්ශන කිරීමට නියමිතය.

රටපුරා ක්‍රියාත්මක කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය සම්පූර්ණයෙන්ම අඩපණ කිරීම සඳහා දවසේ පැය 24 පුරා මත්ද්‍රව්‍ය ‍නාශක අංශය, සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය, විශේෂ කාර්ය බලකාය, කොළඹ අපරාධ කොට්ඨාසය, පොලිස් මූලස්ථාන අපරාධ ඒකකය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මත්ද්‍රව්‍ය බුද්ධි අංශ යන සෑම අංශයක්ම ක්‍රියාත්මක විය යුතු බවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැඩි උපදෙස් දී තිබේ.

ඊට අමතරව සෑම බුද්ධි අංශයක්ම, ඔත්‍තු සේවාවන් ද සක්‍රීය කර මෙම මත්ද්‍රව්‍ය ජාලය හරහා රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම අලෙවි කරන හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය කොටු කර ගැනීම ද මෙම මෙහෙයුම හරහා සිදුවේ.

ඒ අනුව මෙම දින කිහිපය තුළ පමණක් රුපියල් කෝටි එකසිය පනහක පමණ වටිනාකමකින් යුත් මත් කුඩු තොග සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවි ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගු‍ණසේකර මහතා කියා සිටියේ මෙම මෙහෙයුම් තවදුරටත් විවිධ උපක්‍රම හරහා වැඩිදියුණු කරමින් ඉදිරියටත් සිදුකරන බවයි.

නව අදහස දක්වන්න