තරුණ ව්‍යවසායකයන්ට තුරුණු දිරිය ණය | දිනමිණ

තරුණ ව්‍යවසායකයන්ට තුරුණු දිරිය ණය

ඡායාරූප අන්තර්ජාලයෙන්

අවුරුදු 3 කට නොඅඩු කාලයක් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර ව්‍යාප්ත කර , ස්ථාවර කර ගැනීම සඳහා යොවුන් ව්‍යවසායකයින් හට, රුපියල් ලක්ෂ 5 ට ඉහළ ණය මුදලක් සඳහා ලිහිල් ඇප කරුවන් යටතේ ද ණය ලබා ගැනීමට හැකි වන පරිදි “තුරුණු දිරිය”ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව විසින් සකසා ඇත.

ඇප කරුවන් නොමැතිව රුපියල් ලක්ෂ 2 ක් දක්වා ණය මුදල් ලබා ගැනීමටද මේ යටතේ හැකියාව ලැබේ. බස්නාහිර පළාතට අදාළ “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගිය 6 වන දින අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.

ලංකා බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජික, රනෙල් ටී. විජේසිංහ මහතා,එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සී. අමරසිංහ මහතාඇතුළු ලංකා බැංකුවේ නිලධාරීන් පිරිසක් ද, බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, මධ්‍යම වැඩසටහන් කලමනාකරණ ඒකකය සහ ප්‍රතිපත්ති සංවර්ධනය කාර්යාලය නියෝජනය කරමින් තෝරා ගත් නිලධාරීන් පිරිසක් ද මේ සඳහා සහභාගී විය. ඉහත සඳහන් නිලධාරීන්ට අමතරව, ක්ෂේත්‍ර නිලධාරීන් යොදා ගනිමින් මෙම ණය යෝජනා ක්‍රමයට සුදුසු ව්‍යවසායකයින් හඳුනාගැනීම උදෙසා ප්‍රාදේශීය ලේකම් කාර්යාල විශේෂ කාර්ය භාරයක් ඉටු කරයි. මෙම ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය ව්‍යාපාර සැලසුම් ලංකා බැංකු ශාඛා වෙත ඉදිරිපත් කරනු ලබන්නේ ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින්ය. “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා ගැනීම සඳහා පහත සඳහන් ව්‍යවසායකයින් සුදුසුකම් සපුරාලිය යුතුය.

වයස අවුරුදු 35 ට අඩු වීම, උපාධියක්/ඩිප්ලෝමාවක්/ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) III/ විදාත වැනි සුදුසුකමක් ලබා තිබීම,ව්‍යාපාර ලියාපදිංචිය/ග්‍රාම නිලධාරී සහතිකයක් ඉදිරිපත් කිරීමට ඇති හැකියාව,පසුගිය අවුරුද්දක කාලය තුළ/ පසුගිය මාස 12 තුළ සහතික කළ ගිණුම් ඉදිරිපත් කිරීමට හැකි වීම සහ පිළිගත හැකි ව්‍යාපාර සැලසුමක් ඉදිරිපත් කිරීම මෙහිදි අපේක්ෂා කෙරේ.

ඉහත ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන ගැටළු පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්විමේදී නිලධාරීන් විසින් තමන් මුහුණ දෙන ගැටළු සභාවට ඉදිරිපත් කළ අතර, මෙම ගැටළු සඳහා විසඳුම් ද වගකිවයුතු නිලධාරීන් විසින් ලබා දෙන ලදි. එමෙන්ම මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා වැදගත් වන යෝජනා කිහිපයක්ද සභාව වෙත ඉදිරිපත් විය. අවසානයේදී,“තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කිරීමේ වත්මන් ප්‍රගතිය පිළිබඳව සභාවට ඉදිරිපත් කරන ලදී. මෙම වාර්තාවට අනුව

සකසා ඇති ව්‍යාපාර සැලසුම් ගණන- 65 ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දී ඇති ව්‍යාපාර සැලසුම් ගණන- 31,ලංකා බැංකුව වෙත භාර දී ඇති ව්‍යාපාර සැලසුම් ගණන 03, ලංකා බැංකුව මඟින් ලබා දී ඇති ණය සංඛ්‍යාව - 02 බව අනාවරණය විය.

මේ රැස්වීමසැප්තැම්බර් මස 28 වන දින නැවත කැඳවීමට නියමිතය. එහිදී මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රගතිය තව දුරටත් සාකච්ඡා කරනු ඇත.අනෙකුත් පළාත් වල මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම් ඉදිරි දෙමස තුළ පැවැත්වීමට නියමිතව ඇත.

මේ ණය යෝජනා ක්‍රමය පිළිබඳ වැඩිදුර විස්තර දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛා වලින් හා ප්‍රාදේශීය කාර්යාල වලින් ලබා ගත හැක.

නව අදහස දක්වන්න