රෝහල් සියයක් පරිගණක ගත කර අවසන් | දිනමිණ

රෝහල් සියයක් පරිගණක ගත කර අවසන්

‍සිතාරා සේනානි සහ චමීර ඇල්ලදෙණිය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ රෝහල් පරිගණක ගත කිරිමේ රජයේ සැලසුමට අනුව

දැනට රෝහල් සියයක් පරිගණක ගත කර ඇති අතර මේ වසර අවසානය වන විට රෝහල් තුන්සියයක් පරිගණක ගත කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා පෝෂණ සහ දේශිය ඇමැති සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට ඊයේ (11) එක්වෙමින් එසේ කී ඇමැතිවරයා ඉන් අනතුරව මිලයන විසිඑකක් වන ජනතාවට තමන්ගේ රෝග දත්ත ඇතුළත් ඊ කාඩ් පතක් නිකුත් කිරිමට කටයුතු කරන බවද කියා සිටියේය.

නවතම වෛද්‍ය විද්‍යාවට අනුව ජාන වෛද්‍ය විද්‍යාව මෙරට ස්ථාපිත කිරිමට කටයුතු කරන බවත් රෝගයට සම්බන්ධ ජනය සොයාගෙන ඊට ප්‍රතිකාර කිරිම තුළින් රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බවත් හෙතම සඳහන් කළේය.

ජාන වෛද්‍ය විද්‍යාව මෙරට තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් නව ඒකකයක් ස්ථාපිත කිරීමත් ඊට අදාළ මෙරට වෛද්‍යවරුන් හත්දෙනකු සුදුසුකම් සහිතව සිටින බවත් ඔවුන් පුහුණු කර තවත් කණ්ඩායමක් සකස් කර ජාන වෛද්‍ය විද්‍යාව මෙරට තුළ කඩිනමින් ස්ථාපිත කරන බවත් ඇමැතිවරයා කීවේය.

රුධිර ප්ලාස්මවලින් ඖෂධ නිෂ්පාදනය යොදා ගැනීමට ආයෝජකයින් සොයා ගැනීමට කටයුතු කරන බවත් මේ වනවිට රුධිර ප්ලාස්ම අපනයන කරමින් සිටින බවද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

මේ සඳහා ෆින්ලන්තය සමඟ අවබෝධතා ගිවිසුමක් ඇති කිරිමට කැබිනට් අනුමැතිය හිමව ඇති අතර, දන්ත සෞඛ්‍ය සත්කාර, රෝහල් වල වෛද්‍ය උපකරණ හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරිම, ජාන විද්‍යාව,රුධිර ප්ලාස්ම භාගීකරණය, චිකිත්සාවන්,වෛද්‍ය හා සෞඛ්‍ය සත්කාරක අධ්‍යාපනය සහ බෝනොවන රෝග යනාදී සෞඛ්‍ය ක්ෂේත්‍රන්හි සහයෝගිතාව මෙමඟින් සිදුවේ.

මීට අමතරව සෞඛය හා වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ ශ්‍රි ලංකාව සහ බංගලාදේශය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමටද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මහජන සෞඛ්‍ය හෙද අධ්‍යාපනය පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය, සෞඛ්‍ය ප්‍රතිපත්ති හා පරිපාලනය, ප්‍රජා සෞඛ්‍ය, ග්‍රාමීය හා නාගරික සෞඛ්‍ය කළමනාකරණය, සෞඛ්‍ය සංචාරක කර්මාන්ත සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම, දේශගුණ විපර්යාස හා ආපදා කළමරනාකරණ, මානව සම්පත් කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම යනාදිය වෛද්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර, සහයෝගිතාව මඟින් සිදුවේ.

නව අදහස දක්වන්න