ආයෝජන ශක්තිමත් කරන Empower | දිනමිණ

ආයෝජන ශක්තිමත් කරන Empower

ජයසිරි මුණසිංහ

 

ශ්‍රී ලාංකික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සාම්ප්‍රදායික ණය ලබාදීම් වෙනුවට ඔවුන්ට අන්තර්ජාතික ප්‍රාග්ධන අරමුදල් වෙතින් පහසුවෙන් අරමුදල් සපයාගැනීමට ඉඩකඩ විවෘත කළ නවාකාරක වැඩපිළිවෙළක් “Empower” නමින් එළිදැක්විණි.

අපේ රටේ ජාතික ආර්ථිකයේ ගාමක බලවේගය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ දිරිමත් පිරිස්වලට ව්‍යාපාර දියුණු කර ගැනීමට අවශ්‍ය අරමුදල් ප්‍රාග්ධන වෙළඳපොළින් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව උදා කිරීම මේ යටතේ සිදු කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.

වත්මන් රජය ක්‍රියාත්මක කරන ව්‍යවසායක පාරාදීසයක් බවට අප රට, රටේ තරුණ ප්‍රජාව පත් කිරීම අරමුණින් කොට ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා 16 අතරට තවත් අලුත් මඟක් පෙන්වා දෙමින් මේ වැඩපිළිවෙළ ඇරඹිණි.

අප රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාව කොළඹ කොටස් වෙ‍ළඳපොළ වෙත ආකර්ෂණය කර ගැනීමටද මේ නව වැඩපිළිවෙළ දායක වන බවද මංගල සමරවීර මහතා කීය.

කොළඹ කොටස් වෙළඳපොළ ඇතුළු අප රටේ ප්‍රාග්ධන වෙළඳපොළෙහි නියාමකයා ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් මේ “Empower” සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පුවරුව ස්ථාපිත කරනු ලැබුවේ ඉකුත් දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදීය.

මේ අන්දමට නව වැඩපිළිවෙළ ඇරඹීම ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙන්ම ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා හා කොළඹ කොටස් වෙළඳපොළ හුවමාරු ඉතිහාසයේ ප්‍රථම වතාවට සුළු හා මැදි පරිමාණ ව්‍යවසායකයින්ගේ දියුණුවට අත්වැල් බැඳ ගැනීමක් ද වෙන බව මංගල සමරවීර මහතා පැවැසීය.

“සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ප්‍රාග්ධන වෙළෙඳපොළ කටයුතු යොදා ගැනීම තුළින් ව්‍යවසායකත්වය සවිබල ගැන්වීම” යන තේමාව මගින් ළඟා කරගැනීමට අපේක්ෂිත මූලික අභිප්‍රායන් සාරාංශ කර ඇති බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති, රනෙල් ටී විජේසිංහ මහතා පවසයි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පුවරුව සඳහා පසුබිම සහ සහේතුකභාවය පිළිබඳ පැහැදිලි කරමින් සභාපති විජේසිංහ මහතා පවසා සිටියේ දකුණු ආසියානු කලාපය තුළදී ශ්‍රී ලංකාව බොහොමයක් ක්ෂේත්‍රවලින් සැලකිය යුතු සංවර්ධනයක් පෙන්නුම් කළ ද සත්‍ය වශයෙන්ම වඩා වැදගත් ක්‍රියාකාරිකයෙකු විය හැකි පුළුල් ආසියා පැසිෆික් කලාපයේදී තවමත් නැගී එන ආර්ථිකයක් බවයි. අප තවමත් අපගේ පූර්ණ හැකියාවන් අවබෝධ කරගෙන නොමැති අතර මෙය කලක් තිස්සේ ප්‍රකාශ කරන කරුණකි. නමුත් වර්ධනය සමබර විය යුතුය. වර්ධනය අවංක විය යුතුය. පරිපූර්ණ විය යුතුය සහ වඩා වැදගත් වන්නේ තිරසාර බවින් යුතු වීමයි. ගම සහ නගරය, කෘෂිකාර්මික, කාර්මික හා සේවා සහ ආගමික හා ප්‍රජා නියෝජිතයින් වැනි කාරණා අතර ආර්ථික සංවර්ධනයේ සහ සේවා නියුක්තියේ සමතුලිතභාවය සමග දිවයින පුරා සමානාත්මතාවය මුල් කරගත් ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට නම් රටක් වශයෙන් ක්‍රියාකිරීමේ බලවත් ජාතික අවශ්‍යතාවයක් ඇත.

ආර්ථික වශයෙන් ශක්තිමත්, දේශපාලනික වශයෙන් ස්ථායී, සමාජය මුල්කරගත් ශ්‍රී ලංකාවක් නිර්මාණය සඳහා වූ ජාතික අවශ්‍යතාවයකි. එම පසුබිම තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් ඇත. මීට වසර 41කට පෙර 1977 වර්ෂයේදී අපනයන මුල් කරගත් වර්ධන උපාය මාර්ගයක් සමග ආවෘත රටක් යන තත්ත්වයේ සිට ගෝලීය වශයෙන් විවෘත රටක් ලෙස ශ්‍රී ලංකාව විතැන් වන ලදී. නමුත් තවමත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය, නැඟී එන ආර්ථිකයක් සඳහා අත්‍යවශ්‍ය පුළුල් වර්ධන මට්ටමක් ළඟාකරගෙන නොමැති බව” ඔහු තවදුරටත් පැවසීය.

රටෙහි බැංකුකරණ සහ මූල්‍ය යටිතල පහසුකම්වලට අදාළ සියලුම අංශයන් මෙය හඳුනාගැනීමට අවශ්‍ය වනු ඇත. කෙසේ වුවද හිතකර පොලී අනුපාත, විනිමය අනුපාත සහ උද්ධමන අනුපාත හරහා මිල ස්ථායිතාවය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මුහුණ දෙන අභියෝග පිළිබඳ අප අවබෝධ කරගත යුතු යැයි පැවසූ විජේසිංහ මහතා තවදුරටත් පවසා සිටියේ වර්තමානයේදී ශ්‍රී ලංකාවේ බැංකු ණය මත පොලී අනුපාත සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතීම නිසා ව්‍යවසායකයින් දිරිගැන්වීම ප්‍රමාණවත්ව සිදු නොවන බවයි. එම නිසා මා දැඩිව විශ්වාස කරනුයේ අප වැනි ඉහළ මට්ටමේ ව්‍යවස්ථාපිත ආයතනයන් විසින් සමස්තයක් වශයෙන් සියලුම නියාමන අංග පිළිබඳ අවධානය යොමු කරන අතරතුර ව්‍යවසායකත්වය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සවිබලගැන්වීම, දිරිමත් කිරීම සහ දිරි දීමනා ලබාදීම සඳහා වූ ක්‍රියාමාර්ගයන්ට පහසුකම් සැපයීමේ සහ ඒවා වේගවත් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි.

නව අදහස දක්වන්න