අපි ඉටු කරන්නේ නියමු මාධ්‍ය මෙහෙවරයි | දිනමිණ

අපි ඉටු කරන්නේ නියමු මාධ්‍ය මෙහෙවරයි

ජේ. එම්. තිලකා ජය­සු­න්දර,  අති­රේක ලේකම් මුදල් හා ජන­මාධ්‍ය අමා­ත්‍යා­ශය,  සභා­පති ස්වාධීන රුප­වා­හිනි සේවය

ජනමාධ්‍ය යනු ධනේෂ්වර ව්‍යාපාරයක් ලෙස හැඳින්වූයේ කාල් මාක්ස්ය. ඒ අදහස් ව්‍යාප්තිය, සමාජ බලපෑම මෙන්ම වෙළෙඳ පොළ ආර්ථිකයට ඇති පංගුකාරීත්වය හා උපයන ලාභය ද සලකාය. වර්තමානයේ ජනමාධ්‍ය පිළිබඳ සමීප කියැවීම වන්නේ එය ජාතික, සමාජ, ආර්ථික, උසස් මානවීය අභිමතාර්ථ ඉටුකර ගැනීම සඳහා මෙහෙයවිය හැකි ප්‍රබලතම උපකරණයක් බවයි.

මෙරට භාවිත මාධ්‍යයන් අතර අයි. ටී. එන් ප්‍රමුඛ වන්නේ මෙරට ස්ථාපිත ප්‍රථම රූපවාහිනී මාධ්‍ය ආයතනය සේම, වැඩි පිරිස‍ක් වෙත පැහිදිලි දසුන් පිරිනැමීමේ තාක්ෂණික පොහොසත්කමින් සමන්විත ජනමාධ්‍ය ලෙසයි.

පසුගිය දා එම මාධ්‍ය ආයතනයේ නව පිටුවක් පෙරළුනේ, එහි සභාපති වශයෙන් කාන්තාවක් පත්වීම නිසයි. ඇය ඒ. ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මියයි. ‘කප්රුක’ අපි ඇය හා සංවාදයක නිරත වූයේ ජනමාධ්‍ය ව්‍යාපාරයක් හා මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යාමේ අභියෝගය ජයගන්නා ආකාරය පිළිබඳත්, රාජ්‍ය මාධ්‍ය යන මායිමේ සීමාවන් අතික්‍රමණය කරමින් සාර්ථකත්වයට පත්වීම සහ ඒ හා ඈදුනු තවත් කාරණා පිළිබඳ සංවාදයක නිරතවීම සඳහායි.

 

• ඔබ පරිපාලන සේවයේ අත්දැකීම් බහුල කාන්තාවක්, නමුත් ජනමාධ්‍ය ආයතනයක කර්ය, කර්තව්‍ය, මෙන්ම අභිප්‍රායන් වෙනස්. මේ තත්ත්වය ජය ගැනීම ඔබට අභියෝගයක් නොවේද?

මේ ආයතනයේ ව්‍යූහය, ක්‍රමවේදය, අභිප්‍රාය පිළිබඳ මනා වැටහීමකින් යුතුවයි මා මෙය භාර ගත්තේ. සාමාන්‍යයෙන් බොහෝ දෙනකුගේ මතය වන්නේ රජ්‍ය ආයතනවල කාර්ය මුදල් වියදම් කිරීම බවයි. බොහෝ විට වාර්ෂික අය-වැයෙන් වෙන්කරන මුදල් වැ‍ය කිරීම සඳහායි ‍රාජ්‍ය ආයතන සැලසුම් සකස් කරනුයේ, නමුත් මුදල් ඉපැයිය හැකි ආයතනත් පවතිනවා. අතීතයේ මම සේවය කළ රජයේ ආයතනවල එලෙස මුදල් ඉපැයීම පිළිබඳ මට අත්දැකීම් බොහොමයක් තියෙනවා. විශේෂයෙන් මට සතුටුයි කියන්න අයි. ටී. එන් කියන්නේ මුදල් ඉපැයිය හැකි මුදල් ඉකිරි කළ හැකි, මුදල් පාලනය කළ හැකි ස්ථානයක්. එතුළින් ඵලදායීත්වයෙන් ඉහළට ඔසවා තැබිය හැකි ආයතනයක්. අයි.ටී. එන් ආයතනය රාජ්‍ය භාණ්ඩාගාරයෙන් යැපෙන ආයතනයක් නොවෙයි.

• ලාභ ලැබීමට නම් ප්‍රාග්ධනය, නිෂ්පාදනයේ ගුණාත්මක බව මෙන්ම තරගකාරීත්වයත් සැලකිය යුතු වෙනවා නේද?

අපිට අනෙකුත් පෞද්ගලික රූපවාහිනී ආයතන සමඟ තරග කරමින්, යහපත් මාධ්‍ය මෙහෙවරක් මෙන්ම ජාතික අපේක්ෂා ඉටු කරන ආයතනයක් ලෙසත් කටයුතු කිරීමට සිදුවෙනවා.

අයි. ටී. එන් මෙහෙයවීම පිළිබඳ මගේ දැක්ම වන්නේ සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව යන තේමාවන් වෙතට මහජනතාව සමීප කරමින්, මහජනතාව ජනමාධ්‍ය වෙතික් අපේක්ෂා කරන සන්නිවේදන කර්තව්‍ය ඉටු කිරීමයි. අපිට පුළුවන් අඩු පිරිවැයකින් හොඳ ගුණාත්මක නිෂ්පාදනයක් ඉදිරිපත් කිරීමට ඒ සඳහා අවශ්‍ය කළමනාකරණ ව්‍යුහය ගොඩනැ‍ඟීමයි මගේ අරමුණ.

නාස්තිය අවම කිරීම, වඩා උසස් නිෂ්පාදනයක් ඉදිරිපත් කිරීම තුළින් පහසුවෙන් තරගකාරීත්වය ජයගත හැකි බවයි. විශේෂයෙන් ළමා, තරුණ, විද්වත්, වැඩිහිටි, කාන්තා ආදී සෑම පාර්ශ්වයකටම ගැළපෙන ආකාරයේ වැඩසටහන් ඉදිරිපත් කිරීමත් වැදගත්, ඒ ඒ අයගේ අපේක්ෂා මෙන්ම ඒ අයට වැදගත් කුමක් ද යන්න පිළිබඳ හඳුනා ගැනීමයි වැදගත්. ‘ප්‍රේක්ෂකයා ඉල්ලන දේ මාධ්‍ය දෙන්නේ’ යනුවෙන් මතයක් තිබුණත් එය මතයක් පමණයි. සැබෑවටම ප්‍රේක්ෂකයාට ඒවා වුවමනා ද යන්න ගැටලුවක්. මේ බව මැනවින් හඳුනා ගැනීමට නම් පර්යේෂණ පැවැත්විය යුතුයි. ලෝකයේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වෙන්නේ පර්යේෂණ අංශයයේ නිගමන හා යෝජනාවලට අනුවයි. ඒ ආයතන නිෂ්පාදනයන් පිළිබඳ බොහොමයක් තීන්දු ගනුයේ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසයි. අපගේ ආයතනවලට මේ ‍දේවල් තරමක් ආගන්තුක වුවත් මගේ අදහස කඩිනම්න් පර්යේෂණ අංශය සක්‍රිය විය යුතු බවයි.

• පර්යේෂණ අංශයට අමතරව වෙනස්කම් සිදු කිරීමට අපේක්ෂිත අංශ මොනවාද?

තාක්ෂණික අංශය දියුණු කිරීම මීළඟ කාරණයයි. දැන් සියල්ලට වඩා ප්‍රමුඛ වී ඇත්තේ නව මාධ්‍යයයි. සමාජ ජාලා ඇතුළු ඩිජිටල් තාක්ෂණයයි. ඒ මාධ්‍යයේ සබඳතාවන් ශක්තිමත් කරගැනීම අත්‍යාවශ්‍ය වෙනවා. මේ දිනවල ඒ සඳහා කටයුතු ක්‍රියාත්මක කරමින් පවතින්නේ.

අපගේ අරමුණ වන්නේ මේ සියල්ල තුළින් මෙතෙන් පැවැති මාධ්‍ය සංස්කෘතිය ආරක්ෂා කරමින් රජයේ මාධ්‍ය විදිහට ඒ මාධ්‍ය සංස්කෘතිය තව දුරටත් දියුණු කිරීමේ නියමු දායකත්වය සැපයීමයි. 2020 දී මේ රටේ ප්‍රමුඛතම ජනමාධ්‍ය ආයතනය බවට ස්වාධීන රූපවාහිනි සේවා මාධ්‍ය ජාලය පත්කිරීම මගේ මුඛ්‍ය අරමුණයි.

• රජ්‍ය මාධ්‍යය රාමුව තුළ ඔබට බලපෑම්වලට නතුවීමට වොවේවි යැයි සිතනවාද? වි‍‍ශේෂයෙන් ඉහළ සහ පහළ දේශපාලන බලපෑම්වලට?

මගේ පුංචි කාලේ කියූ වාක්‍යයක් තිබෙනවා මම එය හැමදාමත් විශ්වාස කරන අදහසක්. ‘ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය විය යුතු නෑ’ මම හිතනවා ආයතනයේ යහපත වෙනුවෙන් කිසිවක් කිරීමට බිය විය යුතු නෑ. අපි කරන්නේ හරි දේනම් ඊට සාධාරණ හේතු ති‍‍‍බේනම් හැමෝම ආශිර්වාද කරාවි. දේශපාලනයෙන් බැහැරව අපිට කටයුතු කිරීමට නොහැකියි. හැමෝටම දේශපාලනයක් තිබෙනවා. නමුත් හරිදේ කිරීමේ දී ඊට අවශ්‍ය උපදෙස් මඟ පෙන්වීම, ආශිර්වාදය ඉහළින් ලැබේවි.

අප රජයේ මාධ්‍ය නැතිනම් ආණ්ඩුවේ හොරණෑව ආදී වශයෙන් හැඳින්වුවත්, අපි උත්සාහ ගත යුත්තේ නිවැරැදි අයුරින් මාධ්‍ය මෙහෙවර සිදු කිරීමටයි. විශේෂයෙන්ම සංවර්ධනය උදෙසා වන මාධ්‍ය මෙහෙවර නම් අපි කරන්නේ අපිට කිසිවිටක බාධාවන් ඇති නොවේවි. ආශිර්වාද ලැබේවි. මේ වන විටත් ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ, විෂයභාර ඇමැතිවරයාගේ ප්‍රසාදයට හේතුවී තිබෙනවා.

අනෙක් කාරණය මේ ආයතනය තුළ සේවය කරන අය පිළිබඳ සැලකුවොත් ඔවුන් හැමෝටම ‍යම් පෞද්ගලික දේශපාලන මතයක් තිබිය හැකියි. නමුත් වැඩකරන කාලය තුළ පවතින රජයේ ප්‍රතිපත්ති සමඟ කටයුතු කිරීමට ඔවුන්ට සිදුවෙනවා. කිසිවකුට ඉන් බැහැරවිය නොහැකියි.

මේ ආයතනය නිසි මඟට ගැනීම සඳහා අප සියලු අංශ ශක්තිමත් කරමින් කටයුතු කරන නිසාම සේවකයන් ද ඊට අනුගත වෙන බවයි මගේ අදහස. අයතනයේ යහපත පොදුවේ සේවක සැමගේ අපේක්ෂාවයි. මෙහි‍ සේවකයන් 780ක් පමණ පිරිසක් සේවය කරනවා. ඒ සියලු දෙනාගේ පවුල්වල ආයතනය ආයතනයේ අනාගතය සමඟ බැඳී පවතිනවා. ඔවුනගේ අනාගත සුරක්ෂිත බව රැඳී තිබෙන්නේ ආයතනයේ අනාගත දියුණුව මතයි. මේ පිළිබඳ අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු වෙනවා. එසේම ආයතනය ලබන දියුණුවේ ප්‍රතිලාභ මේ සේවකයන් අතර බෙදී යායුතු වෙනවා. එවිට පටු දේශපාලනයෙන් තොරව ආයතනයේ දියුණුව වෙනුවෙන් සැවොම කටයුතු කරන බව මගේ විශ්වාසයයි.

• අයි. ටී. එන් පිළිබඳ විමසීමේ දී පොඳු මාධ්‍ය සංස්කෘතිය තුළ ඊ‍ටම සුවිශේෂී ලක්ෂණ සමුහයක් ද අත්කර ගන්නා ආයතනයක්, මේ ලක්ෂණයන්ගේ අනාගත පැවැත්ම කෙබඳුද?

මාධ්‍ය සංස්කෘතිය තුළ අයි. ටී. එන් හිමිකර ගන්නා සංස්කෘතික වපසරිය තුළ වඩා යහපත් ලක්ෂණ මෙන්ම එක්තරා අන්දමකට බැහැර කළ යුතු ලක්ෂණයන් ද පවතිනවා. අප මේ යහපත් ලක්ෂණ දියුණු කරමින් තව දුරටත් තහවුරු කරන අතරම අපහපත් ලක්ෂණ බැහැර කළ යුතු වෙනවා. ඒ සඳහා ආයතනයේ සේවය කරන විශිෂ්ටයන්ගේ සහාය ලබාගෙන රටට වැඩදායී මාධ්‍ය මෙහෙවරක් සිදු කිරීමයි අපේක්ෂාව. මේ ලක්ෂණ දෙක පැහැදිලිව වෙන් කර ගැනීමයි වැදගත්ම කාර්ය වන්නේ.

• ඔබ තවමත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙසත් සේවය කරනවා. මේ තනතුරු දෙකටම සාධාරණයක් කළ හැකි යැයි සිතනවාද?

මා මෙය භාර ගත්තේ ඉතා මැනවින් මේ තනතුරු දෙකටම සාධාරණයක් කළ හැකි බවට තිබූ විශ්වාසය නිසයි. අමාත්‍යාංශයේ දී සියලුම රාජ්‍ය මාධ්‍යවල සංවර්ධනය පිළිබඳ මගේ අවධානය යොමු වෙනවා. උදාහරණයක් විදිහට එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ පුවත්පත්වල අලවිය වර්ධනය කිරීම, ගුවන් විදුලි නාලිකා සඳහා සංඛ්‍යාත සැපයීම, ජාතික රූපවාහිනියේ දියුණුව මේ සියල්ල මගේ විෂය ක්ෂේත්‍රය වෙනවා. ඒ නිසාම මම මගේ කාලය සියයට පනහක් අයි‍. ටී. එන් ආයතනයටත් සියයට පනහක් අමාත්‍යාංශයේ කටයුතුවලටත් කැපකර තිබෙනවා. මේ කටයුතු මැනවින් කළ හැකිවී තිබෙන් මගේ සැමියාගෙනුත් මගේ ආදරණීය පුතාගෙනුත් ලැබෙන සහයෝගය නිසා බව මම පවසන්නේ ඉතාමත් නිහතමානීවයි. ඔවුන් මා සතු වගකීම පිළිබඳ හොඳ අවබෝධයකින් පසු වෙන්නේ. ඇත්තෙන්ම නිවෙසේ කටයුතුවලට මගේ කාලය වැය නොවන තරම්. ඒ නිසාම මට රාජකාරි කටයුතු සාර්ථකව කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

• ආසියානු ඵලදායිතා සංවිධානයේ කර්මාන්ත අධ්‍යක්ෂ තනතුරට පත් ප්‍රථම ශ්‍රී ලංකිකයා වීමේ භාග්‍ය හිමි කරගත්තේ ඔබයි. එයත් ඔ‍බේ වෘත්තීය ජීවිතයේ එක්තරා සන්ධිස්ථානයක් වන්නට ඇති ?

ආසියානු ඵලදායිතා සංවිධානය වසර 56ක ඉතිහාසයක් සහිත ආසියා පැසිපික් කලාපයේ ‍සාමාජික රටවල් 20 සමඟ කටයුතු කරන ආයතනයක්. මෙහි වසර 56ක ඉතිහාසය තුළ කර්මාන්ත අංශයේ අධ්‍යක්ෂ ධුරයට පත්කරගෙන තිබුණේ ජපන් ජාතිකයන්.‍ නමුත් මා ඒ ධුර‍යට අයදුම් කිරීමෙන් අනතුරුව ඔවුන් එම ධුර‍යට මා තෝරා ගත්තා. මේ නිසා ආසියානු කලාපයේ සෑම රටක් සමඟම කටයුතු කරමින් අත්දැකීම් රාශියක් ලබාගැනීමට මට අවස්ථාව උදා වුණා. මේ නිසාම සංවර්ධිත රටවල්, සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙන්ම ඌන සංවර්ධිත රටවල් යන මට්ටම් තුනෙහිම රටවල්වල අත්දැකීම් ලබා ගත්තා. ඇත්තෙන්ම ආසියානු ඵලදායිතා සංවිධානයේ කර්මාන්ත අංශය සතු මෙහෙය ඉතා විශාල වූවක්, රටවල් කීපයක් සමඟ කටයුතු කිරීම සැබවින්ම අභියෝගයක් වුණා. ඒ අභියෝගය සාර්ථකව දිනා ගැනීම නිසාම මගේ අත්දැකීම් මෙන්ම දැක්ම වඩාත් පුළුල් වුණා. මට අන්තර්ජාතික දැක්මකින් යුතුව ඕනම ගැ‍ටලුවක් දෙස බැලීමේ හැකියාව දියුණු කරගත හැකි වුණා.

• ඔබ පවසන්නේ ආයතන දෙකක රාජකාරි කිරීමට ඒ පන්නරය ඔබට වැදගත් වන බවද?

මට සාර්ථක ලේකම්වරියක මෙන්ම සාර්ථක සාභාපතිවරියක් ද විය හැකියි. එසේම මේ සියල්ල නිදහස් අධ්‍යාපනයෙන් ලද පන්නරය සේම මගේ මවුපියන්ගෙන් ලද පිටිවහල නිසාම අත්වූ දායාදයන් බව පවසන්නේ නිහතමානීවයි.

 

නව අදහස දක්වන්න