උතුරු සුළඟට ඔබත් මුසු වෙන්න | දිනමිණ

උතුරු සුළඟට ඔබත් මුසු වෙන්න

සුළඟ තරමක් වේගවත්ය. සරුවට වැඩුණු කෙසෙල්පත් “චට, චට” හඬ නන්වමින් වේගයෙන් වැනෙයි. මොහොතකින් මේ ගස් කූඩාරම වෙත පතිතවේයයි සැක සිතෙන්නේ ‘යාපනය’ සේම මේ සුළඟද නවමු අත්දැකීමක් නිසාය.

කූඩාරම් පෙළ එකිනෙකට යා කරමින් බැඳ ඇති ශක්තිමත් කඹ ‘කිටි, කිටි’ හඬ නඟමින් සුළඟට ඇඹරෙයි. අහස්කුස පැහැදිලිය, වැස්සක ලකුණකුදු නැත. සඳුද නැත. එහෙත් ගොම්මන් හුදකලාව මිහිරිය.

මා තවමත් හිඳිනුයේ කූඩාරම් පේළියේ මට හිමිවූ අංක ‘7’ කූඩාර‍ෙම් ඉදිරිපිට සුවපහසු අසුනෙහිය. හාත්පස වෙළී ඇත්තේ භාවනා අරණක සොඳුරුතම සුපහන් බවට සමීප නිස්කලංක බවකි.

යාපනයේ චුන්නක්කාම්හි අක්කර 10ක් පුරා පැතිරුණු මෙම කාබනික ගොවිපොළ, තවත් අයුරකින් යාපනයේ ග්‍රාමීය ජනජීවිතය සමීපව අත්විඳිය හැකි සංචාරක අත්දැකීමකි. එය නම්කර ඇත්තේ “The Thinnai organic” ද කින්නෙයි ඕගනික් යන නමිනි. තින්නෙයි යන දමිළ වචනයෙහි අර්ථය දමිළ සංස්කෘතිය හා බැදී පවතින්නකි.

දමිළ නිවෙස්වල එළිපත්ත බොහෝවිට වාඩිවී සතුටු සාමිචියේ යෙදීමට හැකි අන්දමින් සකස් කර ඇති ස්ථානය ‘තින්නෙයි’ නමින් හඳුන්වයි.

යාපනයේ නගරයේ පිහිටි ප්‍රමුඛතම තරුපහේ හෝටලයක් වන ‘තින්නෙයි’ පරිපාලනය හා එක්ව ක්‍රියාත්මක වන මෙම ගොවිපොළ නවමු අත්දැකීම් සපිරි සංචාරක නිකේතනයකි.

නෙත්මානයේ දුරින්දුරට පෙනුන කොළ පැහැය අඳුරෙහි ගිලී ගොසිනි. දුරින් ඇසෙන මෘදංග, තබ්ලා, මෙන්ම, ඕගන් හඬ තින්නාය සැඳෑ සාදය ඇරඹි බවට ඉඟියකි.

යාපනයේ මාධ්‍ය සංචාරය සංවිධානය කළ ආයතනයේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය උපදේශක රුක්ෂිකාගේ ආරාධනය වූයේ එළිමහන් සැඳෑසාදයට මාධ්‍ය මිතුරන් සවස 6වන විට සහභාගිවන ලෙසයි. දැනටමත් 6.30 ද පසුව ගොස්ය. ඔවුන් හා එක්ව “යාපනයේ සැන්දෑවක අපූර්වත්වය විඳගත යුතුව ඇත. “තින්නෙයි ඕගනික්” සංචාරක ගොවිපොළ අපූර්ව ස්ථානයකි. ගොවිපොළ මධ්‍යයෙහි ඇත්තේ විසල් විලකි. එහි ඔබ මොබ පිහිනන මාළුන් සිය ගණනකි. විල්තෙරෙහි පසෙක අලංකාර ලෙස ඉදිවූ ‘සමර්හට්’ කීපයක් වෙති. සාදය පැවැත්වෙනුයේ එළිමහනෙහි විල්තෙර සමීපයේ සිහිල් පවනේයිය.

‘චුන්නක්කාම්’ ප්‍රදේශය යාපනය නගරයට උතුරින් 9.7km පමණ දුරින් පිහිටා තිබෙන්නකි. අතීතයේ පටන් ආර්ථික වටිනාකමකින් යුතු ප්‍රදේශයක්ව පැවැති මෙහි වැඩිවශයෙන් ජීවත්ව ඇත්තේ මලයාලි සංස්කෘතියට සමීප ජනයායි. නමුත් ගෙවුණු දශක හතරක පහක කාලය තුළ සියල්ල වෙනස්වී තිබේ.

දැන් එහි පිබිදෙමින් පවතින ආර්ථික රටාව හමුවේ විනෝදය,විශාන්තිය, අවස්ථා අවැසිවී තිබේ. ‘ද තින්නෙයි ඕගනික්’ මේ සූදානම් වී සිටින්නේ ඒ සඳහායි. අන්තර්ජාලයේ මුහුණු පොත ඔස්සේ දන්වනු ලදුව සැඳෑ සාදයට සහභාගිවීමට වැඩි පිරිසක් ලියාපදිංචි වී තිබුණේ සංගීතය, රාත්‍රී ආහාර, බාබකියු ආදිය මුසුවූ ගොවිපළක් මධ්‍යයේ පිහිටි සිහිල් විල්තෙරක ගතකරන සවස් යාමයක චමත්කාරය අත්විඳීමටයි. ‘ද තින්නෙයි ඕගනික්’ හී අළෙවි කළමණාකරු තෝමස් ඩී ජෝන්ක්. පැවසුවේ දින කීපයකට කලින් සැලසුම් කළ අපේ සැඳෑ සාදය අතිශය සාර්ථකයි. අපි අපේක්ෂා කළාට වැඩි පිරිසක් අද දවසේ සාදයට සහභාගිවී සිටිනවා. මා ඒ බොහෝදෙනෙක් සුහදව පිළිගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවන් පිළිබඳව සොයා බැලුවා. ද තින්නෙයි ඕගනික්’ සැඳෑ සාදය පිළිබඳව ඒ අය තෘප්තිමත්, ආහාර පිළිගැන්වීම මේ හැමදේම පිළිබඳව හොඳ අත්දැකීම් සහිත කාර්ය මණ්ඩලයක් අපි සතුයි.ඒ නිසාම මෙවැනි කටයුත ඉතාමත් හොඳින් කඩිනමින් සැලසුම් කිරීමේ හැකියාවක් තිබෙනවා”. ‘ද තින්නෙයි ඕගනික්’ යනු සංකල්ප දෙකක එකතුවකි. ඒ කාබනික ගොවිතැන සහ සත්කාරක සේවයයි. වස විස නොමැති උසස් තත්ත්වයේ එළවළු පළතුරු මෙන්ම, කිරි, බිත්තර ආදිය ගොවිපොළෙන් ලැබෙයි. ඒ ගොවිපොළෙහි දිනක් ගත කරමින් එහි වැඩෙන නැවුම් එළවළු , කිරි, බිත්තර, පළතුරුවලින් සැකසූ ආහාර භුක්ති විඳිමින් ගොවිපොළ කටයුතු සමඟ සජීවීව සම්බන්ධවීමට ද අවස්ථාව උදාවෙයි. එහි කෘෂිකර්ම කළමනාකාර පරමනාදන් රූබන්තිරන් පවසන්නේ ඕනෑම තරාතිරමක ආගන්තුකයින්ට ගැළපෙන අයුරින් පහසුකම් ර‍ාශියක් ඒ තුළ සපයා ඇති බවයි.

ගොවිපොළෙහි වැවී ඇති කැරට්, බීට්රූට් දඹල, මෑකරල් ලූනු, ලීක්ස්, වම්බටු, මුරුංගා, තක්කාලි, පලා වර්ග තමන්ම නෙළාගෙන පැමිණ ඔවුන් වෙනුවෙන්ම සේවය කිරීමට සැදී පැහැදී සිටින කෝකියෙකු වෙත ලබාදී රසවත් ආකාරයෙන් ආහාර සකස්කර භුක්තිවිඳීමේ පහසුව අප සලසා තිබෙනවා. මේ අත්දැකීම විඳගැනීමට ළමයින් ඉතාමත් කැමතියි.

ගොවිපොළ මධ්‍යයෙහි ‘මරුත මනෙයි’ නමින් නම්කර ඇති ගොවිගෙදර නවාතැන්ගන්නා අයට මෙම පහසුකම් භුක්තිවිඳීමේ අවස්ථාව හිමිවෙනවා. දැවැන්ත ඇඳන් දෙකක්, යාබද නාන කාමරයක්, විවෘත ආලින්දයක් සහිත මේ ගොවිගෙදර පිහිටා තිබෙන්නේ ගොවිපොළේ එළවළු කොටුව, එළවළු සකස්කරන ස්ථානය හා ගවගාලට මෙන්ම කුකුළු කොටුවට සමීපවයි.

ඔහු පැවසූ සොඳුරු අත්දැකීම මොහොතකට විඳගැනීමට අපටද අවස්ථා උදාවුනු “මරුත මනෙයි” ආසන්නයේම ඇති විවෘත ගව ගාලෙහි අලුත උපන් සුරතල් වසුපැටවෙකු ද දැකගත හැකිය.

නිතර අපිරිසිදු විය හැකි තැන් වුවද හාත්පස නියම ප්‍රමිතියකින් හා විද්‍යානුකූලව පිරිසිදුව තබාගැනීමට එහි කාර්ය මණ්ඩලය යුහුසුළුය. ගවගාලෙන් එළු පට්ටියෙන්, මෙන්ම කුකුළු කොටුවෙන් පිටකරන අපද්‍රව්‍ය සියල්ල වෙන්වන්නේ කාබනික පොහොර සහ බයෝ ගෑස් නිෂ්පාදනය සඳහායි. එසේම තින්නෙයි හෝටලයෙන් ඉවතලන අපද්‍රව්‍යද මෙම ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට එක්කරගන්නා බව එහි ප්‍රධාන විධායක සූපවේදී වේලන් පුෂ්පේන්ද්‍රන් පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද යම් යම් තිරසර ඉලක්ක සපිරීමටද ‘ද තින්තායි ඕගනික්’ කාර්ය මණ්ඩලයේ ඉලක්කය වී ති‍බේ.

සාදය හමාරවිය. යාපනයේ නගරවාසීන් සතුටින් විසිර ගියද මාධ්‍ය සගයන්ගේ සාදය තවමත් හමාරවී නැත.

වෙහෙසකර දිනක අවසන සනිටුහන් වූයේ කූඩාරමෙහි රාත්‍රියක් ගත කිරීමේ අපූර්ව අත්දැකීම් සමඟිනි. පසුදින දැකගත යුතු තවත් බො‍හෝදේ විය. යාපනය සැබවින්ම ලක්බිමෙහි පිහිටි සොඳුරුතම ඉසව්වන්ගෙන් එකකි. සුළඟ තවමත් වේගවත්ය. තරුපායා ඇත. කූඩාරම සැබවින්ම සුඛෝපභෝගීය. ආරක්ෂාව උපරිමය. ගොවිපළක් මධ්‍යයේ කූඩාරමක ගෙවන රාත්‍රිය සැබවින්ම අපූරුය. කණ්ඩායමක් ලෙස යාපනයේ සංචාරයක නිරත පිරිසකට වුව මේ කූඩාරම් අත්දැකීම මැනවින් ගැළපෙනු නො අනුමානය.

ගොවිපොළ තුළ ඇති ‘පාසුමෙයි’ (pasumai) යනුවෙන් හඳුන්වන ගොවි ගෙදර නිවසකට සමාන පහසුකම් සහිතව වඩාත් සුඛෝපභෝගී ලෙස නිමවන ලද්දකි. ඊටම වෙන්වූ ගෙවත්තත්, භාවනාවට සුදුසු පරිසරයක් සහිතය.

ගොවිපොළ තුළ ඇති විසල් විවෘත ශාලාව නම්කර ඇත්තේ ‘සාත්තම්’ යන නමිනි. සාත්තම් යනු ‘සාමය’ යන අරුතය. සාමයට මුල්වන ඕනෑම වැඩසටහන් එහි පැවැත්විය හැකියැයි කළමනාකාරිත්වය පවසයි. විවාහමංගල උත්සව, උපන්දින සාද, ප්‍රියසම්භාෂණ, ‍යෝගා භාවනා වැඩසටහන් සඳහා වැඩි දෙනෙකු එහි පැමිණෙන්නේ යාපනයේ වැසියන්ට එය නවමු අත්දැකීමක් නිසායි.

පසුදා පහන්වූයේ ගොවිපොළේ සිට කිලෝමීටර් 15කට පමණ දුරින් පිහිටි නීළවරෛයි ලිඳ නැරඹීමට පාගමනින් යන සංචාරයට සූදානම්වීමේ අරමුණින් යුතුවයි. මාධ්‍ය සගයින් පාන්දර 5.30ට පමණ ගොවිපොළේ සිට පාගමනින් යන සංචාරයට එක්වූයේ එය යාපනයේ ජනජීවිතය සමීපව අත්දැකීමට ලැබෙන කදිම අවස්ථාවක් නිසායි.

පටුමාවත් පසුකරමින් තල් වැට මායිම් පසුකරමින් අප හිමිදිරියේ යාපනයේ වැසියන්ගේ දින චර්යාව අත්විඳින්නට වීමු. සැම දවසේ වැඩ අරඹමින් සිටී. ලූනු පාත්ති, දුම්කොළ පාත්ති, මිරිස්, සරුවට විසල්ව වැඩුණු කෙසෙල් පාත්ති පසුකරමින් සුළඟ රාත්‍රිය මෙන් සැඩ නැත. සිහිල්ය සොඳුරුය....

සටහන බුද්ධිකා බ්‍රාහ්මණගේ


නව අදහස දක්වන්න