මල් මැළවුණා සුවඳ විතරයි | දිනමිණ

මල් මැළවුණා සුවඳ විතරයි

“රෝහණ සහෝදරයා මෙහෙම කිව්වා. ‘නඩුවේ නෛතික අභිප්‍රායයන් අපි සැලකිල්ලට ගෙන ඇත්තෙමු. ජරාජීර්ණ, යල් පැන ගිය මානව සමාජ සංවර්ධනයට ප්‍රතිපක්ෂ වූ ධනවාදයෙන් ඉවත් වී අලුත් සමාජවාදී නිෂ්පාදන ක්‍රමයක් ස්ථාපිත කිරීම, ඒ සඳහා අදාළ අයුරින් ක්‍රියා කිරීම කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් නොවේ. ඉතිහාසයේ සංවර්ධන සන්දර්භය තුළ මම කුමන්ත්‍රණකාරයෙක් නොවෙමි. එසේම, සමාජ, මානව ප්‍රගමනයේ සන්දර්භය තුළ මම කුමන්ත්‍රණකාරයෙක් නොවෙමි.”

“ක්‍රමයට එරෙහිව කැරලි ගැසීමට ඇති අයිතිය ස්ථාපිත කළ ඔහු සිය කථාවේ දී තමාට විරුද්ධ ව නඟා ඇති චෝදනා දෙසට යොමු වුණා. ශ්‍රී ලංකා ඉතිහාසයේ, විශේෂයෙන්ම විප්ලවයේ වගකීම ලංකා සමසමාජ පක්ෂයේ උර මත වැටී තිබූ 30-40 දශකවල අධිරාජ්‍යවාදයට එරෙහිව පැන නැගුණු කැරලි පිළිබඳව ඔහු ව්‍යක්ත ලෙස කරුණු ගෙන හැර පෑවා. රෝහණ සහෝදරයා මෙම අවධිය දෙවැනි අධිරාජ්‍යවාදී යුද්ධය යනුවෙන් නම් කළා. මෙම කාලයේ දී වාමාංශයට සිරගත වන්නටත්, අඩන්තේට්ටම් විඳින්නටත් සිදු වුණ බව ඔහු කිව්වා. ලැබූ නිදහස පුස්සක් වූ අතර ධනවාදී සංවර්ධනයේ බංකොලොත් මාවත ඉවසා සිටින්නට රටට බල කෙරුණ බව රෝහණ සහෝදරයා පැහැදිලි කළා. අපේ පරම්පරාව වැඩී ආවේ මෙම භෞතික සන්දර්භය තුළ බවත් අනතුරුව තමන් මාක්ස්වාදී මාවතට පිළිපන් අයුරුත් ඔහු පැහැදිලි කළා.කොමියුනිස්ට් පක්ෂයේ පීකිං සහ මොස්කව් දෙපිලම ශ්‍රී ලාංකික භෞතික යථාර්ථයට නොගැලපෙන බව තමා සහ තමා වැනි අනෙකුත් ක්‍රියාකාරිකයින් වටහා ගත් බව ඔහු විස්තර කළා.”

මාක්ස්-ලෙනින්වාදීන් ලෙස තමන් මුහුණ දුන් ප්‍රධාන ප්‍රශ්නය වූයේ ධනවාදයෙන් සංක්‍රමණය වීම සාමකාමීව නැතහොත් ප්‍රචණ්ඩ අයුරින් සිදු වී තිබෙනවාද, සිදු කළ හැකිද යන්නයි. මෙම විවාදාපන්න ප්‍රශ්නයට සම්බන්ධ මාක්ස් සහ එංගල්ස්ගේ ලේඛනවලට රෝහණ විජේවීර වක්‍රව පැමිණියේය. ජ.වි.පෙ. හි බලාපොරොත්තුව වූයේ දුෂ්ඨ ක්‍රමය වෙනස් කිරීමයි. එය කරනුයේ ‘වැට උඩ සිටිමින්’ නොවන බව ඔහු පැවසීය. පවත්නා ක්‍රමය ප්‍රභූන්ගේ වාසිය පතා මහජනයාව, විශේෂයෙන්ම ගම්බද ගැමි ගොවීන්ට කිව නොහැකි තරම් දුක්ඛ දෝමනස්සයන් විඳින්නට සලස්වා ඇත. මෙම පීඩනය සහ රාජ්‍යයේ ප්‍රති-විප්ලවකාරී බලය යන දෙකටම එරෙහිව නැ‍ඟී සිටීමට ජනයා සංවිධානය කිරීම පක්ෂයේ කාර්යභාරය විය. ඉදින් සන්නද්ධ වීම සහ සූදානම් වීම ඉතිහාසයට අනුව අත්‍යවශ්‍ය විය යුතු යැයි ඔහු පැවසිය.

“සමාජයේ අනෙකුත් පීඩිත කොටස් සමඟ එක්ව නිර්ධන පංතිය තම අයිතිවාසිකම් රැක ගැනීමටත් පවතින සමාජ ක්‍රමය වෙනස් කිරීමටත් සාමකාමී පියවර ගනිද් දී සමාජයේ සුළුතරයක් නියෝජනය කරන සූරාකන පංති නිතරම තම දේපල ක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා නිර්ධන පංතියේ සාමකාමී අරගලය සම්පූර්ණයෙන්ම නිශේධනය කරමින්, නිෂ්ප්‍රභා කරමින් ප්‍රචණ්ඩත්වය යොදවන බව රෝහණ සහෝදරයා පෙන්නා දුන්නා”

“රෝහණ සහෝදරයා ප්‍රචණ්ඩත්වය පිළිබඳව කරුණ සාකච්ඡා කරද් දී විනිශ්චයකාරවරුන් සහ රෝහණ සහෝදරයා අතර පවතින දේශපාලනික සහ පංති බෙදීම පැහැදිලිව ප්‍රකට වුණා. ඔහුට බාධා කළ ප්‍රධාන විනිසුරු ෆර්නැන්ඩු මහතා, ගෙවල් හිමියා ආයුධ සන්නද්ධව සිටින නිසා පිස්තෝලයකින් සන්නද්ධ වී ගෙයක් බිඳින්නට සැරසුණු සොරෙක් පිළිබඳව කතාව ගෙන හැර පෑවා. එම සොරාගේ ක්‍රියාව නීති විරෝධී බව විනිසුරු ගේ මතය වුණා. රෝහණ සහෝදරයා විනීත ලෙස එම අපවාදාත්මක සම කිරීමේ කතාව බැහැර කළේ විනිසුරුවරුන් සහ තමන් හුදෙක් වෙනස් විශේෂඥ ගනයන්ට අයත් බව දක්වමින්.”

ශ්‍රී ලංකාවට විප්ලවකාරී පක්ෂයක අවශ්‍යතාව, එහි අත්‍යවශ්‍ය කාර්යභාරයන් සහ ශ්‍රී ලාංකික සන්දර්භය පිළිබඳව කරන ලද විශ්ලේෂණය සම්බන්ධයෙන් රෝහණ විජේවීර කරුණු විස්තර කළ බව බෝපගේ පවසයි.

“පීඩක රජයන්ට එරෙහිව තම අයිතීන් වෙනුවෙන් පීඩිත ජනතාව ලෝකය පුරා කැරලි ගසා ඇති බව රෝහණ සහෝදරයා කොමිසමට පැවසුවා. දුෂ්ඨ පාලකයින්ට එරෙහිව කැරලි ගැසූ ප්‍රකට අරගලකරුවන් පිළිබඳ වාර්තා ඇතුළත් පැරණි සිංහල පොත් පත් ගැන ද ඔහු විනිසුරන්ට මතක් කර දුන්නා. අරගලයෙහි වගකීම භාර නොගත් රෝහණ සහෝදරයා රජය විසින් අපේ පක්ෂය සන්නද්ධ අරගලයකට බලහත්කාරයෙන් ඇද දැමූ බව කිව්වා.”

“ රෝහණ සහෝදරයා කිව්වේ දරාගත නොහැකි පීඩනයකට මුහුණ දුන් ජනතා විමුක්ති පෙරමුණ එම පීඩනයට එරෙහිව අරගලය තෝරා ගත්ත බවයි.”

රජය ජයග්‍රහණය කර ඇති බවත් වම අන්ත පරාජයක් අත් කරගෙන ඇති බවත් රෝහණ විජේවීර තම කතාව අවසානයේ සඳහන් කළේය. නමුත් මෙයින් තමන් සහ තම සහෝදරයින් අනුදත් මාක්ස්වාදී මූලධර්මයන් නිෂේධනය කිරීමට හැකි නොවන බවත් ඉදිරියේ සිදුවීමට තිබෙන දෑ පිළිබඳවත් රෝහණ විජේවීර විනිසුරන්ට මතක් කර දුන්නේය.

“විප්ලවයේ මල් පිපුණා, දැන් ඒව මැරිලා මැලවිලා ගිහින්. නමුත් ඒවයෙ සුවඳ තවමත් මැකිලා නැහැ. ඒ සුවඳ වැඩියෙන් පැතිරවීමේ අරමුණ ඇතිව තවත් මල් පොහොට්ටු පිපෙනවා. සැබැවින්ම, මහත්වරුනි, ධනවාදී ක්‍රමයට එහි ජයග්‍රහණය සමරන්න සැබෑ හේතුවක් නැහැ. පංති අරගලය අවසාන ජයග්‍රහණය ලෙස නිර්ධන පංති ජයග්‍රහණය අත් කර ගන්නා තෙක් උස් පහත් වන සී-සෝවක්. ඒක තමයි අපේ විශ්වාසය. මම මගේ සාක්ෂි දීම අවසන් කරනවා’ කියලා රෝහණ සහෝදරයා තමන්ගේ කතාව අවසන් කළා.”

අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවේ තීන්දුව දෙනු ලැබූයේ වෙනස් පංති දෘෂ්ටියකින් යුතුවය. සාක්ෂිවල ගැට‍ලු, නීතිය සහ නීතිමය විග්‍රහයන් එහි පදනම විය. පොලිස් සාක්ෂි අවිචාරවත් ව භාර ගත් කොමිසමට, කෙනෙක් රජයට විරුද්ධව කැරලි ගසන්නේ මන්දැයි සිතා ගැනීමට නොහැකි වූ බවයි බෝපගේ ගේ අදහස වන්නේ.

අභියාචනා අයිතිය, හබයාස් කෝපුස් නියෝග නිශේධ කිරීමේ අයිතිය යනාදිය පිළිබඳව අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනතේ අඩංගු අතිරේක-නෛතික විධිවිධාන රජයට සාධාරණීකරණය කළ හැකි ද, සාක්ෂි ලබා ගැනීම සඳහා හිංසනය යොදා ගත්තේ ද යන්න විනිසුරුවෝ පළමුව විමසා බැලූහ. කොමිසමේ පැවැත්මට ප්‍රධාන හේතුව වූයේ කැරැල්ලට වගකිව යුතු පුද්ගලයින්ගේ වැරදි ඔප්පු කිරීමයි. මේ සඳහා සංක්ෂිප්ත ඔක්ස්ෆර්ඞ් ශබ්දකෝෂයේ විග්‍රහය කොමිසම ප්‍රයෝජනයට ගත්තේය.

‘කැරැල්ල යනු ස්ථාපිත අධිකාරි බලයට එරෙහි විවෘත ප්‍රතිවිරෝධයයි. කැරැල්ල යනු ස්ථාපිත ආණ්ඩුවට එරෙහි සංවිධිත සන්නද්ධ ප්‍රතිවිරෝධය’ යයි කොමිසම කිව්වා.”

“ආයුධ එකතු කිරීම සහ ඒවා රාජ්‍යයට එරෙහිව යෙදවීම සම්බන්ධයෙන් කොමිසමට ඉදිරිපත් වූ සාක්ෂි අනුව රජයට විරුද්ධ ආයුධ සන්නද්ධ නැ‍ඟීටීමක් හෝ කැරැල්ලක් පිළිබඳව හැ‌‌ඟෙන බවට විනිසුරුවරු තර්ක කළා. පාපොච්චාරණ ලබා ගැනීමට හිංසනය යොදවා ගැනීම සම්බන්ධ ප්‍රශ්නයේ දී කොමිසම ආරක්ෂක අංශවල පැත්ත ගත්තා. කැරැල්ලට සම්බන්ධ වූවන් යටත් වුවහොත් ඔවුන්ට හිංසා නොකරන බවට 1971 මැයි මාසයේ දී අගමැතිනිය පොරොන්දු වී තිබුණු බවට විනිශ්චයකරුවන් තර්ක කළා. බොහෝ කට උත්තර ගත් රාජ්‍ය නිලධාරීන් - ඒ අයට කිව්වේ මහජන සේවකයින් කීයලා - ලබා ගත්ත කට උත්තර සම්බන්ධයෙන් ඔවුන් ව්‍යාජ වාර්තා ඉදිරිපත් කිරීමට හේතුවක් නොමැති බව කොමිසම විශ්වාස කළා. පොලිස් නිලධාරීන් ද රාජකාරිය ස්වාධීනව ඉටු කළ අතර තමන් ප්‍රශ්න කිරීමට ලක් කරන්නේ කවුරුන් ද යන්න ඔවුහු දැන නොසිටිය බව කොමිසමේ විශ්වාසය වුණා. පොලිසිය ‘දුරාචාරයන්’ සිදු කර තිබුණත් ඒ ‘ස්වල්ප වශයෙන්’ බව කොමිසම දිගටම තර්ක කළා. ‘බොහෝ අවස්ථාවල විත්තිකරුවෝ තමන්ට කරන ලද පහර දීම් සහ ඒ නිසා ලද තුවාල පිළිබඳව අතිශයෝක්තියෙන් පවසා ඇත’ යනුවෙනුයි කොමිසම ප්‍රකාශ කළේ.”

බෝපගේ ගේ අදහසට අනුව මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් තොරව මළ සිරුරු වළලා දැමීමේ තීරණාත්මක ප්‍රශ්නයේ දී දහස් ගණන් ජවිපෙ කේඩරයන් නීතියට පරිබාහිර ලෙස ඝාතනය කිරීම ආවරණය කිරීමට රජය එම නීතිය භාවිත කළ හැකි බව සිතීමට පවා කොමිසම සූදානම් නොවීය. කොමිසමට ප්‍රතිපක්ෂව කරන ලද කථෝපකථන සම්බන්ධයෙන් විනිශ්චයකාරවරුන්ගේ නොරිස්සීම ලයනල් බෝපගේ ගේ නීති උපදේශක වූ බාලා තම්පෝ කෙරෙහි ඔවුන් දැක්වූ කෝප සහගත බව තුළින් පිළිබිඹු කර තිබුණි.

“තම්පෝ සහෝදරයා තම විරෝධාකල්පික හඩින් ‘ශාරීරික සහ මානසික හිංසනය’ යන යෙදුම පිළිකුලෙන් භාවිත කළා. මරණ පරීක්ෂණ නොපවත්වා මළ සිරුරු වළ දැමීමට හදිසි අවස්ථා රෙගුලාසි මගින් අවසර ලැබුණේ පොලිසියේ දාමරිකකම් වසා ගැනීමේ අභිප්‍රායෙන් බවට ඔහු වක්‍රෝක්තියෙන් වරද පැටවූවා. එම අවසරය ලෙසම 1940 ගණන්වල ඒ හා සමාන රෙගුලාසි එංගලන්තයේ සහ ලංකාවේ ද පැනවුණු බව කොමිසමේ සභාපතිතුමා මතක් කර දුන්නා.”

“සමහර විට තමන් කියූ දෙය කොමිසමේ විනිශ්චයකාරවරුන්ට නෑසෙන්නට ඇතැයි බාලා තම්පෝ සහෝදරයාට හිතෙන්න ඇති. මොකද ඒ තරමටම ඒ අය තම්පෝ සහෝදරයාගේ නීති තර්ක නොසලකා හිටියා”

හෙට - ක්ෂමා සංවිධානයෙන් කොමිසමට විරෝධතාවයක්

සිසිර යාපා

 


නව අදහස දක්වන්න

Or log in with...