හිට්ලර්ලා සහ ප්‍රභාකරන්ලා | දිනමිණ

හිට්ලර්ලා සහ ප්‍රභාකරන්ලා

දකුණේ කතාව හිට්ලර් කෙනෙකු ගෙනෙන්නටය. උතුරේ කතාව එල්.ටී.ටී.ඊ.ය නැවත අවශ්‍ය බවටය. කතා දෙකේම හරය එකකි. එනම් මේ සමාජය පාලනය කරන්නට මර්දනකාරි බලයක් නැතහොත් ප්‍රචණ්ඩ බලයක් අවශ්‍ය බවයි. කියැවෙන්නේ එහෙම නැතිව මේ සමාජය හදන්න බැරි බවකි. ප්‍රශ්න විසඳන්නට බැරි බවකි.

මේ කතා දෙකටම උතුරෙනුත් දකුණෙනුත් බරපතළ විරෝධතා එල්ලවීම සැනසිල්ලට කාරණයකි. එම ඇතැම් විරෝධයක් පැන නැඟුණේ දේශපාලන හේතු නිසාය. නැතහොත් ජාතිවාදී පදනමිනි. එසේ වුවද එලෙස විරෝධය ගොඩනැඟීමට පදනම වූයේ අපේ සමාජයේ බහුතරය දැන් ප්‍රචණ්ඩත්වයට එරෙහිව සිටීමය. කාලයක් තිස්සේ ප්‍රචණ්ඩත්වයෙන් බැටකා ඇති සමාජයට තවත් එබඳු කාලයක් ගෙවන්නට අවශ්‍ය වන්නේ නැත.

දකුණේ හිට්ලර් කතාව හා උතුරේ එල්.ටී.ටී.ඊ. කතාව එක් අතකට එකම පදනමකින් මතුවුවද ඒ දෙකෙහි වෙනසක්ද ඇති බව පෙනෙන්නට තිබිණි. දකුණේ හිට්ලර් කතාව නිකම්ම කට වැරදීමක් නොවේ. එය හොඳින් හිතාමතා කළ කතාවකි. ඇතැම්විට කරුණේ බරපතළකම තේරුම් ගෙන නොතිබුණද කීවේ දරදඬු ඒකාධිපති පාලනයක් අවශ්‍ය බවයි. රට හදන්න එසේ කිරීම වරදක් නොවන බවයි.

උතුරේ එල්.ටී.ටී.ඊ. කතාව එවැන්නක් නොවේ. එම කතාව තුළ වූයේ උතුරේ ජනයාගේ අසරණභාවයයි. ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබීමයි. එමෙන්ම දැන් එම ප්‍රදේශයේ තිබෙන අනාරක්ෂිතභාවය පිළිබඳ තත්ත්වයයි. එම නිසා එල්.ටී.ටී.ඊ.ය අවශ්‍ය වී ඇතැයි කීවද එවැන්නක් ගොඩනැගීමේ අරමුණක් හෝ එයට සහයදීමේ අදහසක් කතාව තුළ දක්නට නැත. ඇය කීවේ ආණ්ඩුව පිහිටුවීමට සහය දුන් උදවියට සාධාරණය ඉටුවී නැති බවයි. විජයකලා මහේෂ්වරන් ඇමැතිවරිය අවසන් වශයෙන් කියන්නේ තනි එජාප ආණ්ඩුවක් පිහිටුවාගත යුතු බවයි. එය ඇ‍ෙග් ඇත්ත ස්ථාවරයයි.

කෙසේ වෙතත් කුමන අදහසකින් කීවත් එල්.ටී.ටී.ඊ.ය යළි අවශ්‍ය යැයි කීම ගිනි ගෙඩියකි. විපක්ෂය එය වහාම අල්ලා ගත්තේ මහා සම්පතක් වශයෙනි. චීනයෙන් අල්ලස් ගත් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කළ හෙළිදරව්වේ පුවත යට යන්නට එල්.ටී.ටී.ඊ. ප්‍රශ්නය ඔසවා පෙන්වන්නට විපක්ෂයේ උදවිය උත්සාහ දැරූහ.

 

හානිය අවම කරගැනීම

කතාවේ බරපතළකම මෙන්ම එමගින් සිදුවන දේශපාලන අවාසියද අවම කරගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළේ විජයකලා මහේෂ්වරන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම්දීමයි. එමෙන්ම පක්ෂයෙන් ඇය ගැන විනය පරීක්ෂණයක්ද කිරීමට කටයුතු යොදා ඇත. විනය කමිටුවට පත්කර ඇත්තේ පක්ෂයේ ලේකම්, සභාපති ඇතුළු තිදෙනෙකි.

අනෙක් අතට එම කතාවේ නීතිමය තත්ත්වය නීතිපතිවරයාගෙන් විමසීමට කතානායක කරු ජයසූරිය මහතා ක්‍රියා කළේය. ඒ මෙම ප්‍රශ්නයේ සංවේදී බව නිසාය.

මේ මොහොතේ අප මතකයට නගා ගත යුත්තේ දකුණේද ත්‍රස්තවාදී සංවිධාන ක්‍රියාත්මක වූ අතීතයක් තිබුණු බවයි. භීෂණය රජකළ යුගයක් තිබුණු බවයි. එකල එක් අවස්ථාවක රාජ්‍ය බලය තිබුණේ කෙස් ගහෙන් එල්ලෙමින් යැයි කිවහොත් වරදක් නැත. එසේ වුවද එම ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළ උදවියට පසුව ජනතා අනුකම්පාව හිමිවිය. එම සංවිධානයට නැවත ප්‍රතිසංවිධානය වී දේශපාලනයට එන්නටද ඉඩ ලැබිණි. දකුණේ එසේ වෙද්දී උතුරේ ත්‍රස්තවාදය ගැන ජනමතය වෙනස් වෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න ගැනද කල්පනාවට ගත යුතුව ඇත.

විජයකලා ප්‍රකාශ කළ ඇතැම් ප්‍රශ්න දකුණටද එකසේ වලංගුය. එසේ වුවද උතුරේදී එය පෙනෙන හැටි වෙනස් ය. විජයකලා කියන්නේ උතුරේ රැකියාවලට දකුණේ තරුණයන් පත්කර එවන බවයි. එසේ වුවද ඇත්තටම වන්නේ ඇමැතිවරුන් තමන්ගේ ප්‍රදේශවල තම හිතවතුන් තනතුරුවලට පත්කර එවීමයි. අනුරාධපුරයේ ඇති ඇතැම් ප්‍රධාන ව්‍යාපෘතිවලට පත්වීම් ලැබ ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ උදවියයි. ඔවුන්ට පැමිණීමට දැන් වෙනම බස් රථ සේවාද ආරම්භ වී ඇත. එසේ වුවද අනුරාධපුරයේ ජනයාට දැනෙන දේ යාපනයේ ජනයාට දැනෙන්නේ වෙනත් ආකාරයෙනි. ඒ යාපනයට පිටතින් පත්වීම් ලැබ එන්නේ වෙනත් ජනවාර්ගික පිරිස් වීම නිසාය. මෙවැනි සංවේදී ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් නොදුන්නොත් එය නම් යළිත් එල්.ටී.ටී.ඊ.යකට පාර කැපීමක් විය හැකිය.

 

අපරාධ අඩුවෙලා ?

අනාරක්ෂිතභාවය හා අපරාධ පිළිබඳ ප්‍රශ්නයද උතුරට මෙන්ම දකුණටද එකසේ වලංගුය. එයට හේතුව ප්‍රචණ්ඩකාරී සිදුවීම් නිතර නිතර වාර්තාවීමය. එම ඇතැම් සිදුවීම්වලදී පෙනෙන්නට තිබෙන කුරිරු බව අධිකය. කෙසේ වෙතත් පොලිසියේ නිල සංඛ්‍යාලේඛන අනුව පෙනෙන්නට තිබෙන්නේ බරපතළ ලෙස සලකන අපරාධවල අඩුවීමකි. 2013 දී එබඳු සිදුවීම් 55349 ක් වාර්තා වී ඇති අතර 2014 දී 50962 ක් ද, 2015 දී 40188 ක් ද, 2016 දී 36937 ක් ද, 2017 දී 35975 ක් ද ආදී වශයෙන් බරපතළ අපරාධවල දකින්නට ලැබෙන්නේ ක්‍රමානුකූල අඩුවීමකි.

සිදුවී තිබෙන්නේ කුමක්ද යන්න ප්‍රශ්නයකි. ඇතැම්විට අපරාධ පිළිබඳ වාර්තාවීම, විස්තරාත්මක වාර්තා පළවීම වැඩිවී තිබෙනවා විය හැකිය. අනෙක් අතට සමාජය මෙම ප්‍රශ්න ගැන අවධානය ‍දැක්වීම වැඩිවී තිබෙනවාද විය හැකිය. එය සොයා බැලිය යුතු පර්යේෂණ කළ යුතු ප්‍රශ්නයකි.

අප ප්‍රශ්න කළ යුතු වන්නේ මෙම ප්‍රශ්නවලට සොයාගන්නා විසඳුම් පිළිබඳවය. දකුණේ යෝජනාව හිට්ලර් කෙනෙකු ගෙන ඒමය. එයට ගැළපෙනම චරිතයක්ද ‍එසේ කියන උදවිය විසින් තෝරාගෙන ඇත. දකුණේ සිදුවූ ඝාතනවලට අතුරුදහන් කිරිම්වලට අණ දුන් හා ඒවා මෙහෙය වූ බවට චෝදනා එල්ල වී ඇති චරිතයකි. ඒ කාලයේ සිදුවූ එක් විර ක්‍රියාවක් නම් අපරාධකරුවන් ‘ආයුධ පෙන්වන්නට’ රැගෙන ගොස් මරා දැමීමයි. එවැනි දෑ මෙහෙය වූ අයකු හිට්ලර් කෙනෙකු වීමට සුදුස්සෙකි. වඩාත් නිවැරදිව කිවහොත් එවැන්නකුගෙන් බලාපොරොත්තු විය හැක්කේ හිට්ලර් කෙනෙකු පමණකි.

උතුරේ කියන්නේ එල්.ටී.ටී.ඊ.ය අවශ්‍ය බවයි. එල්.ටී.ටී.ඊ. තිබියදී මෙවැනි දෑ සිදුනොවු බවයි. මතුපිටින් එය ඇත්තක් විය හැකිය. එසේ වුවද වඩා හොඳින් කල්පනා කරන්නේ නම් තේරුම්ගත යුතු වන්නේ අද පවතින ප්‍රශ්නයේ මුල එල්.ටී.ටී.ඊ.යම වන බවයි.

අප‍ෙග් සමාජය ප්‍රචණ්ඩත්වය වෙත යොමුකිරීමට අපි බොහෝ දෙනා වගකිව යුත්තෙමු. අපි බොහෝ දෙනා අපගේ ජීවිතවල එක අවධියක නැතහොත් එක මොහොතක හෝ ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදය ලෙස ප්‍රචණ්ඩත්වය හා භීෂණය පිළිගෙන ඇත්නම් මේ බොහෝ වැරදිවලට අපගේද දායකත්වයක් ඇති බව පිළිගැනීමට අපට සිදුවෙයි.

දකුණේ ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළ උදවිය මෙන්ම උතුරේ එල්.ටී.ටී.ඊ.යද කල්පනා කළේ ප්‍රචණ්ඩත්වය හා භීෂණය ප්‍රශ්න විසඳා ගැනීමේ ක්‍රමයක් වන බවයි. ඔවුන්ගේ එම ප්‍රචණ්ඩත්වය සමාජය පුරා පැතිර ගියේය. ඒ සමඟම මිනිස් ජිවිතයක වටිනාකමද තුට්ටුවට වැටිණි.

 

සමාජය හිරි වැට්ටවීම

මිනිසුන්ගේ ඔළු කපා නගර මධ්‍යයේ ප්‍රදර්ශනය කරන විට අපි අහක බලාගෙන ගියෙමු. මිනිසුන් මරා මහමග පුළුස්සනවිට අපට හැසිරෙන්න වී තිබුනේ එවැන්නක් සිදුනොවුණ ගාණටය. ස්ත්‍රි දූෂණයකදී මිනීමැරුමකදී අද අපට දැනෙන කම්පනය, වේදනාව, දුක එදා අපට දැනුනේ නැත. නැතහොත් නොදැනුනා සේ සිටින්නට පුරුදුවීමු. සමාජය හිරිවැටී තිබුණේ යැයි කියන්නේ ඒකටය. ඇතැම්විට අද මේ අපරාධ ගැන අප කම්පනයට පත්වන්නේ සමාජය එම හිරිවැටීමෙන් මිදෙමින් වඩා සංවේදී වන්නට පටන්ගෙන ඇති නිසා විය හැකිය.

තම ප්‍රශ්න විසඳා ගැනීමට ප්‍රචණ්ඩ මාවත තෝරා ගැනීමෙන් එම ප්‍රචණ්ඩත්වයට එරෙහිව තවත් ප්‍රචණ්ඩත්වයක් සරණ යාමත් රටත් සමාජයත් අද දැමුවේ එබඳු අගාධයකටය. දැන් තිබෙන්නේ එයින් ගොඩයන මං සෙවීමය. මෙය අප රටට පමණක් විශේෂ වූ ප්‍රශ්නයක් නොවන බවද කියති. පශ්චාත් යුද තත්ත්වයක් පැවැති බොහෝ රටවල මෙම ප්‍රචණ්ඩත්වය විවිධාකාරයෙන් කලක් පැවැති බව කියති.

ප්‍රචණ්ඩත්වය හෝ අපරාධ සිදුවනවිට ඒවා මැඩපැවැත්වීමට තාවකාලික වශයෙන් නීතියේ ප්‍රචණ්ඩත්වය යොදා ගැනීමට අපට සිදුවනු ඇත. එසේ වුවද ප්‍රචණ්ඩත්වයට විසඳුම ප්‍රචණ්ඩත්වයම යැයි විශ්වාස කළහොත් වැටෙන්නේ අමාරුවකය. එමගින් කිසිදිනක දිගුකාලීන වශයෙන් සාර්ථක බවක් ලබාගත හැකිවන්නේ නැත. කළ යුතු වන්නේ සමාජයක් ලෙස ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට ක්‍රියාකිරීමයි.

 

හිට්ලර්ලා විසඳුමක්ද?

හිට්ලර්ලා නිර්මාණය කිරීමත්, එල්.ටී.ටී.ඊ.යට පනදෙන්න හැදීමත් ප්‍රශ්නයේ විසඳුම් වන්නේ නැත. ඒ සියල්ල ප්‍රශ්නයේම කොටස්ය. ප්‍රශ්නයේ උල්පත්ය. සමාජයට අද අවශ්‍ය වන්නේ ප්‍රචණ්ඩත්වය පිටුදකින මාවත්ය.

අපට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ අපේ සමාජය ප්‍රශ්න විසඳීමේ මාවතක් ලෙස දිගුකලක් තිස්සේ ප්‍රචණ්ඩත්වයේ මාවත තෝරාගෙන තිබීමයි. අපගේ පාසල්වලත්, නිවෙස් තුළත් ප්‍රශ්න විසඳන්නට, දරුවන් විනය ගත කරන්නට හැක්කේ ප්‍රචණ්ඩත්වයෙන් බව අපි විශ්වාස කළෙමු. විදුහල්පතිවරයා දිගු වේවැලක් රැගෙන පාසල වටා යා යුත්තේ විනය රකින්නටය. නිවසේදී තාත්තා අතේ වේවැල තිබිය යුතු විය.

පාසලේදීත් නිවසේදීත් විනය හදන්නට හෝ ප්‍රශ්න විසඳන්නට වේවැල නැතහොත් ප්‍රචණ්ඩත්වය භාවිත කරනවිට අපි අපේ දරුවන්ට වෙනත් පාඩමක්ද කියාදෙන බව අපි නොදැන සිටියෙමු. ඒ දෙවැනි පාඩම නම් ප්‍රචණ්ඩත්වය ප්‍රශ්න විසඳා ගැනීමේ ක්‍රමයක් බවයි. දරුවන් එම පාඩම ඉගෙන ගෙන යම් දිනෙක ක්‍රියාවට නංවනවිට අපි කම්පනයට පත්වෙමු. මේ අර අපි හැදු විනයගරුක දරුවාදැයි අපි අසමු. එහෙත් දරුවාට ප්‍රචණ්ඩත්වය ඉගැන්නුවේ අපිම බව අපි නොදැන සිටියෙමු.

ප්‍රචණ්ඩත්වය ප්‍රශ්න විසඳීමේ ක්‍රමයක් ලෙස පිළිගෙන සිටින මේ සමාජයෙන් එය ඉවත්කිරීම පහසු කටයුත්තක් නොවේ. පාසල්වලින් වේවැල ඉවත්කරන්නට අපට දශක දෙකක් පමණ කාලයක් ගතවිය. එසේ වුවද තවමත් පාසල් තුළ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වන අවස්ථා ඇත.

පාසල් ළමයින්ට ප්‍රචණ්ඩ දඬුවම් නොකරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය නියම කරනවිට ඇතැම් මව්වරු පියවරු ගුරු දෙගුරු රැස්වීම්වලට ගොස් කීවේ “අපේ ළමයින්ට ගහන්න. අපි මොකුක් කියන්නේ නෑ” කියාය. එබඳු අවස්ථාවල නිහඬව ඉවසා සිටින්නට මෙම ලියුම්කරුවාටද සිදුවී ඇත.

පාසලේ ප්‍රචණ්ඩත්වය ඉහළ බලධාරින්ගේ මැදිහත්වීමෙන් බොහෝදුරට පාලනය වී ඇතත් නිවෙස් තුළ සිදුවන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම වඩාත් දුෂ්කර වී ඇති බව පෙනෙන්නට තිබේ. ඒවා ගැන වාර්තා වන්නේද අඩුවෙනි. ‍මේවා දිගුකාලීන වශයෙන් ක්‍රියාකරමින් විසඳාගත යුතු ප්‍රශ්න ලෙස පවතියි.

මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලන්නේ මෙලෙස ප්‍රචණ්ඩත්වයෙන්ම ප්‍රචණ්ඩත්වය පාලනය කළ හැකිය සිතන උදවියයි. ආයුධ පෙන්වන්නට ගෙන ගොස් මරා දමන විට හුරේ දමන්නේද එම පිරිසමයි. දකුණට හිට්ලර් කෙනෙකුත් උතුරට තවත් ප්‍රභාකරන් කෙනෙකුත් ඉල්ලීමද එවැනිම පිරිසකගේ ක්‍රියාවකි.

වසර තිහ හතළිහක දරුණු ප්‍රචණ්ඩත්වයකින් බැට කා ගොඩ ආ මෙම සමාජය යළිත් වරක් තවත් ප්‍රචණ්ඩත්වයක අගාදයකට රැගෙන යාමට කිසිවකු ඉඩදිය යුතු නැත. සමාජයක් වශයෙන් රටක් වශයෙන් ඉදිරියට යාමට අපට හැකිවන්නේ ප්‍රචණ්ඩත්වය සෑම මට්ටමකදීම පරාජය කිරිම තුළින් පමණකි. ඒ සඳහා බුද්ධිමත් ජනයා ඉදිරියට පැමිණීම අවශ්‍යය.

ඩී.ජේ. අමරතුංග


නව අදහස දක්වන්න

Or log in with...