බිග් බෑඩ් වෘකයා සහ සුන්දර හිවල්ලු | දිනමිණ

බිග් බෑඩ් වෘකයා සහ සුන්දර හිවල්ලු

බිග් බෑඩ් වුල්ෆ්ලාගේ දෙවැනි ලංකාගමනයෙන් පසුව මදක් නැවතිල්ලේ සිතන්නට වීමි. සියයට 60 සිට සියයට 80 තෙක් වට්ටම් දී පොත් විකුණන්නට හැකි වීම එක්තරා ආශ්චර්‍යකි. හාපර් කොලින්ස්, ලේඩිබර්ඩ්, පෙන්ගුවින්, හාපර් වොයේජර් ආදී ප්‍රකට සන්නාම සහිත ප්‍රකාශන ආයතනවල පොත් ලංකාවේ විකිණෙන විට තරමක් ඉහළ අගයක් ගනී. එහෙත් වෘකයා නපුරු යැයි කීවාට අහිංසක සහ සාධාරණ පාටය.

ගිය වසරේ මෙන්ම පසුගිය 27 වැනිදා බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනයට පෙර පිවිසුමක් සංවිධානය කර තිබිණි. පෙර පිවිසුමට ගිය වසරට වඩා ප්‍රමාණාත්මකව කියවන්නන් පැමිණියේය. පීත්ත පටි කපා නිල වශයෙන් ප්‍රදර්ශනය විවෘත කරන්නට පෙරම පෙර පිවිසුම්ලාභීන්ට දොරවල් ඇරුණි. සැණකින් එස්.එල්.ඊ.සී.සී.ය මහත් සෙනඟ කන්දරාවකින් පිරී ගියේය. එතැන් පටන් දවස මුළුල්ලේ විසල් කරත්ත පුරවමින් පොත් තේරීමේ නිරත වූ සාහිත්‍ය ලෝලීන්ගේ අභිනයෙන් පෙන්වූයේ අඩු මිලට හෝ සහනදායී මිලට පොත් මිලදී ගැනීමට ලැබීමේ සතුටය. ජූනි 28 දා සිට අඛණ්ඩව පැය 255ක් පුරා පැවැති බිග්බැඩ් පොත් මැරතනයට මිලියන 1.5ක පොත් ‍රැගෙන විත් තිබුණි. එහෙත් ඉන් පසු කුමක්ද?

මේ විශාල හිස්තැන අපට ඉතිරි කර ගිය විසල් නපුරු වෘකයා කියා දුන් පාඩම ලාංකීය පොත් වෙළෙදාමේ නපුරු සත්‍යම නොවේද?

අපේ රටේදී පොත් මිලදී ගැනීමට සිදුව ඇත්තේ ඉතාම කනගාටුදායක තත්ත්වයක් යටතේය. බොහෝ පොත්වල මිල නියම කර ඇත්තේ කුමනාකාර සූත්‍රයකටදැයි සිතා ගැනීමටවත් නොහැකිය. අලුත් පිටකවර සමඟ පැරැණි පිටු සහිත පොත් විකිණෙන්නේ ද අලුත් මිලකටය. එවිට මිලදී ගන්නාට ගෙවීමට සිදු වන්නේ කිසි විට ඉල්ලා නොසිටි අලුත් පිටකවරයටය. වාර්ෂිකව පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සිහියේ තබාගෙන වසර පුරා මුදල් ඉතිරි කළවුන්ගෙන් සුළුතරයක් හෝ වෘකයා සරණ ගිය බව සත්‍යයකි. හේතුව මිල නම් සාධකය ය. ඉතා දුර්වල පරිවර්තනවලට අධික මිලක් ගෙවීමට දෙවරක් සිතන පාඨකයාට වෘකයාගෙන් එහි මුල් පොත ඊට වඩා අඩු මිලට ලබා ගත හැකි වීම අමතර වාසියකි. ඉංග්‍රීසියෙන් කියැවීමට නොහැකි හෝ අකමැති තවත් සුළුතරයක් පමණක් එවිට පෙර කී පරිවර්තන මිලදී ගැනීමට ඉතිරි වේ. කර්තෘ භාග නිසි ලෙස නොගෙවීම, ගිවිසුම්ගත ප්‍රමාණයට වඩා පොත් මුද්‍රණය කිරීම තවමත් කුප්‍රකට ලෙස සිදු වේ. (මේ අතරම ගිවිසුම් ප්‍රකාර කතෘභාග ගෙවන ප්‍රකාශන ආයතනද තිබේ. ඒ පිළිබඳ නොකියා සිටීමද අකාරුණිකකමකි.)

එහෙත් ලේඛකයා ගොනාට ඇන්දවීමේ ක්‍රියාවලිය හරහා වාසි අත්වන සෙසු පාර්ශ්වවලට ඉතාම මායාකාරී පිළිතුරුද තිබේ. එය ලංකාවේ බහුතර ලේඛකයන් ලිවීමෙන් විශාල ඉපැයීම් කිරීමට අපහසු එක් හේතුවකැයි හැඟේ. ලේඛකයාට සහ ප්‍රකාශකයාට එකඟ විය හැකි මැද මාවතක් කොහේ හෝ තිබෙන්නේ නම් ඒ සොයා ගැනීමද යහපත්ය.

බිග් බෑඩ් වුල්ෆ් උගන්වා ගිය පාඩම් රාශිය අතර අනෙක් දෙය පහසුවෙන් පොත් තෝරා ගැනීමේ අවස්ථාවක් මිලදී ගන්නාට සපයා තිබීමයි. ඒවා ප්‍රවර්ග කර, විවිධ සන්නාම සහිතව ප්‍රකාශන ආයතන මුද්‍රණය කළ පොත් එක ගොනුවකය. එහි සේවා සපයන්නන් බහුතරයක් පොත් ගැන සහ ලේඛකයන් ගැන නොදැන සිටීම ඒ අතර කනගාටුවට කරුණකි. බොහෝ විට අදාළ ප්‍රවර්ගය පමණක් පවසා ඇග බේරා ගැනීමට ඔවුහු වග බලා ගත්හ. එය වෘකයාගේ නපුරුබව පෙන්වන්නකි. එහෙත් ඒ අනල්ප හොඳ සමඟය.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරැඹි සමයේ සියයට 40 ක වට්ටම් සහිතව පොත් මිලදී ගැනීමට අවස්ථාව ලැබුණි. එහෙත් වසරින් වසර ඒ වට්ටම් ප්‍රතිශතය පුදුමාකාර ලෙස ක්ෂය වී ගියේය. දැන් එය සියයට 20 කි. සියයට විස්සක වට්ටමකට වසරක් පුරා මුදල් එකතු කර කුමකටදැයි සිතන විට මිලදී ගන්නන් පිළිබඳ කනගාටුවක් ඇති වේ. මන්දයත් සමහර ප්‍රකාශන ආයතනවල මවු ශාඛාව වෙත ගිය විට සාහිත්‍යය මාසය පුරා සියයට 30 ක වට්ටමක් ලබාගත හැකි බැවිණි. සියයට 40 ක වට්ටමක් ආරම්භක සමයේ ලබා දුන්නේ එවිටත් ලාභයක් ලබා ගෙනය. ඊළඟ තර්කය කඩදාසි මිල සහ මුද්‍රණ වියදම් ඉහළ යාමයි. නමුත් ඊට සාපේක්ෂව නව කවර සමඟ නව මිලක් සහිත ලේබල් ඇලවෙයි. පැරැණි මිල සහිත කවර උඩද අලුත් මිල සහිත ලේබල් දැකිය හැකිය. මේ සියල්ල මිලදී ගන්නා දැරිය යුත්තේ මන්ද? ඒ අතරම කුඩා ප්‍රකාශකයන් කිහිප දෙනෙකු තවමත් සියයට 20 ට වඩා වට්ටම් ලබා දිය හැකි යැයි පවසන්නේ පාඩුවට පොත් විකිණීමේ අදහසින් නොවේ. එවිටද සාධාරණ ලාභයක් ඉතිරි වන හෙයිනි.

කෙසේ නමුත් වසරින් වසර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සැණකෙළිමය ආශ්චර්‍යය නම් වර්ධනය වී ඇත. පොත් කුටි පරයා ආහාර සහ බීම හල් වැඩී වර්ධනය වී තිබේ. පොත් නරඹා ආහාර ගෙන විනෝදයෙන් පිටව යාම තෙක් මෙය දිග්ගැස්සී තිබීම කනගාටුවට කරුණකි. පොත් විකිණීම ලාභදායී ව්‍යාපාරයක් බවට පත්ව තිබීමෙන් පාඨකයාට වන යහපතක් ඇත්තේ නැත. සූරාකෑමට විරුද්ධව විකල්ප සොයා යාමට තරම් දැන් මිලදී ගන්නා බුද්ධිමත් ය. සවිඥානිකය. මේ පවතින්නේ එවන් විකල්ප පොත් ප්‍රදර්ශන ඇවැසි යුගයකි. තමන්ගේ ගැනුම්කරුවන් වසරින් වසර අහිමි කර ගනිමින් සිටින කොළඹ පොත් ප්‍රදර්ශනයට බිග් බෑඩ් වුල්ෆ් උගන්වා ගියේ කුමන පාඩමක්දැයි යළිත් සිතා බැලිය යුතුය. දින 12ක් මුළුල්ලේ සපැමිණි සෙනඟ කන්දරාව සහ මිලදී ගත් පොත් ප්‍රමාණය ඊට ප්‍රමාණවත් සාක්ෂියක් යැයි හඟිමි.

මේ ඇගිල්ල දිගු කිරීම සාහිත්‍ය සහ පොතපත ජනප්‍රිය නොකිරීමටය. එය මහත්මා ව්‍යාපාරක් නොකිරීමටය. ලේඛකයන් තමන්ගේ කතෘභාග ලබා ගැනීමට අප්‍රමාණ වෙහෙසක් දරමින් රස්තියාදු කරවීම පිළිබඳය. අපේ රටේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශන පාඨකයාව ගොනාට ඇන්දවීම පිළිබඳය.

හැබෑටම මීට වඩා යහපත්ව මේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට නොහැකිද? කුඩා පොත් ප්‍රකාශකයන්ගේ කුටි අහුමුලුවල ස්ථානගත කර ඔවුන්ව සඟවා තැබීමද පසුගිය වසර දෙකක් මුළුල්ලේ සිදු විය. කෑම කඩ සහ සිසිල් බීම කඩ පීරාගෙන ඒවා සොයා යා යුතු විය. එය ගරිල්ලා සටනක් මෙනි. සාහිත්‍යය මිනිසුන් අතර ප්‍රකට කිරීමට වෙනත් රටවල් ගෙන ඇති ක්‍රියාමාර්ග බහුතරයක් නොසලකමින් වාර්ෂික සම්මාන පොරවලට මැදිහත්ව එකිනෙකාට ආඩපාලි කියා ගැනීමෙන් පාඨකයාට ලැබෙන්නේ කුමනාකාර වාසියක්ද? ඉන් සිදු වන්නේ ලේඛකයන්ගේ සීතාම්බර සළු පෙනීම නොවේද? මේ කුමන විහිළුවක්දැයි සම්මාන සමයේ ජාතික පුවත්පත් සහ විකල්ප පුවත්පත්, සමාජ මාධ්‍ය ජාල පරිහරණය කරන අයට නොසිතේ යැයි අනුමාන කළ හැකිද? සැබෑ සාහිත්‍යයයේ ප්‍රගමනයට අපට දැන් ඇවැසි මේ රණ්ඩු සරුවල් සහ අවලාද පමණක්ද?

ඉදිරි වසර කිහිපය ඇතුළත නපුරු වෘකයා ලංකාවේ පොත් මිලදී ගැනීමේ සංස්කෘතිය කණපිට ගසන තෙක් බලා සිටීමට අවශ්‍යද? එසේ නම් බලා සිටින්න. ඉදිරි වසර කිහිපය ඇතුළත වෘකාගමනයෙන් අහිමි වී යන පාඨක ගොනුව කොතරම්ද කියා එවිට ගණනය කරගනු හැකිය.

සමහර විට ලාංකීය පොත් ප්‍රකාශකයන්ට ඒ රැක ගැනීමට ගැසිය හැකි තුරුම්පු බොහොමයක් තවමත් තිබේ. පොත් මිලදී ගැනීම උමතුවක් කිරීම එක තුරුම්පුවකි. එහෙත් ඒ උමතුවට මිල සාධකය පහළ හෙළීම අයත් බවද මතක තබා ගැනීමට හැකි නම් අගේය.

පොත් මිලදී ගත යුත්තේ කුමක් නිසාදැයි මතක් කිරීමටද ප්‍රකාශකයාට හැකිය. එහෙත් ඒ ඕලාරික දැන්වීම් ආදියෙන් නොවේ. අන්තර්ගතය සහ මිලදී ගැනීමේ වාසියක් පෙන්වීම මඟිනි.

ප්‍රකාශන අයිතිය නොගෙන හිතුමනාපේ පළ කෙරෙන පරිවර්තනවල අයිතිය වෙනුවෙන්ද මාරාන්තික සටන් ඇවිලීම පසුගිය කාලය මුළුල්ලේ දැකගත හැකි විය. අනවසර පරිවර්තන වෙළෙදපොළට පැමිණි පසුව අවසරලත් පරිවර්තකයා යුද ප්‍රකාශ කිරීම එහි ආරම්භයයි. එක්කෝ එවිට පාඩුව ප්‍රකාශකයා දැරිය යුතුය. නැත්නම් හොර රහසේ පොත විකුණා ගත යුතුය. ආචාරධර්ම නොරැක, අනවශ්‍ය අවධානමක් ගෙන එවන් පරිවර්තන මුද්‍රණය කර විහින් අමාරුවේ වැටීමේ උමතුව කුමක්ද? මේ පරිවර්තකයන් ඒ පරිවර්තන කාර්‍යයට කෙතරම් සුදුසුදැයි සොයා බලන්නේද? මුල් පොත හා සසඳන විට බොහෝ දෝෂ සහිත පරිවර්තන බොහොමයක් දැන් මුද්‍රණයේ පවතී. එහෙත් මුල් පොත කියැවීමට නොහැකි පාඨකයාට සිදු වන්නේ කුමක්ද? ඔවුන් දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටිය යුතුද?

බිග් බෑඩ් වුල්ෆ්ලා පැමිණ උගන්වා ගිය පාඩම නොදැක්කා සේ සිටිය යුතුද? ඇත්තටම ඔබ දැන් කුමක් කළ යුතුද? පාඨකයා ඇගිල්ලෙන් ඇන පෙන්වා දෙන විටත් එය නොසලකා සිටිය යුතුද? දැනුම ඉතාම විවෘත සමයක, අන්තර්ජාලයෙන් බාගත කළ ඊබුක් කියවන සමයක පවා මේ ප්‍රෝඩාකාරී විජ්ජා පෙන්වීම තරම්ද? එසේම පහසු සේවා මෙන්ම ඉහළ වට්ටම් දෙන ඔන්ලයින් පොත් සාප්පු කීපයක්ද දැන් ලංකාවේ ක්‍රියාත්මකය. සුළුතරයක් පොත් සාප්පුවල ඔන්ලයින් මිලදී ගැනීමේ අවකාශයද දැන් පුළුල්ව ඇත. මේ විකල්ප අවස්ථා තව දියුණු විය යුතුය. විකල්ප අවස්ථා බොහොමයක් ඇති විට මුහුණ පාන්නට සිදුවන තරගයෙන් ලොකුම වාසිය අත් වන්නේ පාඨකයාටය.

ඒ කාරණා එසේ වී නම් අපි දැන් මේ ළිං කටින් ගොඩ ආ යුතු නොවේද? මේ කොදෙව්වෙන් එළියට පැන ඇස් පිසදා අවට නැරැඹිය යුතු නොවේද? නපුරු වෘකයන් සහ අලංකාර හිවලුන් හඳුනාගත යුතු නොවෙද? ප්‍රශ්න රාශියකි. ඒවාට පිළිතුරුද තිබිය යුතුමය. නැත්නම් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඉදිරි අනාගතයේදී අලංකෘතව කැරකෙන මෙරිගෝ රවුමක් පමණක් වීම නොවැලැක්විය හැකිය.

කාංචනා අමිලානි

නව අදහස දක්වන්න