නැප්කින් එකකින් හසු වූ මිනීමරුවා වසර 32 ක් හැංගිලා | දිනමිණ

නැප්කින් එකකින් හසු වූ මිනීමරුවා වසර 32 ක් හැංගිලා

දොළොස් වියේ් පසු වු මිෂෙලා වෙල්ච් ඇමරිකාවේ වොෂිංටන් ප්‍රාන්තයේ ටැකෝමා නගරයේ පිහිටි පියුජෙට් උද්‍යානයේ තම සොහොයුරියන් සමඟ සෙල්ලම් කරමින් සිටියදී අබිරහස් ලෙස අතුරුදන් වුවාය. මෙම අතුරුදන් වීම එම නගරය පුරා මහත් කලබැගෑනියක් ඇති කිරීමට සමත් විය.

ඒ... ඊට මොහොතකට පසු ඇයගේ මළ සිරුර පොලිස් සුනඛයකු විසින් අසල පිහිටි මඩ ගොහොරුවක තිබී සොයා ගැනීමත් සමඟය. ඒ 1986 මාර්තු මස 26 වනදාය. පියුජෙට් උද්‍යානයේ සෙල්ලම් කරමින් සිටි මිෂෙලා තම බයිසිකලයෙන් නිවසට ගොස් පාන් පෙති ස්වල්පයක් සාදාගෙන ආපසු සෙල්ලම් කරමින් සිටි ස්ථානය බලා පිටත් වුවාය.

ඒත් උද්‍යානයට ආවේ නැත. මිෂෙලා ගේ නොපැමිණීම ගැන සොයා බැලු ඇයගේ සොහොයුරියන්ට දැකගත හැකි වුයේ අතරමඟ දමා ගොස් තිබු ඇගේ බයිසිකලය හා පාන් පෙති කිහිපය පමණි.

ඒත් පුංචි මිෂෙලාට වූ දෙයක් සොයා ගැනීමට ඔවුනට හැකි වුයේ නැත. මිෂෙලා ගේ අතුරුදන් වීම ඔවුහු ඇගේ දෙමාපියන්ට සැලකර සිටියහ. අනතුරුව දෙමාපියෝ ප්‍රදේශයේ පොලිසියට ද ඒ බව දන්වා සිටියහ.

පැය ගණනක පොලිස් මෙහෙයුමකින් අනතුරුව මිෂෙලා ගේ සිරුර සොයාගනු ලැබු අතර ඇය ලිංගික අපචාරයට ලක් කොට මරා දමා තිබු බව ද විමර්ශනයේ දී හෙළි විය. හිසට මොට ආයුධයකින් වැදුණු පහරක් නිසා ඇයගේ මරණය සිදුව තිබු බවද කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය. මිෂෙලාගේ මරණය සිදු වී වසර 32ක් ගත විය.

ඒත් ඊට වගකිව යුතු කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශයන්ට හැකි වූයේ ද නැත. එහෙත් මරණ පරීක්ෂණයේදී සොයා ගනු ලැබු ඩි.එන්.ඒ. සාක්ෂි අනුව අපරාධකාරයාගේ ජනාමය තොරතුරු සහිත කෙටි චරිත සටහනක් පොලිසිය විසින් සකසා තිබු අතර එම සාක්ෂි හා ගැලපෙන ජානමය තොරතුරු සහිත කෙනෙකු ගැන පොලිසිය සෙවිල්ලෙන් සිටියේය.

වසර 32ක් තිස්සේ පොලිසිය විසින් සැකකටයුතු චරිත රැසක් ප්‍රශ්න කිරීමට භාජනය කරනු ලැබු අතර පොලිසිය සතුව තිබෙන අපරාධ කරුවන්ගේ ජානමය දත්ත සමඟ ඩි.එන්.ඒ සාක්ෂි ගැලපෙන්නේ ද යන්න ද සොයා බැලීය. එහෙත් මිෂෙලාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔවුනට කිසිදු තොරතුරක් ලබා ගැනීමට නොහැකි විය.

මේ අතර ටැකෝමා පොලිස් නිලධාරීන් ජානමය වංශ විද්‍යාඥයකු (Genetic genealogist) සමඟ සම්බන්ධ වී සිදු කළ පරීක්ෂණයක දී මිෂෙලාගේ මරණ පරීක්ෂණයේ දී සොයාගනු ලැබු ඩි.එන්.ඒ. තොරතුරු වලට සමාන ජාන ඇති සහෝදරයන් දෙදෙනකු පිළිබඳ කරුණු හෙළි කරගැනීමට හැකිවිය.

එම විද්‍යාඥයා සතුව තිබු ජානමය දත්ත අනුව ටැකෝමා නගරයේ උතුරේ ජීවත් වූ හාට්මන් පවුලේ සහෝදරයින් දෙදෙනකු ගේ ජාන හා සොයාගත් ජාන සැසඳී තිබිණ. මෙම දෙදෙනාගෙන් එක් අයකු විසින් මිෂෙලා මරා දමන්නට ඇතැයි යන සැකය අනුව පොලිස් නිලධාරීන් ගේ උකුසු ඇස් ඔවුන් වෙත යොමු විණි.

ඒ අනුව දැනට 66 වන වියේ පසුවන ගැරී හාට්මන් වෙත ඔවුන්ගේ අවධානය යොමුවිය. ඔහු ගැන සොයද්දී ඔහු අසනීප තත්ත්වයෙන් පසු වීම නිසා රෝහල් ගතකර ඇතැයි පොලිසිය දැනගත්තේය. එහෙත් පොලිසිය ඔහු පසු පසම විය. අසනීප වලට ප්‍රතිකාර ගැනීමෙන් පසු රෝහලෙන් පිටතට පැමිණි ගැරි අසල තිබු හෝටලයකට ගොස් ආහාර ගෙන ඉන් එළියට අවුත් නැප්කිනයකින් මුව සහ මුහුණ පිහිදා එය අසල තිබු කුණු බක්කියට දමන අයුරු ඔහු ගැන ඇස ගසා ගෙන සිටි පොලිස් නිලධාරින් දුටුවේය.

ඔහු හෝටලයෙන් පිටව ගිය පසු කුණු බක්කියේ තිබු කසල ඉවත් කිරීමේ යෙදී සිටි සේවකයාගෙන් ගැරී විසි කළ නැප්කිනය ඉල්ලාගත් පොලිස් නිලධාරීන් එය රැගෙන ගොස් එහි තිබෙන ජාන සොයාගත් ජාන සමඟ සැසඳීමක් කළේය. එය ගැරීගේ ජාන හා සැසඳිණි. ඒ අනුව මිෂෙලා වෙල්ඩ් දැරිය දුෂණය කොට මරා දැමීම සම්බන්ධයෙන් 66 හැවිරිදි ගැරී හාට්මන් අත්අඩංගුවටගත් පොලිසිය ඔහුට එරෙහිව නඩු පැවරීය. ඒ අනුව මිෂෙලාගේ ඝාතකයා සොයාගන්නට පොලිසියට වසර 32ක් ගත කිරීමට සිදුවිය.

පසුව අසරණ දැරියගේ මරණය සිදු කළ අපරාධකාරයා සෙවීමේදී පැරණි රහස් පරීක්ෂක ක්‍රියාමාර්ග හා නවීන තාක්ෂණය බෙහෙවින් හේතු වූ බව ටැකොමා හි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩොනල්ඩ් රැම්ස්ඩේල් මාධ්‍ය හමුවේ පවසා සිටියේය. තවද අපරාධයක් සිදු කර සැඟ වී සිටය හැකි යැයි කෙනෙකු සිතනවා නම් එවැන්නක් කිසි දිනෙක සිදු නොවන බව ද ඔහු පැහැදිලි කළේය.

තමාගේ එකම අරමුණ ජනතාවගේ ආරක්ෂාව හා ඝාතනයට ලක් වූ අයට හා ඔවුන්ගේ පවුල් වලට සාධාරණය ඉටුකරදීම බව ඔහු මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් සඳහන් කළේය. දැනට හැරිහාට්මන්ට එරෙහිව නඩු පවරා ඇතත් ඔහුගේ නීතිඥයන් හා ඔහු ද මිෂෙලා ඝාතනය සිදුකිරීම ප්‍රතික්ෂේප කර තිබේ. එහෙත් ඔහු මේ වන විටත් පියර්ස් ප්‍රදේශයේ සිර මැදිරියක රඳවා තබා ඇත.

(රෝහණ ආර්යරත්න)

නව අදහස දක්වන්න