‘රෙන්ට් අ කාර්’ රථවලින් ගොස් රන් මාල කොල්ල කාලා | දිනමිණ

‘රෙන්ට් අ කාර්’ රථවලින් ගොස් රන් මාල කොල්ල කාලා

අනුරාධපුර ප්‍රදේශයේ කුලී පදනම මත වාහන සැපයීමේ ආයතනයක් පවත්වාගෙන යමින් ඒ සඳහා තම ව්‍යාපාරික ස්ථානයට පිටතින් ලබාගන්නා මෝටර් රථවලින් පිට පළාත්වලට ගොස් මහමඟ දී සහ කුඩා වෙළෙඳසල්වලට ගොස් රන් මාල කොල්ලකා පලායන කොල්ලකරුවකු පිංදෙණිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 8 වන ඉරිදා අලුයම 5.30ට පමණ පිංදෙණිය පොලිස් වසමේ අටාල ගම්මානයේ කුඩා කෑම අලෙවිසලකට පැමිණ ඇති මොහු පිසිමින් තිබූ පොල් රොටියක ද රස බලා තවත් කෑම ගැන ද විමසා වෙළඳසල් හිමිකරු පිටුපස හැරෙද්දී කරබැඳි රන් මාලය කඩාගෙන පලාගිය බව පිංදෙනිය පොලිසියට එදින ම වාර්තා වී තිබිණි.

පලාගිය වාහනයේ අංකය ඔස්සේ සහ තවත් ගවේෂණාත්මක තොරතුරු ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ පිංදෙනිය පොලිසියේ නිලධාරින් එම වාහනය බෙන්තොට ප්‍රදේශයෙන් අනුරාධපුර කුලී පදනම මත වාහන සපයන ස්ථානයකට ලබාදී තිබුණු බව ද ඒ ඔස්සේ ප්‍රශ්න කිරීමේදී එම අනුරාධපුර කුලී පදනම මත වාහන සපයන ස්ථානයේ හිමිකරු මෙම රත්තරන් චේන්පට උකස් මධ්‍යස්ථානයකට උකස් කර තිබෙන බවද සොයාගෙන තිබුණි.

අත්අඩංගුවට පත් සැකකරු තවත් මංකොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ අයෙක් බවටද තොරතුරු අනාවරණය වෙමින් පවතී. සැකකරු 12 වන බ්‍රහස්පතින්දා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබිණි.

කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චාමික පී. වික්‍රමසිංහ, සහකාර පොලිස් අධිකාරී සමරනායක මහත්වරුන‍්ගේ උපදෙස් පරිදි පිංදෙනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මකීර්ති, අපරාධ අංශයේ ස්ථානාධිපති පො. ප. රොෂාන්ත, පො. සැ. 11293 මහගම, පො. සැ. 27265 සමරතුංග සහ පො. කො. 48678 ෂෙල්ටන් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණවල නියැළී සිටිති.

සබරගමුව සමූහ


නව අදහස දක්වන්න

Or log in with...