ගඟසිරිපුරවර වනවාස විහාර වර්ණනාව | දිනමිණ

ගඟසිරිපුරවර වනවාස විහාර වර්ණනාව

මධ්‍යම කඳුකරයේ මහනුවර දිස්ත්‍රික්කයට අයත් ඓතිහාසික ගඟසිරි පුරවරයේ ඉතා මනස්කාන්ත බිම් පෙදෙසක ගම්පොල වනවාස විහාරය පිහිටා ඇත. ගම්පොල වනවාස පිරිවෙන් විහාරස්ථානයේ රාමඤ්ඤ මහා නිකාය ආරම්භවීමටත් පෙර සිට වනවාසික භික්ෂු සමාගමට අයත් පෞරාණික මෙන්ම අති පාරිශුද්ධ පිංබිමකි. එම විහාරස්ථානය රාමඤ්ඤ නිකාය ආරම්භ වීමෙන් පසු කන්ද උඩරට රාමඤ්ඤ මහා නිකායේ මූල මහා විහාරයක් බවට පත්විය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දෙවන උපසම්පදා විනය කර්මය ගම්පොල මහවැලි ග‍ඟේ රංකඩ ඇල්ලේදී පැවැත්වූවිට එහි මූලිකත්වය ගෙන ක්‍රියා කළේ ගල්ලැන්ගොල්ලේ වැඩ සිටි වැලිගමුවේ හිමියන් හා වනවාස විහාරයෙහි වැඩ සිටි උන්වහන්සේගේ ශිෂ්‍යයින් වහන්සේලාය. වනවාසී භික්ෂු පිරිස රාමඤ්ඤ නිකායට ඇතුළත් වූවද වැලිගමුවේ හිමියන් දැඩි කැමැත්තක් දැක්වූයේ තමන් වහන්සේ හා තම ශිෂ්‍ය පිරිස වනවාසී පිරිසක් ලෙස පෙනී සිටීමටය. ඒ නිසා ගම්පොල වනවාස විහාරය ද පැරණි නාමයෙන් අද වනවිටත් වනවාස විහාරය නමින් හඳුන්වයි.

ගම්පොල නගරයේ සිට කි.මී. 1 ½ ක් පමණ දුරින් ගම්පොල කඩුගන්නාව ප්‍රධාන මාර්ගය අසල අක්කර 05 ක පමණ භූමියක් පුරා පිහිටා ඇති ශ්‍රී වනවාස පිරිවෙන් විහාරස්ථානය හපුගස්පිටිය ග්‍රාම සේවා වසමට හා කීරපනේ ග්‍රාම සේවා වසමට අයත්ව පිහිටා ඇත. ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මේ පෞරාණික විහාරස්ථානය පිළිබඳ මේ වනවිටත් කිසිම ඓතිහාසික තොරතුරු ඇතුළත් වාර්තාවක් හෝ ලියමනක් නොමැතිවීම අභාග්‍යසම්පන්නය. කිසිදු ඓතිහාසික වාර්තාවක් දකින්නට නොලැබෙන මෙහි දක්නට ලැබෙන්නේ 1868 වර්ෂයේදී ඉදිකර ඇති විශාල තොරණ සහිතව තිබූ කුඩා බුදු කුටියක් පමණි. එහෙත් ගල්ලැන්ගොල්ල සඟ පරපුරට අයත් වෙනත් තොරතුරු විමසා බැලීමේදී මෙම විහාරස්ථානයෙහි ඓතිහාසික බව පිළිබඳ තොරතුරු තරමක් දුරට සොයාගත හැකිය. මහනුවර යුගය භික්ෂු සමාජයේ පරිහානිය කාලවකවානුවකි. ඒ නිසාම වැලිවිට සරණංකර මාහිමියන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් 1753 වර්ෂයේ සියම් රටින් උපසම්පදාව මෙරටට ගෙනැවිත් මෙරට භික්ෂූන් උපසම්පදා කර සිල්වත්, ගුණවත් භික්ෂු පිරිසක් බිහිකිරීමේ මහඟු කාර්යය ආරම්භ කළ ද, ඊට ටික කාලයකට පසු වැලිවිට මාහිමියන් වැඩ සිටියදීම භික්ෂු සමාජය යළි පරිහානියේ මාවතට අවතීරණය විය. පිරිසුදු පැවිදි දිවියක් අපේක්ෂා කළ භික්ෂූහු එම සමාජයෙන් ඉවත්ව වෙනම වනවාසීව භාවනානුයෝගීව විදර්ශනා ක්‍රමය පුරුදු කරන්නට වූහ. එහි ප්‍රතිඵලයක් ව‍ශයෙන් කන්ද උඩරටින් පටන්ගෙන මුළු ලංකාද්වීපය පුරාම වනවාසික භික්ෂු සමාගමේ සේනාසන ආරම්භ විය. ගම්පොල වනවාස විහාරය එම වනවාසී සමාගමේ මුල්කාලීනව ආරම්භ වූ වන සෙනසුනකි.

වනවාසික භික්ෂු පිරිස් විදර්ශනා භාවනානුයෝගීව ග්‍රන්ථ සම්පාදනය කරමින් වන සෙනසුන්වල වාසය කළ අතර, ඒ ඒ සේනාසනයන් සඳහා ස්ථිර අධිපති ස්වාමීන් වහන්සේ නමක් පත්කරගැනීමක්ද සිදුනොවුණි. එම භික්ෂූහු ස්ථිරව එක තැන වාසය කළ පිරිසක් නොවූහ. වස් කාලයට එක් එක් වන සෙනසුනට වැඩම කරමින් තම ආධ්‍යාත්මික දියුණුව අපේක්ෂා කළ උන්වහන්සේලා ඒ ඒ ස්ථානයන් පිළිබඳව අධිපතීත්වයක් අපේක්ෂා නොකළහ. එවකට වනවාසී භික්ෂු සමාගමෙහි ප්‍රධානත්වය දැරූ මහා තෙරුන් වහන්සේ මෙම සියලු සෙනසුන්වල අදිපතීත්වය දැරූ අතර, එම සියලු ආයතනවල දියුණුව උන්වහන්සේ සොයා බැලූහ. උන්වහන්සේ සියලු භික්ෂු පිරිසේ ගුරුවරයා ද වූහ.

වනවාසික භික්ෂු පිරිස වාසය කළ ගම්පොල වනවාස විහාරස්ථානයෙහි ආරම්භය කවදා කවුරුන් විසින් සිදුකරන ලද දැයි ස්ථිර වශයෙන් කිව නොහැකිය. වැලිවිට සරණංකර මාහිමියන්ගේ ශිෂ්‍ය බෝපිටියේ විදර්ශනාචාරීන් වහන්සේගෙන් ආරම්භ වූ වනවාස සමාගම 1850 වර්ෂය වනවිට විශාල ප්‍ර‍ෙද්ශයක ව්‍යාප්තව පැවතුනි. එවකට එහි ප්‍රධානීන් වහන්සේ වශයෙන් වැඩ සිටියේ දුන්කුඹුරේ ස්ථවිරයන් වහන්සේගේ උල්පතගම ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය වැලිගමුවේ අත්ථදස්සි මාහිමියන්ය. උන්වහන්සේ උඩුනුවර ගල්ලැන්ගොල්ල විහාරයෙහි වැඩි කලක් වැඩ වසමින් එහි සිට භික්ෂු පරපුර මෙහෙය වූ නිසාම එම සඟ පරපුර ගල්ලැන්ගොල්ල පරපුර ලෙස හඳුන්වයි. ගම්පොල වනවාස විහාරය ගල්ලැන්ගොල්ල පරපුරට අයත් පැරණි මූලස්ථානයකි. එහි ආරම්භකයන් වහන්සේ කවුරුන්දැයි නිශ්චිත තොරතුරක් සොයාගත නොහැකිය.

වනවාසික භික්ෂුන් වහන්සේ වැඩ සිටි මෙම විහාරස්ථානයෙහි බු.ව. 2401 හා 2402 යන වර්ෂ දෙකේදී වැලිගමුවේ අත්ථදස්සී හිමියන් වස් වසා ඇත. එය ව්‍යවහාර වර්ෂයෙන් 1857/1858 වර්ෂවලදීය. මෙම සඳහන ගම්පොල වනවාස විහාරය පිළිබඳ පැරණි සටහනකි. වැලිගමුවේ අත්ථදස්සි හිමියන් විසින්ම ලියන ලද උන්වහන්සේගේ චරිත කතාව ඇතුළත් “පිං කිරියාවත” නම් පොතෙහි සඳහන් මෙම විස්තරයෙන් වනවාස විහාරය රාමඤ්ඤ නිකායේ ආරම්භයටත් පෙර විදර්ශනා භාවනානුයෝගී භික්ෂු පරපුරක ඉතා දියුණු ආරාණ්‍ය සෙනසුනක්ව ඇති බව තහවුරු වේ.

වැලිගමුවේ මාහිමිපාණන් වහන්සේට පෙර සිටම මෙම විහාරස්ථානයෙහි වනවාසී භික්ෂුන් වැඩ සිටි බව සඳහන් වූවත්, එම භික්ෂුන් වහන්සේලා පිළිබඳ තොරතුරු සොයාගත නොහැකිය. පිං කිරියාවත ග්‍රන්ථයේම සඳහන් ආකාරයට බු.ව. 2405 දී (ව්‍යවහාරය වර්ෂ 1861 දී) මල්වතු විහාරයෙන් වෙන්ව වනවාසික භික්ෂු පිරිස කළ උපසම්පද‍ාවෙන් උපසම්පදා ශීලය ලැබූ පුලියංකුලමේ සුමංගල හිමියන් වනවාස විහාරයෙහි ප්‍රථම වස් කාලය ගත කර ඇත. එහි සඳහන් පරිදි ශාස්ත්‍රවෙල්ලියේ උපසේන හිමියන් පැවිදිව ඇත්තේද මෙම වස් කාලයෙහි ගම්පොල වනවාස විහාරයෙහිය. 1865 වර්ෂයේ පොසොන් සම පළමු දින වනවාසී භික්ෂු පිරිස රාමඤ්ඤ නිකායට ඇතුළත් වූ පසු වනවාස විහාරය එහි මූල මහා විහාරයක් බවට පත්විය.

වනවාසික විදර්ශනා භාවනානුයෝගී භික්ෂු පරපුරෙහි ප්‍රධානතම ආරණ්‍ය සේනාසනයක් ව පැවති වනවාස විහාරය විහාරස්ථානයක් වශයෙන් දියුණුවට පත්වන්නේ 1860 දශකයෙන් පසුවයි. වනවාසීව වැඩ සිටි මෙම සඟ පිරිස මහජනයාගෙන් තරමක් දුරස්ව වැඩ විසූ අතර රාමඤ්ඤ නිකායට ඇතුළත්වීමෙන් පසු විශාල මහජන ආකර්ෂණයක් මෙන්ම මහජන අවධානයක් ද යොමුවිය. මූලික භික්ෂු ප්‍රතිපත්තිවලට අනුගතව පිණ්ඩපාතික දිවියක් ගත කළ මෙම භික්ෂු පිරිසට විශාල මහජන ගෞරවයක් ද හිමිවිය. සියම් හා අමරපුර දෙනිකාය කෙරෙහි කලකිරී සිටි මහජනයාට මෙම නව නිකායගත භික්ෂු පිරිසෙහි දිවි පෙවෙත තම ආගමික දිවිය සරුකර ගැනීමෙහිලා මහත් පිටිවහලක් විය. ඒ නිසා වැඩි වැඩියෙන් මහ පිරිස් වනවාසී රාමඤ්ඤ නිකායික භික්ෂුන් ඇසුරු කිරීමට යොමුවූහ. ගම්පොල වනවාස විහාරස්ථානය සියලු විහාර අංගයන්ගෙන් සමන්විත විහාරස්ථානයක් බවට පත්වීමේ ආරම්භය සිදුවන්නේ එතැන් පටන්ය.

වනවාස විහාරය සංවර්ධනයෙහිලා මූලිකත්වය ගෙන ක්‍රියා කරනු ලැබූවේ උඩුනුවර, මහනුවර ආදී ප්‍රදේශවල වාසය කළ ප්‍රභූ පැලැන්තියේ පිරිස හා ගම්පොල අවට ප්‍රදේශවල වාසය කළ ශ්‍රද්ධාවන්ත බෞද්ධ සුපින්වතුන්ය. උඩුනුවර, වට්ටප්පොල වලව්වේ පින්වතුන් හා පහතරට ප්‍රදේශයෙන් ගම්පොලට පැමිණ වෙළෙඳාම් කටයුතුවල යෙදී සිටි විශාල පිරිසකගේ ධන පරිත්‍යාගය හා ප්‍රාදේශීය සුපින්වතුන්ගේ ධන පරිත්‍යාගය මත වනවාස විහාරය 1860 දශකයෙන් පසු විශාල දියුණු සියලු විහාර අංගයන්ගෙන් සමන්විත සිද්ධස්ථානයක් බවට පත්විය. ඒ නිසා ගම්පොල අවට සියලු සැදැහැවත් පින්වතුන්ගේ එකම සිද්ධස්ථානය බවට පත්වූයේ වනවාස විහාරස්ථානයයි.

1860 දශකයෙන් පසුව සංවර්ධන මාවතට අවතීරණය වූ වනවාස විහාරය 1868 වර්ෂයේදී විශාල තොරණ සහිත බුදුකුටියක් නිර්මාණය වන්නේ සැදැහැවත් පිරිසෙහි සිත් සතන් වඩාත් පහන් කිරීම සඳහාය. මෙම විශාල තොරණ එකල කිසිදු විහාරස්ථානයක දකින්නට නොලැබුණු දර්ශනීය එකක් විය. එය වනවාස විහාරයේ හුදු සංකේතයක්ව පැවැති බව සඳහන් වේ. එසේම විශාල ධර්මශාලා මන්දිරයක් එම කාලයෙහි ඉදිවන්නේ ප්‍රදේශවාසී බෞද්ධ පිරිසෙහි ධර්ම ඥානය වැඩි දියුණු කිරීම සඳහාය. විශාල පිරිසක් පැමිණෙන බැවින් රවුම් කණු සහිත විශාල ශාලා මන්දිරයක් ඉදිකිරීමට සිදුවී ඇත.

මෙසේ බෞද්ධ ගිහි පින්වතුන්ගේ අවශ්‍යතාවය සඳහා විහාරාරාංග ඉදිවූවා පමණක් නොව භික්ෂුන් වහන්සේලාට විනය කර්ම සිදුකිරීමට සීමාමාලකයක්ද සීමා සම්මත කර ඉදිකිරීමද මෙම යුගයෙහි සිදුවී ඇත. මේ සඳහා වැලිගමුවේ අත්ථදස්සී මාහිමියන්ගේ අවවාද උපදෙස් ලැබුණු අතර, උන්වහන්සේගේ ශිෂ්‍යයින් වහන්සේලා පිළිබඳ තොරතුරු සොයාගත නොහැකිය. පූලියංකුලමේ සුමංගල වැනි හිමිවරු 1860 වර්ෂයේ ආසන්න කාලයේ වැඩ සිටි අතර, 1800 වර්ෂ අවසාන භාගයේ වැඩ සිටියේ වැලිගමුවේ හිමියන්ගේ හා නාපාන සුමන හිමියන්ගේ ශිෂ්‍ය කොත්මලේ සාරානන්ද හිමියන්ය.

1850 වර්ෂයේ පමණ සිට වනවාසී සමාග‍ෙම් අධිපතිව වැඩ සිටි වැලිගමුවේ අත්ථදස්සී මාහිමියන් වහන්සේ 1892 වර්ෂය මාර්තු මස දෙවැනි දින අපවත්වීමෙන් පසු වනවාස සමාගමේ ගල්ලැන්ගොල්ල සඟපරපුරෙහි අධිපතීත්වයට පත්වූයේ වැලිගමුවේ ස්ථවිරයන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය නාපාන සුමන හිමියන්ය.

අනතුරුව ගල්ලැන්ගොල්ල පරපුරෙහි සියලු විහාරස්ථාන උන්වහන්සේගේ මූලිකත්වයෙන් පැවතිණි. නාපාන සුමන මහා ස්ථවිරයන් වහන්සේ තම ශිෂ්‍යයන් වහන්සේලා යොදවා සියලු විහාරස්ථාවල දියුණුව ඇති කළහ. මෙම කාලයේද වනවාස විහාරය ඉතා දියුණුවක් සිදුවිය. කොත්මලේ සාරානන්ද හිමියන්ගේ සොයා බැලීම මත වනවාස විහාරයෙහි ප්‍රධාන විහාර මන්දිරය 1908 වර්ෂයේදී ඉදිකරවීම සුවිශාල දියුණුවකි. මෙම විහාර මන්දිරයට පිවිසෙන දොරටුවෙහි 1909 වර්ෂයේදී විශාල තොරණක්ද ඉදිකරවා ඇත. මෙම විහාරය එකල පමණක් නොව අද පවා විශාල පිරිසකගේ ගෞරවයට හා වන්දනාමානයට ලක්වී ඇත. 1909 වර්ෂයේ සැප්තැම්බර් මස දහඅට වන දින නාපාන සුමන ස්ථවිරයන් වහන්සේ අපවත් වූයෙන් උන්වහන්සේගෙන් පසු ගල්ලැන්ගොල්ල පරපුරේ විහාරස්ථාන සඳහා වැලිගමුවේ හිමියන්ගේ හා නාපාන හිමියන්ගේ ශිෂ්‍යයන් වහන්සේලා පත්කළහ.

නාපාන සුමන හිමියන් සියලු විහාරස්ථානවල අධීපතිත්වය දැරූව ද ඒ ඒ විහාරස්ථානවල භාරකාරත්වය ගෙන ක්‍රියා කළේ, උන්වහන්සේගේ ශිෂ්‍යයින් වහන්සේලාය. ගම්පොල වනවාසී විහාරයෙහි භාරකාරත්වයෙන් වැඩ සිටියේ නාපාන සුමන හිමියන්ගේ ශිෂ්‍ය කොත්මලේ සාරානන්ද හිමියන්ය.

1909 වර්ෂයේදී නාපාන සුමන හිමියන් අපවත්වීමෙන් පසු වනවාස විහාරයේ අධිපතීත්වයට පත්වූයේ කොත්මලේ සාරානන්ද හිමියන්ය. උන්වහන්සේ 1914 වර්ෂයේ විප්ලව සමය වන තෙක් වනවාසී විහාරාධිපතීත්වය දැරූහ. 1914 වර්ෂයේ ර‍ෙට් පැවැති තත්තවය මත කලකිරී උන්වහන්සේ විහාරස්ථානය ශිෂ්‍යයින් වහන්සේලා හා සියලු පොත්පත් සිය සහෝදර උඩපළාත ධම්මරතන හිමියන්ට පවරා උපැවැදි විය. 1915 වර්ෂයේදී වනවාස විහාරාධිපතීත්වය පත් ධම්මරතන මහා ස්ථවිරයන් වහන්සේ වනවාස විහාරය මෙන්ම වනවාස පිරිවෙන නමින් පිරිවෙනක්ද ආරම්භ කර වනවාස විහාරය සැදැහැත්වත් පින්වතුන්ගේ මෙන්ම ශාස්ත්‍රාභිලාභී ශිෂ්‍ය පිරිසෙහි දැනුම් පිපාසය ද සංසිඳලූහ. නව පුස්තකාල ගොඩනැගිල්ලක් හා භෝජනාගාරයක් මෙන්ම සීමාමාලකය අලුත්වැඩියා කිරීමෙන් ද වනවාස පිරිවෙන් විහාරයේ දියුණුවට විශාල මෙහෙයක් සිදුකළ උඩ පළාත ධම්මරතන හිමියෝ 1933 වර්ෂයේදී අපවත් වූහ. උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යය උඩුගම්පොල වීදියවත්තේ සිරි සුනන්ද හිමියන් ඉන් අනතුරුව විහාරාධිපතීත්වයට පත්වූහ. නව පන්සල් ගෙයක් ඉදිකිරීමෙන් හා වනවාස පිරිවෙන දියුණු කිරීමෙන් මහා කීර්තියක් ලබා සිටි උන්වහන්සේ 1953 වර්ෂයේදී අපවත් වූහ. උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු වීදියවත්තේ සිරි සුනන්ද හිමියන්ගේ පැවිදි සහෝදර ධම්මරතන හිමියන්ගේ ශිෂ්‍ය හන්දෙස්සේ උපතිස්ස හිමියන් විහාරාධිපතීත්වයට පත්විය. උන්වහන්සේ නව දෙමහල් සංඝාවාසයක් ඉදිකරමින් මයිලපිටියේ ගුණසිරි හිමියන් සමඟ එක්වී විහාරස්ථානයේ දියුණුවට කටයුතු කළහ. 1994 වර්ෂයේ ජූලි මස පළමුවන දින උන්වහන්සේ අපවත් වූහ. ඉන්පසු සේනපුර සුමන, කළුන්දෑවේ විජිතසේන යන හිමිවරු විහාරාධිපතීත්වය දැරූ අතර 1998 වර්ෂයේ සිට මේ දක්වා මඩුගල්ලේ සෝභිත හිමියෝ වනවාස විහාරයේ විහාරාධිපතීත්වය උසුලති.

මෙසේ සියවස් එක හමාරකට අධික කාලයක් පුරා පැවත එන වනවාස විහාරස්ථානය සියලු විහාරාංග ඉදිවෙමින් ප්‍රදේශයේ විශාල කීර්තියක් අත්පත්කරගත් අති පෞරාණික සිද්ධස්ථානයක්ව පවතී. 1860 දශකයේ පටන් 1990 වර්ෂය දක්වා කාලයේ වනවාස විහාරස්ථානයේ දියුණුව හා කීර්තිය එක ලෙස පැවැතියේය. 1990 වර්ෂයේ දශකයෙන් පසුව එහි යම් යම් පරිහානි තත්ත්වයක් පෙන්නුම් කිරීම අවාසනාවකි. කාලයාගේ ඇවෑමෙන් සියවස් අධික පැරණි ගොඩනැගිලි අභාවයට යෑම, දායක පිරිස් තම තමන්ගේ ආසන්න විහාරස්ථානයට යෑම හා හන්දෙස්සේ උපතිස්ස හිමියන්ගෙන් පසුව විහාරාධිපතීත්වයට ප්‍රතිබල සම්පන්න මහා තෙරනමක් නොමැතිවීම එම පරිහානි තත්ත්වයට ප්‍රධාන හේතු වශයෙන් පෙන්වාදිය හැකිය. එහෙත් එම ඉපැරණි ගොඩනැගිලි හා දායක පවුල් ආරක්ෂා කරමින් වත්මන් වනවාස පුරාණ පිරිවෙන් විහාරාධිපති බෝවල විද්‍යාලයේ ආචාර්ය අති ගෞරවාර්හ ශාස්ත්‍රවේදී පූජ්‍ය මඩුගල්ලේ ශ්‍රී සොභිතාභිධාන මාහිමිපාණන් විසින් අමිල මෙහෙවරක් සිදුකරනු ලබයි.

ජගත් ජනප්‍රිය-ගඟඉහළ සමූහ


නව අදහස දක්වන්න

Or log in with...