පෝනි පිටේ කතන්දරේ | දිනමිණ

පෝනි පිටේ කතන්දරේ

නුවරඑළිය නගරයට පැමිණෙන විදේශීය සංචාරකයනටත් වඩා දේශීය සංචාරකයන් අතිබහුතරයක් දැඩි කැමැත්තක් දක්වන දෙයක් ලෙස පෝනියන් පිෙට් රවුමක් යාම හැඳින්විය හැකිය. ග්‍රෙගරි වැවේ වැව් පිටිය වටේ, එසේත් නැතහොත් රේස්කෝස් පිටිය වටේ ‍පෝනියකු පිට නැග ගමන් කරමින් ඔවුන් ඉමහත් වින්දනයක් ලබන බව එසේ ගමන් කරනා සංචාරකයන් පිරිසකගේ මුහුණුවලින් මනාව පිළිබිඹු වෙනවා.

එයට ගැහැනු පිරිමි භේදයක් නැත. කුඩා දරුවාගේ සිට යොවුන්විය, මැදිවිය දක්වා පිරිස් කැමැත්තක් දක්වනවා සේම ඒ අතර වියපත් පිරිස්ද නැතිවා නොවේ. මේ සඳහා අවශ්‍ය ‍පෝනියන් සැපයීමට ග්‍රෙගරි වැ‍ව්පිටිය ආසන්නයේ තැන් කීපයකද, රේස්කෝස් පිටිය පිවිසුම් මාර්ගය අසලද පෝනියන් තබාගෙන බලාසිටින පිරිස විස්සකට තිහකට වැඩියි.

එයට හේතුව එම පෝනිකරුවන්ගේ එකම ජීවන මාර්ගය එය වීමයි. පෝනියකු පිට යාමට සංචාරකයකු පැමිණෙන තුරා බලාසිටින්නන් හට මෙම පෝනියන් බෝකර ගැනීමේ සිට ඇති දැඩි කිරීමේ සහ එම සතුන් පිට මත මිනිසුන් තබාගෙන යාමට පුරුදු පුහුණු කරන අන්දම ගැන තිබෙන්නේත් අපි නොහිතන කතාවක්. එසේම පෝනියන් පිට සංචාරකයකු ‘රයිඩ්’ රැගෙන ගොස් සැලකිය යුතු ආදායමක් උපයනවා සේම මෙම පෝනියන් කෙටි කාලයක් ඇතුළත ලක්ෂ ගණන් ආදායම් මාර්ග බවට පත්කරගන්නා අන්දමක් ගැන තියෙන්නෙත් තවත් අමුතුම කතාවකි.

කලක් විදෙස් රටවල් කීපයක අසරුවෙක් හැටියට කටයුතු කරමින් සිට මෑතක යළි පැමිණ සිටින අයෙක් එම පෝනියන් ලක්ෂ ගණන් මුදල් බවට පරිවර්තනය කරගන්නා අන්දම විස්තර කළේ මේ විදියට.

“මගේ නම රාසයියා කුමාර. අවුරුදු 48 යි. දැන් පදිංචිවෙලා ඉන්නේ හාවඑළියේ නවගම්ගොඩ. අපි ඉපදුණේ හැදුණේ වැඩුණේ රේස්කෝස් එකේ සුද්දන්ගේ අශ්වයින් දාන්න හදලා තිබුණ කාමරවල. ඒ හින්දා නුවරඑළියේ අශ්වයින් පෝනියන් ගැන හොඳටම දන්නවා.”

මගේ තාත්තාගේ නම රාසයියා. සුද්දෝ නුවරඑළියෙන් ගියාට පස්සේ මේ රේස්කෝස් පිටිය හමුදාවට ගන්න ගියා මතකයි. මොකද අශ්වයෝ නැතිව ඔහේ පාළුවට ගිහින් තිබුණු හන්දා. සුදු මහත්තුරු ලංකාවෙන් යනකොට එයාලා ළඟ හිටපු අශ්වයෝ බොහොමයක් ඩෙල්ප් දූපතට ගිහින් දාලා ගියේ.

හමුදාවට ගන්න එකෙන් බේරගන්න මගේ තාත්තා තමයි මුලින්ම පෝනියන් 9 දෙනෙක් නුවරඑළියට අරගෙන ඇවිත් පෝනි රේස් දුවන්න පටන් ගත්තේ. ඊට පස්සේ තමයි කාලයක් යනකොට එක එක සල්ලිකාරයෝ අශ්වයෝ ගෙනත් දැම්මේ.

බොහොම ලොකු සල්ලිකාරයෝ රේස්කෝස් එකේ අශ්ව ගාල්වලට අශ්වයෝ ගෙනත් දානකොට පෝනියෝ පාරට විසිවුණා කියන එක තමයි ඇත්ත කතාව.

පෝනියන්ගේ පිටේ රේස් දුවන්න පුරුදුවෙලා අර සල්ලිකාර මහත්තුරුන්ගේ අශ්වයන්ගේ පිටේ යන ජොකියෝ වෙලා පිට රට ගිහින් ජොකී රස්සාව කරලා සල්ලි හම්බ කරගෙන ආව අය ඉන්න එක ඇත්ත. ඒ වුණාට නුවරඑළියේ ඉඳගෙන එහෙම සල්ලි හම්බකරපු ජොකියෝ අඩුයි.

තත්ත්වෙ වෙනස් වුණේ මේ ‍ග්‍රෙගරි වැව හැදුවට පස්සේ. පෝනියෙක් දෙන්නෙක් ඒ අයිනෙ තියාගෙන එන සංචාරකයින්ගෙන් බයෙන් බයෙන් වගේ තමයි මුලින් ඇහුවේ රවුමක් යමුද කියලා. මෙන්න බොලේ හිතාපු නැති විදියට සංචාරකයෝ පෝනි පිටේ යන්න ගත්තා. දැන් කාගෙත් අතමිට සරුයි. පෝනියන් දෙතුන් දෙනා තියාගෙන රයිට් කරවන අයටත් දැන් සරුයි. ඒක තමයි එළියට පෙනෙන දේ. ඒත් ඒ අස්සෙ තමයි මම කිව්ව ලක්ෂ ගණන් සල්ලි හොයන කතාව තියෙන්නේ.

පෝනි දෙනකට පෝනියෙක් එක්ක එකට ඉන්න ඉඩඇරලා පෝනි පැටියෙක් හදාගන්නවට වැඩිය හුඟදෙනෙක් උත්සාහ කරන්නේ පෝනි දෙනක් අශ්වයකුට එකතු කරන්න. එතනදී හම්බවෙන පැටියට කියන්නේ “හයිබ්‍රිඩ්” පැටියෙක් කියලා. ඒ සතෙකුගේ වටිනාකම ලක්ෂ 2 ක් විතර වෙනවා.

ඒ හයිබ්‍රිඩ් සතා ගැහැණු සතෙක් නම් තරුණ වුණාට පස්සේ ආයෙත් අශ්වයෙක් එක්ක එකතුවෙන්න දුන්නාම හම්බවෙන පැටියා හඳුන්වන්නේ “ත්‍රීකෝට” කියලා. එයා අවුරුදු තුනක් තුන හමාරක් විතර වුණාම ලක්ෂ පහක් හයක් විතර වටිනවා. ඒ ත්‍රීකෝට පැටියෙක් තරුණ වයසට ආවම ආයෙත් අශ්වයෙක් එක්ක එකතු කරාම ලැබෙන පැටියා අශ්වයෙක්ම තමයි. ටිකක් ලොකු වුණාම ලක්ෂ පහළොවයි විස්සයි. මේක කවුරුවත් නොහිතන සල්ලි හෙවිල්ලක්. එහෙම අශ්වයෝ ගන්න ඕන තරම් අය ඉන්නවා.”

හයිබ්‍රිඩ් පැටියෙක් හම්බුණාම අවුරුදු දෙකක් දෙක හමාරක් අම්මා එක්ක නිදැල්ලේ යන්න අරිනවා. එහෙම වෙලාවට තමයි ලොකු පෝනියෙකුයි පොඩි පැටියෙකුයි ඔහේ තණකොළ උලාකමින් යනවා දකින්නේ. සමහර වෙලාවට එහෙම යද්දි අම්මා ආයෙත් ගැබ්බර වුණාම තමයි තාත්තා ඒ පස්සෙන්ම එන්නේ. මොකද ගැබ්බර වෙලා ඉන්න පෝනිදෙනගෙ පිට උඩට තවත් සතෙක් නැගලා ගැබට හානියක් වෙනවා දකින්න පිරිමි පෝනියා කැමැති නෑ. එයා හැම තිස්සේම පෝනිදෙනගෙ ආරක්ෂාවට ළඟින්ම යනවා. අනෙක් සතෙකුට කිට්ටුවටවත් එන්ඩ දෙන්නෙ නෑ. අනිත් එක අම්මා ඇවිදිනකොට කුසේ ඉන්න පෝනි පැටියා හොඳට ලොකු මහත්වෙන කතාවකුත් තියෙනවා. ඒකයි ඔය විදියට යන්න අරින්නේ. නැතිව ඉබාගාතේ යන්න ඇරලා නෙමෙයි.

‍පෝනි පැටියා ඔය විදියට පාරේ ඇවිදලා ගියාම තමයි එයාගේ කකුල් ශක්තිමත් වෙන්නේ. කොන්ද හයි වෙන්නේ. එහෙම නැතිව ගාලක හිරකරගෙන ඉන්න පැටියෙක් ලොකු මහත්වුණාම රයිට් දාපු ගමන් බර කෙනෙක් නැග්ගොත් කොන්ද කැඩෙනවා. රේස් අශ්වයකුට වුණත් කිලෝ 50 – 60 බර ජොකියෝ තමයි නග්ගවන්නේ.

ඒත් සමහර වෙලාවට අපිට දකින්න ලැබෙන දෙයක් තමයි සමහරු සල්ලි තණ්හාවට කිලෝ අසූව, සීය සයිස් අයත් සත්තුන්ගේ පිටේ ගොඩකරගෙන යනවා. ඒ විදියට ගිහින් ‍කොඳු කැඩිච්ච සත්තුත් ඕන තරම් ඉන්නවා. ඒ විදිහේ සත්තු තමයි ඔය තනියම ඉබාගාතේ ඇවිදගෙන ගිහින් වාහනවලට හැප්පිලා මැරිලා යන්නේ.”

චන්ද්‍රසිරි මහගම


නව අදහස දක්වන්න

Or log in with...