පාණදුරේ මහ පින්කම | දිනමිණ

පාණදුරේ මහ පින්කම

පාණදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානයට අවුරුදු 200ක් ගත වීමේ අනුස්මරණ පූජා මහෝත්සවය, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අති පූජනීය මහානායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මා‍ලංකාර මාහිමියන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් ජූනී මස 13 වැනිදා (අද) සවස 4ට ආරම්භ කෙරේ. මෙම මහෝත්සවයට සමගාමීව හුණුපිටිය ගංගාරාමයේ වැඩ සිටින කේශ ධාතුන් වහන්සේ පාණදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අබියස සිට පෙරහරකින් විහාරස්ථානය කරා එදින වැඩම කෙරේ.

පාණදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානයේ ආරම්භය ක්‍රි.ව. 1818දී දක්වා දිව යන බව විශ්වාස කෙරේ. එහෙත් එහි ඉතිහාසය මීට වඩා බොහෝ අතීතයට දිවයන බව පෙනේ. 2001 දී විහාරස්ථානයේ පිහිටි ඉපැරණි බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව බිඳී වැටුණු විට එය පරීක්ෂා කළ උද්භිද විද්‍යාඥයින් සඳහන් කළේ මෙම බෝධීන් වහන්සේ වසර 500කට වඩා පැරණි බවයි. මෙම විහාරස්ථානයේ තිබූ පැරණි ලිපි ලේඛන බොහොමයක් විනාශ වී ඇත. ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානය පිළිබඳ සොයා ගත් ඓතිහාසික තොරතුරු සහිත කෘතියක් ‘ශ්‍රී මහා විහාරවංශයේ “ ලෙස රන්මිණි කේ විමලජෝති හිමියන්ගේ සහ පණ්ඩිත තෙරමානේ බුද්ධි රක්ඛිත හිමිවරුන් සංස්කරණය කර ඇත. පාණදුර ගල්ගොඩ ඓතිහාසික ශ්‍රී මහා විහාරස්ථානය ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ සංඝ සභාවට අයත් ෂඩ්විධ පාර්ශ්ව අතුරෙන් ගල්ගොඩ ශ්‍රී මහා විහාර පාර්ශ්වයේ මූලස්ථානයයි. මෙය පාණදුර ප්‍රදේයේ තිබෙන දැකුම්කළු විහාරස්ථානයකි.මෙම විහාරස්ථාන භූමියෙහි තිබෙන ශ්‍රී විෂ්ණු මහා දේවාලය ද වසර 500කට වඩා පැරණිය.

18 රියන් බුද්ධ ප්‍රතිමාව සහ සැරියුත් මුගලන් දෙනම බුදුරජාණන් වහන්සේට ආරක්ෂාව සපයන අයුරුද බුදු මැදුරෙහි දක්නට ඇත. ශ්‍රී ලංකාවේ විහාරස්ථානයක තිබෙන විශාලම පිත්තල පහන ද ඇත්තේ ගල්ගොඩ ශ්‍රී මහා විහාර භූමියේය. මෙම විහාරස්ථානයේදී එකල භික්ෂුන් 1750කට සැදැහැවතුන් විසින් සාංඝික දානයක් පිරිනමා ඇත. එම අවස්ථාවට අනගාරික ධර්මපාල තුමාද සහභාගි වී ඇත. විහාරස්ථානය ගැන පැහැදීමකට පත් වූ ධර්මපාලතුමා පිඟන් ගඩොල් 500ක හා ත්‍රිපිටක මුද්‍රණයෙහි පිටපත් කිහිපයක්ද විහාරස්ථානයට පරිත්‍යාග කැර තිබේ.

පොතුපිටියේ පඤ්ඤසේකර හිමිපාණන් විහාරාධිපති පදවියට පත්වීමෙන් පසු පාණදුර ගල්ගොඩ විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිම් වී ඇත. ඒ අනුව බෝධිය වටා අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කරන ලද බෝධිඝරයක් සහ විහාරස්ථානයට ඇතුළුවන දොරටුව ඉදිරිපස සමාධි බුදු රුවක් ඉදි කොට ඇත. යාපනයේ නාගදීප රජමහා විහාරයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු කිරිපලු නුගරුක ද ශ්‍රී මහා විහාරස්ථානයේ රෝපණය කර ඇත.

සුනාමි ව්‍යසනයේදී ඊට ගොදුරු වූ පාණදුර සහ මොරටුවේ දුප්පත් පවුල් 680ක් ඤ්ඤාසේකර හිමිපානෝ විසින් විහාරස්ථාන භූමියේ රඳවා ගෙන ආහාර පාන සපයමින් අවුරුදු 12ක් පමණ විහාරස්ථානයෙහි රඳවා ගෙන ඇත. වර්ෂ 2005දී පාණදුර සිංහ සමාජයේ අනුග්‍රහයෙන් විහාරස්ථාන භූමියේ අක්ෂි රෝහලක් ඉදි කෙරිණි. ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානයේ සෑම පොහෝ දිනකම ධර්මදේශනා ශීල ව්‍යාපාර සහ බෝධි පූජාද පැවැත්වේ. මෙම විහාරස්ථානය සියලු සම්පත් අතින් පරිපූර්ණ විහාරයකි.

කපිල සෝමරත්න
පාණදුර සමූහ

නව අදහස දක්වන්න